Wednesday, January 27, 2016

නොමියෙන මතක - දිස්නා සමන්මලී අක්කගේ පළමු ගුවන් ගමන

යමක් හිතලා වටහා ගන්න පුලුවන් කාලෙ ඉඳලා 
අපේ හිත්වල එක එක හීන ඇඳෙනවනෙ, ඔන්න ඉතිං මටත් තිබුනා එක හීනයක්. ඒක තමා ලෝකෙවටේ සංචාරය කරන එක. උ.පෙ. ට භූගෝල විද්‍යාව හැදෑරුවෙත් රට රටවල් ගැන දැනගන්න තිබුන ආසාවටමයි. ඒකාලෙ අන්තර්ජාලය තිබුන එකක්යෑ. 
නම් හිතුවෙ ඉක්මනින් රස්සාවක් කරලා සල්ලි ටිකක් එකතු කරගෙන අඩු තරමින් ඉංදියාවට වත් යන්න. ඒත් උ.පෙ. කරලා අවු.10ක් ගෙවුනට පස්සෙ තමයි මගෙ හීනය මට දකින්න ඉඩ ලැබුනෙ.........
දෙයියනේ කියලා මගෙ කසාදෙට මාස දෙකකට කලින් දින පහක චෙන්නායි සංචාරෙකට මගෙ මහත්තයා හැමෝගෙන්ම අවසර ගත්තා. 
මමත් ඉතිං සතුටයි බයයි දෙකම පිරුණු හැඟීමකින් ගමනට මල්ලිත් එක්කම ලෑස්ති උනා. ඔන්න ඉතිං යන දවසත් ලංවුනා. 
මහත්තයට අපේ ජාතික ගුවන් සේවයෙ යන්න ෆ්‍රී ටිකට්ස් තිබුනත් එයාර් ඉංදියා එකෙන් යන්න දාගෙන හිටියෙ අපි දෙන්නා නිසා. 
දවස උදා වුනා........
මමත් ඉතිං තැනේ හැටියට ඇනේ ගහනවා කියලා හිතාගෙන සල්වාර් එකකින් සැරසිලා, පුංචිපහේ makeup එකකුත් දාලා අම්මලාටත් වැඳ නමස්කාර කරලා මහත්තයයි මල්ලියි එක්ක යන්න පිටත් වුනා.
අම්මේ.....ඔන්න ආවා ගුවන් තොටුපොළට......... 
දැන්නම් ටිකක් බයයි. ඒත් ඉතිං සතුටුයි. Entrance එකේ ඉඳලම බේරුමක් නැහැ යාලුවන්ගෙන් එක එක ප්‍රශ්න, එයාලට වෙඩිං එක කිව්වෙ නැහැ කියලා. 
අපිටත් ඉතිං හිනා........ 
මහත්තයා මට හැමදේම කියලා දුන්නා ඇතුල් වෙන තැන ඉඳලා on board වෙනකම් කෙරෙන පිළිවෙල.මොකද ඉතිං මීට කලින් ගිහින් තියෙන එකක්යෑ මම....
වෙලාව හරි දැන් flight එක take off වෙන්නයි යන්නෙ, 
ගුවන් සේවිකාවක් කියලා දුන්න පිළිවෙලට බෙල්ට් එකත් තද කරගෙන ඔන්න උඩට යන්න මාත් ලෑස්තිය. උඩටත් ගියා කියමුකො......
එකපාරටම Flight එක ටිකක් පහළට වැටුනා.මම හිතුවෙම අපි ඉවරයි තමා කියලා.මම බයෙන් මහත්තයගෙ මූණ දිහා බැලුවා. එයා මට එහෙම වෙන හේතුව, තව Air pocket වලට Flight අහුවෙන හැටි කියලා දුන්නා.
යන අතරෙ කෙටි ආහාරයකත් රස බැලුවා.......... 
පැයක ගමනකින් පස්සෙ අපි ආවා චෙන්නායි වලට. 
මෙන්න බොලේ චෙන්නායි ගුවන් තොටුපලේ ආගමන නිලධාරියෙක් කියපි, මගෙ 
Pass port එකේ පිංතූරෙයි මගේ පෙනුමයි වෙනස් කියලා...මහත්තයයි මල්ලියි දෙන්නත් වෙන පෝලිම් දෙකක. දැන් ඉතිං මොකද කරන්නෙ...
දන්න ඉංග්‍රීසියෙන් කිව්වා මම නෙමෙයි මගෙ කොන්ඩා මෝස්තරයයි වෙනස් සර් කියලා පොඩි හිනාවකුත් දාලා. තනියම නෙමේ ආවෙ කියල අපේ දෙන්නවත් පෙන්නුවා.. ටික වෙලාවක් Pass port එකයි මගෙ මූණයි බලපු නිලධාරියා යන්තම් සීල් එක ගහලා යන්න දුන්නා.......ඔන්න දැන් අපි ගුවන්තොටු‍පොළෙන් එළියට ආවා.
අපේ මහත්තයා( අනිල් අයියා)ත් දැන් අපිදෙන්නවත් ඉස්සර කරගෙන පාර දිගටම යනවා....අර ට්‍රැවලින්බෑග් එහෙමත් ඇදගෙන.
එළියෙ කුළීරථ තියෙන තැනත් පහුවුණා. මම දැන් හිතින් බැන බැන යනවා අනිල් අයියට මේ මනුස්සයගෙ තියෙන ලෝබකම,පයින්ම එක්කගෙන යනවා කියලා.......
කොහොම හරි බස් යන පාරකට ආවා. පාරත් ක්‍රොස් කරලා අපි ආවා ස්ටේෂන් එකකට. ඔය එන අතරතුරත් ස්ටේෂන් එකෙත් මම දැකපු සුලබ දසුනක් තමයි, අත් කකුල් නැති සරමයි අත්කොට කමිසයයි ඇඳගත්ත, මුහුණෙ කිසිම ප්‍රියමනාප බවක් නැති මිනිස්සු. 
මට මතක් වුනේ අපේ මල්ලි හරි ආසාවෙන් බලන දමිළ චිත්‍රපටි.අර ඒවල පෙන්නන, කඩු,මන්න පොරෝ වලින් අත පය කපපු මිනිස්සුන්ව......
මට දැන් ටිකක් බය හිතුනා....අපේ දෙන්නට ගහලා මාව උස්සගෙන යයි කියලා.
(ඒ දවස් වල මම ස්ලිම් හොඳේ)
වැඩි වෙලාවක් ගියෙ නැහැ විදුලි දුම්රියක් ආවා චංචල නාදයකුත් එක්ක. 
අපිත් ඉක්මනට බෑග් තුනත් පටවගෙන ට්‍රේන් එකට නැග ගත්තා. 
අම්මේ....ඒකෙ හිටපු සෙනග, කොහොම හරි අස්සෙන් රින්ගලා ගිහින් සීට් එකකින් අල්ල ගත්තා.
එතන ඉඳගෙන හිටියෙ ටිකක් පිළිවෙලට ඇඳ පැළඳ ගත් පිරිමි කෙනෙක්. 
මං දිහා හොඳට බලපු එයා නැගිටලා මට ඉඳගන්න කියලා එයාගෙ ෂීට් එක දුන්නා. අනිල් අයියා අපිව එක්ක ආවෙ එග්මෝර් වලට.
එග්මෝර් වලින් බහැගත්ත අපි ඒ ලඟම තිබුන මහාබෝධි සංගමයෙ චෙන්නායි ශාඛාවට ආවා. ඒ එන පාර දිගටම පදික වෙළෙඳුන් ගොඩක් හිටියා. 
ඇඳුම් පැළඳුම්,පළතුරු ඒ අතර තිබුනා. සමහර වෙළෙඳුන් සිංහලෙනුත් කතාකලා.
දැන් ටිකක් මට නිවන් ගියා වගේ......අපේ තැනකටනෙ ආවෙ. 
මහාබෝධියෙ ලොකු හාමුදුරුවන්ට(ලොකු කිව්වට ගොඩක් තරුණ පිංපාට හාමුදුරු නමක්) ‍තොරතුරු කියලා. ට්‍රිපල් රූම් එකක් ගත්ත අපි තුන්වෙනි තට්ටුවෙ තිබුණු රූම් එකට ගියා.
අනිල් අයියයි මල්ලියි ඉක්මනින් වොෂ් එකක් දාගෙන,ලන්ච් එක රූම් එකටම අරගෙන එන්නම් කිව්වා. මටත් ගමන් මහන්සිය නිසා ඒ යොජනාවට එක පයින් කැමති වුනා.
ඒදෙන්නා ගියාට පස්සෙ රූම් එකේ දොරත් ලොක් කරලා වොෂ් එකක් දාන්න ගත්තා.
විනාඩි දහයක්වත් ගියේ නැහැ මෙන්න ආයෙමත් අවිදින් මේ දෙන්නා දොරට තඩිබානවා.
මමත් ටිකක් හයියෙන් කිව්වා පොඩ්ඩක් ඉන්න අනේ,ඉක්මනට එන්නම් කියලා.
දඩිබිඩි ගාලා ඇඳුනුත් මාරු කරගෙන, “නිදහසේ නාගන්නවත් දෙන්නෙ නැහැ“ කියලා දොස් කියාගෙනම ගිහින් දොර ඇරලා ඔළුව දාලා බැලුවා.
මළා.....ලොකු හාමුදුරුවො ඇවිත් ඉන්නෙ. රතිඤ්ඤා කරලකට වඩා ටිකයි සැර අඩු කියලා හිතන්න ඇති. 
අයියා ඉන්නවද අක්කෙ කියලා අහලා, ඩොලර් සීයක ඉන්දියන් රුපියලුයි රූම් එකේ බැලන්ස් එකයි දීලා ගියා.ඉතිං හවස අපි එග්මෝර් අවට වීදි වල ටිකක් ඇවිද්දා...මම නම් විශේෂයෙන් ඇවිදලා බැලුවෙ කෑම කඩ ගැන තමයි.
දෙවෙනි දවසෙ උදේ අපි යන්න කතා වුනේ මන්නඩි ස්ට්‍රීට්. කතා වුනා කිව්වට අනිල් අයියා විතරයි ඒ පැත්ත ගැන දැනගෙන හිටියෙ.
ඇඳ පැළඳගෙන මහ බෝධියෙන් එළියට ආපු අපි, ඒ ළඟ තිබුනු සරවනා බවන් එකට ආවා උදේ කෑමට. හොඳ වෙලාවට ඒක වෙජි රෙස්ටෝරන්ට් එකක්, නැත්නම් වෙන්නෙ උදේ පාන්දරම චිකන් පලුවකින් කුස පුරවගන්න. ඒ අවට කෑම කඩ එක්ක බැලුවහම සරවනා බවන් ගොඩක් පිරිසිඳු හොඳම තැනක්. අනිල් අයියා අපිට මසාලා තෝස අරගෙන පෘට් ජුසුත් අරන් දුන්නා. මම ගත්තෙ ගනන් වැඩිම දෙළුම් යුෂ එක තව තිබුනා ගොඩක් පළතුරු වර්ග. හම්මේ.... දෙළුම් එකේ රස කියලා වැඩක් නැහැ. 
කොහොම හරි කාලා බීලා අපි ආවා එග්මෝර් ස්ටේෂන් එකට. ට්‍රේන් එකකට නැගලා මන්නඩි ස්ට්‍රීට් ගියා.ඒක තමයි ට්‍රේන් එක යන අන්තිම ස්ටේෂන් එක. හෝල් සේල් කඩවල් අස්සෙ රිංගලා ඇවිදලා ඇවිදලා මමනම් හොඳටම හෙම්බත් උනා. ඒත් මොනවත් අරන් දුන්නෙ නැහැ අනිල් අයියා.මල්ලිටත් කිව්වා පස්සෙ ගමු කියලා.ඔන්න ආයෙමත් අර සිතිවිල්ල ආවා මට.මේ මනුස්සයනම් මාර ලෝබයෙක්........
ඒ පැත්තෙන් ලන්ච් එක ගන්න පිරියක් නොතිබුන නිසා ආයෙත් ප්‍රෙෂ් ජුස් බීලා ට්‍රේන් එකේම එග්මෝර් එන්න පිටත් වුනා.එග්මෝර් එනකොට හවස් වෙලා. 
ස්ටේෂන් එකේ ඉඳලා මහබෝධියට එන පාර දිගේ මම කිව්වෙ වෙලෙන්දෝ ඉන්නවා කියලා, අළුත් මිදි වගයක් විකුණමින් හිටිය ආච්චි කෙනෙක් ලඟට මාත් ගියා අපිට රූම් එකේදි කන්න මිදි ටිකක් ගන්න. 
අනේ ඒ ආච්චිත් ආදරෙන් පිළිගත්තා මාව. මම කොළපාට මිදි කිලෝ එකක් ඉල්ලුවා රු.30යි කිලෝ එකම. ආච්චිත් ඉතිං මිදි ටික කිරලා දුන්නා......බර ගොඩක් අඩුයි. මම බැලුවා ආච්චිට වැරදුනාවත්ද කියලා. ආයෙත් ඇහුවා කිලෝ එකක් නේද කියලා.ආච්චිත් ඔව් කිව්වා. මම කිව්වා ආයෙත් කිරන්න කියලා.මෙන්න බොලේ ආච්චි බැහැ කියනවා. හයියෙන් හයියෙන් මොන මොනවදෝ කියනවා.මට ඉතිං දමිළ තේරෙන එකක්යෑ. 
ඒ සද්දෙට අපේ දෙන්නත් ඉක්මනට එතනට ආවා.මම කිව්වා වෙච්චදේ. වටේ හිටපු වෙළෙන්දො දෙතුන් දෙනෙකුත් ආවා. එයාලත් ආච්චිට මොනවදෝ කිව්වා ඒ කිව්වෙනම් ආයෙත් කිරලා දෙන්න කියලා මිදිටික. 
ඒ අස්සෙන් අපේ දෙන්නා කියනවා මට මේ ඕක අරගෙන යමු මේ අපේ රට නෙමෙයි.මේ මිනිස්සු කොහොමත් අපිත් එක්ක තරහෙන් ඉන්නෙ කියලා.( ඒ දවස්වල උතුරු නැගෙනහිර යුද්ධෙ බරටම තිබුන කාලයක්). 
මටත් ටිකක් බය හිතුනා එහෙම කියපුවහම.මට ආයෙත් මතක් වුනේ දමිළ චිත්‍රපටිවල මන්න පොරෝ වලින් කපන කොටන හැටි මිනිස්සුන්ව. ‍
කොහොම හරි ආච්චිට සිද්ධ වුනා අනෙක් අයගෙ කීමට ආයෙත් මිදි ටික කිරන්න. 
ආච්චි ආයෙත් තරාදියට දාලා කිරනවා. මිදි දාලා තියෙන පැත්ත ඇදගෙන ඉන්නවා කිලෝ එකවෙන්න. මම කිව්වා අත අතාරින්න කියලා, මොන ආච්චි නෙමෙයි අතාරින්නෙ ........මේක බලන් හිටපු අනික් වෙළෙන්දන්ගෙන් කෙනෙක් ඇවිත් තරාදිය ඉල්ලගෙන මිදි ටික කිරුවා. හරියටම ග්රෑම් 600යි.කිලෝ එක වෙන්න කිරලා ඒ මනුස්සයා දුන්නා.මට ඉතිං ආච්චිට........
අපේ වන්දනාවෙ එන අහිංසක ආච්චිලා සීයලාව මේ හොර වෙළෙන්දො කොහොම රවට්ටනවා ඇතිද කියලා මට හිතුනා.
හම්මේ ඒ යුද්දෙ ඉවර වෙලා රූම් එකට ඇවිත් වොෂ් එකක් දාලා එහෙම බලනකොට රෑ වෙලා....ඊට පස්සෙ අපි ගියා ලන්ච් ගන්න.ඉතිං දෙවෙනි දවස එහෙමලු ගෙවුනෙ.
තුන්වෙනි දවස අපි දා ගත්තෙ කොහෙහරි ලස්සන තැනක ඇවිදින්න යන්න.
මහබෝධිය අවට ඉන්න ටුක් ටුක් රියදුරන්ගෙන් ටිකක් විපරම් කරලා බැලුවා උදේ ගිහින් හවස එන්න පුළුවන් තැනක්....අපි යන්න තීරණය කලේ මහබලිපුරම්. 
උදේ කෑම වෙජි රෙස්ටෝරන්ට් එකෙන් කෑව දවල්ටත් එක්කම, මොකද ඔය යන පැත්තෙ අපිට හරියන කෑම කඩයක් නොතිබුනොත් කියන බය හොල්මන් කලා මගෙ හිත ඇතුලෙ.
අනිල් අයියයි මල්ලියි දෙන්නා ටුක් ටුක් රියදුරන් කීප දෙනෙකුවම ඉන්ටවීව් කරලා එක්කෙනෙක් තෝර ගත්තා අපේ ගමනට. කොහොම හරි කේවල් කරලා හයර් එක රු.1200 ඉඳලා 950 ට අඩුකර ගත්තා.ඒ දවස් වල ඒ ගාන 2.60න් වැඩිකරලා බලන්න ඔනා අපේ මුදල් වලින් කීයද කියලා.
අපි ගමන යන්න පිටත් වුනා. චෙන්නායිවලට පය තියපු දා ඉඳලා මම දැක්කෙ හැම තැනම අලවලා තියෙන දමිළ චිත්‍රපටි වල පෝස්ටර්. ලස්සන නිළියොත් එක්ක ඉන්න තඩි මහත කලු කොට නළුවන්ගෙ පිංතූර. මම නම් අඳුන ගත්තෙ රජිනි කාන්ත් ව විතරයි. අපේ මල්ලිනම් හරිම ඕනෙ කමින් බලනවා මම දැක්කා. අනිල් අයියා නම් මොනවා බැලුවද දන්නෙ නැහැ.
අපි මහබලිපුරම් පාරට ආවට පස්සෙ හම්බ වුනා ආසියාවෙ ලොකුම සිටි බීච් එක, මැරීනා බීච්.හම්මේ ඒකෙ ලොකු, ඉමක් කොනක් පේන්නෙ නැහැ.හරිම සුන්දර දසුනක්.හැබැයි දවල් වෙනකොටනම් ඉන්න බැරිව ඇති රස්නෙ නිසා. බීච් එක අයිනෙ දිගටම තිබුනෙ බයික් නවත්තලා.මුළු ලංකාවෙවත් නැතිව ඇති එච්චර බයික් තොගයක්,මට හිතුනෙ එහෙම.
දැන් අපි බහබලිපුරම් වලට ආවා.ඒක මුහුද අයිනෙ තියෙන ගල් කැටයම් පිරුණු කෝවිලක්. හරිම ලස්සනයි ඒ පළාතම.ඒකට යන්න හැමෝම ටිකට් ගන්න ඔනා. ටුක් ටුක් ඩ්‍රයිවර් අපිට ඇවිදලා එන්න කිව්වා. අපි ටිකට් කවුන්ටරය ලඟට ආවා.....රත්තරං බඩුකඩ (රත්තරං ඉහිං කනින් එල්ල ගත්ත කාන්තාවෝ)රොත්තක් එතන පොරකනවා ටිකට් ගන්න. මම අපේ දෙන්නට කිව්වා මම ටිකට් අරගෙන එන්නම් කියලා. මොන හිතකින් එතෙන්ට යවන්නද මේ දෙන්නව.මම ගිහින් ටිකට් තුනක් ගත්තා. 
තව ටික දුරක් පයින් යන්න ඔනා කෝවිලට ඇතුල්වෙන ගේට්ටුව ලඟට.අපිත් ඉතිං කියව කියව ගියා.....ගේට් එක ලඟ හිටපු සික්‍යුරිටි එකෙන් ටිකට් ඉල්ලුවා.අනිල් අයියා මට කිව්වා ටිකට් දෙන්න කියලා. ටිකට් අතට අරගත්ත ඒ මනුස්සයා, අපි කොයි රටේද කියලා ඇහැව්වා. මමත් ආඩම්බරෙන් කිව්වා ලංකාවෙ කියලා. “මිස් මේ දේශීය ටිකට්, ඇතුල් වෙන්න දෙන්න බැහැ ගිහින් විදේශීය ටිකට් අරගෙන එන්න“ කියලා කියපි.කාටද අප්පා ඉන්දියාවට ගියාම අපි විදේශිකයො කියලා හිතෙන්නෙ. මටමයි වෙන්නෙ......අපේ දෙන්නට නම් මාත් එක්ක මලපැනලා. අනිල් අයියා කිවවා ඔයාලා ඔතනම ඉන්න මම ටිකට් අරගෙන එන්නම් කියලා. මම නම් කිව්වා අපි ආපහු යමු වෙන දවසක එමු කියලා. හොඳ වෙලාවට දෙන්නා කැමති වුනා ඒ යෝජනාවට.
ආපහු එන අතරෙ ටුක් ටුක් ඩ්‍රයිවර් අපිව එක්ක ගියා ක්‍රොකඩයිල් ෆාම් එකකට. වෙලාව තිබුන නිසා ඒකෙ ටිකක් ඇවිද්දා. අඩි 10-15 දිග ලොකු කිඹුල්ලු ගොඩාක් හිටියා, කෙටි තාප්ප වලින් වටවුනු වලවල් වල. බැරි වෙලාවත් කිඹුල්ලු රොත්තක් මේ පොඩි තාප්පයක් කඩාගෙන එලියට ආවොත් දෙයියනේ දුවන්න වෙන්නෙ සුසන්තිකාගෙ දිවිල්ල තමා. එහෙමත් හිතුනා මට. ඒත් කාටවත් කියන්න ගියේ නැහැ. අපේ දෙන්නටත් මලපැනලා ඉන්න වෙලාවනෙ.
හවස් වෙනකොට අපි අපේ නවාතැනට ආවා. එදත් ලන්ච් එක ගන්න ගියේ රෑ.වාව් චිකන් බිරියානි, කර්ඩ් දාපු අනියන් සැලඩ් එකත් මාර රසක්.
හතරවෙනි දවස අනිල් අයියා ආයෙත් අපිව එක්ක ගියේ මන්නඩි ස්ට්‍රීට්. දෙවෙනි දවසෙ ගිහින් ඇවිදපු කඩ හැම එකකටම ගිහින් මම ලස්සණයි කියලා බලලා ආපු හැම එකක්ම අරගෙන දුන්නා. මල්ලිත් එයාට ඔන බඩු ගත්තා. අන්තිමට තුන්දෙනාටත් උස්සගෙන එන්න බැරි තරම් බඩු තොගයක්. අනේ මම මේ දානපතියටනෙ ලෝබයෙක් කියලා හිතුවෙ,මට මං ගැනම තරහක් ආවා. 
කොහොම හරි හතරවෙනි දවසත් ගෙවුනා. පහුවදා හවස අපි ලංකාවට යන දවස.එදා උදේම නැගිටලා බෑග් හතරකට බඩු පැක්කලා. ආයෙත් ටිකක් ඇවිදලා කාලා බීලා ආවා මිදි ගන්න.ආච්චිගෙන් නම් නෙමෙයි හැබැයි.
මිදි කිලෝ පහකුයි දෙළුම් ගෙඩි දහයකුයි ගත්තා. ඒ දවස්වල ලොකු දෙළුම් ගෙඩියක් රු.20ක් වගේ වුනේ. අනිල් අයියනම් එච්චර කැමති වුනේ නැහැ ඒවා උස්සගෙන යන්න. 
අපි එයාර්පෝර්ට් එකට යන්න වෙලාවත් ලංවුනා. අනිල් අයියා පොඩි වෑන් එකක් කතාකරගෙ ආවා.බඩු ටිකත් පටවගෙන, මහබෝධියෙ ලොකු හාමුදුරුවන්ගෙනුත් සමු අරගෙන අපි ආවා එයාර්පෝර්ට් එකට . දැන් මට ගෙදර යනකම් සිහියක් නැහැ......ඉංදියාවට සමුදීලා එයා ඉන්දියා ෆ්ලයිට් එකෙන් ඇවිත් ලංකාවටත් ගොඩබැස්සා. මට මාර බත් බඩගින්නක් ආවා. එයාර්පෝර්ට් එකේ ඉඳම්ම අම්මට  කෝල් කලා බතුයි, අල තක්කලි මාලුමිරිස් දාලා කරවල හොද්දක් හදන්න කියලා...
...........අවසානයි.........

මතක සටහන 

Disna Samanmalie Warnakulasuriya අක්කාගේ 

2 comments:

  1. Sthuthiy apith samaga meya bedagaththta. Lassanata liyala tyanawa. :-)

    ReplyDelete
  2. Sthuthiy apith samaga meya bedagaththta. Lassanata liyala tyanawa. :-)

    ReplyDelete