Friday, December 2, 2016

"කියුබානු මිසයිල් අර්බුදය 02" Cuban missile crisis part 02 - සයිබර වරිගේ උන්ඩියා


ශීතල යුද්දය කියන්නෙ මොකක්ද? එහි ආරම්භය කෙබඳුද කියන එක මම මුලින්ම විස්තර කරා.....ඉන් පසුව සිතියමක් ඇසුරෙන් උත්තර ධ්‍රැවය ට ඉහළින් පවත්වා ගත් සෝවියට් සහ ඇමරිකානු අන්තර් මහාද්වීපික මිසයිල පරාවක්‍රය (Trajectory) ගැන කථා කරා....
දැන් අපි මේ දෙවනි කොටසෙන් න්‍යෂ්ඨික යුද ශීර්ෂ ගැන, ඒවායේ විකාශය සහ 1962 වසරේ කියුබානු මිසයිල අර්බුද සමය වනවිට ඇමරිකානු සහ සෝවියට් බළ කඳවුරු දෙකේ න්‍යෂ්ඨික අවි ව්‍යාප්තිය ගැන කථා කරමු....
න්‍යෂ්ඨික අවියක් කියන්නෙ මොකක්ද?.....මේ ප්‍රශ්ණයට පිළිතුරු දීමේදී අපි බලන්න ඕන මේකෙන් මෙතරම් විශාල ශක්ති ප්‍රමාණයක් මුදා හරින ආකාරය....
න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා...
                                      1. න්‍යෂ්ඨික විඛණ්ඩනය - Nuclear Fission 


2. න්‍යෂ්ඨික විලයනය ( සම්පර්කය / සම්පර්කණය ) - Nuclear Fusion




අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක හෝ නැත්නම් ගුවන් යානයක සිට මාර්ගෝපදේශන උපකරණ වලින් තොරව හෙළන ගුරුත්වාකර්ෂණ බෝම්බයක
මේ ක්‍රමවේදයන් දෙකම න්‍යෂ්ඨික අවි වල භාවිතා කරනවා....ඒ අනුව ඒ අවිත් -
1. විඛණ්ඩන යුද ශීර්ෂ - Fission Weapons / Fission Warheads
2. විලයන යුද ශීර්ෂ - Fusion Weapons / Fusion Warheads
වශයෙන් වෙන් කර හඳුනා ගන්න පුලුවන්
පරමාණුවක න්‍යෂ්ඨියේ ධන ආරෝපණයක් සහිත ප්‍රොටෝන සහ නිශ්ක්‍රීය ආරෝපණයක් සහිත නියුට්‍රෝන තිබෙන බව ඔබ හැම කෙනෙක්ම දන්නවා....ප්‍රොටෝන ගණන අනුව තමයි එම න්‍යෂ්ඨිය අයත් පරමාණුව අයත් වන මූල ද්‍රව්‍ය තීරණය කරන්නෙ .... ඒ වගේම නියුට්‍රෝන ගණන අනුව එම මූලද්‍රව්‍යයේ සමස්ථානිකය තීරණය කෙරෙනවා...
න්‍යෂ්ඨික යුද ශීර්ෂ වල ( ඒ කියන්නෙ ප්‍රහාරක ශක්ති විමෝචනය සිදු කරන අවි ශීර්ෂය ) බහුලවම හමුවන විකිරණශීලී මූල ද්‍රව්‍ය තමයි යුරේනියම් කියන්නෙ.....මේ යුරේනියම් ස්වභාවික තත්වයේ සුලභව පවතින්නේ කියන සමස්ථානිකයෙන් ( Isotope) .....මෙහි න්‍යෂ්ඨියේ ප්‍රොටෝන 92 ක් තිබෙනවා.....නියුට්‍රෝන 146 ක් තිබෙනවා....ඒ දෙකේ එකතුවෙන් තමයි එම යුරේනියම් සමස්ථානිකයේ පරමාණුක භාරය හෙවත් Atomic Weight නිර්ණය වෙන්නෙ....ඒ අනුව 92+146 = 238 ලෙස අපට සොබා දහම තුළ හමුවන යුරේනියම් මූලද්‍රව්‍ය ලෙස 99% ක් අවස්ථා වලදි මුණ ගැසෙන යුරේනියම් - 238 සමස්ථානිකයේ පරමාණුක භාරය ( Atomic Weight ) පවතිනවා......ඉතිරි 1% ක් වගේ අවස්ථා වලදි 92+143 = 235 ලෙස ( නියුට්‍රෝන 143 ) පරමාණුක භාරය පවතින යුරේනියම් - 235 සමස්ථානිකය හමුවනවා....මෙතනදි බලන්න, මේ යුරේනියම් සමස්ථානික දෙකේම න්‍යෂ්ඨික ප්‍රොටෝන අගයන් සමානයි ... ඒ කියන්නෙ 92..... නියුට්‍රෝන සංඛ්‍යාවේ වෙනසෙන් තමයි සමස්ථානිකය තීරණය වෙන්නෙ......
දැන් අපි බලමු මෙයින් විඛණ්ඩන යුද ශීර්ෂයක ක්‍රියාදාමය මොන වගේද කියලා -
අපි 1945 වසරේ අගෝස්තු 6 වැනිදා හිරෝෂිමාවට හෙළන ලද Little Boy ගුරුත්වජ බෝම්බයේ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කරලා බලමු.....Image result for little boy nuclear bomb
අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක හෝ නැත්නම් ගුවන් යානයක සිට මාර්ගෝපදේශන උපකරණ වලින් තොරව හෙළන ගුරුත්වාකර්ෂණ බෝම්බයක ( Unguided Gravity Bomb ) ශක්ති විමෝචක පිපිරවීම සිදු කරන කොට්ඨාශයේ එහෙමත් නැත්නම් කුටීරයේ ස්ථාන දෙකක, බොහෝ විට කෙළවරවල් දෙකක යුරේනියම් යම් ප්‍රමාණයකින් තබා තිබෙනවා....ඒ තැන්පත් කර තිබෙන ප්‍රමාණය න්‍යෂ්ඨික "දාම ප්‍රතික්‍රියාවක්" ( Nuclear Chain Reaction) සිදුකළ හැකි අවම ස්කන්ධයෙන් යුතුව ( එහෙමත් නැත්නම් අවම අවශ්‍යතාවයෙන් යුතුව ) බහාලන නිසා, අප ඒ ස්කන්ධයට කියනවා Critical Mass කියලා....
මෙයින් අදාළ කුටීරයේ පිටුපස බහා තිබෙන Subcritical Mass යුරේනියම් එකට අපි කියනවා Uranium Target කියලා.....එය තිබෙන්නෙ කිලෝග්‍රෑම් පහක පමණ බරකින් සහ මුදුවක හැඩයෙන් යුතුව.....අනෙක් කොටස තිබෙන්නේ යුද ශීර්ෂයේ උක්ථ කුටීරයේ ඉදිරිපස කෙළවරේ....එය උණ්ඩයක හෝ පෙලට් එකක් හැඩය ගන්නවා ( Uranium Bullet ) ....
මේ දෙක අධි වේගයෙන් එකිනෙක හා ගැටීමේදී එම ද්විත්වයම දාම ප්‍රතික්‍රියාවක් හට ගත හැකි තත්වයට පත්වෙනවා....එම දාම ප්‍රතික්‍රියාව ආරම්භයේ එකී යුරේනියම් මුසුවේ පවතින ස්කන්ධයට අපි කියනවා Super Critical Mass කියලා.....
දැන් බලමු කොහොමද මේ යුරේනියම් පෙලට් එක, නැත්නම් බුලට් එක අදාළ යුරේනියම් ටාගට් එක දෙසට එවන්නේ කියලා....මේ යුරේනියම් පෙලට් එකට අංශක 65 සිට අංශක 90 දක්වා ආනතියකින් රඳවන ට්‍රයිනයිට්‍රොටොලුයින් (TNT) කිලෝ 5 - 10 පමණ ප්‍රමාණයක් ඩෙටනේටරයක් ආධාරයෙන් හෝ සෘජු විදුලි පුළිඟුවක් ආධාරයෙන් පුපුරුවා හරිනු ලබනවා.... මෙතනදි එයින් විමෝචනය වන ශක්තිය සම්ප්‍රේෂ්ණය වීමෙන් චාලක ශක්තිය ලබන යුරේනියම් උණ්ඩය තප්පරයට මීටර් 170 ක ආරම්භක ප්‍රවේගයකින් පසුව නැනෝ තප්පර මිලියන 7 ක් ඇතුළත තප්පරයට මීටර් 370 ක පමණ ප්‍රවේගයක් ලබා අර ඉහත කියපු කුටීරය පිටුපස ඇති අනෙක් යුරේනියම් ස්කන්ධයේ හෙවත් යුරේනියම් ටාගට් එකේ ගැටෙනවා......මේ අපි අධ්‍යයනය කරමින් සිටින න්‍යෂ්ඨික අවි මොඩලයට අපි කියන්නෙ Gun - Type Fission Weapon කියලා....
මෙහිදී මේ අධි ගැටුම නිසා එක් ස්කන්ධයකින් විමෝචනය වන නියුට්‍රෝනයක් අනෙක් කොටසේ හෝ එම කොටසේම තිබෙන යුරේනියම් පරමාණුවක න්‍යෂ්ඨියේ ගැටීම නිසා එම න්‍යෂ්ඨිය පැලී එයින් වඩා කුඩා පරමාණුක සමස්ථානික දෙකක් පමණ සමග නිදහස් නියුට්‍රෝන කිහිපයක් චලනයට පිවිසෙනවා....එසේ පිවිසෙන නියුට්‍රෝන වෙනත් යුරේනියම් පරමාණු සමග ගැටී ඒවායේත් න්‍යෂ්ඨි බිඳ ඉහත ක්‍රියාවම සිදු කරනවා.....එතනදීත් ඒ අයුරින්ම නියුට්‍රෝන විමෝචනය වනවා....ඒවාත් යාබද පරමාණු වල න්‍යෂ්ඨි සමග ගැටෙනවා....මේකට අපි කියනවා න්‍යෂ්ඨික විඛණ්ඩන දාම ප්‍රතික්‍රියාවක් කියලා....දාමයක් ලෙස, චේන් එකක් ලෙස මේ ක්‍රියාවලිය වැලට සිදුවෙමින් යන නිසා තමයි ඒ නම දැම්මෙ....මෙහිදී :
පරමාණුවක් බිඳී කුඩා පරමාණු දෙකක් බවට සහ නිදහස් නියුට්‍රෝන බවට පත්වනවාට අමතරව, ආයුදයක් ලෙස සිදුවන වැදගත්ම දේ තමයි මේ ක්‍රියාවලියෙන් නිකුත් වන අධි මාත්‍රා ශක්තිය.....මේ ශක්තිය Nuclear Yield ලෙස හඳුන්වනු ලබනවා....ඒ ශක්තිය තමයි අසීමිත පිපිරීමක් ලෙස විශාල විනාශයක් සිදුකරන්නෙ.....
මෙහිදී ඛණ්ඩන ක්‍රියාවලිය අරඹන ආරම්භක නියුට්‍රෝන ලබා දීම සිදුකරන්නෙ බොහෝ විට යුරේනියම් 235 සමස්ථානිකය....ඒ නිසා එයට "ඉන්ධන සමස්ථානිකය " කියාත් කියනවා.....මේ යුරේනියම් 235 සමස්ථානිකය ඉතාම දුර්ලභයි....ස්වභාවික තත්වයේදී නොලැබෙන තරම් දුර්ලභයි....ඒ නිසාම න්‍යෂ්ඨික අවි වැඩසටහන් සහිත රාජ්‍යයන්ට මේ සමස්ථානිකය ලෝකයේ වටිනාම දේවල් වලින් එකක් බවට පත්වෙනවා....
ඉතිරි පිපිරීමට සහාය දක්වමින් බිඳෙන්න එම කුටීරයේ තිබෙන්නෙ යුරේනියම් 238 සමස්ථානිකය....මේ සමස්ථානිකයට එහි ස්වභාවික තත්වයෙන් දාම ප්‍රතික්‍රියාව ඉදිරියට ගෙන යෑමට හැකියාවක් නැහැ....ඒ නිසා මේ සමස්ථානිකය විශේෂ විලයන ක්‍රියාවලියක් මගින් යුරේනියම් 235 සමස්ථානිකයේ තිබෙන ලක්ෂණ වලින් 90% දක්වා වර්ධනය කරනු ලබනවා....අපි මේ වගේ යුරේනියම් හඳුන්වන නම තමයි Highly Enriched Uranium කියන්නෙ.....ඉන් පසුව එම යුරේනියම් - 238 සකස් කරන ලද සමස්ථානිකයට ( Enriched Uranium ) ඉහතදී ස්ඵෝටනය කරන ලද දාම ප්‍රතික්‍රියාවට ඉන්ධනයක් වන්න පුළුවන්......
මතක තබා ගන්න ඕන දේ තමයි, මේ ආකාරයට පිපිරීම සිදුවනවිට සමස්ථ බෝම්බයේම තැන්පත් කර ඇති යුරේනියම් ස්කන්ධයේ අන්තර්ගත සෑම යුරේනියම් පරමාණුවක්ම මේ න්‍යෂ්ඨික විඛණ්ඩන දාම ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නෙ නැහැ.....සම්බන්ධ වෙන්නෙ එයින් ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි....අනෙක් පරමාණු එක්කෝ නිදහස් නියුට්‍රෝන අවශෝෂණය කරගෙන යුරේනියම් 239 සමස්ථානිකය බවට පත්වෙනවා....නැත්නම් සෘජු නියුට්‍රෝන ප්‍රහාරයෙන් ඒවායේ න්‍යෂ්ඨි බේරෙනවා.....හිරෝෂිමා පරමාණු බෝම්බ පිපිරීමේදී එහි දාම ප්‍රතික්‍රියාව පවත්වා ගත්තේ එහි සමස්ථ යුරේනියම් 235 සමස්ථානිකයේ සහ කිලෝග්‍රෑම් 65 ක් බර යුරේනියම් 238 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් සහ පරමාණු සංඛ්‍යාවෙන් 5% පමණ සුළු ප්‍රතිශතයක් පමණයි.....මේකට හේතුව තමයි පිපිරීමේදී සිදුවන අධි ශීඝ්‍ර ස්කන්ධ විස්ථාපනය ( දුරස්වීම, විදාරණය ) නිසා පරමාණු බොහොමයක් දාමයට හසුවන්නට පෙරම වායුගෝලයේ විසිරී යෑම......
සාමාන්‍යයෙන් මිනිසා විසින් මෙලොව කරන ලද විශාලතම පාලිත පිපිරීම් තමයි 20 වැනි සියවස පුරා සිදුකළ න්‍යෂ්ඨික පරීක්ෂණ......මේ වගේ විශාල පිපිරීම් සහ ඝට්ටන නිසා සුවිශාල ශක්තියක් නිකුත් කෙරෙන විට, අප එයින් මුදා හැරෙන ශක්තිය මනින්නේ වෙනත් සන්සන්දනාත්මක පදනමක් සමග සසඳා බලලා......මේ සංසන්දනාත්මක පදනම තමයි ට්‍රයිනයිට්‍රොතොලුයින් හෙවත් සුප්‍රකට TNT නම් කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, සහ ඔක්සිජන් මූළ ද්‍රව්‍ය එකතුවෙන් සැකසුණු පුපුරන ද්‍රව්‍ය සංයෝජනයේ එක් එක් පරිමාවන් පුපුරුවා හරින ලද විට පිපුරුම් ස්ඵෝටනයේ ඵලය.....ඒ අනුව,
( ටී.එන්.ටී කිලෝ 1 ක් පුපුරා ගොස් මුදා හරින ශක්තිය = ජූල් 4,184,400 )
මේ අනුව හිරෝෂීමා හි පුපුරා ගිය ලිට්ල් බෝයි බෝම්බය මුදාහළ ශක්ති ප්‍රමාණය ( Yield ) ටී.එන්.ටී කිලෝටොන් 15 - 17 ක් අතර ප්‍රමාණයක් පුපුරා යෑමේදී විමෝචනය වන ශක්ති ප්‍රමාණයට සමානයි.....එහෙම නම් ඒ ප්‍රමාණය ජූල් වලින්
15,000,000 x 4,184,400 = 62,766,000,000,000 J
පමණ වෙනවා....
යම් හෙයකින් මෙම බෝම්බයේ මුළු යුරේනියම් ස්කන්ධයම උක්ථ දාම ප්‍රතික්‍රියාවට සම්බන්ධ උනා නම්, ඒකෙ යීල්ඩ් එක කිලෝටොන් 500 ක් පමණ වෙනවා.....එහෙම උනා නම් විමෝචනය වන ශක්ති ප්‍රමාණයේ ජූල් අගය =
2,091,990,780,000,000 J
එනම් ජූල් ට්‍රිලියන 20 ක පමණ දළ අගයක් ගන්නවා.....එහෙම උනා නම් ඒ බෝම්බයෙන් එපිසෙන්ටර් එකේ සිට කිලෝමීටර් පහක පමණ අරයක් සහිත ප්‍රදේශයක් විනාශ වෙනවා වෙනුවට හිරෝෂීමා නගරය පිහිටි සමස්ථ හොන්ෂු දූපතටම බිහිසුණු බලපෑමක් සිදුකරන්න ඉඩ තිබුනා....එහෙනම් ඒ ගුවන් පිපිරීමෙන් විනාශ වන ප්‍රදේශයේ වෘත්ත සැකැස්මේ අරය කිලෝමීටර් 80 ක් පමණ වන්නට තිබුණු අතර විනාශ වන ජීවිත සංඛ්‍යාව මිලියනයක් ඉක්මවන්න තිබුණා......
ඒ වගේම ඒකෙ ෆෝල් අවුට් එකෙන් සමස්ථ ජපානයමත්, සුළං ප්‍රවාහ නිසා කොරියාව, චීනය, තායිවානය, වියට්නාමය වැනි රටවල් රාශියකුත් දැඩි දීර්ඝ කාළීන හානියකට ලක්වෙන්න ඉඩ තිබුනා.......
නමුත් සාමාන්‍යයෙන් න්‍යෂ්ඨික පිපිරවීමකදී සමස්ථ යුරේනියම් ස්කන්ධයේම පරමාණු දාම ප්‍රතික්‍රියාව පවත්වා ගන්නෙ නැහැ.....මේ සිදුවන දාම ප්‍රතික්‍රියාව රුක් සටහනකට ගත්තොත් පියවර 12 කදී පමණ පරමාණු මිලියන් 2 ක් පමණ බිඳී යාම තමයි ප්‍රධාන පිපිරීමේ ආරම්භය ලෙස සිද්ද වෙන්නෙ......
අද මේක සම්පූර්ණයෙන්ම විස්තර කරන්න හිතාගෙන ලියන්න පටන් ගත්තත් අසනීප තත්වයෙන් සිටින නිසා මීට වඩා ලිවීම වෙහෙසකරයි....මොකද මේ දේවල් චිත්‍ර සටහන් හෝ රූප සටහන් භාවිතා කළ නොහැකි ස්ටේටස් වල ඔබට තේරෙන පරිදි විස්තර කිරීම දුෂ්කර කාර්යක්....කෙසේ වෙතත් කියුබානු මිසයිල් අර්බුදයට එන්න පෙර, සුපිරි බලවතුන් දෙදෙනාගේ න්‍යෂ්ටික අවි විකාශය ගැන කියන්න බොහෝ දේ තිබෙනවා.....අපි හෙමින් හෙමින් එතනට එමු...... 
ලිපිය 
සයිබර වරිගෙ උණ්ඩියා
 :)

Wednesday, November 30, 2016

සයපෙති කුසුම- ප්‍රභාත් කුමාර දේශප්‍රිය

අන්ධකාර රැයක පාලු පාරක් දිගේ
යන්න එන්න.. (18න් ඉහළ පමණයි)
සයපෙති කුසුම සිනමාහලෙන් ද එළියට විසිවී බොහෝ කාලයකට පසුව මේ සටහන ලියැවෙන්නේ සාතිශය ප්‍රමාදයකින් යුතුවය.සිනමාව විචාරීමට තරම් බුහුටි නොවෙතත් පශ්චාත් යුධ වින්දන සිනමා ගැලරියට විකාසේස චන්ද්‍රසේකරම් අත හැරි කාල බෝම්බය පිලිබදව මතුවූ අදහසක් දෙකක් අකුරු කිරීමට මසිත මතුවූ නොනිත උවමනාව මේ ලියැවිල්ලෙහි පදනම වේ..
වෙනත් දෙයක්ද, වෙනස් දෙයක්ද?
වේදිකා නාට්‍යකරුවෙකු ලෙස අප හදුනාගෙන සිටි විකාසේසගේ තුන් කුලුදුල් සිනමා කෘතිය වෙනුවෙන් ඔහු යොදාගන්නා තේමාව වනාහී අත්‍යන්තයෙන්ම අභියෝගජනක වන්නක් වන අතර පෘශ්ටීය වියමනෙහි ඔහු යම්කිසි දුරක් සාර්ථකව පියවර තබනු පෙනේ..එහෙත් චිත්‍රපටයෙහි දෘශ්ට්වාදී එළඹුමේදී විකාසේසගේ "වෙනස් චිත්‍රපටය" තව දුරටත් "වෙනත් චිත්‍රපටයක් " බවට විකරණය වන අයුරු සියුම්ව නිරීක්ශණය වේ..
එය කුමක් ගැනද, කුමක් අරභයාද?
විකාසේස පුවත්පත් අතිරේක සදහාද, රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන්ද නිතර භාවිතා කරන ලද වචනයක් වුයේ " සමකාමී" යන්නයි.. එහෙත් මෙම චිත්‍රපටය සමකාමී (homo-erotic) චිත්‍රපටයක් ද, නොඑසේනම් සමලිංගික (homo sexual ) චිත්‍රපටයක්ද යන්න තහවුරු කිරීම මෙමගින් සිදු නොවන බව මගේ හැගීමයි.. චිත්‍රපටය පුරා ජුගුප්සාජනක උන්මාදයක තමා වෙලී සිටින වග ප්‍රේක්ශකයාට හැගෙන්නේ එබැවින් විය හැක..කාමුකත්වය යනු එකකි.එය ආශාව සමග ප්‍රතිබද්ධය..ලිංගිකත්වය යනු තවෙකකි..ප්‍රජනනයේදී එය උදව් වේ..ආදරය ගලා යනුයේ මේ මිටියාවත් දෙකට පහලිනි..ඒ අර්ථයෙන් බලන කල ප්‍රේමය වනාහී විරුද්ධ ලිංගිකමය වස්තුවක් ලෙස සැලකීම සාවද්‍යය..
චමත්ගේ ඛේදය..
චිත්‍රපටය පුරා ගලන කදුළු කතාවේ උරුමකරු චමත්‍ ය.ඔහුට කලවම් වීමට හෝ කැපී පෙනීමට අවශ්‍ය නැත..එමෙන්ම සැගවීම හෝ පලායාමද හේ නොඉවසයි..මේ වනාහී සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලයකි.

සරසිගේ ගෙහසික ප්‍රේමයද, නලීන්ගේ ධනේශ්වර සිහිනද හමුවේ චමත් අවලංගු කාසියක් බවට පත්වේ. ගම්මුන්ට ඔහු පෙනෙන්නේ අවලං අසනීපකාරයෙකු ලෙසිනි. ස්වකීය ලිංගික ඇරියස් චමත් මත්තෙහි මුදාහරින ග්‍රාමීය සමාජයෙන් පිටමං වන ඔහු අවසානයේ ලැගුම් ගන්නේ අගනගරයේ පිම්පි සමාජ තීරුවේය.
සමකාමී සමාජය වෙනුවෙන් විකාසේසගේ එලඹුම එසේ අවතැන් වුවත් චිත්‍රපටය පුරා දසුන්ගේ හා ජෙහාන්ගේ රංග පෞරුෂයන් විදාරණය වේ..රංගනය කෙසේ වෙතත් "අඩෝ.. උන් දෙන්නා ඉන්නෙම ඔය වගේ ඒවට.උන් සිරාවටම gay ද දන්නෙ නෑ.." පන්නයේ ගැලරි චූන් ප්‍රතිචාර නිසාම ඔවුන්ට මේ සිනමාකෘතියෙහි රංගනය හේතුවෙන් සම්මාන සහතික ලැබෙන්නේ නැති බව නම් සහතිකය..
ෆ්‍රැන්ජිපානි....
ෆයිට් පහයි, සින්දු හතයි ප්‍රවර්ගයේ චිත්‍රපට වලට හුරුවූ සිනමා ප්‍රේක්ශකාගාරයක් අසම්මත තේමාවක් ඔස්සේ නිර්මාණය කැරුනු චිත්‍රපටයක් වෙනුවෙන් සීරුවෙන් තැබීම පහසු කටයුත්තක් නොවේ..එහෙත් විකාසේස ඒ දැවැන්ත අභියෝගයට මුහුණ දෙමින් සිය පලමු සිනමා කෘතිය ගෙන ඒමම සිංහල නව සිනමාවේ හෙට දවස වෙනුවෙන් සහන් එලියක් මතු කරන්නක් බව කිව යුතුයය.. "අම්බානකට කන්ඩ වෙන බව දැන දැන " ම සමකාමීත්වය/සමලිංගිකත්වය ගැන එලි පහළියේ කතා කිරීමට ඔහු පෙළඹීම පැසසුම් කටයුතුය.. එහෙත් උක්ත සමාජ ගැටලුව කෙරෙහි දයාර්ද්‍ර මුහුණුවරකින් බැලීමට පුහුදුන් ප්‍රේක්ශකයා යොමු කිරීම කෙරෙහි දශම පරිමාණ වූ තල්ලුවක් වත් සයපෙති කුසුම මගින් සිදු නොවීම ඛේදනීය ය.
චිත්‍රපටයේ අවසානය සනිටුහන් කරන දර්ශන පෙළක් මේ සටහනේ අගට පුරුද්දමි..

සරසි ප්‍රතිකාර ලබන රෝහල් වාට්ටුව ඇතුලතින් නලීන් වෙසක් කූඩුවක් එල්වයි..ඒ ඔවුන්ගේ ගෙහෙසික ප්‍රේමය බබලන කූඩුවයි..එම කුටියට පිටතින් චමත් විසින් තවත් කූඩුවක් එල්වනු ලබයි..ඒ චමත්ගේ හා නලීන්ගේ කූඩු බබලන නිදහස් අවකාශයයි.. තම තම කූඩු රිසි රිසි අහස් වියන් යට වෙන වෙනම බැබළේ..
එහෙත් විඩාබර ප්‍රේක්ශකයා වෙහෙසකර සුසුමක් හෙලා සිනමාහලෙන් පිටව යයි...සයපෙති කුසුමද ඛේදනීය ලෙස අවසන් වේ..

රෝසා පාර්ක් (rosa parks) - සහන් කසිර වික්‍රමසිංහ


වසර හැට එකකට පෙර අද වැනි දවසක නම් වූ කළු ජාතික කාන්තාව , බස් රථයේ තම අසුන සුදු ජාතිකයෙක් වෙත පිරි නැමීම ප්‍රතික්ෂේප කර සිරගත වූවාය. සුදු ආධිපත්‍යයට නොබියව අභියෝග කළ රෝසා පාර්ක්ව සිරගත කිරීම ඉතිහාසගත වන්නේ ඇමරිකානු වර්ණභේදය මුලිනුපුටා දැමීමේ පළමු වෙඩි මුරය ලෙසිනි.
1955 දෙසැම්බර් මස 1 වැනි දා රෝසා පාර්ක් ගමන් ගත් බස් රථයේ , කළු ජාතික - සුදු ජාතික ආසන පිරී පවතිද්දී අමතර සුදු ජාතිකයින් කීපදෙනෙක් බස් රථයට ගොඩ වැදිණ. සුපුරුදු පරිදි කළු ජාතිකයින්ට නැගිට තම අසුන් ඔවුන් වෙත ලබා දෙන් ලෙස රියදුරා විසින් අණ කරන ලදී. නමුත් රෝසා පාර්ක් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඇය පොලිස් අත් අඩංගුවට පත් වන්නීය. විප්ලවය ඇරඹෙන්නේ එතැන් සිටය.

ඩෙක්‌ස්‌ටර් බැප්ටිස්‌ට්‌ දේවස්ථානයෙහි ප්‍රධාන පූජක ධුරයට අලුතින්ම පත්ව පැමිණි "මාර්ටින් ලූතර් කිං" ප්‍රමුඛ කළු ජාතිකයින් ඓතිහාසික "මොන්ටිගෝමරි බස් වර්ජනය අරඹන්නේ " මේ සිදුවීමට විරෝධය පෑමක් ලෙසිනි. දින තුන්සිය අසූ දෙකක් පුරාවට හතළිස් දහසකට අධික කල්ලන් සමූහයක් විසින් දියත් කළ එම වර්ජනය අවසන් වුයේ ඔවුනට ජය අත් කර දෙමිනි. එය කළු ලෝකය සිහින දුටු සැබෑ නිදහස අත් වූ දිනය ලෙස හැඳින්වූවාට වරදක් නැත. නමුත් මේ ජයග්‍රහණය කරා ආ මාවතේ අහිමි වූ දෑ බොහෝය. සුණු විසුණු වූ දෑ බොහෝය. රෝසා පාර්ක් ගේ සහ ඇගේ සැමියාගේ රැකියා අහිමි වූ අතර කළු ජාතික ආගමික මධ්‍යස්ථාන ගිනිබත් විය. අවසානයේ මාටින් ලූතර් කිං ගේ ජීවිතයද වෙඩි උණ්ඩයක් විසින් උදුරා ගනු ලැබිණ.
ඒ ඉරණම්කාර දිනයේදී රෝසා පාර්ක් තම අසුන සුදු ජාතිකයෙක් වෙත පරිත්‍යාග කර මුනිවත රැක්කේ නම් , මෙතරම් ජන අරගලයකට ජීවය ලැබේයැයි සිතන්නට නොහැකිය. කළු සුදු භේදය පිළිබඳ ලෝක අවධානය මෙතරම් ප්‍රබල ලෙස යොමුවෙතැයි උපකල්පනය කළ නොහකිය. ඇමරිකානු කළු සුදු භේදයේ මිනී පෙට්ටියට අවසාන ඇණය මේ තරම් ඉක්මණින් වැදෙතැයි විශ්වාස කිරීම උගහටය.
නමුත් ඇය , රෝසා පාර්ක් නම් වූ හතළිස් දෙහැවිරිදි කාන්තාව එම ආශ්චර්යය මිහිමතට කැඳවීමට සමත් වන්නීය. අනාගත පරපුරක සැනසුම උදෙසා වර්තමානය කැපකරන්නට තරම් නිර්භය වූවාය. එබැවින් රෝසා පාර්ක් යනු ඇමරිකානු කළු ජන හදවත් ඉන්ද්‍රජාලිකව සුවඳවත් කළ සෙව්වන්දියක ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඉතිහාසය පුරා ඇය කළ කැපකිරීම් සහ විඳි වේදනාවලට එය උපහාරයක් වේ යැයි සිතිය නොහැකිද?

ලිපිය Sahan Kaseera Wickramasinghe

Image result for rosa parks


Image result for rosa parks

===මඩකලපුවේ සැබෑ තත්වය කුමක්ද..??=== චමල් අකලංක


කවුද හාමුදුරුවනේ මේ ගම්වල ඉන්නෙ.. ?
යුද්ධෙ කාලෙ ගම් අතෑරලා ගිහින් ආයෙ උපන් ගම් වලට ආව මිනිස්සු ඉන්නෙ.. ඒමිනිස්සුන්ට හරියට කන්න ටිකක් නෑ.. ඉන්න ගෙයක් නෑ මහත්තයො..
රජයෙන් මුකුත් කරන්නැද්ද ඉතින්..?
මොන පිස්සුද මහත්තයො. උප්පැන්නයක්.. අයිඩින්ටියක් නෑ.. පදිංචිය තහවුරු කරලා ලියුමක්වත් දීලා නෑ තාම හිටපු එක ආණ්ඩුවක්වත්..
මහින්ද මහත්තයා මුකුත් කළේ නැද්ද යුද්ධෙ ඉවර උනාම..?
(උපහාසයෙන් ) කිසිම දෙයක් කළේ නෑ.. බැලුවෙවත් නෑ මේ සිංහල මිනිස්සු දිහා..
මේ මිනිස්සු ලංකාවෙ පුරවැසියො මහත්තයො.. ඉතින් අපි ඡන්ද අයිතිය ඉල්ලලා පාරට බැස්සම ජනාධිපතිවරණේ කාලෙ මේ සිංහල මිනිස්සුන්ගෙ ඇඳුම් ගලෝලා මහපාර මැද්දෙ ගැහුවෙ එයා.. මම දෙතුන් පාර හම්බෙන්න හැදුවා,. බලෙන් කතා කලා.. බැලුවෙවත් නෑ...
එතකොට දැන් ඉන්න අය මොකක්ද කළේ.. අර ඉස්සරහ පලකෙ තියෙන්නෙ සිරිසේන මහත්තයගෙ නමනෙ..??
( නැවත සිනාසී ) පන්සලට එන්න කියලා ආරාධනා කරලා මෙතෙන්ට ගාඩ් එකත් දැම්මා.. තදට වැහැපු හින්දා එන්න බෑ කිව්වා... මං තව ටික දවසක් බළලා ඕක පෙරළලා දානවා.. ( මේ ළඟදී කුළුගෙඩියකින් ගසා කුඩු කර දැම්මේ ඒ ඵලකයයි )
එතකොට බොදු බල සේනා වගේ සංවිධාන ?
ඒවත් එහෙම තමයි.. ඇවිල්ලා සාමාජිකයො බන්දගන්නවා කියලා යනව.. ආයෙ එන්නෙ නෑ..
මඩකලපුව නගරයටම ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය මඩකලපුව මංගලාරාම විහාරයයි..
ඉහතින් දැක්වූයේ එහි විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සමග අප සිදුකළ සාකච්ඡාවේ කොටසකි.. ( ත්‍රස්ථවාදීන් විනාශ කළ මංගලාරාමය නැවත ගොඩනගා ඇත්තේ සුමනරතන හිමියන් විසිනි )
විහාරයේ සිටින පොඩි හාමුදුරුවන් සියල්ලෝම මඩකලපුවේ පිරිවෙන් නැති නිසා නේවාසිකව ඉගෙන ගන්නේ මහනුවරය..
කොළඹ සිට කෑගසනවාට විචාර දෙනවාට වඩා පුළුල් සමාජ ආර්ථික හා දේශපාලනමය ගැටළුවක් මඩකලපුවේ පවතින බව මේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිසම එහි ගිය අවස්ථාවේදී අපි දැනගත්තෙමු..
පැවති යුද්ධය නිසා උතුරේද නැගෙනහිරද මිලියන ගණනක් සිවිල් වැසියන් තම ගම්බිම් අතහැර පලා ගිය අතර මඩකලපුවේද එසේමය..එසේ පලායන සිවිල් වැසියන් ත්‍රස්තවාදීන්ගේ හදිසි දැනුම් දීමකින් පලා ගියේ ඇඳිවත පිටින් ය.. පසුව යුද්ධය අවසන් වී ඔවුන් තම උපන් ගම් බිම් වලට පැමිණියේ දෙවනි හෝ තෙවැනි පරම්පරාවන් ද සමගය..
මඩකලපුවේ ගැටළුව වන්නේ එසේ යුද්ධය නිසා පලා ගොස් නැවත තම ගම්බිම් වලට පැමිණි සිංහල ජනතාවට තම මුල් ඉඩම අයිතිය හෝ මූලික අවශ්‍යතාවයන් හෝ නොලැබීමයි...
එහි පැමිණි සිංහල ජනතාව පදිංචිව ඇති ගම් වන්නේ,,
සිප්පියාමඩුව
පිල්ලුමලේ
සින්නවත්ත
කුළුකුණාමඩුව
කොස්ගොල්ල
පුන්නකුඩා
ජයන්තිපුර
මංගලගම යි..
මේ ගම්වල පවුල් 3500 ක් පමණ ජීවත් වෙති.. ඔවුන් මේ බිමේ ඉපදුණු ශ්‍රී ලාංකික පුරවැසියන්ය.. නමුත් කණගාටුවට කරුණ වන්නෙ මේ මිනිස්සුන්ගෙන් බහුතරයකට තවම ඡන්ද අයිතියවත් නොලැබීමයි.. උප්පැන්න නැත.. ජාතික හැඳුනුම්පත් නැත.. මරණ සහතික, විවාහ සහතික ගැනීමට ක්‍රමයක් නැත.. සමෘද්ධිය නැත.. අඩුම තරමේ ඉන්න බිමේ අයිතියවත් ඔප්පුවක්වත් නැත..රැකියා නැත.. ජීවත් වන්නේ කුලී වැඩක් හෝ වගාවක් කිරීමෙනි.. ගොවිතැන් කිරීමට ඉඩම් නැත.. ගොවිතැන් කළද ශුෂ්ක පරිසරයේ ජලය සොයා ගැනීමට ජල යෝජනා ක්‍රමද නැත.. නියං කාලෙට බොන්න පවා වතුර නැත.. වන අලි ගම් වදින නිසා රෑට නින්දක් නැත.. දරුවන් පාසල් ගැන සිතන්නේ නැත.. කෙවිළියාමඩුවේ සිට පාසලකට යාමට මංගලගමට යා යුතු දුර කිලෝමීටර් 10 කි..
හාමුදුරුවන් අප සමග පැවසුවේ දිනක් ගමකට යනවිට බඩදරු අම්මා කෙනෙක් දින තුනකින් නොකා සිට ඇයට ආහාර දී උපකාර කළ බවයි..
සැබෑ ප්‍රශ්ණය එය නොවන අතර මේ සියළු ගැටළු නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඉක්මනින් විසඳිය හැකි වුවද..,
ගැටළුව වන්නේ එම මිනිසුන් උප්පැන්න.. හැඳුනුම්පත්., ඔප්පු ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට ග්‍රාමසේවකගේ සිට ඉහළ රජයේ නිලධාරීන් හමුවට ගිය විට ඔවුන්ට අදාල සේවා නොලැබීමයි... රාජ්‍ය නිලධාරීන් සියල්ලම පාහේ සිංහල නොවීම නිසා තමන්ට මේ ආකාරයෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව බවයි ගම්වැසියන්ගේ චෝදනාව වන්නේ...
හාමුදුරුවන් පැවසුවේ නඩු කීවද මේ ගැටළුවම උසාවියේද ඇති නිසා පලක් නොවූ බවත්.. මඩකලපුවේ නීතිඥ සහය නොලැබෙන බවත් කොළඹින් හෙව්වට ඒ අයට ගාණක් නැති බවත් ය..
උපන් බිමේ පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ අයිතිය පවා නොලැබීමේ ගැටළුවක් මෙතැන පවතින බව දැන් ඔබට වැටහෙනු ඇත..
මෙයට හේතුව කුමක් ද..?
හේතුව සරලය.. එනම් ඡන්ද පදනමයි,, මඩකලපුවෙ බහුතරය දෙමළ මුස්ළිම්ය.. සිංහල ජනතාවට කේවල් කිරීමට තරම් ඡන්ද ප්‍රමාණයක් නැත..
සිංහලයාගේ ගැලවුම්කාර දියසේන කුමාරයා ලෙස තමන්ව හඳුන්වන මහින්ද රාජපක්ස හිටපු ජනාධිපතිවරයා ඒ මිනිස්සුන්ට ඇඳුම් ගලවා පහර දුන්නේ ද.. යහපාලනය ගෙන එමියි.. සියල්ලන්ට සමානව සලකමියි කියූ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති ලෙස ගැටළුව නොදැක්කා සේ සිටින්නේ ද අනෙක් දේශපාලුවන්ටද ප්‍රශ්ණය ගාණක්ම නැත්තේ ද ඡන්ද අහිමිවන නිසාය...
ඒ නිසා මේ ප්‍රශ්ණය දෙස බයි ටොයි හෝ කිසිදු දේශපාලනයක් ලෙස බෙදී බැලීමෙන් වළකින්න.. ඒ කාටවත් ඡන්ද නැති නිසා මේ මිනිස්සු ගැන ගාණක් නැති බව අකමැත්තෙන් හෝ තේරුම් ගන්න...
සිංහලේ, බොදුබල සේනාව ,රාවණා බලය ආදි ඊනියා සංවිධාන ගැන ද කතා කර පළක් නැත.. හරිනම් ඇඳුම් කඩවල් වලට ගල් ගැසීමට පෙර.. ඇමරිකාවට විරුද්ධව කොටුවේ උද්ඝෝෂණ කිරීමට පෙර.. ප්‍රධාන සටන් පාඨය විය යුත්තේ මේ අහිංසක මිනිස්සුන්ගේ ගැටළුවයි,,
ඒ මිනිසුන් ජනාධිපතිවරණ සමයේදී ඡන්ද අයිතිය ඉල්ලා නිරුවත් කොට පහර දෙද්දී මහින්දට ඡන්දෙ දෙන්න කී බල සේනා හෝ අනෙක් සංවිධාන වලින් මීට වඩා කිසිවක් බලාපොරොත්තු විය නොහැක..
එසේනම් මේ ගැටළුව දෙස දේශපාලනය හෝ ඊනියා ස්වෝත්තමවාදය පසෙකට දමා විවෘතව බලන්න.. එයට පක්ස පාට ජාති ආගම් අදාල විය යුතු නැත.. උපන් බිමේ අයිතිය අහිමි වී සිටින්නේ අපේම ජනතාවයි.. ඒ මිනිසුන් වෙනුවෙන් නැගී සිටින්න මිනිසුන් ලෙස.. උතුරේ දමිළ වැසියන්ගේ මුල් ඉඩම් නිදහස් කරනවා සේම මේ මිනිසුන්ටද තම ඉඩම් වල අයිතිය උප්පැන්න සහතික ජාතික හැඳුනුම්පත් ආදී සියල්ල ලැබිය යුතුය.. නිලධාරීවාදය වහා නැවැත්විය යුතු අතර සැමට සාධාරණව සාමයෙන් ජීවත් වීමේ වටපිටාවක් ජාති භේදයකින් තොරව බිහිවිය යුතුය... ජාති භේදයෙන් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගත යුතුය...
ජනාධිපතිවරයා ඇතුළු සියළු වගකිවයුත්තන් මෙයට වගකිව යුතුය.. අපට කළ හැක්කේ අදාල ආයතන හා නෛතික රාමුවට මේ මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස බලපෑම් කිරීම මිස ජාතිවාදය අවුලා කඩු පොලු මන්න වලින් ලේ වගුරා ගෝත්‍රිකයන් ලෙස හැසිරීමෙන් නොවන බව ත් සිහිතබා ගත යුතුය..
එක් අන්තවාදයක් තවත් අන්තවාදයකින් විනාශ කළ නොහැක.. දේශපාලනය හා ජාතියේ ආගමේ නාමයෙන් සිටින සියළු සංවිධාන සියල්ලන්වම රවටා ඇති බව පැහැදිලිය.. මේ මිනිසුන් වෙනුවෙන් කතා කළ හැක්කේ සිංහලයන්ට පමණක් නොවන අතර දෙමළ මුස්ළිම් ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට එය අදාල විය යුතුය..සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ශ්‍රී ලාංකිකයෙක්ට ඇතිවූ ගැටළුවක් ලෙස සැලකිය යුතුය...
ජාතියක් ගෝත්‍රයක් ආගමක් වර්ණයක් නිසා මිනිසුන් අසාධාරණයට ලක් වේ නම් එය ම්ලෙච්ඡ තත්වයකි... එය සිංහලයාටද දෙමළාටද මුසල්මානුවාටද හෝ කුමන ජාතියකට හෝ සිදු වේ නම් සියල්ලන්ම ඊට විරුද්ධ විය යුතුය..
අවාසනාවකට ලංකාවේ මේ ජාතීන් තුනම ජාතිය ආගම නිසා අසාධාරණයට ලක් වුවද.. බොහෝ අවස්ථා වලදී ඊට අනෙක් ජාතීන් හඬ නගන්නේ නැත...
නමුත් විය යුත්තේ මිනිසුන් මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමයි....
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙන් වන්නේ කරන ක්‍රියාවෙනි.. එය උපතින් ජාතියෙන් සිදු නොවේ..
කඩිනම් විසඳුම් සොයමු...
සාධාරණව සාමකාමීව..
( මෙය ලිවීමට හේතු වූයේ මේ දිනවල අම්පිටියේ හිමියන්ගේ වීඩියෝපට සමාජජාල හරහා සැරිසැරීමෙන් ඇතිවී ඇති ගැටළුව සම්බන්ධ වැරදි වැටහීම් ගැන නිවැරදි අවබෝධයක් ලබා දීමට වන අතර බුද්ධ චීවරය දරා සිදුකරන හිමියන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත නොකරමි..
නමුත් හාමුදුරුවන්ව අමතක කර ඊට එහා ගිය සැබෑ ගැටළුව ගැන මනුශ්‍යයන් ලෙස සිතීම වඩා වැදගත් වන බව මාගේ විශ්වාසයයි... )

"සුපිරි බලවත් රාජ්‍යයන්" ( Superpowers ) හඳුනාගනිමු - සයිබර වරිගේ උණ්ඩියාගෙන්

කියුබානු මිසයිල් අර්බුදය ගැන දාගෙන යන ස්ටේටස් මාලාවටම අනුබද්ධ ස්ටේටස් එකක් මේකත්.....මේකෙන් කියන්න යන්නේ "සුපිරි බලවත් රාජ්‍යයන්" ( Superpowers ) හඳුනා ගන්නේ කෙසේද යන්න ගැන.....
මේ ලෝකයේ රටවල් ඒවා සතු මිලිටරි බලය, ආර්ථික ශක්තිය, ජීවන මට්ටම, ගෝලීය දේශපාලනයට කළ හැකි බලපෑමේ ප්‍රමාණය, ජාත්‍යන්තර ආයතන වල තීරණ තීන්දු ගැනීමේදී මැදිහත් වීමේ හෝ එම තීරණ තීන්දු කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව ආදිය මත විවිධ ප්‍රභේද වලට බෙදනවා.....ඒවායින් ජාත්‍යන්තර දේශපාලනයේ ඇකඩමිකයන් අතර ජනප්‍රියම වර්ගීකරණයන් වන්නේ -
1. සුපිරි බලවත් රාජ්‍ය - Superpowers Ex: United States of America
2. මහ බලවත් රාජ්‍ය - Great Powers Ex: China, Russia, UK, France, India, Pakistan ( Ranking - Unconfirmed )
3. මධ්‍ය බලවත් රාජ්‍ය - Middle Powers Ex : Israel, Argentina, Australia, Germany, Brazil etc.
4. කුඩා බලයන් - Small Powers Ex: Angola, Nigeria, Austria, South Africa, Denmark
කිසිදු ඇකඩමික කුළයක හෝ ශාස්ත්‍රාලයක මේ වර්ගීකරණයන්ට නිශ්චිත නිර්වචන නැහැ.....ඒ උනාට යම් යම් රාජ්‍යයන් ඉහත කී පරාමිතීන් තුළ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ඒවා වර්ගීකරණය වෙනවා.....
සුපිරි බලවත් රාජ්‍ය නැත්නම් මේ සුපර් පවර්ස් කියන්නෙ ඉහත කී වර්ගීකරණයන්ගෙන් ඉහළම එක.....
සාමාන්‍යයෙන් ලෝකයේ හෝ තම බලය පවතින හඳුනා ගත් ප්‍රදේශයක ඕනම මොහොතක, ඕනම ස්ථානයකට බලපෑම් කළ හැකි හමුදා ශක්තියකින් අනූනව පවතින හෝ,
සමස්ථ ලෝකයේ හෝ ඉහත කී බලය පවතින කළාපයේ සියළුම "සෙසු රාජ්‍ය" වල මිලිටරි බලයන් එකතු කළත් ආසන්නයට වත් එන්නට බැරි තරමේ අසමසම හමුදා ශක්තියක් තිබෙන,
ලෝකයේ හෝ කළාපීයව සෙසු රාජ්‍යයන් සියල්ලම ගව් ගණනකින් අබිබවන දැවැන්ත ආර්ථික ශක්තියක් සහිත, හෝ දැවැන්ත දළ ජාතික නිෂ්පාදන වටිනාකමක් සහිත,
ඉහත කී හේතු නිසාම ලෝක මට්ටමේ හෝ තමන්ගේ බලය පවතින කළාපයේ තීරණ තීන්දු ගැනීමේදී අසීමිත වර ප්‍රසාද හෝ බලපෑම් කිරීමේ හැකියාවක් දරන, දැවැන්ත විභවයන් සහිත රාජ්‍යයන් සුපිරි බලවතුන් ලෙස හඳුන්වනු ලබනවා......( ස්ටැන්ෆර්ඩ් සහ යේල් විවරණයන් )
ඒ අනුව විසි වැනි සියවසේදි තමයි මේ කුළකයට අයත් සාර්ථක උදාහරණ දෙකක් ලෝකයේ දකින්න ලැබුණේ.....
විවිධ පරිමාණයන්ට අයත් න්‍යෂ්ඨික යුද ශීර්ෂ ( උච්ඡතම අවස්ථා වලදී - 1975 ) 44,000 ක් තිබුණු, යුද ටැංකි 70,000+ අධික ප්‍රමාණයක් සමග සමස්ථය ලෙස සන්නද්ධ රථ ලක්ෂය ඉක්මවූ, ලක්ෂ 50 ක පමණ සක්‍රීය හමුදා ශක්තියක් දළ වශයෙන් 1970 පමණ වනවිට පවත්ව ගත්තු, ඒ වගේම අතිරේක හමුදා ශක්තිය ප්‍රමාණයෙන් කෝටියකට ආසන්න යෝධ රතු හමුදා යාන්ත්‍රණයක් තිබුණු, ගණනය කළ නොහැකි කාර්මික නිෂ්පාදන වටිනාකමක් ජනනය කළ, සාකළ්‍ය වකවානුව තුළ මිලියන 200 - 300 අතර ජනගහණයක් සිටි, වර්ග කිලෝමීටර් මිලියන 14 ක් පමණ වන ඉතිහාසයේ එක් ස්ථානයක රාජ්‍ය තන්ත්‍රයකට පැවති විශාලතම භූමිය හී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු එකතුවද, 1950 සිට ට්‍රිලියන1 සිට ට්‍රිලියන 18 ක් පමණ වන තෙක් මිනිස් ඉතිහාසයේ විශාලතම දළ ජාතික නිෂ්පාදිත අගයන් පවත්වා ගත්, න්‍යෂ්ඨික යුද ශීර්ෂ 20,000 ඉක්මවූ, ඉතිහාසයේ වැඩිම න්‍යෂ්ඨික අවි පරීක්ෂණ සිදුකළ ( 1996 වනවිට 1107 ), අසීමිත ගුවන් බළයක් ( ගුවන් යානා 18,000 - 20,000 ක පමණ සාමාන්‍ය අගයක් සහිතව ) වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක, ජන ගහණය මිලියන 140 - මිලියන 250 ක පමණ අගයක් ( ශීතල යුද්දය අවසන් වනවිට ) පවත්වා ගත් ඇමරිකා එක්සත් ජනපදයද, මෑත ඉතිහාසයේ සුපිරි බලවතුන් ලෙස හඳුනා ගන්නවා.....
1991 වසරේදී රුසියාවේ කොමියුනිස්ට් පක්ෂ පාලනය අවසන් වීමෙන් පසුව, අද මේ වනවිට රුසියාවට එදා සෝවියට් යුගයේ සර්ව ක්ෂේත්‍ර වල තිබුණු සුපිරි බලතල අහිමිව ගොස් තිබෙනවා.... නමුත් අදටත් සක්‍රීය න්‍යෂ්ටික යුද ශීර්ෂ 9,000 + ක පමණ තිබෙන බව පවසන නිසා, රුසියාව මිලිටරි සුපිරි බලයක් ලෙස බොහෝ අවස්ථා වල නිර්ණය කරනු ලබනවා....ඇමරිකා එක්සත් ජනපදය සහ මුලින්ම විනාශ කළ හැකි ශක්‍යතාවය තිබෙන එකම රාජ්‍ය වන්නේ රුසියාව.....
1989 වසරේ සිට මේ දක්වා ලෝකයේ පැහැදිලි සුපිරි බලවතෙකු ලෙස හඳුනා ගන්නේ ඇමරිකා එක්සත් ජනපදය.....එරට සතු මිලිටරි බලය ගැන සරළ අදහසක් දුන්නොත්, අද ලෝකයේ ගුවන් යානා 11,000 ක් පමණ තිබෙන, අංක එකේ සුවිශාලතම ගුවන් හමුදාව හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපදයට.....ඒ වගෙම ලෝකයේ ගුවන් හමුදා වර්ගීකරණය කළොත්, දෙවනි ස්ථානය හිමිවන්නේ ගුවන් යානා 4,000 ක් පමණ තිබෙන ඇමරිකානු නාවික හමුදා ගුවන් බළයට.....තුන්වන තැන තමයි ගුවන් යානා 3,500 ක් පමණ තිබෙන රුසියාවට හිමිවන්නේ.....ඒ අනුව ඔබට ඇමරිකාව සතු යුද ශක්තිය සැකෙවින් සිතාගන්න පුළුවන්.....
නමුත් ආර්ථික වශයෙන් ඇමරිකාව මෙතෙක් රඳවා ගෙන සිටි හුදෙකළා සුපිරි බළයට අභියෝගයක් දැන් එල්ල වෙලා තියෙනවා.....ආර්ථික වශයෙන් සුපිරි බලවත් රාජ්‍යයක් ලෙස වර්ථමානයේ "යේල්" සරසවියේ දේශපාලන අධ්‍යයන අංශය මගින් නිර්ණය කරන්නේ නාමික දළ ජාතික නිෂ්පාදන අගය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවූ රාජ්‍යයන්.....ට්‍රිලියන 10+ සමාජයේ මේ වනවිට සාමාජිකයන් දෙදෙනෙකු ඉන්නවා....
ඒ තමයි ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 18 ක දළ ජාතික නිෂ්පාදන අගයක් හිමි ඇමරිකා එක්සත් ජනපදය
සහ, ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 11.8 ක දළ ජාතික නිෂ්පාදන අගයක් හිමි මහජන චීන සමූහාණ්ඩුව.....
ට්‍රිලියන 10 සීමාවට චීනයේ පැමිණීම සම්පූර්ණ වන්නේ 2012 වසරෙදි.....
තවත් වැදගත් කරුණක් තියෙනවා.....ක්‍රය ශක්ති සාම්‍යය ( Purchasing Power Parity ) අනුව වටයන ලද දළ ජාතික නිෂ්පාදන අගය බැලුවොත් මහජන චීන සමූහාණ්ඩුව තමයි ලෝකයේ විශාලතම ආර්ථිකය....එහී වටිනාකම ඩොලර් ට්‍රිලියන 21.....ඇමරිකාවට හිමිවන්නේ දෙවන ස්ථානය.....ඒ වටිනාකම ඩොලර් ට්‍රිලියන 18 ක් ....
මේ හැර යුරෝපා සංගමයට එකතුව නාමික ඩොලර් ට්‍රිලියන 16 ක ආර්ථිකයක් තිබෙනවා.....නමුත් ඔවුන් සුපිරි බලවතෙකු ලෙස ගණන් නොගන්නේ ඔවුන් කළාපීය සහයෝගීතාවයක් මිස, එක් රාජ්‍ය තන්ත්‍රයක් ලෙස පාලනය නොවන නිසා....ඔවුන් අර්ධ - තාන්ත්‍රික සාමුහිකත්වයක් පමණයි...... ( ඔවුන්ටත් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවක් තියෙනවා )
හුදෙකළා රාජ්‍ය වශයෙන් නම් ඇමරිකාවට සහ චීනයට අසළකටවත් අනෙක් කිසිදු රටක් එන්නේ නැහැ.....නාමික දළ ජාතික නිෂ්පාදන වටිනාකම අතින් ලෝකයේ තුන්වන තැන ඉන්න රාජ්‍යය ජපානය....එම දේශයේ ආර්ථික නිෂ්පාදන වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.7 ක්.... දැන් ඔබට පේනවා ඇති සුපිරි බලවතුන්ගේ ශක්තිය කොතෙක්ද කියලා....තුන් වෙනි තරඟකරුවා ඉන්නේ දෙවන තරඟකරුවාට වඩා දළ වශයෙන් ඩොලර් ට්‍රිලියන 6 ක් පිටුපසින්.....!
දැන් මේ සුපිරි බලවත් කුළකය විවෘත වුනේ 20 වැනි සියවසේ ඉඳලා උනාට, යේල් සරසවිය මෑතකදී ලෝක ඉතිහාසයේ බලවත්ව සිටි රාජ්‍යයන් ඒ ඒ කාළයේ ලෝකයේ සොයාගෙන තිබුණු ප්‍රමාණයට අනුව සහ ශිෂ්ඨාචාර වල විශාලත්වය, පැතිරීම, සහ මහා සංස්කෘතික සම්ප්‍රදායන් හදන්න කරපු බලපෑම අනුව ඒ ඒ කාළයට අනුරූපීව සුපිරි බලවතුන් වර්ගීකරණය කළා....
ඒ අනුව : බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, ටැන්ග් අධිරාජ්‍යය ( චීනය ), මොංගෝලියන් අධිරාජ්‍ය, පුරාණ ඊජිප්තු මිසර අධිරාජ්‍ය, රෝමානු අධිරාජ්‍ය, මහා ඇලෙක්සැන්ඩරයන්ගේ මැසිඩෝනියානු අධිරාජ්‍යය, භාරතයේ මෞර්ය අධිරාජ්‍යය ( අශෝක සමය ), මෝගල් අධිරාජ්‍ය, උම්මායාද් කලීෆාව ( මහා අරාබි අධිරාජ්‍යය ) ආදී අතීතයේ පැවති දැවැන්ත රාජධානි සහ අධිරාජ්‍යයන් ඒ ඒ යුගානුරූපී සුපිරි බලවතුන් ලෙස හඳුනා ගන්නවා.....
සුපිරි බලවතුන් යනු අන්න ඒ විදියටයි .....

ලිපිය 
සයිබර වරිගෙ උණ්ඩියාගෙන්  

Image result for superpowers country

Monday, November 28, 2016

කියුබානු මිසයිල් අර්බුදය - සයිබර වරිගේ උන්ඩියා (අනු ලිපි)

පලවෙනි ලිපිය අවසානයේදි කියවපු අයට මීළඟ කොටස තේරුම් ගැනීම සඳහා ගෙදර වැඩක් දුන්න.....එයින් තුන්වෙනි එක සොයා ගන්න එක හුගක් දෙනෙකුට තරමක් දුෂ්කර නිසා, ඔන්න ඒකත් දෙනවා වඩා පහසු වෙන්න.....මේ තමයි ලෝක ගෝලයේ උත්තර ධ්‍රැවයට අංශක 70 ක පමණ ආනතියක සිට ඉහළින් බලනවිට සෝවියට් සමූහාණ්ඩුව, උත්තර ධ්‍රැවය, කැනඩාව, සහ ඇමරිකා එක්සත් ජනපදය පෙනෙන ආකාරය.....මතක තියාගන්න ඔය සෝවියට් සංගමය සහ චීනය, මැද පෙරදිග ආදි නැගෙනහිර අර්ධ ගෝලයේ රටවල් හඳුන්වන නාමයන් හරි පැත්තට තිබුණට රටවල් තියෙන්නෙ අනිත් පැත්තට.....ඒ කියන්නෙ සරල භාෂාවෙන් කියනව නම් ඔලුව පල්ලෙහාට.....
මේ උත්තර ධ්‍රැව කළාපය හරහා ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර දුර ප්‍රමාණය දළ වශයෙන් කිලෝමීටර් 5500 - 8500 ක් පමණ වනවා....අද මේ කළාපය හරහා මැද පෙරදිග, රුසියාව, සහ ආසියාවේ අනෙක් ප්‍රධාන නගර උතුරු ඇමරිකාවේ ප්‍රධාන නගර යා කරන ගුවන් මාර්ග කිහිපයක්ම තිබෙනවා... ඒවා හඳුන්වන පොදු නම තමයි Polar Route කියන්නෙ.... ( පසුගිය දිනක මාත් ඩුබායි සිට එක්සත් ජනපදයේ හුස්ටන් නගරය බලා ගිය ගුවන් යානයේ පියාසැරිය තිබුණෙත් මේ උත්තර ධ්‍රැවයට ඉහළින් ගුවන් මාර්ගයක )....
එකළ ශීතල යුද සමයේ මේ කළාපයේ අද තිබෙන්නා සේ රුසියානු ගුවන් සීමාව හරහා ඇමරිකාවට යන ගුවන් මාර්ග තිබුණේ නෑ.....ඒවා සෝවියට් සංගමය සිවිල් භාවිතය සඳහා තහනම් කරල තිබුණේ....නමුත් සයිබීරියාවේ තිබෙන සෝවියට් න්‍යෂ්ඨික සයිලෝ වල ඉඳලා අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල ඇමරිකා එක්සත් ජනපදය දෙසට ප්‍රක්ෂේපණය කළ හැකි පහසුම මාවත් උත්තර ධ්‍රැව අහස හරහා තමයි තිබුණේ......ඒ වගේමයි අනිත් පැත්තටත්.....
සෝවියට් සංගමයෙන් ඇමරිකාව දෙසට ප්‍රක්ෂේපණය කළ හැකි අන්තර් මහාද්වීපික මිසයිල බහුතරයක් තිබුනේ
- වර්කන්යායා, යුර්යා, උෂුර්, ඇලෙස්ක්, කොස්ට්‍රෝමා, යොකාර් ඔලා, ආදි ප්‍රදේශ වල.....
මේ ප්‍රදේශ වල සිට පෘතුවියේ උත්තර කෝණික වක්‍රතාවය ( Northern Curvature of Earth ) ඔස්සේ ඇමරිකානු ගුවන් සීමාවට කිලෝමීටර් 5,500 ක් වගෙ තමයි වැඩි පුරම තිබුණේ.....බොහෝ විට 1962 වනවිට සෝවියට් සංගමය සතුව පැවතියේ ආර් - 7, ආර් - 8, ආර් - 16 කියන අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල්....ඔයින් ආර් - 16 සතු ඉලක්ක පථය තිබුණේ උත්තර ධ්‍රැවයට ඉහළින්... මෙගාටොන් 6-8 පිපුරුම් විශාලත්වයක් සහිත තාප-න්‍යෂ්ඨික යුද ශීර්ෂයක් රැගෙන එක්සත් ජනපදයේ නගරයකට ගෙන යෑම තමයි එයට පැවරී තිබුනේ.....ඒ වගේම රුසියානු ගුවන් හමුදාව සතු උපක්‍රමික බෝම්බ හාරක ( Strategic Bomber Command ) සේනාංකයේ දිගු දුර බෝම්බ හෙළන ගුවන් යානා අතර 1962 වසර වනවිට වඩාත් ප්‍රකටව තිබූ Tupolev - 16 කියන ගුවන් යානා මගින් ඇමරිකාවට න්‍යෂ්ඨික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය වුවහොත්, ඒ සඳහා පියාසැරි මාවත ( Flight Path ) තිබුණෙත් මේ කළාපය හරහා වැටිලා.....
රුසියාවේ සිට උත්තර ධ්‍රැවය දෙසින්, කැනඩාවේ මහ වළසුන්ගේ හිස් වලට ඉහළින් තමා දෙසට පියාඹා ඒමට ඉඩකඩ ඇති මරණයේ දේව දූතයන් ගැන අවබෝධයක් ඇති වුනු දා සිට ඇමරිකාව කළේ ඔය සිතියමේ කැනඩාවේ උතුරු කෙළවරේ රතු පාට රේඛාවෙන් පෙන්නුම් කරන ද්වි මාණික රේඩියෝ තරංග පරාවර්තක රේඩාර් මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවා....
මේ රේඩාර් මධ්‍යස්ථාන වලට මූලික වශයෙන් අධිවේගී අන්තර් මහාද්වීපික මිසයිල ග්‍රහණය කර ගැනීමේ හැකියාව තිබුනේ නෑ.....ඒවා 1957 වසරේ මූලික වශයෙන් පිහිටුවනු ලැබුවේ රුසියාවෙන් එල්ලවන දිගු දුර බෝම්බ ප්‍රහාරක යානා දුර තබා හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස.....ඒ ක්‍රියාවලිය සඳහා ගොඩ නගන ලද රේඩාර් පවුරට දාපු නම තමයි Distant Early Warning Line (DEWL) කියන්නෙ....
නමුත් සෝවියට් බැලස්ටික් මිසයිල වලට යා හැකි දුර වැඩි වනවිට ඇමරිකාව තේරුම් ගත්තා යම් දිනෙක වඩා බියකරු අභියෝගය එන්නේ සෝවියට් බෝම්බ ප්‍රහාරක යානා වලින් නෙමෙයි, මේ මිසයිල පද්ධති වලින් කියන එක.....ඒ අනුව 1958 - 1962 කාළය තුළ ඔවුන් මේ රේඩාර් මධ්‍යස්ථාන වලට බැලස්ටික් පියාසැරිය, පරාවක්‍රය (Trajectory) සහ වේගය ග්‍රහණය කළ හැකි ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද AN/FPS-50 නම් නවීන රේඩා පද්ධතිය සවි කරනු ලැබුවා.....ඒ විදියට සවි කළ රේඩාර් පද්ධතිය සමග මේ රේඩාර් පවුරට Ballistic Missile Early Warning System (BMEWS) කියන නම වැටුණා.....
මේ බැලිස්ටික් මිසයිල සඳහා ඇත්ත වශයෙන්ම ආරක්ෂණ ක්‍රමවේදයක් එදා තිබුණෙත් නෑ.....100% විනාශය වැළකිය හැකි සාර්ථක ක්‍රමවේදයක් අදත් නෑ.....ඒ නිසා බැලිස්ටික් මිසයිල පියාසැරියක් ග්‍රහණය කරගත් වහාම මේ රේඩාර් පද්ධති වලට කළ හැකිව තිබුණේ ඇමරිකා එක්සත් ජනපදය රජයට සහ ජනතාවට කල් තබා දැනුම් දීම පමණයි......අප කළින් සඳහන් කළ ආර් - 16 බැලිස්ටික් මිසයිල වගේ මිසයිලයක් නම්, මෙකී රේඩාර් කළාපයේ සිට ඇමරිකානු ගුවන් සීමාවට තිබුණේ විනාඩි 45 - පැය 2 ක වගේ සුළු කාළයක්.....ඇත්තටම එවැනි කෙටි වේලාවකින් කළ හැකි එකම දේ සාපේක්ෂව ආරක්ෂිත ස්ථාන කරා ජනතාවගෙන් හැකි තරම් කොටසක් යවා, පුළුවන් තරම් ජීවිත හානිය අවම කරන්න උත්සාහයක් ගැනීම පමණයි....ඊට අමතරව ඇමරිකානු ජනාධිපති වරයා, උප ජනාධිපති වරයා සහ රජයේ වගකිව යුතු රාජ්‍ය ලේකම් වරු, හමුදා ප්‍රධානීන් ආදිය න්‍යෂ්ඨික ප්‍රහාර වලින් ගැළවීම සඳහා තනන ලද විශේෂ බංකර වලට යවා, ඒවායේ සිට යුද මෙහෙයුම් ආරම්භ කිරීම තමයි කළ හැකිම එකම දෙය.....
මෙවැනි රේඩාර් මධ්‍යස්ථාන වලට උදා : පොයින්ට් ලේ, පොයින්ට් බැරෝ, බේටර් අයිලන්ඩ්, ටුකොයාක්ටුක්, නිකොල්සන් අර්ධ ද්වීපය, බර්නාඩ් හාබර් ආදිය.....

ලිපිය සයිබර වරිගෙ උණ්ඩියාගෙන්  (පසුගිය ලිපිය බලන්න පහත ඇති Label තුලින්.)

"කියුබානු මිසයිල් අර්බුදය" Cuban missile crisis part 01 - සයිබර වරිගේ උන්ඩියා


මේ දිනවල කථා බහට වැඩි වශයෙන්ම ලක්වන මියගිය කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝට ඔහුගේ විවේචකයන්ගෙන් එල්ලවන ප්‍රබලම චෝදනාවක් තමයි, තමන්ගේ නොමේරූ දේශපාලන විඥාණය සහ අවබෝධය සහිතව අත්තනෝමතිකව කටයුතු කරන්නට යෑම නිසා කියුබාව පමණක් නොව මුළු මහත් ලෝකයම, සමස්ථ මානව සංහතියම න්‍යෂ්ඨික යුද්දයක මුව දොර විටට තල්ලු කරාය කියන එක....ඒ චෝදනාව ඔහුට එරෙහිව ගොඩනැගෙන්නේ මේ කියුබානු මිසයිල අර්බුදය නැමති භයානක සිද්ධි දාමය ඒ තත්වයට ගේන්න ඔහු විසින් ගත් තීරණ තීන්දු නිසා.....
කියුබානු මිසයිල් අර්බුදය ගැන ඉගෙන ගන්න කළින් අපි මේ සිද්ධි දාමය දිගහැරෙන පසුබිම සළකා බලමු......එහිදී මූලික කරුණු කිහිපයක් ඔබට කියන්න අවශ්‍යයයි....ඔබ මේ කියන කරුණු සමහරවිට දැනටත් දන්නවා ඇති....ඒත් මතකය අලුත් කරගෙන ඉමු....අද පාඩමෙන් අපි "ශීතල යුද්දය හෙවත් නිරවි යුද්දය යනු කුමක්ද ?" කියන එක ගැන සරල අවබෝධයක් ලබාගනිමු.....

"ශීතල යුද්දය" යනු කුමක්ද?.....
1945 - 1946 කාළ සීමාව තුළ දෙවනි ලෝක සංග්‍රාමය සහ එහි පසු කම්පන සම්පූර්ණයෙන්ම නිමාවට පත් වූ පසුව, ලෝකය ආර්ථික සහ සාමාජීය දර්ශණය අතින් ද්වි-දිශානති උනා....සමාජවාදය ( සහ එහි එක් වර්ණකයක් වන කොමියුනිස්ට් වාදය ) සමාජ දර්ශණය සහ ආර්ථික දැක්ම කරගත් සෝවියට් සමාජවාදී ජනරජ එකතුව හෙවත් සෝවියට් සමූහාණ්ඩුව දෙවනි ලෝක යුද්දය තුළ හිට්ලර්ගේ ආක්‍රමණයට මුහුණ දෙන්න ගොඩ නැගූ යෝධ මිලිටරි යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරලා සුපිරි මිලිටරි බලයක් බවට පත්වුනා....දෙවනි ලෝක සංග්‍රාමය අවසන් වනවිට මිලියන 11 ක පමණ සක්‍රීය හමුදා ශක්තියක් ( එක් කෝටි දස ලක්ෂයක් පමණ සෙබළුන් ) සෝවියට් රතු හමුදාව සතුව තිබුණා.....ඒ වගේම සුප්‍රකට ටී - 34 යුද ටැංකිය ප්‍රමුඛ අති විශාල සන්නද්ධ රථ සංචිතයක් සහ ඉල්යුෂින් ප්‍රහාරක යානා ප්‍රමුඛ ගුවන් යානා සංචිතයක්, කාළ තුවක්කු 70,000 + අධික ප්‍රමාණයක් ඔවුන් නිපදවාගෙන තිබුණා.....එවකට හිටපු සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් යුද්දයෙන් පසුව මේ මිලිටරි බලය රුසියාවට යාබද රටවල් එක් අතකින් සෘජුව සෝවියට් ක්‍රමයට ඇතුළු කර ගැනීමට ( මොස්කව් පාලනය යටතේ සෝවියට් ඒකක ලෙස ) හෝ සෝවියට් සමූහාණ්ඩුවේ නිර්දේශ යටතේ පාලනය වන "අනුචාරක රාජ්‍ය" ( Satellite States ) ලෙස පවත්වා ගැනීමට යෙදුවා.....එක් අතකින් දෙවනි ලෝක සංග්‍රාමයේදී නැගෙනහිර යුරෝපය පුරා සිදුවූ දැවැන්ත විනාශය නිසා බෙහෙවින්ම බෙළහීන වෙලා, සාගතයෙන් පෙළෙමින් සිටි ඒ සමාජයන්ට, මේ යෝධ සෝවියට් මිලිටරි බලයට අභියෝග කරන්න තරම් ශක්තියක් තිබුණේ නෑ......බොහොමයක් සමාජයන් නැත්තටම නැතිවෙලා, සමාජ සංවිධානය, දේශපාලනය, සමාජ ආර්ථික විධික්‍රම මුළුමණින්ම අඩපණ වෙලා, ආරක්ෂක වශයෙන් නිරුවත් වෙලා තිබුණෙ.....පවුල් සංවිධානය පවා සමතලා වෙලා, පිරිමින් බහුතරයක් මිය ගිහින්, වැන්දඹුවන් මිලියන ගණනක්, අනාථ දරුවන් මිලියන ගණනක්, උද්ධමනය, ආහාර හිඟය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය ආදියෙන් දැඩි ලෙස බැට කමින් සිටි නැගෙනහිර යුරෝපය වසාගෙන යකඩ දැලක් එලන්නට ස්ටාලින් සමත් වුනා.....ඒ වගේම යුද්ධ සමය තුළ යුද අවි නිෂ්පාදනය සඳහා ගොඩනැගූ කම්හල් සංකීර්ණ සහ ඒවායේ නන් අයුරින් සෘජුව සහ වක්‍රව සේවය කළ මිලියන 40 ක ( කෝටි හතරක පමණ ) දැවැන්ත ශ්‍රම බළකාය සිවිල් නිෂ්පාදනය සඳහා යොදවලා කාර්මික සංකීර්ණයක් ගොඩනගන්න ස්ටාලින් සමත් වුනා.....එවකට සෝවියට් සමූහාණ්ඩුවේ ජනගහණය කෝටි 19 ක් පමණ.....එයින් කෝටි 2.5 - 3 ක් පමණ දෙවනි ලෝක යුද්දයේ සිවිල් වැසියන් ලෙස හෝ හමුදා සෙබළුන් ලෙස ජීවිතක්ෂයට පත්වුනා.....දෙවනි ලෝක සංග්‍රාමයේ පමණක් නොව සමස්ථ ලෝක ඉතිහාසයේම ප්‍රතිශතයක් ලෙස සහ සංඛ්‍යාත්මකව විශාලතම ජන සංහාරයන්ගෙන් එකකට මුහුණ දෙන්නට සෝවියට් වරුන්ට සිදුවුණා..... එසේ වුනත්, ඒ සාමූහික යුද ක්‍රියාදාමය නිසා ඔවුන්ගේ ජනගහණයෙන් 55%+ කටම කාර්මික ශඛ්‍යතාවය තිබුණා ( කුමන ආකාරයක හෝ යන්ත්‍ර සූත්‍ර හැසිරවීමේ දැනුම, ඵළපුරුද්ද ආදිය ) .. ඒ නිසා කර්මාන්ත ශාලා වල සේවය කරන්න, යටිතල පහසුකම් සඳහා ශ්‍රමය දෙන්න සූදානම් වූ, දුෂ්කර තත්වයන්ට පදම් වෙච්ච ශ්‍රම බළකායක් ඔවුන්ට යුද්දය ඉතිරි කළා....සෝවියට් සමූහාණ්ඩුව සුපිරි බලවත් රාජ්‍යයක් ලෙස නියෝජනයට පැමිණියේ ඒ අනුව.....
අනෙක් පසින් එවකට නිර්ණායකයන්ට අනුව සාපේක්ෂව ලිබරල් යැයි කිව හැකි සමාජ ක්‍රමයක්, සංස්කෘතියක් සහිතව, වෙළඳපොළ ආර්ථිකය, එහෙමත් නැත්නම් නිදහස් ආර්ථිකය ( පෞද්ගලික දේපළ අයිතිය සහිත, පෞද්ගලික ව්‍යවසායකත්වයට අනුග්‍රහය සහ මුල් තැන දෙන, ප්‍රාග්ධනයේ හිමිකම පුද්ගානුබද්ධ හෝ පුද්ගල එකතුවක් තුළින් නෛතික පුද්ගලිකත්වයක් ලෙස නිර්මාණය වන "සමාගම්" ක්‍රමවේදය අනුබද්ධ ), ධනවාදී ආර්ථික ක්‍රමය ලෙස අනුගත ක්‍රමයක් සමාජ ආර්ථික දැක්ම කරගත් ඇමරිකා එක්සත් ජනපදය, තමනුත් දෙවනි ලෝක සංග්‍රාම සමයේ ගොඩ නැගුවා වූ දැවැන්ත මිලිටරි යාන්ත්‍රණය තවත් ශක්තිමත් කරමින් ජාත්‍යන්තර බලපෑම උපරිමයෙන් පවත්වා ගත හැකි රාජ්‍යයක් හෙවත් මිලිටරි සුපිරි බලයක් බවට පත්වුනා...ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ, වර්ග කිලෝමීටර් මිලියන 9.7 ක භූමියක් සහිත, ශිෂ්ඨාචාරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය මූලික ඛණිජ වර්ග 26 ක් සිය භූමියෙන්ම හමුවන දැවැන්ත රාජ්‍යයක්.....දෙවනි ලෝක සංග්‍රාමය ආරම්භ වනවිට එරට ජනගහණය කෝටි 13 ක් පමණ.....දෙවනි ලෝක සංග්‍රාමයේදී එක් පසෙකින් යුරෝපයේ යුද පෙරමුණටත්, අනෙක් පසින් ජපානය සමග ශාන්තිකර කළාපයේ පැවති "දූපත් පිම්ම"ටත් මුහුණ දීමට ඇමරිකාවත් අති දැවැන්ත මිලිටරි යාන්ත්‍රණයක් ගොඩ නැගුවා.....1959 වසරෙදි කරන ලද ගණනය කිරීම් වලට අනුව මේ 1941 - 1945 කාළය තුළ ඇමරිකාව තම ප්‍රහාරක භාවිතය සඳහා සහ තම මිත්‍ර රාජ්‍ය වල භාවිතයට දීම සඳහා ගුවන් යානා 60,000 කට අධික ප්‍රමාණයක් නිපදවා තිබුණා.....ඒ වගේම යුද ටැංකි 25,000 ක් පමණ, නෞකා 200 කට ආසන්න ප්‍රමාණයකින් යුත් නාවික බළයක්, සහ මිලියන 5 ක් පමණ වන සොල්දාදුවන් සහිත හමුදා ශක්තියක් ඔවුන් ගොඩ නංවා තිබුණා........ආර්ථික වශයෙන් ඔවුන්ට සුපිරි බලයක් වෙන්න අවශ්‍ය පදනම දෙවනි ලෝක යුද්දයට දශක තුනකට පමණ පෙර සිට නිර්මාණය වෙමින් තිබුණෙ.....
සෝවියට් සමූහාණ්ඩුව කියන්නෙ සම්පත් අනූන දැවැන්ත රාජ්‍යයක්....වර්ග කිලෝමීටර් මිලියන 14 ක පමණ භූමි භාගයක් තුළ, ශිෂ්ඨාචාරය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය ඛණිජ වර්ග 31 ක් තිබුණු යෝධ රාජ්‍යයක්.....ශක්තිමත් රාජ්‍ය පාලනයක් සමග ඔවුන් ඒ සම්පත් වලින් ප්‍රයෝජනයට ගනිමින් සමාජවාදී ලෝකයේ ප්‍රමුඛ රාජ්‍යය බවට පත්වෙන්න කටයුතු කළා..... ( පසු කළෙක වෙනත් සමාජවාදී දාර්ශණික විභේදනයන්ට අනුකූල බළ ධ්‍රැවයන් සෝවියට් ක්‍රමයෙන් ස්වාධීන ගමනක් යන්නත් උත්සාහ කළා ).... ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ පොළ ආර්ථිකය සහ සාපේක්ෂව නිදහස් චර්යාවන් නියෝජනය කරන රාජ්‍යයන් අතුරින් ප්‍රමුඛතම බල ධ්‍රැවය බවට පත්වුනා.... මේ බළ ධ්‍රැවයන් දෙක ඔවුනොවුන්ට සතුරු, එකකට අනෙක "අනෙකා" බවට පත්වන, ක්‍රමවේදයන් නියෝජනය කළ නිසා, ඔවුන් අතර එක ධ්‍රැවයක්, අනෙක අබිබවා සමස්ථ ලෝකයේම ආධිපත්‍යය ලබාගන්න විශාල තරඟයක් නිර්මාණය වුනා.....මේ තරඟය
- එකිනෙකට අසමසම වන ලෙස මිලිටරි බලය ගොඩනැගීමේ තරඟයක් ලෙස
- තාක්ෂණ තන්ත්‍රය ගොඩනැගීමේ තරඟයක් ලෙස
- ජන ජීවිතයේ ගුණාත්මක බව සහ පහසුකම් ආදිය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවන රටාව, ආයු අපේක්ෂාව, ළදරු මරණ අනුපාතිකය, ක්‍රීඩාව ආදී ජීවන මට්ටම මනින දර්ශක අතින් තමන්ගේ ක්‍රමය වඩා උසස් බව පෙන්වා ගැනීමේ තරඟයක් ලෙස
- අභ්‍යවකාශය ජය ගැනීමේ තරඟයක් ලෙස
- වෙනත් රාජ්‍යයන් සහ විශේෂයෙන්ම ඒ ඒ කළාප වල උපක්‍රමික වටිනාකමක් ඇති රාජ්‍ය වල පාලන ක්‍රමයන් ( ජන රජයන්, රාජාණ්ඩු, සමූහාණ්ඩු ) තම තමන්ගේ බළ ධ්‍රැවයට අවනත ලෙස නම්මාගෙන, ඒ ඒ කළාපීය වශයෙන් භූ දේශපාලනික වාසි ලබා ගැනීමේ තරඟයක් ලෙස
පැවතියා......

මේ තරඟයට පෙර සෝවියට් සංගමය ඇමරිකාව ප්‍රමුඛ අනෙක් රාජ්‍යයන් සමග යුරෝපයේ හිට්ලර්ට එරෙහි "මිත්‍ර පාක්ෂිකයන්" ලෙස සිටියා උනත්, මෙවැනි තරඟයක මූලික තරඟ අවස්ථා 1947 - 1949 වගේ කාළයකදී ඇරඹුණේ මූලික වශයෙන් පශ්චාත් යුද සමයේ යුරෝපයේ ආධිපත්‍යය ලබා ගන්නේ කවුරුන්ද, යුද්දයෙන් බිඳුණු, සිදුරුවුණු යුරෝපාකරය අවනත විය යුත්තේ කාගේ දැක්මටද යන ගැටළුව නිසා.....එතනින් ඇරඹුණු මේ තරඟය 1989 - 1991 කාළය තෙක් පැවතියා.....
මේ ශීතල යුද්දයේ ආරම්භක සමය වනවිට, සුපිරි බලයක් මෝදු කරමින් සිටි සෝවියට් සමූහාණ්ඩුවේ ආර්ථික ශක්තිය සැකෙවින් සැළකුවොත් -
කෘෂි ආර්ථිකය පැත්තෙන්
වාර්ෂිකව ඉරිඟු ටොන් මිලියන 90 ක් පමණ නිෂ්පාදනය කළා....
පශු සම්පත සංඛ්‍යාත්මකව මිලියන 70 ක් පමණ සිටියා...
දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 1950 පමණ වනවිට 4.5 ට පමණ ගෙන එන්නට ඔවුන් සමත් වුනා...
කාර්මික නිෂ්පාදනය පැත්තෙන්
සිවිල් ආර්ථිකයට සම්බන්ධ කාර්මික නිෂ්පාදනය 218% කින් 1955 වනවිට ඉහළ දැම්මා...
1955 පමණ වන විට සෝවියට් ආර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 650 ක් පමණ වුනා....( මේ කාළයේ ඩොලරයට රූබල් අනුපාතය 65:1 ) ... නමුත් ආර්ථික ගණනයට සම්බන්ධ නොකළ නිෂ්පාදනය සුවිශාලයි....සෝවියට් සංගමයේ දළ ජාතික නිෂ්පාදනය නිවැරදිව ගණනය කරන්න අපහසුයි ඔවුන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා.....
ඇමරිකා එක්සත් ජනපදය සතුව මේ ශීතල යුද්දයේ මූළික වකවානුව තුළ පැවති ආර්ථික ශක්තිය සැකෙවින් සැළකුවොත් -
දළ ජාතික නිෂ්පාදිතය 1950 දශකයේ මුල් භාගය වනවිට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක් පමණ වුනා.....මෙය එවකට ලෝකයේ පැවති කිසිදු තරඟයකින් තොර විශාලතම ආර්ථිකය.....
කෘෂි කාර්මික නිෂ්පාදනය ඉරිඟු නිෂ්පාදනයට කේන්ද්‍ර කළොත් වාර්ෂිකව ටොන් මිලියන 115 ක් පමණ නිෂ්පාදනය වුනා....
කාර්මික නිෂ්පාදනය 1940 - 1960 කාළය තුළ 440% කින් වැඩි වුනා.....
මේ බළ ධ්‍රැවයන් දෙකකින් ( ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී බටහිර, සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී ලෝකය ) ලෝකයේ දේශපාලනික බළය තුළනය ( Balance of Power) කිරීමට අපි කියනවා ඉංග්‍රීසියෙන් Bipolar World කියලා.....අද ලෝකය දේශපාලනික බළය හසුරුවන්නෙ තනි සුපිරි බලවතෙක් විසින්....ඒ ඇමරිකාව ( Unipolar World ) ....එදා බළ ධ්‍රැවයන් දෙකක් තිබුණා.....මේ බළ ධ්‍රැවයන් දෙක අතර පැවති ඉහත මම සඳහන් කරපු තරඟයත් එක්තරා විදියකට පෙරමුණු ගණනාවක සිදුවුනු යුද්දයක්.....ඒක ආයුද සන්නද්ධ බළ කඳවුරු දෙකක් සෘජුව ගැටුණු යුද්දයක් නොවන නිසා ඒකට "නිරවි යුද්දය" හෙවත් "ශීතල යුද්දය" (Cold War) කියලා කියනවා.....
මෙලොව රාජ්‍යයන් 100 කට අධික සංඛ්‍යාවක් සෘජුවම කේන්ද්‍රය දෙසට ඈඳා ගත් බරපතළ, ත්‍රාසජනක ක්‍රියා දාම මාලාවක් තමයි මේ ශීතල යුද්දය කියන්නෙ.....එහිදී මේ සුපිරි බළවතුන් දෙන්නා ඔවුනොවුන් සමග සෘජුව ගැටුණේ නෑ....ඒ වෙනුවට ඔවුන් කළේ අර ඉහත කී අනුචාරක රාජ්‍යයන් වල සන්නද්ධ ක්‍රියාදාමයන්ට දෙපැත්තෙන් ඉඳගෙන ආධාර කරපු එක ( Proxy Wars / Proxy Conflicts / Proxy Crisis ).....එහිදී ඇතැම් විටෙක ඒ ඒ රාජ්‍යයන් වල යුද වැදී සිටින පාර්ශවයන්ගේ ජයග්‍රහණය සහ පරාජය අනුව වාසිය ඇමරිකාව දෙසටත්, ඇතැම් විටෙක වාසිය සෝවියට් සමූහාණ්ඩුව දෙසටත් දෝලනය වුනා.....මේ වගේ Proxy Wars වලට උදාහරණ තමයි, වියට්නාමයේ සිවිල් යුද්දය, කොරියාවේ සිවිල් යුද්දය, ( මේ දෙක තමයි 20 වැනි සියවසේ වලට ප්‍රසිද්ධම උදාහරණ දෙක ) ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක්‍රමණය සහ එයට එරෙහිව ස්වදේශිකයන්ට ඇමරිකානු උපකාර ලැබීම, ඉන්දියානු උප මහාද්වීපය තුළ ඉන්දු - පාකිස්ථාන ගැටුම් වලදි, ඉන්දු - පාකිස්ථාන බළ තුලනයෙදි, 1971 වසරේ බංග්ලාදේශය බිහිවීම සහ ඒ ආශ්‍රිතව කෙරුණු ඉතිහාසයේ දරුණුම ඉන්දු - පාකිස්ථාන යුද්දයෙදි මේ බළවතුන් දෙපසට උපකාර කිරීම, ග්‍රීක සිවිල් අරගලය, ඉන්දුනීසියාව නිදහස ලබා ගැනීමේ සහ එයින් පසුව රාජ්‍ය පාලනය උදෙසා සිදුවූ අරගලය, අරාබි රාජ්‍ය, පලස්තීනය සමග බැල්ෆර් ප්‍රඥප්තිය මගින් පිහිටුවන ලද යුදෙව් ජනාවාස වලින් උපත ලද ඊශ්‍රායලය ගැටුණු අවස්ථා, චීන - තායිවාන් අර්බුදය, ඉරානයේ ෂා රජු නෙරපා හැර අයතොල්ලා වරුන් බලයට ආ ඉස්ලාමික විප්ලවය, ඔගඩන් අර්බුදය, ලතින් ඇමරිකාවේ සමාජවාදීන් සහ රජයන් අතර ඇතිවූ සිවිල් යුද තත්වයන්......මෙවැනි බොහොමයක් තව තියෙනවා.....
ඒ වගේම භූ දේශපාලනික ආධිපත්‍ය සහ උපක්‍රමික වාසිය වෙනුවෙන් යුද්දයක් දක්වා නොගියා උනත්, භයානක ඵල විපාක සහිත විය හැකි වූ කඹ ඇදීම්, චෙස් ක්‍රීඩාවක ඉත්තන් ඇදීම බඳු සිද්ධි රාශියක් මේ යුගයෙදි සිදුවුනා. මේ දේශපාලනික කඹ ඇදීම් වලින් එකක් තමයි 1959 - 1960 කාළය තුළ සමාජවාදී පාලනයක් ස්ථාපනය වූ කියුබාවේ 1962 වසරෙදි සිදුවුනු කියුබානු මිසයිල අර්බුද කාරී තත්වය.....ඒකෙ තියෙන විශේෂත්වය තමයි, ඒක පත්තු උනා නම් සමස්ථ මානව සංහතියම විනාශය කරා යෑම....
සෝවියට් කඳවුර සහ ඇමරිකානු නායකත්වයෙන් යුත් බටහිර කඳවුර එකිනෙකා සමග සෘජුව යුද්දයකට තල්ලු වී යා හැකිව තිබුණු ප්‍රථම අවස්ථාව තමයි 1948 - 1949 Berlin Blockade යනුවෙන් හඳුන්වනු ලබන අවස්ථාව.....ඒ අවස්ථාවේදි බර්ලිනයේ බටහිර බලවතුන්ගේ පාලනය යටතේ පැවති කොට්ඨාශයන්ට සැපයුම් ගෙනයන පිවිසුම් මාර්ග නැගෙනහිර ජර්මනියේ ආධිපත්‍ය තහවුරු කරගත් සෝවියට් වරුන් විසින් අවුරාගෙන සිටිද්දි ( Berlin Blockade ), බටහිර බලවතුන් මෙතෙක් ලෝක ඉතිහාසයේ දුටු දැවැන්තම ගුවන් ප්‍රවාහන ක්‍රියාදාමයක් ( Berlin Airlift) දියත් කරමින් වසරක පමණ කාළයක් බටහිර බර්ලිනයට සැපයුම් ලබාදී සෘජු යුදමය තත්වයකට යෑමෙන් වැළකී සිටියා......ඒක මම කියන්නෙ ඔබේ දැනුමට.....ඒක අපි පසුවට විස්තර කරමු.....
මේ කියුබානු මිසයිල අර්බුදයේ භයානක කම සහ සිදුවන්නට ගිය විනාශය නිසි අයුරින් ඔබට වටහා ගැනීමට නම්, මේ සුපිරි බළවතුන් දෙදෙනා අතර න්‍යෂ්ඨික යුද ශීර්ෂ සහ ඒවායේ පරිවාහක මාධ්‍ය ( දිගු දුර බෝම්බ හෙළන යානා, අන්තර් මහාද්වීපික බැළස්ටික් මිසයිල, මධ්‍ය දුර සහ කෙටි දුර බැළස්ටික් මිසයිල, සංග්‍රාම භූමි න්‍යෂ්ඨික යුද ශීර්ෂ, හයිඩ්‍රජන් සහ ලිතියම් විලයනයෙන් නිපදවා ගත් දැවැන්ත න්‍යෂ්ඨික යුද ශීර්ෂ ) ආදිය සහ 1962 වසර වනවිට මේ සුපිරි බලවතුන් දෙදෙනා ඒවායේ තොග ( Stockpiles ) ගොඩ නගාගෙන සිටි ආකාරය ගැන පැහැදිලි කළ යුතුයි..... අපි මීළඟ කොටසෙන් බලමු අත්ලාන්තික් සහ ශාන්තිකර සාගර දෙපස විකිරණ ශිශිරයට ( Radioactive Winter / Nuclear Winter ) අධිපති මරණයේ පක්ෂීන් කොහොමද ස්ථාන ගතවෙලා හිටියේ කියන එක......
මේ සඳහා ඔබ විසින් කළ යුතු ගෙදර වැඩ තුනක් තියෙනවා.....
ඊළඟ පාඩම පටන් ගන්න කළින් ඔබ
- තුර්කියේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ පිහිටීම සහිත සිතියමක් අධ්‍යයනය කරළ තියාගන්න
- කියුබාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටීම සහිත සිතියමක් අධ්‍යයනය කරළ තියාගන්න....
- ලෝක "ගෝලය" ගෝලාකාරව ගත් විට ( පැතලි සිතියම නෙමෙයි ) සෝවියට් දේශයේ, උත්තර ධ්‍රැවයේ, කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටීම අධ්‍යයනය කරල තියාගන්න....Distant Early Warning Line ( DEWL) කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරනකොට මෙන්න මේ පිහිටීම ගැන ඔබට තිබෙන අවබෝධය අතිශයින් වැදගත් වෙනවා.....ඒක නැතුව සෝවියට් සංගමය කියුබාවේ කරන්න ගිය භයානක පරීක්ෂණයේ අරමුණු තේරුම් ගන්න බෑ.......

ලිපිය 

සයිබර වරිගෙ උණ්ඩියා

Image result for cuban missile crisis pictures