Showing posts with label චරිත කතා. Show all posts
Showing posts with label චරිත කතා. Show all posts

Tuesday, June 20, 2017

ලෝකය න්‍යෂ්ටික යුද්ධයකින් බේරාගත් විරුවෙක්...

ඒ 1983 සැප්තැම්බරයේ 26 දායි.
සෝවියට් රුසියාව, ෂකාලීන් දූපත් ආසන්නයේදී, 269 ක් සහිත කොරියානු ගුවන් යානයක් , මිසයිලයකින් බිම හෙලා, සති තුනක් ගතවූවා පමණි.

රුසියානු "ඇස" නම්වූ, න්‍යෂ්ටික ප්‍රහාර, පෙර දැනුම් පාළන මැදිරියේ , ප්‍රධාන රාජකාරී නිළදරයා වූ, ස්ටැනිස්ලාවු යෙවුග්‍රෆොවිච් පෙට්‍රොව්ගේ උකුසු දෑසට දිස්වූයේ, පාළන පුවරුවෙන් නිකුත් වන්නාවූ භයානකම සංඥාවයි.

ඒ ඔවුන්ගේ පස මිතුරා වන ඇමරිකාව, ඔවුන්ගේ මිසයිලයක්, රුසියාව ඉලක්ක කොට ගුවන්ගතකර තිබෙන බවයි. ඊට ස්වල්ප වේලාවකට පසු තවත් මිසයිල පහක් එලෙසම ගුවන් ගත කර ඇති බව දනවන සංඥා ඔහුගේ දෑසට දිස්වින.

එහෙත්, ඔහු, ඔහුට නියමිත වූ රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් , ඔහුට ඒත්තු යන ලද, යම් සාධක අනුව, එම සංඥා වැරදි ගණයේ ඒවා බව තීරණය කරන ලදී.
එසේ නොවී , ඔහු එම සංඥා සහතික ලෙසම න්‍යෂ්ටික ප්‍රහාරයක් යැයි, ඔහුගේ ඉහළ බලධාරින්ට දැන්වූවා නම්, එවකට ඉතාමත්ම පහළ මට්ටමක තිබූ රුසියා-ඇමරිකා සබඳතා අනුව , විනාඩි දෙකකට අඩු කාලයක් තුලදී, රුසියානු බලධාරීන්ගෙන් න්‍යෂ්ටික ප්‍රහාරයකට අනුමැතිය ලැබීමට ඉඩ තිබුනු බව පසුව පැවති පරීක්ෂණ වලින් හෙලිවිය.
එසේ සිදුවූයේ නම් , මේ පෘථිවි තලය, වර්තමානයේ, මේ තත්වයේ නොපවතිනු ඇති බව නිසැකය.
මේ අසමසම තීරණයට,( තම ජීවිතය පවා අහිමිවිය හැකිව තිබූ), ලෝකයේ බොහෝ දෙනෙක් නොදත්, මේ වීර , අධිෂ්ඨානශීලී මිනිසා එළඹියේ කෙසේද?
පශ්චාත් පරීක්ෂනවලදී ඔහු ඒ තීරනයට එළඹියේ ඇයිදැයි හේතු සහගතව පැහැදිලි කලේය.
1. ඔවුනට දන්වා ඇති පරිදි, සිදුවන්නාවූ ඇමරිකානු ආක්‍රමණයක් , පළමුවෙන්ම උපරිම හානියක් කිරීමේ ඇවැසි කම නිසා, පූර්ණ ආක්‍රමණයක් මිස මිස මිසයිල් 5 ක් වැනි අසම්පූර්ණ ආක්‍රමනයක් නොව්ය හැකි වීම.
2.විනාඩි ගණනකට පසුව වුවද, භූගත රේඩාර් මධ්‍යස්ථාන වලින් එය වාර්තා නොවීම,
3.පාළන මැදිරි පද්ධතිය, ස්ථාපිත කරන ලද්දේ ඉතාමත්ම මෑත කාළයකදී නිසා, එහි නිරවධ්‍යතාවය ගැන, ඔහුට විශ්වාසයක් නොතිබීම.
කෙසේ උවද, 2013දී (එවිට ඔහු විශ්‍රාමිකයෙකි) පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුනේ, ඔහුට එම සංඥා, වැරදි සංඥා බව 100% ක් ඒත්තු නොගිය බවය.
එහෙත් තමා සතුව තිබූ සිවිල් පුරවැසි පුහුනුව, නිවැරැදි තීරණය ගැනීමට තමාව පෙලඹවූ බව ඔහු ප්‍රකාශ කරන ලද්දේය.
ඔහුගේ ‍රාජකාරි සමකාලීනයන් , සියල්ලෝම හමුදා පුහුනුව ලැබූ වෘත්තීමය සොල්දාදුවන් වන අතර ඔවුන් කවුරුන් හෝ ඒ අවස්ථාවේදී පාලන මැදිරියේ සේවයේ යෙදී සිටියේ නම්, නිසැකවම ඒ පණිවිඩය ඉහලට යනු ඇති බව ඔහු ප්‍රකාශ කරන ලදී.
ඊළඟ වැදගත්ම ප්‍රශ්ණය වූවේ, මේ සංඥා ජනනය වූයේ කෙසේද යන්නයි.
ඒ අරභයා කළ පරීක්ෂන වලදී හෙලිවූ කරුණු මෙසේ විය.
1. ඇඑජනපදයේ, උතුරු ඩැකෝටාවේ ( මිසයිල ස්ථානගත කර ඇති ප්‍රදේශය) ඉහළ අහසේ වළාකුලු මතට සහ මොල්නියා කක්ෂයන්හි (Molniya Orbit) ගමන් කරන චන්ද්‍රිකා මතටද, ඉතා විරළගනයේ ආනතියකින් (alignment) හිරුරැස් පතිත වීම නිසා මෙම සංඥා ජනනය වූ බවයි.
පසුව, රුසියානුවන්, මෙම වැරදි සංඥා නිපදවීමට හේතුවූ දෝෂ දත්තයන්, පෘථිවියට සාපේක්ෂව එක් ස්ථානයක තිබෙන්නාවූ (Geostationary) චන්ද්‍රිකා ආධාරයෙන් නිවැරැදි කරගනු ලැබීය.
මේ සිදුවීම නිසා පෙට්‍රොව් ඉතා දැඩි ප්‍රශ්න කිරීම් වලට ලක්වූයේය. ප්‍රථමයෙන්ම ඔහුව අගය කිරීමට ලක්විය.
එහෙත් පසුව උසස්වීමක් හෝ වෙනයම් ඇගයීමක් නො
බලධාරීන්ගේ නිගමනය වූයේ, පෙට්‍රොව් අගය කිරීම යනූ, මිසයිල හඳුනා ගැනීමේ පද්ධතියේ වැරදි පිළිගැනීමකට සමානවන බවයි.
එසේ වුව හොත්, ඒ පාළන පද්ධතියේ නිර්මාපකයින් වන බලගතු, බලපෑම් කලහැකි ව්ද්‍යාඥයන් රැසකට හා ඔහුගේ ප්‍රධානීන්ට දඬුවම් කලයුතු වීමයි.
මේ සිදුවීම නිසා පෙට්‍රොව්ට ලැබුනේ, ඔහු සේවය කළ ස්ථානය තරම් වැදගත් නොවන රාජකාරි ස්ථානයකට මාරුවක් පමණි.
වීය.
ඉන් පසු අප කථානායකයා , නියමිත කාළයට පෙර රැකියාවෙන් විශ්‍රාම යන ලදී.
මෙම ඇදහිය නොහැකි සිදුවීම 1990'දී ලෝකයාට නිරාවරණය වූයේ, එවකට රුසියානු ගුවන් ආරක්ෂක සේවාවේ, මිසයිල් ආරක්ෂණ පද්ධතියේ අණදෙන්නාවූ ,ජෙනරල් යූරි වොටින්ට්සෙව් (Yuri Votintsev) ඔහුගේ මතකසටහන් ප්‍රසිද්ධියට පත්කිරීමත් සමගය.
කෙසේ වුවද, ලෝකයේ වෙනත් රටවල් ඔහුගේ මේ අසමසමවූ ක්‍රියාව, අගැයීමට පසුබට නොවන ලදී.
2004 දී අමරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ නගරයෙන් ලෝක වාසී සම්මානයද,
2006 දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ , ලෝකවාසී සමුහය විසින් ලෝකයේ පුරවැසියා සම්මානයෙන්ද,
2011 ජර්මනියේ බේඩන් බේඩන් නගරයේදී ජර්මන් මාධ්‍ය සම්මානයෙන්ද,
2013 දී , ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරයේදී ඩ්‍රෙස්ඩන් තෑග්ග නම්වූ සම්මානයෙන්ද
ඔහුගේ මේ වීර ක්‍රියාව පැසසුමට ලක්කරන ලදී.
2014 දී, මේ සිදුවීම අළලා,
The man who saved the world
නම්වූ සිනමාපටියක්ද නිෂ්පාදනය විය
අප අද මෙලෙස සිටින්නේ, ස්ටැනිස්ලාවු යෙවුග්‍රෆොවිච් පෙට්‍රොව් නම්වූ අසාමාන්‍ය මිනිසාගේ , ඒ අසමසම තීරණය නිසා නොවේදැයි කාට කිව හැකිද.....???

ලිපිය 
Upali Karunathilaka‎

Saturday, April 8, 2017

වසර 27 ට පෙර අද වැනි දවසක ගැරහීම් සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩිත AIDS ආසාදිත සිසුවා රයන් වයිට් , මෙලොව හැර පියා නික්මුණේය.


රයන් වයිට්
1971 වසරේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ උපත ලද රයන් වයිට් AIDS ආසාදිතයෙකු බව අනාවරණය වන්නේ 1984 වසරේ දී එනම් ඔහු දහ තුන් හැවිරිදිව සිටින විටය. ඔහු උපතින්ම හිමෝෆීලියා A ( Hemophilia A) රෝගියෙක් වූ අතර රුධිරය කැටි නොගැසෙන බැවින් සුළු තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ගලාගොස් මරණයට පත් වීමේ අවදානමක් ඇත. රයන් වෙත වරින් වර රුධිරය පාරවිලනය කිරීමට සිදුවන්නේ එබැවිනි. උග්‍ර නිව්මෝනියාව හේතුවෙන් රෝහල්ගත කර සිටියදී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට AIDS ශරීරගත ව ඇති බව සොයා ගැනුණු අතර එයට හේතු වී තිබුණේ අසාදිත රුධිර පාරවිලයනයකි. මාස හයක කාලයක් රෝගාතුරව සහ විවේකගත ව සිටි රයන් වයිට් යළිත් තම පාසල වූ Western Middle School වෙත යන්නට තීරණය කරන විට ඔහු දහ හතර හැවිරිදි ය. නමුත් ලෝකය රයන් සහ ඔහුගේ මව සිතනවාට වඩා සංකීර්ණය.
එහි ඇති වන්නේ පාසල් පද්ධතියක් සහ දහ හතර හැවිරිදි රෝගී දරුවෙකුගේ හිමිකමක් සම්බන්ධ ද්වන්ධ යුද්ධයකි. 1985 ජූනි මස 30 වැනිදා රයන් ගේ පාසල අයත් Western School Corporation හි අධ්‍යක්ෂවරයා ඔහුට පාසලට ඇතුළුවීම තහනම් කරන අතර එය ඔහුගේ තනි තීරණයක් නොවීය. පාසලේ සිසුන් 360 දෙනාගෙන් 117 දෙනෙක්ගේ භාරකරුවන් සහ ගුරු මණ්ඩලයේ 50 දෙනෙක් ගේ අත්සනින් යුතුව රයන්ට එරෙහි පෙත්සමක් ලැබී තිබිණ. රයන්ගේ දෙමාපියන් සහ පුවත්පත්

ඔහු වෙනුවෙන් සටන් වැදුණහ. අගෝස්තු 26 පාසල් වාරය ඇරඹුණු විට රයන්ට පාසලට පැමිණ දුරකතනය හරහා ඉගැන්වීම් වලට සවන් දෙන්නට පාසල යෝජනා කළහ. නමුත් ඔක්තෝබර් 02 වැනිදා ඔවුන් තීරණය කරන්නේ රයන් පාසල් නොආ යුතු බවයි. ඉන්දියානා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව රයන් ව ඇතුළත් කරන්නට නියෝග කරන අතර එම නියෝගය ට එරෙහිව අභියාචනාවක් ගෙන ඒමට පාසල් බළධාරීන්ගේ කමිටුව 7-0 ක් ලෙස ඒකමතිකව තීරණය කළහ. 1986 පෙබරවාරි 06 වැනිදා එම අභියාචනයේ දී නිර්දේශ වන්නේ රයන්ගේ පාසල් ගමන පිළිබඳ තීරණය හොවාර්ඩ් නගර සෞඛ්‍ය නිළධාරියාගේ සෝදිසියකට යටත්ව සිදු විය යුතු බවයි. පෙබරවාරි 13 වැනිදා අදාල නිළධාරියා විසින් රයන් වයිට් පාසල් ගමනට යෝග්‍ය යැයි තහවුරු කළේය. ඒ සමගම පෙබරවාරි 21 වැනිදා පාසල මගින් හොවාර්ඩ් නාගරික අධිකරණය වෙත ඉල්ලුම් කෙරෙන රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය ඉවත දැමිණ. පෙබරවාරි 21 වැනිදා රයන් වයිට් පාසල් යන විට සිසුන් 360 අතරින් 151 දෙනෙක්ම නිවසේ රඳවා ගන්නට දෙමාපියන් උත්සුක වූහ. එදිනම සවස් වරුව වන විට වෙනත් අධිකරණයක් මගින් රයන් වයිට් ට එරෙහිව වාරණයක් පනවා තිබිණ. රයන් වයිට් ට තහනම් වූ පාසලේ ක්‍රීඩාගාරය තුළ මාර්තු 02 වැනිදා වෙන්දේසියක් පවත්වන්නට යෙදිණ. ඒ වයිට් පාසලට ඒම වළක්වාලීමේ ඉදිරි නීති කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීමට ය. නමුත් අප්‍රේල් 10 වැනිදා නැවතත් මාණ්ඩලික අධිකරණය මගින් රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය නිෂ්ප්‍රභා කළ අතර ජූලි 18 වැනි දා ඉන්දියානාපොලිස් අභියාචනාධිකරණය මේ සම්බන්ධව කිසිදු අභියාචනයක් මින් ඉදිරියට භාර නොගන්නා බවට තීන්දුවක් ලබා දෙයි.
ඒ වනවිට රයන් වයිට් ලොව පුරා ප්‍රචලිත වී අවසන් ය. මාස පහක් පමණක් ජීවිත් වේ යැයි අනාවැකි තැබූ මේ දහ හතර හැවිරිදි සිසුවා 1987 දී තමා ප්‍රතික්ෂේප කරන පාසලෙන් සමුගනී. ඔහුටම වෙන් කළ වැසිකිළි ,පාවිච්චියෙන් පසු ඉවතලන හැඳි ගෑරුප්පු භාවිතයට අණ කිරීම සහ ක්‍රීඩාගාරය භාවිතයට ඉඩ නොලැබීම වැනි දෑ නිසා රයන්ගේ පීඩනය වටහා ගන්නා දෙමාපියන් වෙනත් නගරයකට පදිංචියට යති. ඔහුව මානුෂිකව සහ ආදරයෙන් පිළි ගන්නා Hamilton Heights High School පාසලේ 1987 සිට සතුටින් අධ්‍යාපනය ලබන රයන් 1990 අප්‍රේල් 08 වැනිදා ඔහු මෙලොවින් සමුගන්නේ පාසල් උපාධි ප්‍රදානයට මාසයක් තිබියදී ය.
මයිකල් ජැක්සන් සමග
HIV පිළිබඳ දැනුවත්කම මද එම යුගයේ රයන් තමා නොකළ වරදකට ලද දඬුවම් අතිශය වේදනාසහගත ය. පුවත්පත් බෙදාහැරීමේ අර්ධකාලීන රැකියාව ඔහුට අහිමි වන්නේ රයන්ගේ බෙදාහැරීම් කලාපයේ නිවැසියන් එම සේවය අනවශ්‍ය බව දන්වා තිබූ නිසාය. AIDS වැළඳෙන්නේ සමලිංගික හැසිරීම නිසාම යැයි සිතූ සමාජයක මේ දහ හතර හැවිරිදි දරුවාගේ මුහුණටම " උඹ සමකාමියෙක් බව අපි දන්නවා" යි පවසා අපහාස කිරීමට තරම් අසල්වාසීන් නිර්දය සහ සාහසික වූහ. ආසාධිත රුධිර පාරවිලයනය හරහා ද HIV ආසාදනය විය හැකි බවත් එය ස්පර්ශයෙන් බෝ නොවන්නැකැයි ලොවට පැවසීමට රයන් ඉදිරිපත් වන්නේ මේ අමිහිරි මතකයන්ගෙන් ඉරි තැළුණු ළමා සිතක වේදනාවෙනි.
1990 මාර්තු 20 වැනිදා මේ කතාවේ කෙළවර පැමිණෙන බවට පෙරමං සලකුණු පහළ වේ. ඉන්දියානා පොලිස්හි ළමා රෝහලකට ඇතුළු කරන රයන් සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතිණ. ඒ වන විටත් ලෝකයේම ආදරයට පාත්‍ර වී සිටි රයන් බැලීමට එල්ටන් ජෝන් සහ බොහෝ කලාකරුවන් පැමිණි අතර මයිකල් ජැක්සන් පවා ඔහු හමුවීමට එයට පෙර පැමිණ තිබිණ. රෝහල ඉතිරී පැතිර යන මට්ටමට සෙනඟ පැමිණෙයේ නොකළ වරදකට වන්දි ගෙවූ , නමුත් ජීවිතය අත් නොහර සටන් කළ මේ ළමා විරුවා හට සුබ පතන්නට ය. තමා ඔහුට ආදරය කළ බවත් මතුවටත් ආදරය කරන බවත් පවසන්නට ය. ආදරය සහ වේදනාව මැද 1990 අප්‍රේල් 08 ගත වන්නට ඉඩ නොදෙන රයන් වයිට් වසර දහ අටක් තුළ විඳි දුක්ඛ දෝමනස්සයන් හැර පියා සදාකාලික සැනසුමට පත් විය. ඔහුගේ අවමංගල්‍යය උළෙලට පැමිණි පිරිස තර මයිකල් ජැක්සන් , ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ද විය. එල්ටන් ජෝන් රයන් වෙනුවෙන් Skyline Pigeon ගීතය ගැයුවේය.
අවසන් නින්ද..
ඔබගේ දෑතින් මිදෙන්නට කාලයයි
ඉඩ දෙන්න මට - දුර ඈත ඉසව්වකට පියාපත් සලන්නට
නිල් තණ පලස මත , තුරුගොමු ශිඛර මැද
 පිපි කුසුම් ,වනස්පති දිය කඳුරු එහා කොණ
 අහස් ගං මාවත් තැනුණු - ම නිවස්නය වෙතට
Western Middle School වෙතින් කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විදුහලත් - ගනේමුල්ල කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයත් දකිමි. Hamilton Heights High School පාසල වෙතින් ත්‍රිත්ව විද්‍යාලය දකිමි. රයන් වයිට් , ඔබ වෙතින් අප අත්හැරෙන සහ අත්හරිනා ජීවිතය දකිමි.

Wednesday, November 30, 2016

රෝසා පාර්ක් (rosa parks) - සහන් කසිර වික්‍රමසිංහ


වසර හැට එකකට පෙර අද වැනි දවසක නම් වූ කළු ජාතික කාන්තාව , බස් රථයේ තම අසුන සුදු ජාතිකයෙක් වෙත පිරි නැමීම ප්‍රතික්ෂේප කර සිරගත වූවාය. සුදු ආධිපත්‍යයට නොබියව අභියෝග කළ රෝසා පාර්ක්ව සිරගත කිරීම ඉතිහාසගත වන්නේ ඇමරිකානු වර්ණභේදය මුලිනුපුටා දැමීමේ පළමු වෙඩි මුරය ලෙසිනි.
1955 දෙසැම්බර් මස 1 වැනි දා රෝසා පාර්ක් ගමන් ගත් බස් රථයේ , කළු ජාතික - සුදු ජාතික ආසන පිරී පවතිද්දී අමතර සුදු ජාතිකයින් කීපදෙනෙක් බස් රථයට ගොඩ වැදිණ. සුපුරුදු පරිදි කළු ජාතිකයින්ට නැගිට තම අසුන් ඔවුන් වෙත ලබා දෙන් ලෙස රියදුරා විසින් අණ කරන ලදී. නමුත් රෝසා පාර්ක් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඇය පොලිස් අත් අඩංගුවට පත් වන්නීය. විප්ලවය ඇරඹෙන්නේ එතැන් සිටය.

ඩෙක්‌ස්‌ටර් බැප්ටිස්‌ට්‌ දේවස්ථානයෙහි ප්‍රධාන පූජක ධුරයට අලුතින්ම පත්ව පැමිණි "මාර්ටින් ලූතර් කිං" ප්‍රමුඛ කළු ජාතිකයින් ඓතිහාසික "මොන්ටිගෝමරි බස් වර්ජනය අරඹන්නේ " මේ සිදුවීමට විරෝධය පෑමක් ලෙසිනි. දින තුන්සිය අසූ දෙකක් පුරාවට හතළිස් දහසකට අධික කල්ලන් සමූහයක් විසින් දියත් කළ එම වර්ජනය අවසන් වුයේ ඔවුනට ජය අත් කර දෙමිනි. එය කළු ලෝකය සිහින දුටු සැබෑ නිදහස අත් වූ දිනය ලෙස හැඳින්වූවාට වරදක් නැත. නමුත් මේ ජයග්‍රහණය කරා ආ මාවතේ අහිමි වූ දෑ බොහෝය. සුණු විසුණු වූ දෑ බොහෝය. රෝසා පාර්ක් ගේ සහ ඇගේ සැමියාගේ රැකියා අහිමි වූ අතර කළු ජාතික ආගමික මධ්‍යස්ථාන ගිනිබත් විය. අවසානයේ මාටින් ලූතර් කිං ගේ ජීවිතයද වෙඩි උණ්ඩයක් විසින් උදුරා ගනු ලැබිණ.
ඒ ඉරණම්කාර දිනයේදී රෝසා පාර්ක් තම අසුන සුදු ජාතිකයෙක් වෙත පරිත්‍යාග කර මුනිවත රැක්කේ නම් , මෙතරම් ජන අරගලයකට ජීවය ලැබේයැයි සිතන්නට නොහැකිය. කළු සුදු භේදය පිළිබඳ ලෝක අවධානය මෙතරම් ප්‍රබල ලෙස යොමුවෙතැයි උපකල්පනය කළ නොහකිය. ඇමරිකානු කළු සුදු භේදයේ මිනී පෙට්ටියට අවසාන ඇණය මේ තරම් ඉක්මණින් වැදෙතැයි විශ්වාස කිරීම උගහටය.
නමුත් ඇය , රෝසා පාර්ක් නම් වූ හතළිස් දෙහැවිරිදි කාන්තාව එම ආශ්චර්යය මිහිමතට කැඳවීමට සමත් වන්නීය. අනාගත පරපුරක සැනසුම උදෙසා වර්තමානය කැපකරන්නට තරම් නිර්භය වූවාය. එබැවින් රෝසා පාර්ක් යනු ඇමරිකානු කළු ජන හදවත් ඉන්ද්‍රජාලිකව සුවඳවත් කළ සෙව්වන්දියක ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඉතිහාසය පුරා ඇය කළ කැපකිරීම් සහ විඳි වේදනාවලට එය උපහාරයක් වේ යැයි සිතිය නොහැකිද?

ලිපිය Sahan Kaseera Wickramasinghe

Image result for rosa parks


Image result for rosa parks

Sunday, September 11, 2016

සාගර පලන්සූරිය (කේයස්)

------> කේයස්



මුල් නම – පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
පසු නම් – කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
උපත – 1908 මාර්තු මස 11 දා
වෘත්තීන් – ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
වෙනත් – පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)
විවාහය – 1948 නොවැම්බර් මස 26 දා
පුතුන් – තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
බිරිය – ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
විපත – 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී 



’මා මළ විටදි පී.බී. දෙන අසල එම
වැලපී කියන කවි ඇසුමට රිසිමි මම’


පී.බී. අල්විස් කවියාගේ මුහුණ බලා එසේ කවි දෙපදයක් කී ඒ ප්‍රවීණ කවියා තමන් මැරුණු සේ යහනේ වැතිර ගත්තේ ය. එවිට එකදිගට කවි දහයක් පමණ කී පී.බී. කවියා මෙකවිය ද කීයේය.

’රළු ගල් පවා පිපිරෙන්නට පහර දිදී
වැජඹුණු අපේ රන්වන් කුළුගෙඩිය නිදී
ඒ ගල් යළිදු පැළවීගෙන ඉහළ ඇදී
අසලින් යනෙන අසරණයගෙ ඇඟට වදී..’


හඟුරන්කෙත ආදායම් පාලක නිලධාරි (ඩී.ආර්.ඕ) තනතුර එදා හෙබවූයේ විමලරත්න කුමාරගේ කවියාය. දිනෙක ඔහු හමුවන්නට පී.බී. කවියා ගියේ අපේ කතානායක කවියා ද සමඟ ය. එදා රාත්‍රියේ ඒ නිල නිවස්නයේ මේ අපූරු සිදුවීම සිදුවුණි.

ඔහු පිළිබඳ බොහෝ දේ කියැවේ. අධිරාජ්‍යවාදීනට එරෙහිව කොළඹ යුගයේ කවීන් කළ මෙහෙවර හා සසඳන විටදී ඔහු පිළිබඳ ව හැඳින්වෙනුයේ මුල්පෙළෙනි. කවීන් අතර අද්විතීය ස්ථානයක් ඔහුට හිමි වී තිබිණි. ඔහු අව්‍යාජ ය. සරල ය. ප්‍රතිපත්තිගරුක ය. ජාතිකවාදී හැඟුමින් ද පිරිපුන් වූ හේ අවංක ජනතා පුත්‍රයෙකි. පුවත්පත්කලාවේදියෙකි. බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට බඳුන් වූ ‘කේයස්’ නම් අන්වර්ථ නාමයකින් ‘සුදෝසුදු’කාව්‍යය ලියූ හෙතෙම සාගර පලන්සූරිය නම් ප්‍රතිභාපූර්ණ කවියා ය. කොළඹ යුගයේ දී සාගරයන් අතිශය ජනාදරයට පාත්‍ර වූයේ ද ‘සුදෝසුදු’ නිසා ය.

සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ ඔහු උපත ලද්දේ එනම් 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා ය. පසුකලෙක සාගර පලන්සූරිය වුවද ගබ්බෙල අප්පුහාමි රෙජිස්ට්‍රාර්තුමාගේ මහ පොතේ ලියැවී ඇත්තේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යනුවෙනි. කුඩා ඩිංගිරි මහත්තයාගේ පසුබිම අනේක දුක් ගැහැට පිරීගිය එකක් ම විය.

විප්ලවවාදී ගති පැවතුම් කුඩා වියේදී ද දක්නට ලැබෙන්නේ මෙවන් ප්‍රබල සිදුවීමකිනි. ඩිංගිරි මහත්තයා කුලීන දරුවෙකි. අකුරට ගිය මුල්ම සිංහල පාසල වූයේ මාදම්පාගම ය. එහි කුලහීන දරුවනට බංකුවල වාඩිවීම තහනම් විය. වාඩිවිය යුත්තේ බිම ය. එය නොරිස්සූ කුඩා ඩිංගිරි තම සගයන් ද සමඟ බංකුව අතැර ඔවුන් හා බිම වාඩිවූයේ ය. මෙහිදී ප්‍රදේශය බාර දිසාපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්වූයේ එහි විදුහල්පතිතුමා ය.

වයසින් වැඩෙත් ම සමාජ සාධාරණත්වය උදෙසා හේ සිය ජීවිතයම කැප කළේ ය. අන්ත දිළිඳු බව දෝතින් ගෙන උපන්න ද ඔහු සිත පිරී තිබුණේ උද්යෝගිමත් සිතිවිල්ලෙනි. වරෙක වෙල්එළියේ ගල්තලාවක හිඳ තම කවි සිත අවදි කරවූයේ ය. ඔහු කුඩා වියේ දී ඔවුනට තිබුණු එකම ඉඩම් කැබැල්ලත් උකසකට සින්න වී ගියේ ය. සිය දරු පවුල නඩත්තු කළ පියා ලෙඩ ඇඳට වැටුණේ ය. ජීවත් වන්නට සිදුවූයේ වතුයායක කෙළවරක පිහිටි බිම් කැබැල්ලක පැලක් තනාගෙන ය.

ඔහුට මාදම්පේ පන්සලේ ලොකු හාමුදුරුවන් හා ඥාති සබඳතාවක් තිබිණි. පැවිදි වීමට තීරණය කළ අපේ කතානායකයා මවුපිය විරෝධතා මධ්‍යයේ ම පැවිදි වූයේ ය. ඉන්පසු ඉගෙනුමට ද දක්ෂයකු වූ කළල්ඇල්ලේ පේමානන්ද නම් වූහ. තුරුණු වියට ආසන්න වෙද්දී උගත මනා බණ දහම් සහ චතුර කථිකත්වය ද රසමුසු කවීත්වය ද මනාව පිහිටා තිබිණි. ඇත්ඔය, පැණනිස්ස හිමියන්ගේ මඟපෙන්වීමෙන් අපේ පුංචි හාමුදුරුවෝ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී සාහිත්‍ය, සමාජ සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ ද මනා පරිචයක් ලද්දේහ. කෙටි කලකින් තම සොහොයුරා සිවුරු හළ බව දත් සොහොයුරු පියදාස පලන්සූරිය තම සොයුරා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් හමුවට කැඳවා ගියේ ය.

උපැවිද්දෙන් නැවතත් පැවිද්දට පැමිණුනි. ඉන්පසු කළල්ඇල්ලේ ආනන්ද සාගර නම් වූහ. මේ වනවිට කවියෙහි දක්ෂයකු ව පසුවෙමින් විවිධ පුවත්පත් සඟරාවනට ද සමාජ ලිපි, කවි පබැඳුම් ලිවීය. ටිබෙට් ජාතික මහින්ද හිමි හා කුළුපගව වැඩිදුර අධ්‍යාපනය පිණිස ඉන්දියාවේ ශාන්ති නිකේතනයට පිවිසියහ. එතැනින් මව්බිමට පැමිණ ගුරු වෘත්තියෙහි නියැළුණි. මේ අවධියේ දී ලියා එළිදැක්වූ ‘සුදෝසුදු’ කාව්‍යයේ පළමු මුද්‍රණය උණු කැවුම් මෙන් විකිණී මහත් සේ ජනාදරය දිනාගන්නට සමත් වූහ.

පසුකලෙක අපේ හිමියන් ආනන්ද, නාලන්ද, කුරුණෑගල මලියදේව, මොරටුව වේල්ස් කුමාර විදුහල්වල ගුරුවරයකු ව කටයුතු කළහ. මේ අතරේදී ලේඛනයෙහි ප්‍රතිභාව පෙන්නුම් කරමින් සාරවත් ලිපි, කවි ආදිය පුවත් සඟරාදියෙහි පළකෙරිණි. පෑගෙන තැලෙන පොඩි මිනිහාගේ පීඩිත බව එහිමි නොඉවසූයේ, කිසිවකුගේ ආරාධනාවකින් තොරව ම වමේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වූයේ ය. ඒ හොරණ ආසනයෙනි. මහජන එක්සත් පෙරමුණෙනි. පිලිප්, ඇන්.ඇම් සමීපතමයෝ ය. කම්කරු පන්තිය වෙනුවෙන් සටනේ වැදී චතුර කථිකත්වයෙන්, කවියෙන් ජනයින් ආකර්ෂණීය කළේය.

ඒ සටන් හමාර කොට ආපසු ගියේ ද පා ගමනිනි, බසයකනි, නැතහොත් දුම්රියකිනි. සිවුරේම සිටිමින් දේශපාලනයට පිවිසිය ද යළි නොඑන්නට ම සිවුරෙන් වෙන්වූයේ 1947 දීය. ප්‍රතිවිරුද්ධ එම්.ඩී.එච්.ජයවර්ධන ඇමැතිවරයා පරදවමින් හේ 1956 මහ මැතිවරණයේ දී වැඩි ඡන්ද 10,000කින් හොරණ අසුන ජයගත්තේය. නොයෙක් කරදර හිරිහැර මධ්‍යයේ ඔහුටත්, පවුලේ අයටත්, ආධාරකරුවන්ටත් ආහාර පාන, රැකවරණය ලැබදුන්නේ හිටපු අගමැති වත්මන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රධාන එම පවුලේ අය ය.

හේ පුවත්පත්, සඟරාදියට ලිවීම අත්නොහළේ ය. ජනතාවට කළ්‍යාණ මන්ත්‍රීවරයකු වුවද ඔහු ජීවත් වූයේ මන්ත්‍රී වැටුපෙන් නොව ස්වශක්තියෙනි. පැවිදි බිමෙන් ගිහි දිවියට පැමිණිය ද හෙතෙම කටපුරා කීයේ ‘තවමත් මට අගෙයි මගෙ හාමුදුරුවරු’ යනුවෙනි

’ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා


එය සුදෝසුදු හි කාගේත් මුව‘ගෙහි රැඳි ජනප්‍රිය කවියකි. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති, පද්‍යාවලි ඪ හා ඪඪ, දම්පද සුගතවාණී, ගද්‍යාවලී ඪ, ඪඪ, ගොවි පෙරමුණ, ගද්‍ය පද්‍ය පරිවර්තන කෘතින් රැසක් ද සාගරයන් රටට පිිළිගැන්වීය. ඉන් බොහෝ කෘති අදටත් පාඨක සිත් දිනා ඇත. ඇතැම් නිර්මාණවල සැඟවී ඇත්තේ ඔහුගේ ම බාල අවධිය බව ද කියැවේ. සාගර 1948 දී විවාපත් වූයේ ය. ජීවන සහකාරිය වූයේ ගල්කිස්සේ, ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා ය. ඈ හැමවිටම ඔහුගේ සෙවණැල්ල වූවා ය. ඔවුනට පුතුන් තිදෙනකු ලැබිණ. සාගරයන් හැමවිටම තම පුතුන් තිදෙනාට සිංහලකමටත් බුදුදහමටත් නැඹුරුව ජීවත්වන්නැයි ඔවදන් දුණි.

’අපේ තාත්තා අපට හරිම ආදරෙයි. විශේෂයෙන් අපේ සෞඛ්‍යය, කෑම බීම සොයා බැලුවා. අපි ආර්ථික අතින් මහා ශක්තියක් තිබූ අය නොවයි. තාත්තාගෙ ළඟ ම මිතුරන් වුණේ විමලරත්න කුමාරගම, පී.බී.අල්විස් පෙරේරා යන කවීන් දෙපළයි. ඒ අය අපේ ගෙදර නිතර එනවා යනවා. ඇවිත් කවි කියනවා.’ ඒ ලක්විජය සාගර පලන්සූරිය (සාමාන්‍යාධිකාරි – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය) දෙවන පුතු තම පියාණන් ගැන කී අයුරුයි. ‘මා දුටු අපරදිග‘ කෘතිය රචනා වූයේ සාගරයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හොබවමින් සිටියදීය. පරිපාලනයේ ඉංග්‍රිසි ආධිපත්‍යය බිඳ දැමීමට හේ හඬ නැඟීය. එහෙත් දෙමළ බස කොන්කළ යුතු යැයි ද අපේක්ෂා නොකළේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. ඒ 1960 දී ය. ඒ සමඟම ඔහුගේ මන්ත්‍රී ධූරය ද අහෝසි විය. එය මහා බරකින් නිදහස් වූවා සේ විය. අනතුරුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ ය.

වයසින් අවුරුදු 13 සිට කවියට, ලේඛනයට ඇල්ම දැක්වූ හේ පසුකලෙක පඩිරුවනක් බඳු වූයේ ය. පැවිදි අවධියේ සිට ම ඇසුරේ පසුවූ පැවිදි උතුමන් වූයේ බඹරැන්දේ සිරිසීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති, කිරිබත්ගොඩ ශ්‍රී ප්‍රඥාසාර, වල්පොල රාහුල යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමිවරු ය. ස්වකීය චතුර කථිකත්වයෙන් හා ආකර්ෂණීය කවිත්වයෙන් ජනසිත් ඇද බැඳ තබාගත්තේ ය. වඩාත් පරසිදු වූයේ ප්‍රගතිශීලී වාමාංශික දේශපාලන කරළියෙහි ය.

’මම දොර නොබින්දෙමි ආවෙමි විවර දොරෙන්
ජය හෝ පරාජය ආ යුතු පරිදි වරෙන්
නිදහස් වන්ට මා උසුලන මිහිරි බරෙන්
උපකාරයක් නොපතමි කිසිකෙනකු කෙරෙන්’


ඒ ඔහුගේ හැටි ය. ඔහු අදීන ය. ස්වෝත්සාහී බව දිවිය පුරාම රැඳී තිබිණ. සෝමවීර චන්ද්‍රසිරි, ආනන්ද රාජකරුණා, තිහාරියේ පීටර් පෙරේරා, පියදාස සිරිසේන, ඩී.ඩබ්ලිව්.වික්‍රම ාරච්චි, පී.කේ.ඩබ්ලිව්.සිරිවර්ධන ආදීන්ගේ සමීපතමයකු විය. හෙළදිව, මාවත හා ලංකාදීප පුවත්පත ද ඇරඹි අවධියේ දී එහි කතුවරයකු ද වූයේය. නව මුහුණුවරකින් සාරවත් ලිපි, සමාජ විවේචන, අදහස් කියාපෑම, කතුවැකි සම්පාදනය ද සිදුවූයේ ඔහු අතිනි.

උපැවිදි වීමත් සමඟ ඔහු ලියූ කවකි මේ.

’මට හුරුපුරුදු තැන මාහට නැතිව ගියේ
සමහර මතක නොමැකී සටහනක තියේ
මානෙල් නොපිපුණත් හිරු නැති අඳුරු රැයේ
කොඳමල් පිපේ නම් එය මට මදිද පියේ’


කලබලයෙන් මෙන් දිනක් ගෙට ගොඩ වූ අපේ සාගර සිය බිරිය දෙස බලා දෑතින් යමක් සංඥා කොට පෙන්වූයේය. ‘ඔයා නාට්ටියක් කරනවද?’ කිසිත් නොදත් බිරිය විමසුවා ය. ඔහු තරහින් මෙන් මුහුණ හකුලුවා ගත්තේ ය. අසල තිබූ කඩදාසියක ඔහු යමක් ලියා පෙන්වීය. ඇය වහා එය කියැවූවා ය. ඒ වනවිට ඔහු දෑසින් කඳුළු කඩාහැලෙමින් තිබිණ. ඔහු ඒ ලියුවේ තමන්ට කටහඬ නැති ව ගිය බවකි.

උගුරේ ආබාධයක් ඇති බවකි. දිගින් දිගටම ප්‍රතිකාර කැරිණි. ඉන්දියාවට ද ගොස් ප්‍රතිකාර කරවූවද එතරම් සුවයක් නොලදිණි. පෙර මෙන් කටහඬ උස් ව නොතිබුණි. ‘මගේ තාත්තා මැරෙන කොට 53යි. මටත් දැන් 53යි. ලබන අවුරුද්දෙ මං ඔයාලා ළඟ නැහැ. ඒකට කමක් නෑ. පුතාලා අම්මත් එක්ක හොඳට අවුරුදු කන්න’ දිනෙක සිය බිරිය හා දරුවන් තුරුළට ගෙන සාගරයන් බිඳුණු හඩින් එසේ කීවේය.

ඔහු රෝගාතුර වූයේ හදිසියෙන් ම ය. වහා රෝහල් ගත කැරිණි. එදා ප්‍රිය බිරියගේ සුරත අල්වාගත් හේ මෙසේ කීයේ ය.

’මං අද මැරෙනවා - මං මුකුත් ඉතිරි කරපු කෙනෙක් නොවෙයි. ඒත් මං ඉතුරු කරපු අකුරු තුනක් තියෙනවා. ඒ අකුරු තුන දරුවන්ට ඇති. අපෙ දරුවන්ගෙ ජීවිත ඉදිරියට ගෙනියන්න ඒ අකුරු තුන ඇති.’

’හාමුදුරුවන්ට එන්න කියන්න – මං අද මැරෙනවා” ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුවම හිමිවරු වඩමවා පිරිත් නූල් බැඳිනි. පිරිකර ද පූජා කෙරිණි. ඒ පිරිත් අවසන අපේ සාගරයන් දෑත් එක්කොට උස්හඬකින් සාදු ... සාදු... යනුවෙන් කීයේය. හාමුදුරුවනේ.. මේ ආත්මයේදී ඔය කහපාට දකින්න මට ලැබෙන්නෙ නැහැ... අද මං මැරෙනවා..’ ඒ හඬ දුබලය.

ඕ දෑස් විහිදා තම හිමි දෙස බලා හුන්නාය. ඔහු දෑස් නිවී..නිවී ගියා සේ ය. ... ඕ එසැනින් සිහිසුන්ව සිය සැමියාගේ මුහුණ මතට ඇද වැටුණාය.

නිදහස් මතධාරී බුද්ධිමතකු මෙන්ම තමා සතු සියල්ල සමාජයට ප්‍රදානය කොට කිසිවක් බලාපොරොත්තු නුවූ ජනසිත් හි ලැගුම් ගත් ඒ සොඳුරුතම මිනිසා 1961 – ජූනි මස 21 දා පස්වරු 5.55ට සිය ජීවිතයෙන් සදහට ම සමුගෙන යන්නට ම ගියේ ය.

ඔහුගේ වියෝවෙන් කම්පිත වූ දහස් සංඛ්‍යාත පිරිස් අතර සිරිල් ඒ. සීලවිමලයන් මෙසේ ලියුවේ ය.

’අපේ සාගර පලන්සූරිය
අපේ කේයස් අනේ මැරුණා
අපේ කවියා උගත් මිතුරා
අපේ ඇසුරින් ඉවත ඇදුනා

අපේ ඇස් ඉදිරියේ සොහොනින්
නැඟුණු දුම්රැළි ඉහළ නැඟුණා
අපේ රටට ම පාඩුවකි ඔහු
සොහොන මැද අළු බවට හැරුණා
Image result for කේයස් 

සැ.‍යු. - මෙය අමල් යශෝමන් ජයසිංහ මහතා විසින් 2012 වසරේ සිළුමිණ පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.

මහගම සේකරයන් ...

අරුතේ හැමදාම එක ගායකයෙක් අරගෙන ඔහුගේ හෝ ඇයගේ ගීතයක් අරුත්ගන්වන එකට පොඩි වෙනසක් කරන්න එක්ක ගීත රචකයෙක් අරගෙන ඔහුගේ ගීත ගැන පුංචි විචාරයක් කරන්න හිතුණා මිට කාලෙකට පෙර. නමුත් ඊට පස්සේ සෑහෙන කාලයක් මේ පැත්තට එන්න බැරිවුණා. ඔන්න ඉතින් ඒ ආසාව සපුරා ගැනීම සඳහා පුංචි උත්සහයක්.
අපිට ගොඩක් වෙලාවට ගීතයකට අරුතක් දෙනවා කියනකොට මතක් වෙන්නේ ගායකයාව විතරයි...හැබැයි ගායකයාගෙන් හෝ ගායිකාවගෙන් අපිට ඇහෙන දේ නිම වෙන්න පද රචකයා සහ සංගීතය බෙහෙවින් ඉවහල් වෙනවා කියල අරුතේ අපිට නම් ඉතිං හොඳට මතකයි නේ....ඒක නිසාම අද ගීත රචකයෙක් අරගෙන ඔහුගේ ගීත විචාරය කරමු කියල හිතුණා. (ගීත මුළුමනින්ම විචාරය කලොත් මට මේක කරගන්න බැරි වෙන හින්ද මා තෝරාගත් ගීත රචකයාගේ ගීත කීපයක් අරගෙන ඒවායේ මම කැමතිම කොටස් ගත්ත. ඒ සම්බන්ධව කමාව භාජනය කරන්න කියල ඉල්ලා සිටිනවා.)
ඇත්තෙන්ම මේ ගීත රචකයා ගැන කතා කරන්න මට ඇති සුදුසුකමක් නැහැ. ඒත් මා ඔහුට තියෙන ප්‍රියතාවය නිසාම ඔහුව තෝරාගත්තා. මගේ අතින් ඔහුගේ රචනා වලට අඩුපාඩුවක් වී ඇතිනම් ඒවා නිවැරදි කරන මෙන් සමුහයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ ගීත රචකයා වෙන කවුරුත් නෙමෙයි.....මහගම සේකර.
ඉතින් ගීතවලට යාමට පෙර සේකරයන් ගැන කරුණු කීපයක් සඳහන් කළහොත් හොඳයි කියල හිතුවා.
1929 අප්රේ ල් 07 වනදින උපන් සේකර අපෙන් සමුගන්නේ 1976 දී. දරුවෝ තුන් දෙනෙක්ගෙ පියෙක්. දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් සිටියා. ඔහුගේ බිරිඳ කුසුමලතා මහගම සේකර.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කලාකාරයෙක් වූ සේකර අනුවාද, ළමා සාහිත්‍ය කෘති, නවකතා, කෙටි කතා, පද්‍ය, නාට්‍ය, තිර රචනා මෙන්ම චිත්‍ර ඇඳීම සහ කැටයම් නිර්මාණ ශිපියෙක්. ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ නිර්මාණ රාශියක් සේකරයන් අප වෙත දායාද කරලා තියෙනවා
සේකරයන්ට 1966, 1968, සහ 1970 සරසවි සම්මාන උළෙලවලදී හොඳම ගීත රචනයන්ට සම්මාන ලැබෙනවා. ඒ පිලිවෙලින් සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගේ රටයි ගීතය, සත් සමුදුර චිත්‍රපටයේ සිනිඳු සුදු මුදු තලාවේ ගීතය සහ බිනරමලී චිත්‍රපටයේ රටකින් රටකට පාර අසාගෙන ගීතය සඳහා.
ඔහුගේම වචනවලින් ඔහුව හඳුන්වා දෙනවානම් .....
මා ගැන දන්නා
අය කොතෙකුත් වෙති
පත්තරවල මා
නම ගම පළවෙයි.
මහගම සේකර
එම්.ඒ.සිංහල
පදිංචි ගම්පහ
රදාවාන ගම
දැන් විදුහල්පති
ඔය ඔය විදියට…...
ඉතිං පෞද්ගලික විස්තර සඳහා වැඩිපුර කාලය ගත කරන්නේ නැතුව ගීත වලට ගියොත්.... සේකරයන්ගේ සෑම ගීත රචනාවක්ම පුදුමාකාර රසවත් භාවයක් තිබුණත්, මම තෝරාගන්නේ සේකර සහ අමරදේවයන් මුසුව අපට ගෙන ආ නිර්මාණ කීපයක්.
ඉතින් ප්‍රථමයෙන්ම, සේකරයන් විසින් රචිත අමරදේවයන් සංගීතවත් කර ගායනා කරන රත්න දීප ජන්ම භුමි ගීතය...විශේෂයෙන් කියන්න ඕන සේකරයන් සහ අමරදේවයන් මුසුව අපට ඉතාමත් සුමිහිරි ගීත රාශියක් දායාද කරපු යුගයක් තිබුණා. රත්නදීප ගීතයත් එයින් එකක්. මේ ගීතයේ තිබෙන විශේෂය තමයි ලංකාව ජනරජයක් කරද්දී ජනරජ ගීතය ලෙස ගීතයක් තෝරාගැනීමට තරඟයක් තිබ්බලු, නමුත් මේ තරඟයෙන් කිසිම ගීතයක් තෝරාගන්න බැරිවෙද්දී පසුව ප්‍රබුද්ධ ගීත රචකයන් කීප දෙනෙක්ට ආරාධනා කලාලු ගීත නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඒ වෙද්දී නිර්මාණය වෙලා තිබ්බ රත්න දීප ගීතය සේකරයන් විසින් ලබා දීල තියෙනවා ජනරජ ගීතය ලෙස යොදා ගැනීමට. නමුත් මේක තේරිලා නැහැ. ඒ වෙනුවට ඒ සම්බන්ධව කටයුතු කල දේශපාලනඥයා කිව්වලු ඔහුට මේ ගීතයේ ජනරජය ගැන ලියවිලා නැහැ කියල. එතකොට සේකරයන් එම දේශපාලනඥයා ට කිව්වලු එහෙමනම් ජනරජ ව්‍යවස්ථාව අරගෙන ඒකට තනුවක් දාල ගායනා කරන්න කියල. පේනවනේ දැන් වගේ නෙමේ අපේ කලාකරුවන් දෙකට නැමුණේ නැහැ ඉස්සර.
සේකරයන් කොච්චර ලස්සනට තමන් ඉපදුන භුමිය කෙතරම් වටිනවද කියන එක හඟවල තියෙනවද රත්නදීප ගීතයෙන්. මේ භුමිය මැණික් එහෙම නැත්නම් රත්න වලට සමාන කරලා;
රත්න දීප ජන්ම භුමි
ලංකා දීප විජය භුමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි
මාතෘ භූමියයි
මාණික්ය සේ පොලෝ ගැබේ නිධාන වී..
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි.....
මේ ගීතය පුරාවටම තියෙන්නේ අතීතයේ ශ්‍රී විභූතිය ගැන ප්‍රකාශ කරලා...ඔහු කියනවා මේ පොළවෙන් මැණික් ලෙස මතු වන්නේ අතීතයේ රට වෙනුවෙන් නිර්භීතව සටන් කරපු මිනිස්සුන්ගේ රුධිරය කියල. අපේ රටට කොතරම් ගැලපෙනවද මේ පද පෙළ කියල හිතුවොත්...අපි අපේ ඉතිහාසය කියෙව්වහම කොතරම් වීරයන් සංඛ්‍යාවක් අපට හමු වෙනවද....මේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් ගලවා ගන්න තවත් කෙතරම් අපි නොදන්නා වීරයන් සංඛ්‍යාවක් උත්සහ කරන්න ඇතිද? කවුරුත් නොදන්නා ඒ වීරයන් මේ පොළව තුළ මිහිදන් වෙන්න ඇති. ඉතිං ඔවුන්ගේ රුධිරය තමයි මේ පොළවෙන් මැණික් ලෙස මතු වෙන්නේ.....
මීළඟට තෝරාගත් ගීතය ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට’ ගීතය. මෙයත් සේකරයන් රචනා කර අමරදේවයන් සංගීතවත් කළ ගීතයක්. මෙය මම කලින් අහලා තිබුනේ කළු ගඟ ලියකට සමාන කර ලියු ගීතයක් ලෙසයි. නමුත් මට මෙහෙමත් හිතුණා මේක ‘කළු’ කියන ගැහැණු ළමය / කාන්තාව ගැන වෙන්න බැරිද?
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන්දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
මම දැක්ක මේ දවස්වල අර ‘වැරදියට තෙරුම්ගතිපු ගීත’ කියල වීඩියෝවක් ශෙයා වෙනව මුහුණු පොතේ, අන්න ඒකේ තිබුණ මේකට වෙනමම තේරුමක් දාල. මම ඒකට එකඟ වෙන්නේ නැහැ මොකද ඒ කියන තේරුම මේ ගීතයේ තිබෙන එක පදයකින් වත් නිරූපණය වෙනවා කියල මට හිතෙන්නේ නැති නිසා.
අපි දන්නවා තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි අමනාප වෙලා ඉන්නකොට නෝක්කාඩුවෙන් හරි බලන එක බැල්ම කොතරම් වටිනවද කියල. ඉතින් ඒ සතුට ගීතයේ නිරූපණය වෙන්නේ මේ පරිසරය ගැන කරන හැඳින්වීමෙන් කියලයි මට හිතෙන්නේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයවුනත් එවකට කොළඹ දිස්ත්‍රික්කයට අයිතිව තිබුණු රදාවාන ප්‍රදේශයේ උපත ලැබූ සේකර ගැමි පරිසරය අපිට චිත්‍රයක් මවන්නේ ඔහුගේ තිබෙන රචනා කුසලතාව නිසාමයි කියලයි මට හිතෙන්නේ. වක්කඩෙන් තමයි මුළු කුඹුරුයායටම වතුර සැපයීම පාලනය කරන්නේ. ගොඩක් වෙලාවට ඉහල යායේ ඉඳල පහල යායට වතුර වැටෙන තැන තිත්ත පැටව් වගේ පොඩි මාළුන් රැඳිලා සිටිනවා. ඉතින් සේකර කියන්නේ ඒ වතුර ගලනා වේගෙන්ම තිත්ත පැටව් නටනවා. හරියට තරහව නිවෙන්න පෙර ‘කළු’ දෙන නෝක්කාඩු බැල්ම වාගේ වැස්සට පෙර අහසේ අකුණු කොටනවා. නගරයේ වගේ ගැමි පරිසරයේ තාප්ප නැහැ බොහෝවිට තියෙන්නේ වැටක්, ඉතින් මේ වැටෙත් කටරොලු මල් පිපිලා...කොටින්ම කියතොත් තරහ වෙලා හිටපු කළු නැවත යාලු වෙන්න යනකොට මේ පෙම්වතාට පරිසරයම ලස්සනට පේන හැටි මනාවට ගීතයේ වර්ණනා කරනවා.
සේකරයන් සහ අමරදේව සුසංයෝගයේ අග්‍රම පලය ලෙස අමරදේවයන් දකින ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය තමයි මං මීළඟට තෝරාගත්තේ. මාදින්නාගොඩ ශේෂා පලිහක්කාරගේ නිවසේදී සේකරයන් මේ ගීතය නිර්මාණය කළ බව අමරදේවයන් වරක් පවසා තිබුණා. නලදමයන්ති වේදිකා නාට්යොයට චිත්රමසේන හා වජිරා මේ ගීතය යොදාගන්නවා.
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ හීන අතරේ
මැවෙයි ඒ රූපේ...
මම නලදමයන්ති නාට්‍ය බලල නැහැ. නමුත් මේ ගීතය ප්‍රසිද්ධයි පුරුෂයෙක් ගැන වර්ණනා කෙරෙන ගීතයක් හැටියට.ඈත හිමයේ තුරුවැල් අතරින් පවා ගලාඑන්නේ පෙම්වතාගේ නාමය...රෑ නින්දේදී තරුණියන් හීනෙන් දකින්නෙත් ඔහුගේ රූපය.... සමහරවිට නල ගැන දමයන්තිගේ වර්ණනාවක් වෙන්න ඇති..
සේකරයන්ගේ ගීතවල මම කැමතිම, මගේ සිත්ගන්නෙම ඒ ගීතවල තියෙන නිවුණු ස්වරුපය. ඒ ගීතයක් අහද්දී හිතට සහනයක් ලැබෙන්නේ. සමහරවිට විරහ ගීතයක් වුණත් අපිට වෛරය ක්‍රෝධය පුරවනවා වෙනුවට සැබෑ විරහව...තමන් පෙම් කළ කෙනාට වෛර නොකරන විරහව..තමයි අපට දැනෙන්නේ. අමරදේවයන් ගෙ සංගීතය සහ ගායනයත් මේකේ සමාන පංගුකාරයෙක් හැටියට තමයි මම දකින්නේ.
ඒවගේ ගීයක් තමයි මීළඟට තෝරාගත් සේකරයන්ගේ ‘පාලු අඳුරු නිල් අහස මමයි’ කියන ගීතය.
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඔබයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි
අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි
‘තනි තරුව’ ලෙස අපි දකින්නේ සිකුරු ග්‍රහයාව. නිල් අහස තියෙද්දීම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ සිකුරු ග්‍රහයා. තව ටිකක් රෑවෙලා අහස ඝන අඳුරු වුනහම තමයි තරු පේන්න ගන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා ආදරය එක්ක සම්බන්ධයක් තිබෙන ග්‍රහයෙක් හැටියට සැලකෙන්නේ. ඔහු කියන්නේ පාලු තරු නැති නිල් අහසේ පේන ආදරය නමැති තාරකාව ඇය...තරුණ මහලු; අතීතය වර්තමානය ඕනෑම කාලයකදී වුවත් හැම හදවතක්ම බලාපොරොත්තුවන්නේ ආදරය.....
ඒ වගේම සරු බවක් නොමැති වූ මහ පොලව පෙම්වතානම් ඒ පොලව සරු කරන්න හැකි දියදහර ආදරයයි නැතිනම් පෙම්වතියයි....
පුදුමාකාර ගීතයක්. වරක් සේකරයන් පවසා තිබුණා ඔහු පෙම්කල එක් යුවතියක් හා එක්වීමට බැරිවුණේ කුලමල ප්‍රශ්න නිසා එය අනුභූතියක් කරගනිමින් මේ ගීතය රචනා කළ බව.
සේකරයන්ගේ තවත් ගීත රාශියක් තියෙනවා මෙතන සඳහන් කලයුතු. නමුත් මේ ලිපිය දිග වෙන නිසාත් එතකොට කියවීමට රුචිය නොමැතිවීමට ඉඩ තිබෙන නිසාත් මම මේක මෙතනින් අවසන් කරනවා.
අවසන් කරන්නම් රත්න ශ්‍රී විජේසිංහයන්, සේකරයන් පිළිබඳව ලියු නිසඳසකින්;
ජනවාරි මාසයට
හැමදාම සීතලයි
ඒත් දැන් වෙනදාට
වඩා සීතල දැනේ
ජනවාරි මාසයට
හැමදාම මල් පිපේ
ඒත් දැන් පිපුණු මල්
පවා පරවී තිබේ
එක්තරා ජනවාරි
මාසයක ඔබ අපට
ආයුබෝවන් කියා
ගිය හෙයිනි"
ඉතින්, සේකර ඔබ හැරගිය මේ භුමියට සීතලයි....... ඔබගේ පදවැල් නමැති උණුසුම නැතිව මේ භුමිය සීතලයි!
(මේ ලිපිය ලිවීමට අන්තර්ජාලයෙන් සේකරයන් පිළිබඳව විස්තර සහ ඔහු ගෙ ගීත පිළිබඳ තොරතුරූ ලබා ගත් අතර විචාරය කර ඇත්තේ මගේම අදහස් බව මෙයින් සඳහන් කරමි)
ලිපිය 
Nil Gunawardana විසින් ගීතයක අරුත සොයා යමු... සමුහයේ පලකල ලිපියකි... 

Monday, February 8, 2016

ඔබ දන්නවද ඉංගිරිසි ජාතික Major- Rogers ගැන?


ඔහු තමයි 1834-1845 කාලයේ බදුල්ල සහකාර දිසාපති හා දිස්ත්‍රික්කයේ විනිසුරු වරයා ලෙසට කටයුතු කරේ. ඔහු ලංකා රයිෆල් බලකායට අයත් රේජිමෙන්තුවේ සේවය කරේ. ඔහු අලි ඇතුන් පිපාසිකයෙක් (Elephant Hunter) ඔහු විසින් මරපු අලි ඇතුන් ගණන 1600 ඉක්මවයි.

ඔහු මරුනේ පුදුම විදිහකටයි. ඔහු විසින් අමානුෂික ලෙස අලි ඇතුන් ගාතනය කරන එක ඉවසගන්න බැරි තැන එක්තරා ස්වාමින් වහන්සේ නමක් ඔහුට ශාප කරා. ඒ ශාපයේ ප්‍රතිපලයක් ලෙසට 1845 ජුනි මාසේ 7 වෙනි දා හපුතලේදී අකුණු හෙනයක් ගහලා ඔහු මරුමුවට පත් උනා. ඒ මැරෙන මොහොතේ වෙනකන් ඔහු ළඟ (ගජ මුතු ජෝඩු 62) තිබුනි. පුදුමේ කියන්නේ ඔහුගේ මිනි වලටත් 7 වතාවක් හෙන ගහපු එකනේ.

ලිපිය 
Priyantha Amarasinghe

‎


Monday, February 1, 2016

ආචාර්ය මහගම සේකර ගැන අලුත් පැගිරි කොලු කුරුට්ටන් නොදන්න....පරණ මිනිස්සු දන්න කතාවක්....

අලුත් පැගිරි කොලු කුරුට්ටන් නොදන්න....පරණ මිනිස්සු දන්න කතාවක්....

කලින් ලියාපු හෑල්ලට හොද ප්‍රතිචාර තිබුණු නිසාත්, බොහෝ අය නොදන්නා කියන කාරණා නිසාත් මේ අප්‍රකට කාරණාව ගැනත් කියන්න හිතුණා. මොකද හැමදාම කිසිම කමකට නැති පෝස්ට් දාන එකේ කාට හෝ දැනගන්න දෙයකුත් දාන්න එපැයි... ඒකනෙ මේ වෝල් එකේ තියෙන අසමසම විවිධත්වය.....

ආචාර්ය මහගම සේකර (බී.ඒ ගෞරව (ලන්ඩන්), එම්.ඒ (විද්‍යෝදය) පී.එච්.ඩී (විද්‍යෝදය - ලංකා)

කුසලතා පරිපූර්ණ නිර්මාණාත්මක ලේඛකයෙක් වෙච්චි සේකරයන් සිංහල පුහුණු ගුරුවරයෙකු ලෙස වේයන්ගොඩ ගුරු විදුහලෙන් නික්මිලා ඉන්න අතරේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙලා ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නවා.. අසමාන උත්සාහයකින් හෙබි නිහතමානී මනුෂ්‍යෙයක් උසස් අධ්‍යාපනයට යොමුවුණේ එහෙම. මොකද බොහෝ දෙනා හිතනවා සේකරයන් නිකංම රස්සාවක් කරල, බීල, සිගරට් ගහල, දුප්පත්කමින් මැරිලා ගිය බුද්ධිමතෙක් පමණයි කියල..නැහැ ඔහු උගතෙක්.

එක්දාස් නවසිය හැට ගණන්වල ඔහු ගුරු වෘත්තියෙ යෙදිලා ඉන්න අතරේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස විද්‍යෝදය (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර) විශ්ව විද්‍යාලයට බැදිලා දෙවසරක් අධ්‍යයන කටයුතු වල යෙදිලා ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නවා. ඉන් අනතුරුව ඔහු ඒම වි.වි ම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කෙටි කලක් සේවය කරනවා. ඒ අතරෙදි තමයි ඔහු ආචාර්ය උපාධිය සදහා ලියාපදිංචි වෙලා අදාල නිබන්ධනය ලෑස්ති කරන්න සූදානම් වෙන්නෙ. එය පරිච්ඡේද පහකින් සමන්විත කෘතියක් වූ අතර එක් එක් පරිච්ඡේදය බැගින් ලියා වි.වි කමිටුවට ඉිදිරිපත්කොට ඔවුන්ගේ නිරීක්ෂණ අනුව සං‍ශෝධිත අවසන් පිටපත සකස් කරමින් සිටියා. ඒ අතර ඔහු මහාචාර්ය තිස්ස කාරියවසම් හමුවන්න ඔහුගේ කුටියට යනවා..

විද්‍යෝදයේ ධර්මපාල ශාලාවට ආපු සේකර තිස්සගෙ පරණ සරම් කඩමල්ලක් ඇගේ දාගෙන පිටිපස්සට ගිහින් මෙහෙම කියනවා...

‘‘මගේ පුංචි වැඩක් තියෙනවා.. කියවමුද?‘
‘‘කියවමු‘‘
‘‘හැබැයි රජෝ පොතක් නෙවෙයි.. පොතක් වේවි පස්සෙ. මේක සැකිල්ලක්‘‘
‘‘පී.එච්.ඩී එකේ එකද?‘‘
‘‘ඒවා මතක් කරනන් එපා. ඒව මහ විසාල වැඩ. නිකං හිතමු එහෙමෙයි කියල!‘‘

යම්තැනක කැපිලි කෙටිලි කොට වෙනස් කර එහි පිටපත් තුනක් සකස් කරගත් තිස්ස කාරියවසම් මහතා

‘‘ඕක සුරවීර මහත්තයටයි (මහාචාර්ය ඒ.වී සුරවීර), බලගල්ලේ මහත්තයටයි (මහාචාර්ය විමල් ජී බලගල්ලේ) පෙන්නන්න දෙන්න ඉස්සර වෙලා..‘‘

‘‘ලැජ්ජ නැද්ද තිස්ස.. මගේ කෙරුවාව බලන්න කියන්න..‘‘
එහෙම කියල ඔහු පොඩි දරුවෙක් වගේ ලජ්ජාවෙන් හිනාවුණා..
‘‘ඒ වුණාට ඉතින් ඒක චාරිත්‍රයක්නෙ!‘‘

ඉන් වසර පහකට පසු ඔහු අාචාර්ය උපාධි නිබන්ධනයේ අවසාන පරිච්ඡේදය සැකසීමට ආරම්භකරමින් සිටියේ ය. හැම පුස්තකාලයකටම යමින් විවිධ පොත පත සොයමින් ඇවිද්දේය. නමුත් එය ඔහුට කරගැනීමට නොහැකි විය. එසේනමුත් පශ්චාත් මරණ ආචාර්ය උපාධියක් සදහා ශ්‍රී ලංකාවේ නිබන්ධනයක් විමංසනය කරන ප්‍රථම අවස්ථාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයට උදාකරමින් මහගම සේකරයන් දැයෙන් නික්මුණා.

පරීක්ෂණ මණ්ඩල නිර්දේශ අනුමත කළ සනාතන සභාව මේ නිබන්ධනය උදෙසා මහගම සේකරයන් වෙත ශාස්ත්‍රසූරී (පී.එච්.ඩී) උපාධිය පිරිනැමීමට තීරණය කළේය.

ඊයේ පෝස්ටුව නිවැරදි නොවන බව සේකරයන්ගේ පුත්‍රරත්නය සදහන් කර ඇති බව දැනගත්තත්, ඊට සම්බන්ධ වූ මහාචාර්ය සරත් චන්ද්‍රජීවයන් තවමත් විශ්ව විද්‍යාලයේ රාජකාරී කරන නිසා විමසා දැනගත්තා එය සත්‍යයක් බව. මේ පොස්ටුව ගැනත් මූලාශ්‍ර විදියට
සිංහල පද්‍ය නිර්මාණයන් හි රිද්ම ලක්ෂණ කෘතියේ පෙරවදන - මහාචාර්ය විමල් බලගල්ලේ සහ මහගම සේකර කලා නිර්මාණ - මහාචාර්ය තිස්ස කාරියවසම් කෘති පාවිච්චි කරල තියෙනවා.

ලිපිය 
මනෝරම වීරසිංහ 

ගුරුළුගෝමී

ගුරුළුගෝමී ගැන ගොඩක් අය අහලා ඇති කියලා හිතනවා, නැත්තම් ගුණසේන පොත් වල මේ ලාංඡනේ දැකලා ඇති කියලා හිතනවා,
ගුරුළුගෝමී කියන්නෙ ලංකා ඉතිහාසෙ පහළවුණ ශ්‍රේෂ්ඨතම පඬිවරයෙක්, ලේඛකයෙක්. එතුමන් හිටියා කියලා විශ්වාස කරන්නෙ දොළොස්වන හෝ දහතුන්වන වගේ සියවස්වල, අමාවතුර, ධර්මප්‍රදීපිකා වගේ අග්‍රගණ්‍ය සිංහල කාව්‍යමය පොත් පත් ලියපු ලේඛකයෙක්,

 කවියෙක් විදිහට ප්‍රසිද්ධයි. ගරුඬ නැතිනම් අපි හඳුන්වන්න ගුරුළු ලෙස හැදින්වෙන කුලයක සිංහල පියෙකුගේත් මැලේ ජාතික මවකගේත් දරුවෙකු විදිහටයි මෙතුමන් උපත ලබලා තියෙන්නෙ, තරුණ වියේදි ලංකාවට පැමිණීමත් එක්ක රටේ සංස්කෘතිය ආගම දර්ශණය වගේ දේවල් ඇසුරු කරගෙන තමයි අධ්‍යාපනේ යෙදිලා තියෙන්නෙ,

 ඔහුගෙ පියා එකල දොලොස්දහස් රට නැතිනම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමක ප්‍රභූ පවුලක උපන් "කප්පින" නම් අයෙක්, තරුණ වියේදි වෙළඳ කටයුතු සඳහා ස්වර්ණපුරයට ගොස් පසුව එහි වෙළඳ නායකවරයෙකුගේ දුවකු ආවාහ කොටගෙන පදිංචි වෙලා තියෙනවා, එතනින් ඔවුන්ට දුවෙකුත් පුතුන් දෙදෙනෙකුත් ලැබිලා තියෙනවා.. 

කොහොමහරි මීට අවුරුදු 60ට විතර කලින් මාටින් වික්‍රමසිංහ වියත් ලේඛකයා ගුණසේන පොත්හලේ සේවය කරපු සුප්‍රකට ජී එස් ප්‍රනාන්දු මහත්තයට මේ ගුරුළුගෝමී ගැන අදහස කියලා තියෙනවා, කියලා තියෙන්නෙත් ලංකා ඉතිහාසෙ හිටපු තවත් පඬිවර ලේඛක කවීන් දෙන්නෙක්ගෙ රූප බලන් අඳින්නයි කියලා.. පහන් කතුතුමාගෙත්, බ‍ටුවන්තුඩාවේ පඬිතුමාගෙත් තවත් යතිවරයන් දෙන්නෙක්ගෙත් මුහුණුවර බලාගෙන ඔක්කොම එකම රූපයකට අරන් අඳින්න කියලයි අදහස දීලා තියෙන්නෙ.. මේ චිත්‍රය ඇඳලා තියෙන්නෙ ජී එස් ප්‍රනාන්දු මහත්මයා, අදටත් ගුණසේන පොත් වල ප්‍රකාශණවල තියෙන්නෙ මේ ගුරුළුගෝමි පඬිවරයගෙ සලකුණ, 1949 ඉඳන් අද වෙනකම්ම මේ සලකුණ ගුණසේන පොත්වලට යොදාගන්නවා..
සටහන - Dananjaya Ranawake

Friday, January 29, 2016

මහගම සේකරයන්

මහගම සේකර සියනෑවෙ මිනිහ වෙච්චි හැමෝම දාන එකම බයිලාව නැතුව මම වෙනස් සටහනක් දානවා..සේකර සූරීන් 1976 ජනවාරි 14 වැනිදා රෑ නවයයි තිහට මිය ගියේ කවිය, සිංහල ගීත කලාව, චිත්‍රපට කලාව, චිත්‍ර ශිල්පය, පිටකවර නිර්මාණය, පරිවර්තන සාහිත්‍යය ආදී ක්ෂේත්‍ර රැසක හිස්තැනක් තබමින්...

ඉතින් මේ කතාව අප්‍රකට නමුත් සත්‍ය සිදුවීමක් මේ කියන්නේ.. සේකරයන්ගේ මෘත ශරීරය ඔහු කලකට පෙර විදුහල්පති ලෙස සේවය කළ රජයේ ලලිත කලායතනයට ගෙනාවා. දැන් ඒක සෞන්දර්ය විශ්ව විද්‍යාලය. ඒ කාලෙ අපේ තාත්තල ඕකට යද්දි කීවේ හේවුඩ් එක කියල..

ඉතින් අද එම ස්ථානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා තිබේ. දේහය එහි ප්‍රධාන ගොඩනැඟිල්ලේ උඩු මහලේ වූ "හේවුඩ්" ශාලාවේ තැන්පත් කර තිබුණේය. එදින සන්ධ්‍යාවේ සේකරයන්ට අවසන් ගෞරව දැක්වූ සරසවි සිසුහු බොහෝ පිරිසක් නිවුණු තැවුණු සිතින් බැහැරව ගියහ. කෙමෙන් රෑ බෝවිය. පිරිස් අඩු වන්නට වූයේය. මහගම සේකරයන්ගේ ඥාතීහුද රාත්‍රියේ නික්ම ගියෝය.

සේකරට ඉතා සමීපව සිටි ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් පමණක් රැඳී සිටිහ.

රාත්‍රියේ වැඩකටයුතු පැවරී තිබුණේ ශිෂ්‍ය සංගමයේ පිරිසටය. ඔවුන් එහි සංවිධාන කටයුතු මැනැවින් සම්පාදනය කර තිබිණි. දි.ග. කුමාරසිංහ එවකට ශිෂ්‍ය සංගමයේ සභාපති විය. උපාලි සම්පත්ගේ ලේකම් වූයේය. ශිෂ්‍ය සංගමයේ සංවිධායක වශයෙන් කටයුතු කළේ සරත් චන්ද්‍රජීවය. මහාචාර්ය සරත් චන්ද්‍රජීව අද එනම් වසර 37 කට පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨ අධ්‍යයන අංශ ප්‍රධානී වශයෙන් සිටී. ලංකාවේ ප්‍රකට මූර්ති ශිල්පියෙකි.

මේ එතුමා කියපු කතාව..
"අපි කවුරුත් අතිශය ආදරය කළ මහගම සේකරයන්ගේ දේහය කලායතනයට ගෙන ඒම අප හැම දෙනාටම ඉතා සංවේදී අත්දැකීමක් වුණා. මට මතකයි අපි ශිෂ්‍ය සංගමයෙ ළමයි රාත්‍රිය දේහය අසල සිට පහන් කරන්න වැඩ සංවිධානය කරලයි තිබුණෙ. මම එතකොට මූර්ති කලා අංශයෙ අවසන් වසරෙ ශිෂ්‍යයෙක්.

මගේ ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයා මිත්‍රපාල රාජපක්‍ෂ මහතා. තව මහින්ද අබේසේකර, බන්දුල පීරිස් මහත්වරුත් සිටියා. රෑ එකොළහ පමණ වෙද්දී රාජපක්‍ෂ සර් මට කතා කළා. ඒ වෙනකොට පිටස්තර කිසිවෙක් හිටියේ නැහැ. ළමුන් ටිකදෙනෙක් පමණයි හිටියෙ. සර් මට කිව්වා. අපිට ඉස්සරහට මහගම සේකර මහත්තයගෙ ප්‍රතිමාවක් හදන්න වෙන්න පුළුවන්. ඒ නිසා ප්ලාස්ටර් පැරිස් යොදල මුහුණෙ "DEATH MASK" එකක් ගන්න සූදානම් කරන්න කියලා. බඩු සූදානම් කරගෙන කාටවත් එන්න බැරි වෙන්න ‍දොරටු ගාව ළමයි තියල මිත්‍රපාල රාජපක්‍ෂ සර් වැඩේ ආරම්භ කළා.

මුහුණට හානි නොවෙන්න පුළුන් ගෝස් පරෙස්සමට එළල අච්චුව ගන්න පුළුවන් විදියට සර්ල ප්ලාස්ටර් බදාම මුළු මුහුණටම දැම්ම. මේක හරිම දුක්බර අවස්ථාවක් වුණා. මොකද හැමදෙනාම මහගමට අසීමිත ලෙස ආදරය කරන පිරිසක් මේ කටයුත්තට දායක වුණේ. එදා පාන්දර යාමයේ සේකරගේ මුහුණේ සජීවී හැඩරුව සහිත මාස්ක් එක රාජපක්‍ෂ සර් පරෙස්සමට ඉවත්කර ගත්තා..

අදටත් ඒක සුරක්ෂිතව තියෙනවා... ලෙනින් වගේ අයගෙත් මේ දේ කරල තියෙනව විදෙස් රටවල් වල.......
 
ලිපිය

මනෝරම වීරසිංහ

Thursday, January 28, 2016

කුමාරතුංග මුනිදාසයන් ගැන

හෙළ බස් මිණි..හෙළ හවුලේ නයු කුමරතුගු මුනිදස්හු දෙස-බැස රැසැ වෙනුවෙන් අනූපමයැ සේවයක් කළහැ! එතුමෝ මස් මරුවෙකි... වෙසෙසින්ම ගෙරි මස් වියැ. 

ඉතින් මේ අප්‍රකට කතාව තමා අපේ කුමාරතුංග මුනිදාස වියතා සාහිත්‍ය සක්විති ඩබ්.ඒ සිල්වා සූරීන්ගෙන් හරක් මස් ඉල්ලල එවපු ලියුම උන්නැහැටි උගුරෙ අමාරුවක් තිබිලා තියෙනවා. තව අසනීප ගොඩක් එක්ක.. ඉතින් මිය යන්න ටික කාලෙකට කලින් ලිපියක් මේ. ඉතින් ඒකට නියම බේත හරක් මස්!.. 

ඔය රූපවාහිනි වැඩසටහන් වල උපදෙස් දෙන ‘පොරවල්‘ පවා මෙහෙමයි.! අර සූරියප්පෙරුම ගොයියා මැල්ලුම් මුට්ටි ගැන කීවට කන්නෙ හරක් මස්!..ඇත්තටම දැන් වගේමයි.. ඔය ජාතිය ආගම වෙනුවෙන් පෙනී හිටින, මසක් මාලුවක් වත් නොකන අය ඒ කාලෙත් හිටියා! අදත් ඉන්නවා...!! මතුවටත් ඉදීවි...!!!

1943-03-04
පාණදුරේ දී යැ.

‘‘සෙත් වේ වා“

හිතවත් සිල්වා මහතාණෙනි,

උදව්වක් ඉල්ලමි. හරක් මස් මොබින් හෝ කොළොඹින් හෝ සපයා ගන්නට අතෙක් නැත. යම් කිසිවෙකු යොදා මට දිනපතා මස් ටිකක් ගෙන දෙන්නට බැලුව මැනැවි. මුතුකුමාරණ මහත්මා එය මෙහි ගෙනැවිත් දේවී. ගන්නා ලෙසක් තමා සැලැසිය යුතු. යම් කිසිවෙකු මෙයට යොදතොත් ඔහුට පඩුරු මුදලක්ද ගෙවිය හැකියැ.

මට වුවමනා

සදුදා, බදාදා, සිකුරාදා යන තුන් දිනැ හොද හරක් මස් රාත්තල් දෙක බැගින්
අගහරුවාදා, ගුරුදා, සෙනසුරාදා යන තුන් දිනැ හරක් පීකුදු රාත්තල බැගිනි.

මේ උදව්ව කිරීමට මගක් සොයන ලෙස ඉල්ලමි.
මෙහි රුපියල් පසෙක් වෙයි. එය ගෙවන්නා හා අත ද මුදල් එයි.

මෙයට හිතවත්,
(අත්සන)
කුමාරතුංග මුනිදාස
ලිපිය මනෝරම වීරසිංහ

වර්ජිනියා වුල්ෆ් ලේඛිකාව පිළිබඳව

20 වන සියවසෙහි පහල වූ අග්‍රගණ්‍ය ලේඛිකාවක ලෙස සැලකෙන 1941 මාර්තු 28 දින සිය දිවි නසාගත්තාය.
දරුණු ලෙස විශාදයෙන් පෙළුණු ඇය සිය දිවි නසාගත්තේ කබා සාක්කු වලට බරැති පාෂාණ පුරවාගෙන 'ඌස්' නදියට පැනීමෙන් වන අතර දින 18කට පසු දරුවන් විසින් ඇගේ මළ සිරුර සොයා ගන්නා ලදී
මේ ඊට පෙර ඇය විසින් සිය සැමියා වූ ප්‍රකට ලේඛක ලෙනාඩ් වුල්ෆ් වෙත ලියා තැබූ ලිපියේ පරිවර්තනයකි.
----------------------------------------------------------------------
"ප්‍රියාදරය,
මා නැවත වරක් නිසැකයෙන්ම උමතු භාවයට පත්වීමට යන බැව් මට හැඟේ. මීට පෙර සිදු වූවා සේ නැවත වරක් එවන් එවන් දුෂ්කර සමයකට මුහුණ දීමට අප දෙදෙනාටම හැකියාවක් නොමැති බව මම දනිමි.
මට දැන් විවිධාකාර කටහඬවල් ඇසීමට පටන් ගෙන ඇති අතර සිත එකඟ කරගැනීමේ හැකියාවද මගෙන් ගිලිහී ගොසිනි. ඒ නිසා මා මේ කරන්නේ මේ මොහොතේදී මට කළහැකි හොඳම දෙය යැයි සිතමි.
මේ කාලය තුල කෙනෙකුට ලබා දිය හැකි උපරිම සතුට ඔබ මට ලබා දී ඇත. ඔබ ඇදහිය නොහැකි තරමට සෑම අතින්ම සර්ව සම්පූර්ණ අයෙකු බව කීමට කැමැත්තෙමි.
මේ බියකරු අසනීපය අපේ ජීවිත තුළට ඇතුළු වීමට ප්‍රථම අප දෙදෙනා තරම් සතුටින් විසූ තවත් යුවලක් සිටින්නට ඇතැයි මම නොසිතමි. එහෙත් මට තව දුරටත් සටන් කළ නොහැක. මා නොමැතිව හොඳින් ගෙවිය හැකි ඔබේ ජීවිතය මවිසින් අපායක් බවට පත්කරමින් සිටින බැව් මට දැනේ. ඔබට මා නොමැතිව සතුටින් සිටිය හැකි බව දනිමි.
ප්‍රියාදරය, මෙම සටහන නිසියාකාරව ලිවීමට පවා හැකියාවක් දැන් මට නැත. මට මෙය කියැවිය නොහැක. පැවසීමට අවශ්‍ය වන්නේ මෙයයි. මේ දිවිය තුල මා ලද සෑම සතුටක් වෙනුවෙන්ම මම ඔබට සදාකල් ණයගැති වෙමි.
ඔබ ඉතා ඉවසිලිවන්තව මා සමඟ කටයුතු කළෙහිය. එමෙන්ම ඔබ ඇදහිය නොහැකි තරමේ යහපත් ගුණාංග වලින් යුතු අයෙකු වන අතර එය සැවොම දන්නා කරුණක් බව කීමට කැමැත්තෙමි. ඉදින්. මේ තත්වයෙන් මා ගලවා ගැනීමේ හැකියාවක් තිබූ අයෙකු වී නම් ඒ ඔබම මිස අන් කිසිවෙක් නොවේ. ඔබේ කාරුණිකබව ඉතිරිකොට අන් සියල්ලම මට අහිමි වී ගොසිනි. එහෙයින් තව දුරටත් ඔබේ ජීවිතය විනාශ කරමින් මගෙ ජීවිතය ගෙවීමට මට හැකියාවක් නොමැත.
අප දෙදෙනා තරම් ප්‍රීතියෙන් සිටිය හැකි වූ අන් යුවළක් මෙලොවේ තවත් නැතැයි අදහමි."

ලිපිය
Methmalie Dissanayake ගෙනි