Showing posts with label පෞරාණික. Show all posts
Showing posts with label පෞරාණික. Show all posts

Monday, February 8, 2016

ඔබ දන්නවද ඉංගිරිසි ජාතික Major- Rogers ගැන?


ඔහු තමයි 1834-1845 කාලයේ බදුල්ල සහකාර දිසාපති හා දිස්ත්‍රික්කයේ විනිසුරු වරයා ලෙසට කටයුතු කරේ. ඔහු ලංකා රයිෆල් බලකායට අයත් රේජිමෙන්තුවේ සේවය කරේ. ඔහු අලි ඇතුන් පිපාසිකයෙක් (Elephant Hunter) ඔහු විසින් මරපු අලි ඇතුන් ගණන 1600 ඉක්මවයි.

ඔහු මරුනේ පුදුම විදිහකටයි. ඔහු විසින් අමානුෂික ලෙස අලි ඇතුන් ගාතනය කරන එක ඉවසගන්න බැරි තැන එක්තරා ස්වාමින් වහන්සේ නමක් ඔහුට ශාප කරා. ඒ ශාපයේ ප්‍රතිපලයක් ලෙසට 1845 ජුනි මාසේ 7 වෙනි දා හපුතලේදී අකුණු හෙනයක් ගහලා ඔහු මරුමුවට පත් උනා. ඒ මැරෙන මොහොතේ වෙනකන් ඔහු ළඟ (ගජ මුතු ජෝඩු 62) තිබුනි. පුදුමේ කියන්නේ ඔහුගේ මිනි වලටත් 7 වතාවක් හෙන ගහපු එකනේ.

ලිපිය 
Priyantha Amarasinghe

‎


Friday, January 29, 2016

සීගිරි සිතුවම්



ක්‍රි.ව. 459 සිට ක්‍රි.ව 477 දක්‌වා අනුරාධපුරයේ රජ කළ ධාතුසේන මහ රජුට දා ව යකඩ දෝලියක හෙවත් දෙවැනි පෙළ බිසවක ගේ කුසින් කාශ්‍යප උපන් බැව් ඉතිහාසයේ සඳහන් වෙයි. පරිසරයේ සුන්දරත්වය, තාක්‌ෂණය, කලා කෞශල්‍යය එක්‌ කළ රමණීය ස්‌මාරකයක්‌ වන සීගිරිය රට දැයට දායාද වූයේ කාශ්‍යප රජු ගේ සහ දේශීය කලා ශිල්පීන් රැසක ගේ දැඩි අධිෂ්ඨානයක ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

ඉතිහාසය දක්‌වන පරිදි ක්‍රි.ව. 477 සිට මහා කාශ්‍යප රජු සිය අගනුවර කරගත් තැන් සිට අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්‌ වෙයි.

සීගිරිය අද අපට හිමි ලෝක උරුමයකි. ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීමට හේතු වූ කරුණු කාරණා අතර සීගිරි චිත්‍ර සුවිශේෂී තැනක්‌ ගනී. එසේ ම සීගිරි චිත්‍ර පිළිබඳව කියවෙන කුරුටු ගී ද ලෝ පතළ වෙයි. මහා පර්වතයේ බටහිරින් පිහිටි ඇතුළට නෙරුණු නැම්මට ඉහළින් කරවන ලද මේ බිතු සිතුවම් එකල කරවන ලද්දේ අව් වැසි උවදුරුවලින් ආරක්‌ෂා වන පරිදි ය. මුල් යුගයේ දී සීගිරියේ බටහිර පෙදෙස පුරා ම විහිදී තිබුණු මේ රමණීය සිතුවම්වලින් අද ආරක්‌ෂා වී ඇත්තේ චිත්‍ර 21ක්‌ පමණි. මෙයින් චිත්‍ර කිහිපයක්‌ 60 දශකයේ අග භාගයේ දී සිත් පිත් නැති අයකුගේ ගල් උල් පහරකින් හා තාර ගෑමකින් විනාශ විය. මේ විනාශය දුටු එකල ජීවත් ව සිටි ශේ්‍රෂ්ඨ ලංකා පුත්‍රයකු මෙන්ම ශ්‍රෝෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ දෑසින් උණු කඳුළු කැට කඩා වැටුණේ ඔහුට ද නො දැනී ය. ඒ තරමට ම එතුමා සීගිරි චිත්‍රවලටත් චිත්‍ර ගැන කියවෙන කැටපත් පවුරටත් ආදරය කළේ ය.

මේ සිතුවම්වලට වස්‌තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් යෑයි මතයක්‌ පවතින අතර රජතුමා ගේ මෙහෙසියන් ය යන්න ද මතයකි. මහාචාර්ය මංගල ඉලංගසිංහ විද්වතුන්ට අනුව අප්සරාවන් යනු දකුණු ආසියාවේ ආගමික හා රාජකීය චිත්‍ර කලාවට පොදු වස්‌තු විෂයයකි. කසුප් රජු ගේ අන්තපුර ස්‌ත්‍රීන් යනුවෙන් ද හැඳින්වෙන මේ ලලනාවෝ සීගිරි චිත්‍ර ශිල්පීන් ගේ නිරූපිකාවන් වූවාට ද සැක නැත.

සීගිරි චිත්‍ර පිළිබඳව මේ වන විට විද්වතුන් 13 දෙනකු විවිධ අදහස්‌ පළ කර ඇත. වර්ෂ 1898 ද ලෝ පතළ ශ්‍රෝෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ එච්. සී. පී. බෙල් මහතා විසින් ඉදිරිපත් කරන ලද මතය කිසියම් පිළිගැනීමකට ලක්‌ වී ඇත. එතුමා ගේ අදහසට අනුව චිත්‍රවල දකින්නට ලැබෙන රතු පැහැය සවස බටහිරින් හිරු බසින විට නැඟෙනහිර අහස රත් පැහැ වීමක්‌ දක්‌වයි. චිත්‍රවල ඉනෙන් පහළ කොටස වැසී ඇතත් ලලනාවන් ගමන් කරන විලාසයක්‌ පෙන්නුම් කරයි. සැම ලලනාවක ගේ ම අතේ මල් වට්‌ටියක්‌ හෝ මල් පොකුරකි.

මේ කරුණු අනුව බෙල් මහතා පෙන්වා දෙන්නේ හිරු බැස යන සැන්දෑවේ දෝතින් මල් ගෙන පිදුරංගල විහාරය වඳින්නට යන රජතුමා ගේ බිසෝවරුන් හා පිරිවර කාන්තාවන් චිත්‍රවලින් පෙන්නුම් කරන බව ය. මේ මතය සනාථ කිරීමට තිබෙන එක ම ප්‍රධාන සාධකය වන්නේ පිදුරංගල විහාරය දෙසට හැරී සිටින ලෙස මේ ලලනා චිත්‍ර නිර්මාණය කර තිබීම ය.

වර්ෂ 1902 දී ආනන්ද කුමාරස්‌වාමි විද්වතුන් මේ සිගීරි ලලනාවන් අර්ථ දැක්‌වූයේ වලාකුළුවල පා වන දිව්‍ය අප්සරාවන් ලෙසිනි. වර්ෂ 1968 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වූ රාජා ද සිල්වා විද්වතුන් ඉදිරිපත් කළ මතය වූයේ රජතුමා ගේ අග මෙහෙසිය හා සේවිකාවන් ආගමික උත්සවයකට සහභාගී වන අවස්‌ථාවක්‌ මින් නිරූපණය වන බව ය.

මාර්ටින් වික්‍රමසිංහ ශූරින් ද සීගිරි ලලනාවන් පිළිබඳව මතයක්‌ පළ කළ විද්වතෙකි. ඔහු ගේ මතය රජතුමා ගේ බිසෝවරුන් හා සේවිකාවන් ජල ක්‍රීඩා කරන ආකාරයක්‌ මේ චිත්‍රවලින් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් සීගිරි ලලනාවන් පිළිබඳව සම්භාව්‍ය මතයක්‌ ඉදිරිපත් කළ විද්වතා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් හැඳින්විය හැකි ය. මෙතුමා සීගිරි ලලනාවන් වලාකුළු හා විදුලි කෙටීම් සංකේතවත් කරන බැවින් මේඝලතා සහ විජ්ජුලතා යනුවෙන් හැඳින්වී ය. ගල මත ගොඩනැඟූ මාළිගාවේ කුවේර ලීලාවෙන් කාශ්‍යප ජීවත් වූ බැව් අදහස්‌ කෙරෙයි. එහෙයින් මෙය කුවේරයා ගේ හෙවත් වෙසමුනි ගේ ආලකමන්දාව යනුවෙන් ද හැඳින්විණි. සෙනරත් පරණවිතාන මහාචාර්යතුමන්ට සංස්‌කෘත සාහිත්‍යය පිළිබඳව හසළ දැනුමත් තීබීම මෙවන් සම්භාව්‍ය අදහසක්‌ ඉදිරිපත් කිරීමට හේතුවක්‌ වූවා නිසැක ය.

මහාචාර්ය සේනක බණ්‌ඩාරනායක විද්වතුන්ට අනුව දුරාතීතයේ සිට සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට මෙන්ම අපට ද මේ චිත්‍ර සුන්දර වනිතාවන් පෙළක ගේ ආහ්ලාදජනක සිතුවම් කිහිපයකට වැඩි දෙයක්‌ නො වේ. කෙසේ වෙතත් කුරුටු ගීවලට අනුව සීගිරියේ ලලනා රූප 500ක්‌ තිබී ඇත. මේ රූප අතරින් අද ඉතිරි ව ඇත්තේ රූප 21ක්‌ පමණි. මේ ලෙනේ හැරුණු කොට සීගිරි පර්වතය ප්‍රදේශයේත් අනෙකුත් ගල් ගුහාවලත් සිතුවම් තිබුණු බවට සාක්‌ෂි ඇත. සීගිරිය නරඹන්නකුට චිත්‍ර දක්‌නට නැතත් චිත්‍ර ඇඳි බදාම කැබැලි අදත් ගල් ගුහාවල වහල පෙදෙසේ දැකගත හැකි ය.

දැනට ඉතිරි ව ඇති චිත්‍රවලින් පැරැණි ම චිත්‍ර ලෙස පිළිගැනෙන සීගිරි චිත්‍ර දේශීයත්වයක්‌ පෙන්නුම් කරන බැව් පැහැදිලි ය. ශිලා උද්‍යානයේ ගුහාවල ඉතිරි ව ඇති බොහෝ චිත්‍ර කොටස්‌ ප්‍රධාන චිත්‍ර ගුහාවේ චිත්‍ර තරම් ප්‍රකට නැත. එහෙත් කාල පරිච්ඡේදය සමාන වෙයි. ඉතා සියුම් ලෙස අදින ලද මල් හා සත්ත්ව රූපවලින් පිරි වියන් සිතුවම් ප්‍රධාන චිත්‍ර ගුහාවේ ඇති ලලනා රූපවලට නොදෙවැනි අන්දමින් නිර්මාණය කර තිබේ.

වර්ෂ 1899 දී එවකට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවා ද වූ මරේ නමැති අයකු බිතු සිතුවම් ගුහාවලට නැඟ එම සිතුවම් පිටපත් කළ මුල් ම තැනැත්තා ලෙස ඉතිහාසගත වී ඇත. ඉන්පසු 1894 දී පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහතා සමග වැඩ කළ මුහන්දිරම් පෙරේරා නම් අයකු මේ චිත්‍ර පිටපත් කර ඇත. මේ සිතුවම් අද ජාතික කෞතුකාගාරයේ දක්‌නට ලැබේ. විදෙස්‌ සිත්තරුන් ගේ අවධානය සීගිරි චිත්‍ර කෙරෙහි යොමු වී ඇති බවක්‌ ද දක්‌නට ලැබේ. වර්ෂ 1935 දී ජපන් චිත්‍ර ශිල්පියකු මෙහි පැමිණ චිත්‍ර ගුහාවට ගොස්‌ ඒ අයුරින් ම පිටපත් කළ චිත්‍ර අදත් ජපානයේ ටෝකියෝ නුවර ජාතික කෞතුකාගාරයේ ආරක්‌ෂා සහිතව තිබෙන බැව් එය දුටු අය සාක්‍ෂි දරති. මේ චිත්‍රවල ඇති සුවිශේෂී ලක්‌ෂණය වන්නේ වර්ෂ 1935 දී චිත්‍රවල තිබුණු වර්ණ පැහැය ඒ අයුරින් ම එම පිටපත් චිත්‍රවල ඇතුළත් වීම ය. මෙහි දී කිවයුතු දෙයක්‌ ඇත. එදා සීගිරි චිත්‍රවල වර්ණ ස්‌වභාවය අධ්‍යයන කරන්නකුට අද එම වර්ණ පැහැය අධ්‍යයන කිරීම වඩාත් ප්‍රයෝජනවත් වන බව කිව යුතු වෙයි. හේතුව අද චිත්‍රවල එදා වූ වර්ණ පැහැය දක්‌නට නොමැති වීම ය. අද මේ චිත්‍ර නැරඹීමේ දීත් කාශ්‍යප රජු දවස චිත්‍ර නැරඹීමේ දීත් දක්‌නට ඇත්තේ පැහැදිලි වෙනසකි. අද පහළ සිට ඉහළ චිත්‍ර ගුහාව දක්‌වා ඉදි කළ පඩි පෙළක නැඟී ගොස්‌ චිත්‍ර අසල ම සිට නැරඹීමට හැකියාවක්‌ ඇත. එහෙත් කාශ්‍යප රජු දවස ජල උද්‍යානයේ සිට චිත්‍ර නැරඹූ බවට සාක්‌ෂි ඇත. මෙහි දී ලෙනේ වූ චිත්‍ර ජල උද්‍යානයේ පොකුණු තුළ ප්‍රතිබිම්බයක්‌ ලෙසින් දිස්‌ වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ බහුතර ජනකායක්‌ සීගිරි චිත්‍ර දුර තියා නැරඹූ බවයි. සමහර විට ජල උද්‍යානයට ඉහළින් කිසියම් ස්‌ථානයක චිත්‍ර නැරඹීම සඳහා වේදිකාවක්‌ හෝ ඒ සඳහා වෙන ම ස්‌ථානයක්‌ හෝ ස්‌ථාපිත කර තිබෙන්නට ඇත.

සීගිරි පර්වතයේ බටහිර පෘෂ්ඨය බැස යන හිරු රැසින් මෙන්ම දහවල දී දැඩි හිරු රැසින් ද රත් වීමෙන් සිදු වන හානිය අවම කර සිතුවම් රැක දුන්නේ සීගිරි පර්වතය වටා පිහිටි දිය අගල ඇතුළත් ජල උද්‍යානයේ දිය පිරි පොකුණු සමූහය යෑයි කිව හොත් නිවැරැදි ය. මෙයට අමතරව සීගිරියට නිරිත දිගින් හා දකුණින් පිහිටි වැව් නැඟෙනහිර දෙසින් පිහිටි, තම්මන වැව, නාලන්දාගම වැව, මහ වැව, කළු ගල් වැව, ගලහිටියාව වැව, කිඹිස්‌ස වැව, බටහිරින් පිහිටි පොතාන වැව, ඊසාන දෙසින් පිහිටි හාගල වැව, කිටිය කොළ වැව, රඹවල වැව, උතුරු දෙසින් පිහිටි පහළ වැව, ඉලුක්‌ වැව, ඉහළ වැව, උඩගොල්ල වැව, පහළ නිකොට වැව යන වැව් හරහා හමා ආ සිසිල් සුළං සිතුවම් සහිත සීගිරි පර්වතයට සිසිලස ලබා දෙන්නට ඇත.

ජල උද්‍යානයේත් ඒ අවට පරිසරයේත් කිසියම් සැලැස්‌මකට අනුව උද්‍යාන විද්‍යානුකූලව විවිධ ශාක විශේෂ වගා කර තිබෙන්නට ඇතැයි සිතිය හැක්‌කේ භූමියේ ස්‌වාභාවික පිහිටීමේ විකෘති කිරීමක්‌ නො කළ බැව් අදත් දක්‌නට ලැබෙන බැවිනි.

එහෙයින් දිය අගල්, ජල උද්‍යානයේ දිය පිරි පොකුණු හරහාත් තුරු වදුළු පිසිමිනුත් සීගිරි පර්වතය දෙසට හමා ගිය සුළඟ පර්වතය සිසිල් කළා පමණක්‌ නො ව බාහිර පරිසරයට නිරාවරණය වුණු සිතුවම් සමූහය ද සිසිල් කර, වැඩි වන උණුසුමින් සිදු විය හැකි හානි අවම කළා විය හැකිය.

සාමාන්‍යයෙන් ගස්‌ සෙවණක හෝ බඩවැටි සමූහයක්‌ ඇති ප්‍රදේශයක්‌ අසල වාතයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය අවම මට්‌ටමක පවතී. එමෙන්ම ජල වාෂ්ප ප්‍රමාණය ද යම් මට්‌ටමක පවතී. දහවල දී හමන සුළඟින් වැඩි වන ජල වාෂ්ප ප්‍රමාණය විසිරී යන අතර හිරු එළියෙන් තෙතමනය යම් පමණකට අඩු කරයි. මේ නිසා අවට පරිසරය නිතර ම සිසිල් ස්‌වාභාවයකින් යුක්‌ත වෙයි. එහෙයින් පරිසර උෂ්ණත්වය සමබරව පවතී. මෙවන් ස්‌වාභාවික සංරක්‌ෂණ ක්‍රමවේද සීගිරි සිතුවම් සංරක්‌ෂණය වීමට හේතු වූවා නිසැක ය.

කල් යැමේ දී එම පරිසර තත්ත්ව වෙනස්‌ වීම සමස්‌ත සීගිරි සිතුවම්වලට විවිධ හානි සිදු කිරීමට හේතු වූවා විය හැකි ය. අදින් දශක 4කට පමණ පෙර තිබූ තත්ත්වයත් අද තත්ත්වයත් අතර තිබෙන වෙනස, අධ්‍යයනය කරන්නකුට අවබෝධ කර ගැනීමට අපහසු වන්නේ නැත. අදින් දශක කිහිපයකට පෙර සිතුවම් ලෙනට පහළින් පිහිටි කුඩා ලෙන්වල කළ සිතුවම් සුළු වශයෙන් හෝ දක්‌නට ලැබුණත් සංරක්‍ෂණයක්‌ නො කළ බැවින් එම සිතුවම් ගුහාවල බදාම කැබැලි පමණක්‌ අද දක්‌නට ලැබේ.

බිතු සිතුවම්

අතීතයේ දී සිතුවම් 500ක්‌ පමණ දක්‌නට ලැබුණු නමුත් අද දක්‌නට ලැබෙන්නේ චිත්‍ර 22ක්‌ වැනි ප්‍රමාණයකි. මෙයින් අංග සම්පූර්ණ ලෙස ඉතිරි වූ චිත්‍ර ඇත්තේ 12 ක්‌ පමණි. මෙයින් තනි කාන්තා රූප 6ක්‌ හා යුගල කාන්තා රූප 3ක්‌ ද වන අතර අනෙක්‌ කාන්තා රූපවල විවිධ කොටස්‌ මැකී ගොසිනි. සමහර තැන්වල බදාම ගැලවී ගොස්‌ ඇත. වර්ෂ 1967 ඔක්‌තෝබර් 14 වැනි දින රාත්‍රියේ සිතුවම් ලෙනට රහසේ ඇතුළු වූ සාහසිකයන් පිරිසක්‌ මේ සිතුවම් මත කොළ පැහැති සායම් තවරා උල් තියුණු ආයුධයකින් ඇන විනාශ කර තිබිණි. මේ සිදුවීමත් සමග අද අපට දක්‌නට ලැබෙන්නේ සිතුවම් කිහිපයකි.

කැටපත් පවුරට අඩි 44ක්‌ පමණ ඉහළින් පිහිටි සිතුවම් ලෙනේ දිග අඩි 60ක්‌ පමණ වෙයි. සිතුවම් ඇඳීමේ තාක්‌ෂණය පිළිබඳව විමසීමේ දී ගලේ රළු බිත්තියේ මතුපිට සුමට කිරීම පිණිස සුවිශේෂී බදාමයක්‌ භාවිත කර ඇත. බදාම සෑදීමේ දී මී පැණි, දිවුල් ලාටු, මකුළු මැටි හුණු යනාදිය භාවිත කළ අතර මේ බදාම සුමට කරන ලද්දේ දහයියා සහ පොල් කොහු සමග කිරිමැටි හා මැටි මිශ්‍ර කර සාදාගත් බදාමයකින් බැව් පුරාවිද්‍යාඥ ආනන්ද කුමාරස්‌වාමි මහතා පෙන්වා දෙයි. වර්ණ නිපදවීමේ දී ශාක යුෂ වර්ග උපයෝගි කරගෙන ඇත. චිත්‍ර වර්ණ ගැන්වීමේ දී බුරුසු සාදා ඇත්තේ වැටකෙයියා කෙඳිවලිනි. බිතු සිතුවම් ඇඳීමේ දී තෙත බදාම තාක්‌ෂණයත් වියළි බදාම තාක්‌ෂණයත් භාවිත කර ඇත.

මේ සුමට බදාමය මත රතු හෝ දුඹුරු රේඛා අඳිමින් චිත්‍රය ඇඳි බවක්‌ දක්‌නට ලැබේ. මෙහි දී සිතුවමේ කිසියම් අංගයක්‌ වෙනස්‌ වූයේ නම් එනම් වැරැදි ආකාරයට සටහන් වූයේ නම් හෝ වෙනස්‌ කර සටහන් කළේ නම් වැරදුණු තැන් මකා දැමීමට චිත්‍ර ශිල්පියා උත්සාහ කර නැති බවක්‌ දක්‌නට ලැබේ. සමහර විට එම වරද තෙත බදාමය නිසා මකා දැමීමට අපහසු වන නිසාත්, මැකීමේ දී බදාමය පලුදු වන නිසාත් වරද නිවැරැදි කිරීමට සිත්තරා උත්සාහ කර නැත. එසේ අපහසුතා ඇති ව වුවත් සිත්තරා තෙත බදාමය භාවිත කළේ සිතුවම් දිගු කලක්‌ පැවතීමට හේතුවක්‌ වන බැවිනි. තෙත බදාමයේ අඳින ලද බැවින් මේ චිත්‍ර ඉංග්‍රීසියෙන් ෆ්රෙස්‌කෝ (Fresco) යනුවෙන් හැඳින්වෙයි.

ක්‍රි. ව. 5 වැනි සියවසේ විසූ කලාකරුවා ගේ කලා රසිකත්වය හා නිර්මාණ කුසලතාව මෙන්ම ඉවසීම හා සංයමය ද මේ චිත්‍රවලින් පිළිබිඹු කරයි.

ඉන්දියාවේ අජන්තා බිතුසිතුවම් සමග සීගිරි බිතුසිතුවම් සසඳන විට අජන්තා චිත්‍ර සම්ප්‍රදායට වඩා සීගිරි චිත්‍ර සම්ප්‍රදායේ වෙනසක්‌ දක්‌නට ලැබේ. අජන්තා ගුහා සිතුවම් ආගමික මුහුණුවරක්‌ ගනු ලැබුව ද සීගිරි සිතුවම් ලෞකික සෞන්දර්යය පිළිබිඹු කරන බවක්‌ පෙන්වයි. හේතුව සීගිරිය කාශ්‍යප රජු ගේ රාජධානියක්‌ වූ බැවිනි.

ආනන්ද කුමාරස්‌වාමි විද්වතුන්ට අනුව සීගිරි චිත්‍රවලින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට කලා සම්ප්‍රදායක්‌ පැවැති බැව් පෙන්වා දෙයි. එසේaම චිත්‍ර නිර්මාණය කළ ශිල්පීන් ඉන්දියානුවන් හෝ වෙනත් අය නො ව ශ්‍රී ලාංකිකයන් ම වන බැව් පෙන්වා දෙන්නේ මේ ලලනා රූපවලින් සිංහල කතුන් ගේ රුව පිළිබිඹු වන බැවිනි.

සිතුවම් විනාශය

වර්ෂ 1967 ඔක්‌තෝබර් 14 වැනි දින රාත්‍රියේ දී අනවසරයෙන් සීගිරි සිතුවම් ගුහාවට පැමිණි සාහසිකයන් පිරිසක්‌ සිතුවම් මත කොළ පැහැති වර්ණයක්‌ තවරා තියුණු උල් අයුධයකින් ඇන කඩා දමා විකෘති කර තිබිණි. මේ සිදුවීමට පෙර මේ චිත්‍ර සියල්ල ම පිටපත් කර තිබුණු අතර අද එම චිත්‍රයේ ස්‌වභාවය දැක ගැනීමට හැකියාවක්‌ නැත. එවකට මෙරට පාලනය කළ අගමැති ඩඩ්ලි සේනානායක මහතාත් සංස්‌කෘතික ඇමැති ලෙස කටයුතු කළ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාත් වහාම ක්‍රියාත්මක වී එවකට බිතු සිතුවම් කලාව පිළිබඳව ලෝ පතල විද්වතකු වූ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි ඔක්‌තෝබර් 22 දින ශ්‍රීලංකාවට ගෙන්වා ප්‍රතිසංස්‌කරණ කටයුතු එතුමාට බාර දී ඇත. ඊට පසු දින සීගිරිය බලා යන විට එවකට පුරාවිද්‍යාඥ කොමසාරිස්‌ වූ රාජා ද සිල්වා මහතා තීන්ත ඉවත් කිරීමේ කාර්යයේ යෙදී සිට ඇත. මෙහි දී ආචාර්ය ලුසියානෝ මරන්සි විසින් ගෙනෙන ලද ඩෙකාපෙක්‌ස්‌ නමැති රසායන ද්‍රව්‍යයක්‌ කපු පුළුන්වලින් පොඟවා ඇතිල්ලීමෙන් තීන්ත ඉවත් කර ඇත. ඉන්පසු පැතලියට සාදාගත් කපු පුළුන් කැබැල්ලක්‌ ට්‍රීලෙන් නමැති රසායන ද්‍රව්‍යයෙන් පොඟවා ඩෙකා පෙක්‌ස්‌ ආලේප කළ මතුපිට නැවත පිරිමැද ඇත. නැවත නැවත මෙය කිරීමෙන් පසු කොළ පැහැති තීන්ත හා කහ පැහැය ද ඉවත් විය. එහි දී චිත්‍ර මතුපිට තිබුණු දිලීර මෙන්ම බෙල් මහතා පලුදු වැසීම සඳහා භාවිත කළ තීන්ත ද ඉවත් විය. මෙයින් සිදු වූයේ මුල් ම සිතුවම නැවත මතු වීම ය. එහෙයින් අද අපට කාශ්‍යප රජ දවස අඳින ලද මුල් ම සිතුවම් දක්‌නට ඉතිරි වී ඇත.

එතැන් සිට අද දක්‌වා ම සීගිරි සිතුවම් මහජනයාට නිදහසේ නැරඹීමට අවස්‌ථාව උදා වී ඇතත් සිතුවම් සංරක්‌ෂණයකට කිසිදු මුලපිරීමක්‌ හෝ මේ වන තෙක්‌ කර නැත. මහජනයා, නිදහසේ වැල නො කැඩී සිතුවම් නරඹති. ආරක්‌ෂාවට කියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන�� � නිලධාරීන් සිටිය ද ඔවුන් ගෙන් සිදු වන එක ම සේවාව සංචාරකයන් ගේ අවසර පත් පරීක්‍ෂා කිරීමත් සිතුවම් විදුලි ආලෝක භාවිතයෙන් ඡායාරූප ගන්නේ ද යන්න සොයා බැලීමත් ය. ඔවුන්ට මේ සිතුවම් පිළිබඳව හැඟිමක්‌ නැති බව මේ ලිපිය සකස්‌ කිරීම සඳහාත්, ඊට පෙරත් විටින් විට සීගිරියේ කළ ගවේශන චාරිකාවල දී මේ ලියුම්කරුට දක්‌නට ලැබිණි. මහජනයා වැල නො කැඩී එන සිතුවම් ලෙන් බිත්තියත් මඟී පාලමේ කෙළවරත් අතර ඇත්තේ කුඩා ඉඩකි. එය එසේ විය යුතු ය. එම ඉඩකඩ ප්‍රමාණයට දැරිය නොහැකි ප්‍රමාණයක්‌ සංචාරකයෝ එහි රැඳී සිටිති. තිබෙන කුඩා ඉඩකඩේ උණුසුම ඉහළ යන්නේ ප්‍රශ්වාස වාතයෙන් පිට වන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වැඩි වීම හා පිටතින් පිරිසිදු වාතාශ්‍රයක්‌ සිතුවම් ලෙනට නො ලැබීම නිසා ය. දිගු කලෙක සිට මෙය සිදු වන බැවින් සිතුවම් ලෙනේ සිතුවම් අව පැහැගැන්වීම කලක සිට ඉතා සෙමින් සිදු වන්නට ඇත.

එහෙත් පහුගිය දා අප කාගේත් සිත් සතන් මහත් සංවේගයකට පත් කරමින් පැතිරී ගිය ආරංචියෙන් කියවුණේ සීගිරි බිතු සිතුවම් අවපැහැගැන්වී ඇති බව ය.

මේ ආන්දෝලනය පැතිරීමත් සමග මේ ලියුම්කරු සීගිරිය බලා ගියේ ඇති තතු ඒ සැටියෙන් ම දැන ගැනීමේ අටියෙනි. උත්සාහය සාර්ථක විය. අවශ්‍ය ඡායාරූප ගැනීමට ද හැකි විය. ඉකුත් වසරේ දී එනම් වසර 2009 සැප්තැම්බර් මස මුල් සතියේ සීගිරියේ කළ සංචාරයේ දී බිතු සිතුවම් ලෙන ආවරණය කර තිබුණු කාකි ඝන කපු රෙද්දකින් සාදන ලද තිරය ඉවත් කර කළු පැහැති කෘත්‍රීම රෙද්දකින් සාදන ලද තිරයකින් සීගිරි බිතු සිතුවම් ආවරණය කර තිබිණි. කපු කාකි ඝන තිරය ඉවත් කර කෘත්‍රීම රෙද්දකින් සාදන ලද සුමට කළු තිරය සිතුවම් ආවරණය කිරීමට යෙදීම සිතුවම් අවපැහැ ගැන්වීමට හේතුවක්‌ වූවා විය හැකි ය.

කෙසේ වෙතත් පවතින තත්වය යටතේ සිතුවම් ආරක්‌ෂා කර ගැනීමට සාර්ථක විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ යෙදිය යුතු වන්නේ මේ අවපැහැ ගැන්වීම වඩාත් වේගවත්ව සිදු විය හැකි බැවිනි. වගකිවයුතු අමාත්‍යංශයත් ඊට අදාළ නිලධාරීනුත් මේ පිළිබඳව අවබෝධයෙන් තොර මන්දගාමී පිළිවෙතක්‌ අනුගමනය කිරීම අභාග්‍යයකි.

සීගිරි සිතුවම් සංරක්‍ෂණය කිරීමට විදෙස්‌ විද්‍යාඥයන් ගේ සහාය අවශ්‍ය නැත. මෙරට සිටින විද්‍යාඥයන් ගේ දැනුම හා අවබෝධය ප්‍රමාණවත් වන්නේ ය. එහෙත් වැඩි අවබෝධයක්‌ හා නව ක්‍රමවේදයක්‌ යටතේ සිතුවම් සංරක්‌ෂණය කිරීම උදෙසා විදෙස්‌ විද්‍යාඥයන් ගේ සහාය ලබා ගත්තාට වරදක්‌ නැත. ප්‍රමාද වුවත් තිබෙන තත්ත්ව යටතේ සිතුවම් සංරක්‍ෂණය කිරීමට පෙලඹීම අනාගත පරපුර වෙනුවෙන් කරන උදාර මෙහෙයක්‌ වනු ඇත. සොබා දහම මගින් වසර 1500කට වඩා වැඩි කාලයක්‌ රැක දුන් සීගිරි සිතුවම්වලට සොබාදහමට වින කටින්නට යැමෙන් සිදු වී ඇති හානිය බලධාරීන් අවබෝධ කරගත යුතු ව ඇත.

මහජනතාව තවදුරටත් සිතුවම් අසල ගැවසී ඒවා ඡායාරූප ගනිමින් නැරඹීමට තිබෙන අවසරය ඉවත් කළ යුතු ය. සංචාරකයන් ගෙන් බහුතරයක්‌ සීගිරි පැමිණෙන්නේ හුදෙක්‌ විනෝදය සඳහා ම ය. එහෙත් විද්‍යාත්මක හෝ සෞන්දර්යාත්මක ගවේශනයක යෙදෙන්නකුට සැබෑ සීගිරි චිත්‍ර නරඹා අධ්‍යයනය කිරීමට අවසර තිබිය යුතු වෙයි. එසේ නො වුණ හොත් තවත් දශකයක්‌ වැනි සුළු කාලයෙක දී සීගිරි සිතුවම්වල විනාශය වඩාත් වර්ධනය වීම වැළැක්‌විය නොහැකි දෙයක්‌ වෙයි. 


සැ.‍යු. - මෙය අමල් උඩවත්ත මහතා විසින් 2010 වසරේ විදුසර පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.

Thursday, January 28, 2016

අවලෝකිතේශ්වර බෝසතුන්

ඔබ ලාංකේය පුරාවිද්‍යාත්මක අන්ගිතම නිර්මාණයක් වන මෙම පිළිමය දැක ඇති නොඅනුමානයි...මේ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ලංකීය පිළිමයක්..
මහායාන සම්ප්‍රදායට අයත් ප්‍රධාන බෝසතුන්ගෙන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයින්ට හිමි වන්නේ අද්වතීය ස්ථානයක්.උන් වහන්සේ නිරූපණය කරන්නේ අනන්ත කරුණාව ;එහෙමත් නැත්තන් කරුණාවට ප්‍රධාන බෝධිසත්වයින්.උන් වහන්සේ ගැන ප්‍රධාන මහායාන සූත්‍ර වල සඳහන්.
උන් වහන්සේ වාසය කරන්නේ (සුඛාවතී සුත්‍රයට අනුව) බටහිර දිසාවට කෝටි න්‍යුත සංඛ්‍යාවක් ලෝක ක්ෂේත්‍ර පසු කළවිට හමුවන සුඛාවතී නම් අමිතාභය බුදුන්ගේ බුද්ධ ක්ෂේත්‍රයේ.එම ලෝකයේ අනික් බෝසතුන්ට උපදේශකයෙක් ලෙස ක්‍රියා කරනවා.එමෙන්ම උන් වහන්සේ ලොව ඇති සෑම ශබ්දයකටම ඇහුකම් දෙමින් සිටින බව සඳහන්.මේ කරුණ නිසා උන්වහන්සේහේ අනුග්‍රහය ලැබීමට අවලෝකිතේශ්වර නාමය මැතිරීම පමණක් ප්‍රමාණවත් විදිහට සැලකෙනවා.
එමෙන්ම උන්වහන්සේගේ තවත් විශේෂත්වයක් වන්නේ උන්වහන්සේට ඕනෑම ආත්මභාවයක්(ස්වරූපයක්) මවාගතහැකි වීම.පුද්ගලයින්ට පිහිට වීමට හෝ සත්‍යාවබෝධ කිරීමට උන් වහන්සේ ඒ ස්වරූප මවාගැනීම ප්‍රයෝජනයට ගන්නවා..ඒ කියන්නේ විවිධාකාර පුද්ගලයින් විවිධාකාර පුද්ගලයින්ව පිළිගන්නේ.උන්වහන්සේට මාර්ගය පෙන්විය යුතු පුද්ගලයාට පෙනී ඉන්නේ ඔහුට ගෝචර වන ස්වරූපයකින්.මේ නිසා උන්වහන්සේට ඔනෑම දොරටුවකින් ඇතුළු විය හැකි තැනැත්තා විදිහටත් සැලකෙනවා.
මෙතුමන් බෞද්ධ මහායාන සම්ප්‍රදාය තරමක් හෝ ඇති ඕනෑම රටක ඉමහත් ගෞරවාදරයට පාත්‍ර බෝසත් කෙනෙක්.චීනයේ කුවායිං යින් හෙවත් කාරුණික තාරා ලෙස මුන් වහන්සේ ස්ත්‍රී ආත්මභවයක පහළවීමක් ඔවුන් විශ්වාස කරනවා.ටිබෙට්වල ධර්ම ග්‍රන්ථයක් තියනවා කුරුල්ලන්ගේ ධර්ම දේශනා කියලා.ඒකෙදි එතුමා කොහෙකුගේ වේශයක් මවාගෙන තිබ්බතයේ කුරුල්ලන්ටධර්මය දේශනා කිරීමට නික්මෙනවා.පුරාණ ලංකාවේ අභයගිරි වාසී වෛතුල්‍යවාදී හාමුදුරුවරුන් රාජානුග්‍රහය ලබන විට ලංකාවේත් ඉමහත් සම්භාවනාවට පත්වුනු බෝසත් තුමෙක්.සෑහෙන ගණනක් වුණු අපේ කලාකෘති හමුවී තිබෙනවා මෙතුමන් ඉන්න.අවලෝකිතේශ්වර වන්දනාව පසු කාලයක නාථ දෙවි වන්දනාව ලෙස පරිණාමය වූ බවකුයි ඉතිහාසඥයෝ සඳහන් කරන්නේ

ලිපිය 

Prabhath Withanage

.

Wednesday, January 27, 2016

අපේ රටේ හදපු නෙලුම් පොකුණු මෙන්න


අද වන විට ලෝකයේ ජනප්‍රියම නෙලුම් පොකුණ ඇත්තේ ලංකාවේ කොළඹ හතේය. ඒ නෙලුම් පොකුණ නම් ලද රඟහලයි. එහෙත් ලොවම පුදුම කරනා ඓතිහාසික නෙලුම් පොකුණ ඇත්තේ ලංකාවේ දෙවැනි රාජධානිය වූ පොළොන්නරුවේය. වර්තමාන නෙලුම් පොකුණ රඟහල නිර්මාණයට පාදක කරගනු ලැබුවේද පොළොන්නරුවේ නෙලුම් පොකුණය.
අතිශයින් ජනප්‍රිය පුරාවිද්‍යා ස්මාරකයක් වන පොළොන්නරුව නෙලුම් පොකුණ සුවිශේෂ රාජකීය නිර්මාණයකි. ක්‍රි.ව. 1153 - 1186 යන රාජ වර්ෂයන්හි මෙරට තම බලපරාක්‍රමය පැතිරවූ දෙතිස් වසක් මෙරට රාජ්‍යත්වය හෙබවූ මහා පරාක්‍රමබාහු රජු තම රාජ්‍ය කාලයේවූ මහා සංවර්ධනය අවුරුදු දහස් ගණනකට ඉතිරි කළේය. ඒ තේජස පරාක්‍රම සමුද්‍රය, තිවංක පිළිමය, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර, ලංකාතිලක පිළිම ගෙය, දෙමළමහා සෑය, ගල් විහාරය ආදී සඳහන් කළ නොකළ නිර්මාණ සුවිශාල සංඛ්‍යාවකින් දැකබලා ගත හැකිය.
පරාක්‍රමබාහු නරපතියන් විසින් තමා සතුවූ නිර්මාණාත්මක බවින් හා නිර්මාණශීලී වැසියන් ලවා කරවන ලද මහා නිමැවුම් අතරට නෙලුම් පොකුණේ ජල තාක්ෂණය මෙන්ම නෙලුම් පොකුණේ නිර්මාණයද එක්වී ඇත.
බොහෝ දෙනකු සිතන්නේ පොළොන්නරුවට නෙලුම් පොකුණු ඇත්තේ එකක් බවය. එහෙත් එය සැබෑවක් නොවේ. ඔබ මේ පිළිබඳ පුදුමවන වගද මම දනිමි. එය ප්‍රලාපයක් නොවේ. වංස කතාවලට අනුව මෙන්ම පුරාවිද්‍යාත්මකද එය සැබෑවක්ව හමාරය.
මේ ලියන්නේ ඒ නෙලුම් පොකුණේ ඓතිහාසික වූත් සාඩම්බර වූත් කතාවයි.
මහා වංසයේ හැත්තෑ අටවැනි පරිච්ඡේදය හා හැත්තෑ නවවැනි පරිච්ඡේදය පුරා ලියැවී ඇත්තේ මහා පරාක්‍රමබාහු රජු විසින් කරන ලද විහාර ආරාම, උයන් පොකුණු ගැන තොරතුරුය. එහි සඳහන් වන ලෙසට මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද වැව්, අමුණු, පොකුණු රැසකි. එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට හැත්තෑ අටවැනි පරිච්ඡේදයෙහි 45 සිට 48 දක්වා ගාථාවන්හි සඳහන් වන ආකාරයට නාන කොටු අටකි. එහි එක් ස්ථානයක් පියුම් නාන කොටුව ලෙස දක්වා ඇත. ඇතැම් විට මේ කියන්නේ අද අපි එහි මතුපිට පෙනුම සලකා නෙලුම් පොකුණු ලෙස පොදුවේ හඳුන්වන සැබෑවටම එහි වූ එක පොකුණකට යෙදූ නාමයම විය හැකිය. ඒ බව මහා වංසයේ සඳහන් වන්නේ මෙලෙසය.
"භික්ෂුන්ගේ අභ්‍යන්තර මලය ශාසන සුද්ධියෙන් ශුද්ධ කොට පිටත් මලද ශුද්ධ කරනු පිණිස සෙයින් ග්‍රීස්ම සමයෙහි නහනු පිණිස වට නාන කොටුවය, ගුහා නාන කොටුවය, පියුම් නම් නාන කොටුවය, භද්‍ර නම් නාන කොටුවය යානාදී ටැම් පියගැට පිළිකඩ ආදියෙන් සැදුම්ලත් ශෛලමය නාන කොටු අටක් කරවූවේය.
මෙහි දැක්වෙන පියුම් නම් නාන කොටුව ඇතැම් විට මෙම නෙලුම් පොකුණට කියූ නමක් විය හැකිය. එහෙත් ඒ බව තවදුරටත් ප්‍රශ්නයක් වන්නේ මහා වංසයේ හැත්තෑ නවවැනි පරිච්ඡේදයේ පස්වැනි හයවැනි ගාථාවන්හි සඳහන් වන පරිදි "පොකුණු" නමින්ම හඳුන්වා ඇති පොකුණු දෙකක් කරවා ඇති බව සඳහන්වීමත් සමඟය. එහි සඳහන් වන්නේ මෙලෙසය.
"ග්‍රීස්ම කාලයෙහි භික්ෂුන්ට නහනු පිණිස ඒ උයනෙහි ගුහ ඇත්තා වූ සිත්කලු වූ ගල් පොකුණු දෙකක් කර වූයේය."
මෙහි සඳහන් වන සිත්කලු වූ ගල් පොකුණු යන නමින්ම පොකුණු පිළිබඳව සඳහන් කරන ඒ සමයෙහිද පොකුණු සඳහා "නාන කොටුව" යන්න භාවිත කළාද යන්නෙහි පැනයක් හටගනී. කෙසේ වුවද මේ උපුටා ගැනීම් දෙකෙහිම යම් පමණක හෝ සබැඳියාවක් අප කියන්නට යන නෙලුම් පොකුණ කතාව සමඟ සම්බන්ධ විය හැකි යැයි අනුමාන කළ හැකිය. මහා වංසයේ කෙසේ සඳහන් වුවද අද වන විට අප හට දැක ගත හැකි නෙලුම් පොකුණ කතාව අපූරු කතාවක් වනු නොඅනුමානය.
අද වන විට පොළොන්නරුවේ ගල්විහාරයේ සිට තිවංක පිළිමගෙය දක්වා දිවෙන මාර්ගයේ මීටර් 500ක් පමණ යන විට වම් පසින් අප සියලු දෙනාම දන්නා ප්‍රධානතම නෙලුම් පොකුණ හඳුනාගත හැකිය.
දෙවැනි නෙලුම් පොකුණ පිහිටා ඇත්තේ ඇතුමල්පිටිය ලක්ෂ උයන මාර්ගයේ කර්මාන්ත පුරයට පිටුපස කෝන් වැව නමැති කුඩා වැව අසලය. එසේම ඊට මඳ දුරක අෑතින් නිර්මාණාත්මක බවින් ඉහළ මට්ටමක් පෙන්නුම් කරන නටබුන් රාශියක් දැකිය හැකි අතර මෙහි නෙලුම් පොකුණට අයත් පෙති යැයි හඳුනාගත හැකි ශිලාමය නටබුන් විසිරී ඇත. එය සැබෑවටම ශිලාමය පොකුණක් නම් එය අන් සියලු නෙලුම් පොකුණුවලට වඩා අලංකාරවත්ව නිර්මාණය කොට තිබෙන්නට ඇත. ඒ අසලම තවත් පොකුණක යැයි සුළු වශයෙන් අනුමාන කළ හැකි නටබුන් කොටසකි. අනෙක් නෙලුම් පොකුණ කෝන් වැව ආසන්නයේ ඇති තේක්ක වගා බිමක දැකිය හැකි අතර එහි ඇත්තේද නෙලුම් පොකුණක පෙති යැයි අනුමාන කළ හැකි තැනින් තැන විසිරී ගිය ශිලාමය කොටස්ය.
මෙම නෙලුම් පොකුණු සියල්ලෙන්ම සැබැවින්ම නෙලුමක පෙති ආකාරයට දිස්වන්නේ අද වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති තිවංක පිළිමගෙය අසල නෙලුම් පොකුණෙහිය. මෙහි කැණීම්කොට සංරක්ෂණය කිරීම කර ඇති අතර මෙම නෙලුම් පොකුණෙහි පතුල අවධානයෙන් විමසීමේදී එහි වඩු සලකුණු යැයි සැලැකිය හැකි සංකේත දැක ගත හැකිය. මෙය ඇතැම් විට මෙම පොකුණෙහි ආරම්භක අවස්ථාවේදීම ශිලාමය පෙති සවි කිරීමට පහසු වන පිණිස යෙදූ ලකුණු විය හැකිය. නොඑසේනම් පසු කලෙක පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු සඳහා පහසු වනු පිණිස එම කම්කරුවන් විසින් යොදන ලද සලකුණු විය හැකිය. කෙසේ වුවද මෙම නෙලුම් පොකුණේ ඉහළ (ගල්වරිවල) නෙලුම් පෙතිමත තවදුරටත් නෙලුම් පෙත්තේ හැඩතල මතුකොට ඇත.
මෙහි අප පැවැසූ ලක්ෂ උයන ආශ්‍රිතව ඇති දෙවැනි නෙලුම් පොකුණෙහි ඇත්තේ පෙති හතරක මලක හැඩයකි. එයටද පොදුවේ නෙලුම් පොකුණ ලෙස නම් යෙදුවද එය නෙලුමක හැඩය නොගනී. කෙසේ වුවද කැලෑවැදී එහි හුදෙකලාව ඇති මෙම නෙලුම් පොකුණ දකින හිත පුරා පැතිරෙන්නේ කියා ගත නොහැකි පමණේ සංවේගයකි.
පොළොන්නරුව නෙලුම් පොකුණ සඳහා ජලය ලබාගෙන ඇති තාක්ෂණයද අපූරු වූවකි. මේ පිළිබඳ අදහස් දක්වන්නකු වූ ඉන්දික මානවඩු පවසන අන්දමට නෙලුම් පොකුණ ලෙස හඳුන්වනු ලබන හැම පොකුණක්ම 200 සමෝච්ච රේඛාවට ආසන්න උස් භූමියක පිහිටා ඇත. ඊට හේතුව පරාක්‍රම සමුද්‍රයේ සිට වාන් මට්ටමේ පිටවන ජලය ඇළ මාර්ගයක් ඔස්සේ නෙලුම් පොකුණ ආසන්නයේ ඇති වැව්වලට හා ජල මාර්ගයන්ට ජලය පිරවීමය. එවිට නෙලුම් පොකුණ වටා භූමියේ භූගත ජල මට්ටම ඉහළ යයි. එවිට නෙලුම් පොකුණ වෙත ජලය නිරායාසයෙන් පිරෙයි.
කෙසේ වුවද ජලය රැගෙන ඒමේ ජලය බැසීයෑමේ ක්‍රමවේදයන් විමසීම පසෙකලා මෙම පොකුණු කඩිනමින් සංරක්ෂණය කළ යුතුව ඇත. නොඑසේනම් මේවා විනාශවී යෑම වැළැක්විය නොහැකි වනු ඇත.

උපුටා ගැනීම 
Sudesh Karunathilakeගෙන්