Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

Sunday, September 11, 2016

පනුවා

පනුවා
“මචං බෝංචි නොකා ඉන්න එක හොඳයි වගේ මට දැන් පනුවෙක් හැපුනා.” සුගත් තමුන් සමග එකට කෑම කාමරයේ සිට කෑම කමින් සිටි කාර්යාල සගයන් වන මහේෂ් හා චන්දන දෙදෙනාට පැවසීය.
“නෙදකින් අත අරින්න එපා බන්. ඔහොමම ඔය බත් එක ඔතාගෙන වරෙන් යන්න කලු අක්කාට හොඳවයින් දෙකක් කතා කරලා එන්න. චික් මට පනුවෙක් හැපුනා නම් මම දනී කරනදේ.”
“ඕක ඔතාගෙන එහෙ මෙහෙ යන්න වෙලා නෑ බන්. දැන් අර ෆයිල් ටිකත් අරගෙන අපි තුන් දෙනාම අර චෙක් ටික හෑන්ඩ් ඕවර් කරන්න යන්න ඕනි. තව පැය භාගයයි තියෙන්නේ.” තම බත් පතේ තිබුනු බෝංචි ටික අයින් කරමින් සුගත් පැවසීය. තවත් කැපී ගිය පනුවෙක් බෝංචි අතර තිබෙනු යාන්තමින් ඔහු දුටුවේය. “අනිත් එක බන් ඔහොම හිටියාට පනුවෝ හරි ගුනයි. පනුවන්ගේ විතරයි විටමින් ඉසෙඩ් තියෙන්නෙ. ”
“අනේ තොගෙ රෙද්ද. විටමින් ඉසෙඩ්. ඇයි අයින් කරන්නේ ඉතිරි ටිකත් කාපියකෝ. තොපි වගේ නපුංසකයෝ නිසා තමා මුන් අපේ ඔලුවට අත හෝදන්න එන්නෙ. අපි ගෙනිහින් අර කලු අක්කා කියන ගෑනිගේ ඔලුවට හලන්න ඕනෙ බත් එක. නැද්ද බන්.”
“හරි පස්සෙ වෙලාවක ඒ වැඩේ කරමු. ටක් ගාලා දැන් කාපන්. අපිට විනාඩි විස්සයි තියෙන්නේ. හරියට එකයි කාල වෙද්දි අපි මාරු වෙන්න ඕනෙ.”
“අර අමරෙට කියලා බත් ගෙන්න ගන්න එකේ කරුමෙ තමා බන් අපි මේ ගෙවන්නෙ. නැතිනම් අර යස අගේට නිව්සිටි හෝටලෙන් බත් ගේන්න පුලුවන් කම තියෙද්දි, මූ යනවා කලු අක්කගේ රෙද්ද අස්සෙ රිංගන්න. මුන්ට වෙලා තියෙන්නෙ ගෑනියෙක් පොඩ්ඩක් හිනාවෙලා දෙනවා නම් මුන් වහ උනත් අරන් යයි. නැතිනම් මොන රෙද්දකටද බන් අර නිව්සිටි හෝටලේ පහු කරන් ගිහින් කලු අක්කගේ ගුබ්බෑයම අස්සෙ රිංගන්නෙ බත් ගේන්න.”
“වෙන පියන් එකෙක් යැව්වත් එකයි බන්. උන් ගිහින් මොන ජරාව කෑව්ත කමක් නැහැ. අපිටත් කවන්න එනවනේ මේ බැල්ලිගේ පුතාලා. ”
“මචන් උඹලා ඉක්මනට කාපන්. මම කාලා ඉවරයි. උඹලට වැඩේට යන්න මොනා හරි ගේන්න තියෙනවාද බ්‍රාන්ච් එකෙන්.”
“නෑ. චෙක් ටිකයි ෆයිල් එකයි අරන් වරෙන්. මෙහෙමම යමු.”
සුදත් කඩිනමින් තම ගිණුම් ශාඛාව වෙත යනු පෙනුනි. චන්දන සහ මහේෂ් තමුන්ගේ කතාව දිගටම කරගෙන යන ගමන් කෑම කන්නට පටන් ගති.
“උඹ දන්නවාද චන්දන මල්ලි, උඹ තාම මෙහෙ වැඩට ඇවිත් අවුරුද්දයිනේ. මම දැන් අවුරුදු අටක් වෙනවා මේ ඔෆිස් එකේ. මේ ඔෆිස් එක මුලින් පටන් ගද්දි මේ හරියේ කඩ එහෙම තිබ්බේ එකයි දෙකයි. ඔය කලු ගෑනිට තිබුනේ යන්තම් භාගෙට හදපු ගෙයක්. බයිසිකල් කබලක් වත් ඕකිට තිබ්බේ නැහැ. පස්සේ ඕකි කෝම හරි අර පියදාස පියන් කාරයයි, අනිල් කියලා කලින් පියන් කෙනෙක් හිටියා ඌවයි අල්ල ගෙන හෙමීට බත් බිස්නස් එකට සෙට් උනා. පස්සෙ අපේ අනිත් පියන් සෙට් එකත් ඔතනටම සෙට් උනා. දැන් මොකා කෑම එකක් ගේන්න කිව්වත් මේ යක්කු යන්නේ ඔතනට විතරයි. ”
“කලු උනාට ඒකි පට්ට කඳනේ නැද්ද බන්.”
“අන්න මල්ලිට තේරුනා කතන්දරේ. මුන් සෙට් එකම දොලහ වෙනකොට ඔතන. පස්සෙ ඉතින් අරකි පස්ස නටෝ නටෝ තන් දෙක හොල්ල හොල්ල බත් ටික බෙදලා දෙනකම් මුන් සෙම පෙරාගෙන ඔතන. අර මිනිහත් ඕක නොදන්නවා නෙමෙයි. ඌටත් බිස්නස් එක නැගලා යනවනම් වෙන මොනාද?”
“ඒක තමා බන්. දැන් බලපන්කෝ මුන්ගේ ගේ ඔක්කොම ටයිල් කරලා. පුටු සැටි ගෙනත් දාලා. ඒ මදිවට මුන් දැන් වෑන් එකකුත් අරගෙන.”
“අම්මපා, මම උන්ගෙ ඉලව් බත් අරන් කාලා තියෙන තරමට ඔය වෑන් කබල අරන් දීලා තියෙන්නෙ මම. හරිනම් උන් වෑන් එක එලෝනකොට මට පින් දෙන්න ඕනෙ.”
“මේ බැල්ලිගෙ පුතාලට පින් සිද්ද වෙන්න මාත් කන්නෙ ඔතනින්නේ බන්. මටත් වෑන් එක නැතත් ඕකෙ රෝදෙක හරි අයිතිය තියෙනවා.”
“අර අමරයාව අහු උනාම මට මතක් කරපන් අර ගෑනිගෙන් බත් ගේන්නෙ නැතුව නිව්සිටි හෝටලෙන් බත් ගේන්න කියලා මතක් කරන්න.”
“අන්න අර යකා එනවා ෆයිල් එකත් අරගෙන, අපි ටක් ගාලා කමු.”
“උඹලා තාම කනවද බන්. තව විනාඩි පහයි තියෙන්නෙ. වාහනේ දැන් එයි.”
“හරි හරි යකෝ විනාඩි පහට මේ වගේ හුන්ඩු දහයක් කන්න බැරියෑ.”
තම සගයන් කන අතර සුගත් තම ලිපි ගොනුව පරික්ෂා කරන්නට විය.
“හරි කාලා ඉවරයි පොඩ්ඩක් හිටපන්, අත හෝදගෙන එනකම්.”
තම මිතුරන් අවසන් කල බත් මුල් දෙස විමතියෙන් බැලූ සුගත් “මචන් උඹලා බෝංචි ටික කෑවද? බෝංචි වල පනුවොනේ බන්. මට මගදි අමරෙව මුන ගැහුනා. ඌ කිව්වා උගේ බත් එකෙත් පනුවෝ හිටිය නිසා බෝංචි අයින් කරලයි කෑවෙ කියලා.”
“මුගේ අම්මට, අහු වෙයන්කෝ ඕකව මට. මේ නොසන්ඩාලයෝ කලු ගෑනිගේ ගුබ්බෑයමට රිංගනවා මදිවට අපිටත් ජරාව කවනවා. අච්චර හොඳ හෝටලයක් තියෙද්දි.”
“නෑ බන් අමරෙ කිව්වා අද කලු අක්කාගේ ගමේ මල ගෙයක් වෙලා නිසා, නිව්සිටි හෝටලෙන් බත් ගෙනාවෙ කියල. ඌ ගිහින් හෝටල් මුදලාලිට හොඳ දෙකක් කතා කලා කිව්වා.”
“ඒකයි බන් එහෙනම් කේස් එක. ඒත් මං බැලුවා මොකෝ අද කෑම එක වෙනදා වගේ රහ නැත්තේ කියලා. වරෙන් වරෙන් යන්න වෙලාවත් එක වෙලා. හොඳ සුගත් මල්ලි වගේ අපි ටක් ගාලා අත හෝදන් එනකම් පොඩ්ඩක් වාහනේ නවත්ත ගනින්.” 
කතාව  -Asiri Epasinghe-

Wednesday, April 20, 2016

~~ ළඳුනේ ගිතයට කතාවක්.. ~~

"මචන් අර කෙල්ල.. අර කෙල්ලව මට හොදට දැකල පුරුදුයි.."
"කොයි කෙල්ලද බන්" චරිත්ගේ කීමට අසේල දළදා මාලිගාව වටේටම
බෙල්ල කරකවමින් ඇහුවේ... "අර බන් මල් ගොට්ටක් අතේ
තියාගෙන සුදු බ්ලව්ස් එකයි දිග සායයි ඇඳගෙන ඉන්නේ" "අර කනුව
ගාව ඉන්න කෙල්ලද?" "ඔව් ඔව් ඒ කෙල්ල තමයි" "උබට ඉතින්
හැම කෙල්ලම දැකල පුරුදුයිනේ.. කොහේදී හරි බස් එකකදී නම්බරේ දෙන්න ගිහින් කන අතගාව ගන්න ඇති" කන නෙමේ අතගාව ගත්තේ කියල අසේලයට උත්තර දෙන්න කට ඇරියත් චරිත් ඒ වචන ටික එලියට දැම්මේ නැහැ. ඒකට හේතු ගොඩාක් තිබ්බ. "මෙන්න මෙහෙ වරෙන් යකෝ ඔය කෙල්ල දිහා බලාගෙන ඉන්නේ නැතුව එකී උබට වඩා වැඩිමල්" කියලා අසේල චරිත්වත් ඇඳගෙන දළදා වහන්සේ වඳින්න යන පෝලිමට එකතු වුනා..
"බලපන්කො අර කොල්ල උඹ දිහා බලාගෙන ඉන්න හැටි. උබ ඒ  කොල්ලව අදුරනවද?" ශානිකාගේ ප්‍රශ්නෙන් ගැස්සුනත් පබෝදා මුකුත් නොකියා හිටියේ තමන්ගේ අතීතය හෝ හිතේ තියෙන දේවල් ශානිකා නොදන්නා නිසා.. "අපි දිහා බලන හැම එකාම අපි අදුරනවද බන්" කියල යෙහෙළියගේ කකුල පෑගු පබෝද බිම බලාගෙන පෝලිමට එකතු වුවත් ඇගේ හිත හුගක් ව්‍යාකුල වෙලා තිබුනේ 'ඒ මල්ලි ටිකක් ලොකු වෙලා, දැන් අවුරුදු හතරක් පහක් ඇතිනේ' වගේ සිතුවිලි වලින්. පැමිණි කාරියටත් බාදා එල්ල වෙලා ඇය බොහෝ අපහසුතාවයට පත් වෙලා හිටියේ..
"දේවිය.., මේ මිනිසුන් වුවෝ තේරුම් ගැනීමට හෝ අපහහු බොහේ සෙයින් එකිනෙකාට වෙනස් වූ සත්වයෝ ජාතියක් වෙති.." "එසේ පවසන්නේ කිමද මා දේවතාවුනි..." "මා මේ මාලිගාවට අධිගෘහුත දේවතාව වෙච්චි මේ වෙනකන් මා හට මෙවැනි සිදු වීමක් නම් දැකගන්න ලැබිල නෑ දේවිය... අර සිටිනා තරුණයට බිරිදන් අට දෙනෙකු ඇත්තේය... අර තරුණියට සැමියන් ගණන ඇයටත් මතක නැත්තේය දේවිය...." "ඉතින් දේවතාවුනි මේ පහල සිටින බොහෝ මිනිසුන් හා ගැහැනියන්ට එහෙමනේ..." "ඒ එසේ වුවාට දේවිය මේ තරුණයාගේ පළමු බිරිඳ අර තරුණියයි, නමුත් අර තරුණිය මේ දක්වා කල්පනා කරන්නේ ඒ තරුණයා තමාගේ කි වෙනි සැමියාද කියල.." "අහෝ දේවතාවුනි මේ මිනිසුන්ට කුමක් සිදුවීද..." "දේවියට මතකද අපි මේ වාසලේ සේවයට පැමිණීමට පෙර වෘක්ෂ දේවතාවුන් තත්වයේ සිටිද්දී පහල වාසනාව විකුනන්න කෑ ගහපු මනුස්සයාගේ කුටියෙන් අලංකාර ගීතයක් ගැයුවා ගායකයෙක්.." "කිමෙක්ද ඒ දේවතාවුනි" "දේවියට මතක නැතිද රන්බණ්ඩා සෙනෙවිරත්න කියල මනුස්ස ලෝකේ ගීත රචකයෙක් ලියපු අමරසිරි පීරිස් කියල ගායකයෙක් ගායනා කල ගීතය.. ඔන්න අහගන්න දේවිය..."
ළඳුනේ //
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ..
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි...
පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ
ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ.....
මෙන්න මේ ගීතය මට මතක් වුනා දේවිය මේ සිදුවීම දැකල... "
නිමි..!
මහන්සියි කොටලම

Tuesday, February 16, 2016

මගේ මළගම

කන පෑලෙන්නට ගසා සිටි මිතුරන් දෙදෙනා අවසන් ගෞරව දක්වනුවස් මගේ මළමිණියට එබෙත්ම එකෙකුගේ උඩ සාක්කුවේ රඳවා සිටි nokia 3310 දුරකථනය හෙමින් රූට්ටා මිණී පෙට්ටියට වෑටුනේය. ඒ ගෑන වගක් නෑති ඔවුහු "අපරාදෙ සෙට් වෙන්ඩ හිටපු රත්තරං කකුලක් නෑතිඋනා " යෑයි පවසමින් වෑනි වෑනී මිදුලේ බූරු පලේ වාඩි විය. 
කාලය පෑමිනියේය, අවසන් ස්තූති කතාව කිසිදිනක මා දෑක හෝ දෑන නොසිටි මංත්‍රීවරයා විසින් පවත්වනුවස් , ඔහු කියනුයේ මාගේ වියෝව ගමට දරාගත නොහෑකි පාඩුවක් සේම මා ගමට මෙතෙක් කල අමරණීය සේවය කිසිදිනක අමතක කල නොහෑකි බවකි. ඌ එසේ කීවද ,මා අහල පහල එකෙකුගේ පොල්ගෙඩියකුද කිසිදිනක අහුලාදීමට ගොස් නෑති අතර වෙන එකෙකුට වතුර උගුරක් දුන් බවක්ද මගේ මතකයේ නෑත.

"ඈයි මගෙ සුදු අයියේ
අපිව දාල යන්නේ "

කියමින් මිණිය පසුපසින් එන සමහරෙක් ඉඳ හිට Selfie ගෑනීමටද එක ක්ෂනයකින් upload Fecebook ගත කිරීමටද වගබලාගත් අතර ජීවත්ව සිටින කාලයේ මා පෙන්වන්නට බෑරිව උන වයසක පහේ නෑදෑ කාන්තාවන් කෑ ගසා හඬන්නටද හඬමින් හොටු සූරන්නටද නෑවත එවා ඔසවාගෙන යන පෙට්ටියේ කාටත් නොදෑනෙනසේ පිහදමන්නටද විය.

අවමඟුල් පෙරහෑටට ඉදිරියෙන් අඩි දහයෙන් දහයට නාද කරන්නට අන කරමින් කොළුවෙකුට දී තිබූ සීනුව ඌ සාක්කුවේ ඔබාගෙන සිටි අතර දුරකථනයක් අතට ගෙන ගේම් රික්වෙස්ට් යවන අතරවාරයේ ඉඩක් ලද වහාම සීනූව හෑඬවීමටත් මිණිය පරක්කුවෙන අතරවාරයේ කඩපිලක හිඳ ගේම් එකක් play කිරීමටත් උත්සුක වූහ. අති විශාල ජනගංගාවක් අවමඟුල් පෙරහෑරේ ගමන් කරන අතර වෑඩි දෙනෙක් කතා වූයේ මෛත්‍රීගේ ජර්මන් ගමනෙන් ලෑබෙන ප්‍රථිලාභ සහ අභයාරාමයේ දේශපාලන කටයුතු තහනම් කිරීමට ඈති හෑකියාව සම්භන්ධයෙන් වීම කෑපී පෙනුනෙකි.

මිණියට කර ගෑසූ වම්පෑත්තේ හතරදෙනා , මූ මොන ජරාවක් කාල මෙච්චර බර වෙලාද මන්ද? යි සෙමින් පවසනුවස් දකුණුපස හතරදෙනාගේ අදහස වූයේ මහළු මඩම් හෝ ලමා නිවාසවලට දානය නොදී අවමඟුලට සහභාගී වූ සියලුම දෙනාට හත්දොහේ සහ තුන් මහේ දානය දීමෙන් මගේ ආත්මයට නිවන් යාහෑකි බවකි.
ඉන් අනතුරුව වලට දෑමූ පෙට්ටිය දෑමූ වේගයට ගසා තිබූ කම්බි ඈන මගේ සිරුර පසා කරගෙන බහින්නට වූ අතර වික්ෂෝප වූ සියලු දෙනා වල වහන්නටද පෙර කනත්තෙන් නික්මී යනු දෑක වල වසාදමන්නට පෑමිනි කම්කරුවන් දෙදෙනා , දෑන් ඉතිං වෑඩේ ඉවරයි සල්ලි ගන්ඩ පස්සපාරෙ යන්ඩයි වෙන්නෙ' යයි හීන් හඬින් මුමුනන්නට විය.

රාත්‍රිය උදා විය කළුවර කෙමෙන් ලඟා විය. හදිසියේම මගේ පිටට යටවී තිබූ දුරකථනය නාදවන්නට විය. මිතුරාගේ ringtones හොඳින් හඳුනන මම මේ ඈමතුම ඔහුගේ බිරිඳගෙන්ම බව පසක්වී පස්වනක් ප්‍රීතියෙන් පිනාගියද ඒ වනවිටත් මිණී කපන්නා මගේ අත් දෙක එක්කර කම්බියකින් බෑඳ අත්මේස් දෙකක් හිරකර මෑරී ගියපසු හෝ කාන්තාවක් සමඟ හොර රහසේ Chat කිරීමට තිබූ අවසන් අවස්ථාවද මගෙන් උදුරාගෙන තිබුනි.............
.

Avis Noel S 

Wednesday, February 3, 2016

භාර්යාවෝ හතර දෙනා

ඔන්න එකමත් එක රටක ධනවත් සිටුවරයෙක් හිටියා.එයාට භාර්යාවෝ හතර දෙනෙක්ම හිටියා.එක ගෙදර නෙමෙයි වෙන වෙනම ගෙවල් හතරක. ඔය සිටු මෑන්ස් ඔය භාර්යාවෝ හතර දෙනාට සැලකුවේ හතර විදියකට.
ඒ කියන්නේ පළමු භාර්යාවට Full සැප. කෑමෙන් බීමෙන්ද, ඇඳුමින් පළඳුමෙන්ද, අරවයින් මෙවයින්ද අන්තිම ඉහල තත්වයෙන්.
දෙවන්නට ඊට ටිකක් අඩුවෙන් සැලකිලි සත්කාර.
තුන්වැනි භාර්යාවට ඊටත් ටිකක් අඩුවෙන්.....
හතර වැනි භාර්යාවට නම් සැලකිලි අන්තිමයි. ඕනාවට එපාවට වගේ.
හරියට එපා වාහෙට හොදි බෙදනවා වාගේ.
ඉතින් ඔහොම ඉන්න කොට ඉන්න කොට , ( ඉන්න කොට වුනේ නම් නැහැ.)
දවසක් මේ සිටු මෑන්ස් එයාගේ පලවෙනි බිරිඳ ලඟට ගිහිල්ලා කිව්වා මම දැන් මරණ මංචකය ළඟ ඉන්නේ මගෙත් එක්ක යන්න එනවද කියල." අපෝ බැහැ ' කියල දොර වහලා ගෙට වැදුනා. කමක් නැහැ මට තව තුන් දෙනෙක් ඉන්නවානේ කියල දෙවැනි බිරිය ලඟට ගියා.
එයා කිව්වා මම දොරකඩ ලඟට විතරක් ඔයත් එක්ක යන්න එන්නම් කියල.
තුන් වන බිරිඳ ලඟටත් ගියා. එයාකිව්වා' ඕනේ නම් මම සොහොන ලඟට විතරක් එන්නම්' කියල.
අන්තිමට මේ සිටු මෑන්ස් ගියා එයා හරියට නොසලකපු හතර වන භාර්යාව ලඟට.එයා කිව්වා මම ඔබ සමග මරණයට සූදානම්. අපි යමු කියලා.
---------------------------------
ඔන්න ඔය වගේ භාර්යාවන් හතර දෙනෙක් ඔබ අප තුලද ඉන්නවා.
1 වැනි භාර්යාව තමයි අපේ මේ කය, ශරීරය. කොහොමද සැලකිලි. කෑමෙන්දබීමෙන්ද, හැඩ වැඩ කිරීමෙන්ද, ඒ කියන්නේ Make-Up වලින්ද , Facial වලින්ද , Gym එකට යාමෙන්ද full සැප.
2 වැනි භාරයාව කියන්නේ අපේ ධනය වස්තුව, මිලමුදල් යාන වාහන.ගේ දොරවල්, ඉඩ කඩම්. ඒවටත් අපේ සැලකිල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
3 වැනි භාර්යාව තමයි අපේ දූදරු නෑ පරපුර.
අපි මැරෙන කොට අපිත් එක්කම යන්න ඔය එක්කෙනෙක්වත් එනවද? නැහැනේ. කය එතනම කුණු වෙලා යනවා. කිසිම සම්පතක් ගෙනියන්න පුලුවන්ද? අපෙත් එක්ක එනවද යන්න. නැහැනේ.නආදයෝ දු දරුවෝ ඕනෙනම් එයි සොහොන දක්වා පමණක්. අර තුන් වැනි භාර්යාව ආවා වගේ. එතැනින් එහාට එයිද? නැහැ.ආවත් එක්කන් යන්නත් බැහැනේ....
හැබැයි හතර වැනි භාර්යාව වගේ ඉන්න එක්කෙනානම් එන එක එනවාමයි.උපන් දා සිට කිසිම සැලකිල්ලක් නොදක්වපු, සමහර විට ඉන්නවාද කියලවත් නොහිතපු එක්කෙනා. කව්ද ඒ?
ඒ තමයි ඔබේ අපේ
" මනස "
ඒ කියන්නේ කරපු පින්පව් විතරයි අපෙත් එක්ක යන්න එන්නේ. ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙලා ජීවත් වුනොත් හොඳයි.................

ලිපිය
Sisira Gamage

Wednesday, January 27, 2016

නොමියෙන මතක - දිස්නා සමන්මලී අක්කගේ පළමු ගුවන් ගමන

යමක් හිතලා වටහා ගන්න පුලුවන් කාලෙ ඉඳලා 
අපේ හිත්වල එක එක හීන ඇඳෙනවනෙ, ඔන්න ඉතිං මටත් තිබුනා එක හීනයක්. ඒක තමා ලෝකෙවටේ සංචාරය කරන එක. උ.පෙ. ට භූගෝල විද්‍යාව හැදෑරුවෙත් රට රටවල් ගැන දැනගන්න තිබුන ආසාවටමයි. ඒකාලෙ අන්තර්ජාලය තිබුන එකක්යෑ. 
නම් හිතුවෙ ඉක්මනින් රස්සාවක් කරලා සල්ලි ටිකක් එකතු කරගෙන අඩු තරමින් ඉංදියාවට වත් යන්න. ඒත් උ.පෙ. කරලා අවු.10ක් ගෙවුනට පස්සෙ තමයි මගෙ හීනය මට දකින්න ඉඩ ලැබුනෙ.........
දෙයියනේ කියලා මගෙ කසාදෙට මාස දෙකකට කලින් දින පහක චෙන්නායි සංචාරෙකට මගෙ මහත්තයා හැමෝගෙන්ම අවසර ගත්තා. 
මමත් ඉතිං සතුටයි බයයි දෙකම පිරුණු හැඟීමකින් ගමනට මල්ලිත් එක්කම ලෑස්ති උනා. ඔන්න ඉතිං යන දවසත් ලංවුනා. 
මහත්තයට අපේ ජාතික ගුවන් සේවයෙ යන්න ෆ්‍රී ටිකට්ස් තිබුනත් එයාර් ඉංදියා එකෙන් යන්න දාගෙන හිටියෙ අපි දෙන්නා නිසා. 
දවස උදා වුනා........
මමත් ඉතිං තැනේ හැටියට ඇනේ ගහනවා කියලා හිතාගෙන සල්වාර් එකකින් සැරසිලා, පුංචිපහේ makeup එකකුත් දාලා අම්මලාටත් වැඳ නමස්කාර කරලා මහත්තයයි මල්ලියි එක්ක යන්න පිටත් වුනා.
අම්මේ.....ඔන්න ආවා ගුවන් තොටුපොළට......... 
දැන්නම් ටිකක් බයයි. ඒත් ඉතිං සතුටුයි. Entrance එකේ ඉඳලම බේරුමක් නැහැ යාලුවන්ගෙන් එක එක ප්‍රශ්න, එයාලට වෙඩිං එක කිව්වෙ නැහැ කියලා. 
අපිටත් ඉතිං හිනා........ 
මහත්තයා මට හැමදේම කියලා දුන්නා ඇතුල් වෙන තැන ඉඳලා on board වෙනකම් කෙරෙන පිළිවෙල.මොකද ඉතිං මීට කලින් ගිහින් තියෙන එකක්යෑ මම....
වෙලාව හරි දැන් flight එක take off වෙන්නයි යන්නෙ, 
ගුවන් සේවිකාවක් කියලා දුන්න පිළිවෙලට බෙල්ට් එකත් තද කරගෙන ඔන්න උඩට යන්න මාත් ලෑස්තිය. උඩටත් ගියා කියමුකො......
එකපාරටම Flight එක ටිකක් පහළට වැටුනා.මම හිතුවෙම අපි ඉවරයි තමා කියලා.මම බයෙන් මහත්තයගෙ මූණ දිහා බැලුවා. එයා මට එහෙම වෙන හේතුව, තව Air pocket වලට Flight අහුවෙන හැටි කියලා දුන්නා.
යන අතරෙ කෙටි ආහාරයකත් රස බැලුවා.......... 
පැයක ගමනකින් පස්සෙ අපි ආවා චෙන්නායි වලට. 
මෙන්න බොලේ චෙන්නායි ගුවන් තොටුපලේ ආගමන නිලධාරියෙක් කියපි, මගෙ 
Pass port එකේ පිංතූරෙයි මගේ පෙනුමයි වෙනස් කියලා...මහත්තයයි මල්ලියි දෙන්නත් වෙන පෝලිම් දෙකක. දැන් ඉතිං මොකද කරන්නෙ...
දන්න ඉංග්‍රීසියෙන් කිව්වා මම නෙමෙයි මගෙ කොන්ඩා මෝස්තරයයි වෙනස් සර් කියලා පොඩි හිනාවකුත් දාලා. තනියම නෙමේ ආවෙ කියල අපේ දෙන්නවත් පෙන්නුවා.. ටික වෙලාවක් Pass port එකයි මගෙ මූණයි බලපු නිලධාරියා යන්තම් සීල් එක ගහලා යන්න දුන්නා.......ඔන්න දැන් අපි ගුවන්තොටු‍පොළෙන් එළියට ආවා.
අපේ මහත්තයා( අනිල් අයියා)ත් දැන් අපිදෙන්නවත් ඉස්සර කරගෙන පාර දිගටම යනවා....අර ට්‍රැවලින්බෑග් එහෙමත් ඇදගෙන.
එළියෙ කුළීරථ තියෙන තැනත් පහුවුණා. මම දැන් හිතින් බැන බැන යනවා අනිල් අයියට මේ මනුස්සයගෙ තියෙන ලෝබකම,පයින්ම එක්කගෙන යනවා කියලා.......
කොහොම හරි බස් යන පාරකට ආවා. පාරත් ක්‍රොස් කරලා අපි ආවා ස්ටේෂන් එකකට. ඔය එන අතරතුරත් ස්ටේෂන් එකෙත් මම දැකපු සුලබ දසුනක් තමයි, අත් කකුල් නැති සරමයි අත්කොට කමිසයයි ඇඳගත්ත, මුහුණෙ කිසිම ප්‍රියමනාප බවක් නැති මිනිස්සු. 
මට මතක් වුනේ අපේ මල්ලි හරි ආසාවෙන් බලන දමිළ චිත්‍රපටි.අර ඒවල පෙන්නන, කඩු,මන්න පොරෝ වලින් අත පය කපපු මිනිස්සුන්ව......
මට දැන් ටිකක් බය හිතුනා....අපේ දෙන්නට ගහලා මාව උස්සගෙන යයි කියලා.
(ඒ දවස් වල මම ස්ලිම් හොඳේ)
වැඩි වෙලාවක් ගියෙ නැහැ විදුලි දුම්රියක් ආවා චංචල නාදයකුත් එක්ක. 
අපිත් ඉක්මනට බෑග් තුනත් පටවගෙන ට්‍රේන් එකට නැග ගත්තා. 
අම්මේ....ඒකෙ හිටපු සෙනග, කොහොම හරි අස්සෙන් රින්ගලා ගිහින් සීට් එකකින් අල්ල ගත්තා.
එතන ඉඳගෙන හිටියෙ ටිකක් පිළිවෙලට ඇඳ පැළඳ ගත් පිරිමි කෙනෙක්. 
මං දිහා හොඳට බලපු එයා නැගිටලා මට ඉඳගන්න කියලා එයාගෙ ෂීට් එක දුන්නා. අනිල් අයියා අපිව එක්ක ආවෙ එග්මෝර් වලට.
එග්මෝර් වලින් බහැගත්ත අපි ඒ ලඟම තිබුන මහාබෝධි සංගමයෙ චෙන්නායි ශාඛාවට ආවා. ඒ එන පාර දිගටම පදික වෙළෙඳුන් ගොඩක් හිටියා. 
ඇඳුම් පැළඳුම්,පළතුරු ඒ අතර තිබුනා. සමහර වෙළෙඳුන් සිංහලෙනුත් කතාකලා.
දැන් ටිකක් මට නිවන් ගියා වගේ......අපේ තැනකටනෙ ආවෙ. 
මහාබෝධියෙ ලොකු හාමුදුරුවන්ට(ලොකු කිව්වට ගොඩක් තරුණ පිංපාට හාමුදුරු නමක්) ‍තොරතුරු කියලා. ට්‍රිපල් රූම් එකක් ගත්ත අපි තුන්වෙනි තට්ටුවෙ තිබුණු රූම් එකට ගියා.
අනිල් අයියයි මල්ලියි ඉක්මනින් වොෂ් එකක් දාගෙන,ලන්ච් එක රූම් එකටම අරගෙන එන්නම් කිව්වා. මටත් ගමන් මහන්සිය නිසා ඒ යොජනාවට එක පයින් කැමති වුනා.
ඒදෙන්නා ගියාට පස්සෙ රූම් එකේ දොරත් ලොක් කරලා වොෂ් එකක් දාන්න ගත්තා.
විනාඩි දහයක්වත් ගියේ නැහැ මෙන්න ආයෙමත් අවිදින් මේ දෙන්නා දොරට තඩිබානවා.
මමත් ටිකක් හයියෙන් කිව්වා පොඩ්ඩක් ඉන්න අනේ,ඉක්මනට එන්නම් කියලා.
දඩිබිඩි ගාලා ඇඳුනුත් මාරු කරගෙන, “නිදහසේ නාගන්නවත් දෙන්නෙ නැහැ“ කියලා දොස් කියාගෙනම ගිහින් දොර ඇරලා ඔළුව දාලා බැලුවා.
මළා.....ලොකු හාමුදුරුවො ඇවිත් ඉන්නෙ. රතිඤ්ඤා කරලකට වඩා ටිකයි සැර අඩු කියලා හිතන්න ඇති. 
අයියා ඉන්නවද අක්කෙ කියලා අහලා, ඩොලර් සීයක ඉන්දියන් රුපියලුයි රූම් එකේ බැලන්ස් එකයි දීලා ගියා.ඉතිං හවස අපි එග්මෝර් අවට වීදි වල ටිකක් ඇවිද්දා...මම නම් විශේෂයෙන් ඇවිදලා බැලුවෙ කෑම කඩ ගැන තමයි.
දෙවෙනි දවසෙ උදේ අපි යන්න කතා වුනේ මන්නඩි ස්ට්‍රීට්. කතා වුනා කිව්වට අනිල් අයියා විතරයි ඒ පැත්ත ගැන දැනගෙන හිටියෙ.
ඇඳ පැළඳගෙන මහ බෝධියෙන් එළියට ආපු අපි, ඒ ළඟ තිබුනු සරවනා බවන් එකට ආවා උදේ කෑමට. හොඳ වෙලාවට ඒක වෙජි රෙස්ටෝරන්ට් එකක්, නැත්නම් වෙන්නෙ උදේ පාන්දරම චිකන් පලුවකින් කුස පුරවගන්න. ඒ අවට කෑම කඩ එක්ක බැලුවහම සරවනා බවන් ගොඩක් පිරිසිඳු හොඳම තැනක්. අනිල් අයියා අපිට මසාලා තෝස අරගෙන පෘට් ජුසුත් අරන් දුන්නා. මම ගත්තෙ ගනන් වැඩිම දෙළුම් යුෂ එක තව තිබුනා ගොඩක් පළතුරු වර්ග. හම්මේ.... දෙළුම් එකේ රස කියලා වැඩක් නැහැ. 
කොහොම හරි කාලා බීලා අපි ආවා එග්මෝර් ස්ටේෂන් එකට. ට්‍රේන් එකකට නැගලා මන්නඩි ස්ට්‍රීට් ගියා.ඒක තමයි ට්‍රේන් එක යන අන්තිම ස්ටේෂන් එක. හෝල් සේල් කඩවල් අස්සෙ රිංගලා ඇවිදලා ඇවිදලා මමනම් හොඳටම හෙම්බත් උනා. ඒත් මොනවත් අරන් දුන්නෙ නැහැ අනිල් අයියා.මල්ලිටත් කිව්වා පස්සෙ ගමු කියලා.ඔන්න ආයෙමත් අර සිතිවිල්ල ආවා මට.මේ මනුස්සයනම් මාර ලෝබයෙක්........
ඒ පැත්තෙන් ලන්ච් එක ගන්න පිරියක් නොතිබුන නිසා ආයෙත් ප්‍රෙෂ් ජුස් බීලා ට්‍රේන් එකේම එග්මෝර් එන්න පිටත් වුනා.එග්මෝර් එනකොට හවස් වෙලා. 
ස්ටේෂන් එකේ ඉඳලා මහබෝධියට එන පාර දිගේ මම කිව්වෙ වෙලෙන්දෝ ඉන්නවා කියලා, අළුත් මිදි වගයක් විකුණමින් හිටිය ආච්චි කෙනෙක් ලඟට මාත් ගියා අපිට රූම් එකේදි කන්න මිදි ටිකක් ගන්න. 
අනේ ඒ ආච්චිත් ආදරෙන් පිළිගත්තා මාව. මම කොළපාට මිදි කිලෝ එකක් ඉල්ලුවා රු.30යි කිලෝ එකම. ආච්චිත් ඉතිං මිදි ටික කිරලා දුන්නා......බර ගොඩක් අඩුයි. මම බැලුවා ආච්චිට වැරදුනාවත්ද කියලා. ආයෙත් ඇහුවා කිලෝ එකක් නේද කියලා.ආච්චිත් ඔව් කිව්වා. මම කිව්වා ආයෙත් කිරන්න කියලා.මෙන්න බොලේ ආච්චි බැහැ කියනවා. හයියෙන් හයියෙන් මොන මොනවදෝ කියනවා.මට ඉතිං දමිළ තේරෙන එකක්යෑ. 
ඒ සද්දෙට අපේ දෙන්නත් ඉක්මනට එතනට ආවා.මම කිව්වා වෙච්චදේ. වටේ හිටපු වෙළෙන්දො දෙතුන් දෙනෙකුත් ආවා. එයාලත් ආච්චිට මොනවදෝ කිව්වා ඒ කිව්වෙනම් ආයෙත් කිරලා දෙන්න කියලා මිදිටික. 
ඒ අස්සෙන් අපේ දෙන්නා කියනවා මට මේ ඕක අරගෙන යමු මේ අපේ රට නෙමෙයි.මේ මිනිස්සු කොහොමත් අපිත් එක්ක තරහෙන් ඉන්නෙ කියලා.( ඒ දවස්වල උතුරු නැගෙනහිර යුද්ධෙ බරටම තිබුන කාලයක්). 
මටත් ටිකක් බය හිතුනා එහෙම කියපුවහම.මට ආයෙත් මතක් වුනේ දමිළ චිත්‍රපටිවල මන්න පොරෝ වලින් කපන කොටන හැටි මිනිස්සුන්ව. ‍
කොහොම හරි ආච්චිට සිද්ධ වුනා අනෙක් අයගෙ කීමට ආයෙත් මිදි ටික කිරන්න. 
ආච්චි ආයෙත් තරාදියට දාලා කිරනවා. මිදි දාලා තියෙන පැත්ත ඇදගෙන ඉන්නවා කිලෝ එකවෙන්න. මම කිව්වා අත අතාරින්න කියලා, මොන ආච්චි නෙමෙයි අතාරින්නෙ ........මේක බලන් හිටපු අනික් වෙළෙන්දන්ගෙන් කෙනෙක් ඇවිත් තරාදිය ඉල්ලගෙන මිදි ටික කිරුවා. හරියටම ග්රෑම් 600යි.කිලෝ එක වෙන්න කිරලා ඒ මනුස්සයා දුන්නා.මට ඉතිං ආච්චිට........
අපේ වන්දනාවෙ එන අහිංසක ආච්චිලා සීයලාව මේ හොර වෙළෙන්දො කොහොම රවට්ටනවා ඇතිද කියලා මට හිතුනා.
හම්මේ ඒ යුද්දෙ ඉවර වෙලා රූම් එකට ඇවිත් වොෂ් එකක් දාලා එහෙම බලනකොට රෑ වෙලා....ඊට පස්සෙ අපි ගියා ලන්ච් ගන්න.ඉතිං දෙවෙනි දවස එහෙමලු ගෙවුනෙ.
තුන්වෙනි දවස අපි දා ගත්තෙ කොහෙහරි ලස්සන තැනක ඇවිදින්න යන්න.
මහබෝධිය අවට ඉන්න ටුක් ටුක් රියදුරන්ගෙන් ටිකක් විපරම් කරලා බැලුවා උදේ ගිහින් හවස එන්න පුළුවන් තැනක්....අපි යන්න තීරණය කලේ මහබලිපුරම්. 
උදේ කෑම වෙජි රෙස්ටෝරන්ට් එකෙන් කෑව දවල්ටත් එක්කම, මොකද ඔය යන පැත්තෙ අපිට හරියන කෑම කඩයක් නොතිබුනොත් කියන බය හොල්මන් කලා මගෙ හිත ඇතුලෙ.
අනිල් අයියයි මල්ලියි දෙන්නා ටුක් ටුක් රියදුරන් කීප දෙනෙකුවම ඉන්ටවීව් කරලා එක්කෙනෙක් තෝර ගත්තා අපේ ගමනට. කොහොම හරි කේවල් කරලා හයර් එක රු.1200 ඉඳලා 950 ට අඩුකර ගත්තා.ඒ දවස් වල ඒ ගාන 2.60න් වැඩිකරලා බලන්න ඔනා අපේ මුදල් වලින් කීයද කියලා.
අපි ගමන යන්න පිටත් වුනා. චෙන්නායිවලට පය තියපු දා ඉඳලා මම දැක්කෙ හැම තැනම අලවලා තියෙන දමිළ චිත්‍රපටි වල පෝස්ටර්. ලස්සන නිළියොත් එක්ක ඉන්න තඩි මහත කලු කොට නළුවන්ගෙ පිංතූර. මම නම් අඳුන ගත්තෙ රජිනි කාන්ත් ව විතරයි. අපේ මල්ලිනම් හරිම ඕනෙ කමින් බලනවා මම දැක්කා. අනිල් අයියා නම් මොනවා බැලුවද දන්නෙ නැහැ.
අපි මහබලිපුරම් පාරට ආවට පස්සෙ හම්බ වුනා ආසියාවෙ ලොකුම සිටි බීච් එක, මැරීනා බීච්.හම්මේ ඒකෙ ලොකු, ඉමක් කොනක් පේන්නෙ නැහැ.හරිම සුන්දර දසුනක්.හැබැයි දවල් වෙනකොටනම් ඉන්න බැරිව ඇති රස්නෙ නිසා. බීච් එක අයිනෙ දිගටම තිබුනෙ බයික් නවත්තලා.මුළු ලංකාවෙවත් නැතිව ඇති එච්චර බයික් තොගයක්,මට හිතුනෙ එහෙම.
දැන් අපි බහබලිපුරම් වලට ආවා.ඒක මුහුද අයිනෙ තියෙන ගල් කැටයම් පිරුණු කෝවිලක්. හරිම ලස්සනයි ඒ පළාතම.ඒකට යන්න හැමෝම ටිකට් ගන්න ඔනා. ටුක් ටුක් ඩ්‍රයිවර් අපිට ඇවිදලා එන්න කිව්වා. අපි ටිකට් කවුන්ටරය ලඟට ආවා.....රත්තරං බඩුකඩ (රත්තරං ඉහිං කනින් එල්ල ගත්ත කාන්තාවෝ)රොත්තක් එතන පොරකනවා ටිකට් ගන්න. මම අපේ දෙන්නට කිව්වා මම ටිකට් අරගෙන එන්නම් කියලා. මොන හිතකින් එතෙන්ට යවන්නද මේ දෙන්නව.මම ගිහින් ටිකට් තුනක් ගත්තා. 
තව ටික දුරක් පයින් යන්න ඔනා කෝවිලට ඇතුල්වෙන ගේට්ටුව ලඟට.අපිත් ඉතිං කියව කියව ගියා.....ගේට් එක ලඟ හිටපු සික්‍යුරිටි එකෙන් ටිකට් ඉල්ලුවා.අනිල් අයියා මට කිව්වා ටිකට් දෙන්න කියලා. ටිකට් අතට අරගත්ත ඒ මනුස්සයා, අපි කොයි රටේද කියලා ඇහැව්වා. මමත් ආඩම්බරෙන් කිව්වා ලංකාවෙ කියලා. “මිස් මේ දේශීය ටිකට්, ඇතුල් වෙන්න දෙන්න බැහැ ගිහින් විදේශීය ටිකට් අරගෙන එන්න“ කියලා කියපි.කාටද අප්පා ඉන්දියාවට ගියාම අපි විදේශිකයො කියලා හිතෙන්නෙ. මටමයි වෙන්නෙ......අපේ දෙන්නට නම් මාත් එක්ක මලපැනලා. අනිල් අයියා කිවවා ඔයාලා ඔතනම ඉන්න මම ටිකට් අරගෙන එන්නම් කියලා. මම නම් කිව්වා අපි ආපහු යමු වෙන දවසක එමු කියලා. හොඳ වෙලාවට දෙන්නා කැමති වුනා ඒ යෝජනාවට.
ආපහු එන අතරෙ ටුක් ටුක් ඩ්‍රයිවර් අපිව එක්ක ගියා ක්‍රොකඩයිල් ෆාම් එකකට. වෙලාව තිබුන නිසා ඒකෙ ටිකක් ඇවිද්දා. අඩි 10-15 දිග ලොකු කිඹුල්ලු ගොඩාක් හිටියා, කෙටි තාප්ප වලින් වටවුනු වලවල් වල. බැරි වෙලාවත් කිඹුල්ලු රොත්තක් මේ පොඩි තාප්පයක් කඩාගෙන එලියට ආවොත් දෙයියනේ දුවන්න වෙන්නෙ සුසන්තිකාගෙ දිවිල්ල තමා. එහෙමත් හිතුනා මට. ඒත් කාටවත් කියන්න ගියේ නැහැ. අපේ දෙන්නටත් මලපැනලා ඉන්න වෙලාවනෙ.
හවස් වෙනකොට අපි අපේ නවාතැනට ආවා. එදත් ලන්ච් එක ගන්න ගියේ රෑ.වාව් චිකන් බිරියානි, කර්ඩ් දාපු අනියන් සැලඩ් එකත් මාර රසක්.
හතරවෙනි දවස අනිල් අයියා ආයෙත් අපිව එක්ක ගියේ මන්නඩි ස්ට්‍රීට්. දෙවෙනි දවසෙ ගිහින් ඇවිදපු කඩ හැම එකකටම ගිහින් මම ලස්සණයි කියලා බලලා ආපු හැම එකක්ම අරගෙන දුන්නා. මල්ලිත් එයාට ඔන බඩු ගත්තා. අන්තිමට තුන්දෙනාටත් උස්සගෙන එන්න බැරි තරම් බඩු තොගයක්. අනේ මම මේ දානපතියටනෙ ලෝබයෙක් කියලා හිතුවෙ,මට මං ගැනම තරහක් ආවා. 
කොහොම හරි හතරවෙනි දවසත් ගෙවුනා. පහුවදා හවස අපි ලංකාවට යන දවස.එදා උදේම නැගිටලා බෑග් හතරකට බඩු පැක්කලා. ආයෙත් ටිකක් ඇවිදලා කාලා බීලා ආවා මිදි ගන්න.ආච්චිගෙන් නම් නෙමෙයි හැබැයි.
මිදි කිලෝ පහකුයි දෙළුම් ගෙඩි දහයකුයි ගත්තා. ඒ දවස්වල ලොකු දෙළුම් ගෙඩියක් රු.20ක් වගේ වුනේ. අනිල් අයියනම් එච්චර කැමති වුනේ නැහැ ඒවා උස්සගෙන යන්න. 
අපි එයාර්පෝර්ට් එකට යන්න වෙලාවත් ලංවුනා. අනිල් අයියා පොඩි වෑන් එකක් කතාකරගෙ ආවා.බඩු ටිකත් පටවගෙන, මහබෝධියෙ ලොකු හාමුදුරුවන්ගෙනුත් සමු අරගෙන අපි ආවා එයාර්පෝර්ට් එකට . දැන් මට ගෙදර යනකම් සිහියක් නැහැ......ඉංදියාවට සමුදීලා එයා ඉන්දියා ෆ්ලයිට් එකෙන් ඇවිත් ලංකාවටත් ගොඩබැස්සා. මට මාර බත් බඩගින්නක් ආවා. එයාර්පෝර්ට් එකේ ඉඳම්ම අම්මට  කෝල් කලා බතුයි, අල තක්කලි මාලුමිරිස් දාලා කරවල හොද්දක් හදන්න කියලා...
...........අවසානයි.........

මතක සටහන 

Disna Samanmalie Warnakulasuriya අක්කාගේ