Thursday, December 8, 2016

මූගල් අධිරාජ්‍ය - චාමර සුමනපාල


(1)


බොහෝ දෙනෙක් එතරම් තේරුම් නොගත්තා වුනත් දිල්ලිය ඓතිහාසික ස්මාරක විශාල ප්‍රමාණයක් තියෙන නගරයක්. අපි කියනවා නෙ ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින් කියල​. 1857 ඉන්දියානු මහ කැරැල්ලෙන් පස්සෙ බ්‍රිතාන්‍යයන් දිල්ලිය විනාශ කරපු හැටි ගැන ලිව්වොත් ඉතිහාසය පිළිබඳ පොඩි හෝ හැඟීමක් තියෙන මිනිස්සු වැලපේවි. ඒ නිසා තමා විලියම් ඩැල්රිම්පල්ගෙ "ද ලාස්ට් මෝගල්" පොතට විචාරයක් ලියාපු කුෂ්වන්ත් සිං ලිව්වෙ "මේ පොත සියලු දිල්ලිවාසීන්ගේ නෙතට කඳුලක් ගෙනෙනු ඇත​" කියල​. නමුත් ඒ ඉතිහාසය ලියැවෙනවා හරි අඩුයි. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගහපු අයගෙ කුරිරුකම් තමයි කියැවෙන්නෙ. එහෙමයි ඉතිහාසය ලියැවෙන්නෙ.
අද දකින රතු බලකොටුව කියන්නෙ මූගල් රතු බලකොටුවෙ ශේෂයක් පමණයි. මූගල් රතු බලකොටුව කියන්නෙ වෙනමම නගරයක් වගේ (1780 දි රතු බලකොටුවෙ චිත්‍රයක් මෙහි පින්තූරයෙන් දැක්වේ). දිල්ලියෙන් අද ඉතිරි වෙලා තියෙන පෞරාණික අංග බොහොමයක් එහෙම ඉතිරි වුනේ ඒවා බ්‍රිතාන්‍ය හමුදා විසින් සිය අවශ්‍යතා සඳහා යොදාගත්තු නිසා. ඒ තියෙන එව්වත් විකාර බවට පත් කරලා. උදාහරණයක් වෙන්නෙ හුමායුන්ගෙ සොහොන​. ඒකෙ මූගල් උද්‍යානය වෙනුවට ඉංග්‍රීසි උද්‍යානයක් ඇති කළා.

 
දැනට ඉතිරි වෙලා තියෙන ස්මාරකත් විනාශ වෙනවා බොහොම ඉක්මනින්. නගරය ප්‍රසාරණය වෙද්දි.
(2)

මේ කවුද​? සරලම උත්තරේ මේ මහල්ලෙක්. ඇත්තම කිව්වොත් අවුරුදු 82 ක් වයස​, දත් හැලිච්ච මහල්ලෙක්. හැබැයි එක්තරා තීරණාත්මක මාස හතරක දස දහස් ගණනක් මිනිස්සුන් ගෙ බලාපොරොත්තුව වුනේ මේ මහල්ලා. නමින් දෙවැනි බහදූර් ශා හෙවත් සෆාර්. අවසන් මූගල් අධිරාජයා, ඒ කියන්නෙ "ද ලාස්ට් මූගල්"

ඉන්දියානු මහ කැරැල්ල දිල්ලියෙදි පරාජය වුනාට පස්සෙ දිල්ලියත් එහි වූ ප්‍රභූ පවුල්වල අයත් විනාශ කරාට පස්සෙ, එහෙම නැත්නම් පලවා හැරියාට පස්සෙ සෆාර් නඩු විභාගයකට ලක් කළා. එයින් වරදකරු වුනාට පසුව ගත්තු ඡායාරූපයක් තමයි මේ.

මේ නඩු විභාගය ඇත්තෙන්ම විකාර වූ පදනමක් මත කෙරුණ එකක්. බහදූර් ශා රාජ්‍යද්‍රෝහී චෝදනාවට තමා ලක් වුනේ. නමුත් ඒ චෝදනාවත් එහෙමපිටින් ම වැරදියි. මොකද​, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන් දියා වෙළෙඳ සමාගම ඉන් දියාවේ කටයුතු කළේ මෝගල් අධිරාජ්‍යයාගෙ සේවකයො විදියට​. ඇත්තම තත්ත්වය එහෙම නොවුනට​, නීතිමය තත්ත්වය එහෙමයි. එහෙව් එකේ, අධිරාජයාගෙ සේවකයො අධිරාජයා රාජ්‍යද්‍රෝහී වුනා කීම විහිලුවක්.

අනෙක් අතට ඔවුන් ඉදිරිපත් කරපු තර්කය වුනේ සෆාර් හැදුවෙ ඉස්ලාමීය අධිරාජ්‍යයක් හදන්න කියන එක​. ඒකට අවුරුදු ගාණක් ඔහු සැලසුම් කළා ලු. ඇත්ත කාරණේ, ඉන්දියානු මහ කැරැල්ල පටන් ගත්ත අය අතරෙ වැඩියම හිටියෙ හින්දු උසස් කුලවල අය​. ඒ අය සිය කැරැල්ල නීත්‍යානුකූල එකක් බව පෙන්වන්නයි සෆාර්ගෙ උදව් හොයාගෙන ආවෙ. ඔවුන් සෆාර්ට බල කළා...

ඇත්තම කාරණේ සෆාර් කවදාවත් අධිරාජයෙක් වුනේ නැහැ. අනෙක ඔහු කවියෙක් මිසක් අධිරාජයෙක් වෙන්න අවශ්‍ය දැඩි බව තිබ්බ කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඔහු හින්දු, මුස්ලිම් සමගිය අගය කරපු කෙනෙක්. තමන්ට වින කරපු අයට පවා බොහොම ඉවසිල්ලෙන් සළකපු කෙනෙක්. ඔහු අන්තවාදී වෙච්ච වෙලාවල්, කුරිරු වෙච්ච වෙලාවල් නොතිබුණා නෙවෙයි. ඒත් ජීවිතේ වැඩි කාළයක්, ඊටත් වඩා අධිරාජයා වෙච්ච අවුරුදු 20, අසරණ මනුස්සයෙක් විදියට ගත කළ කෙනෙක්.

ඔහු දිල්ලියෙන් ඈතට පළවෙනියෙම්ම ගියේ 1858. ඒ රැන්ගූන් නුවරට පිටුවහල් කරපු වෙලාවෙ. ඔන්න ඕකයි අවසන් මූගල් අධිරාජයාගෙ බලේ තරම​.