Showing posts with label සුදේශ් කරුණාතිලක. Show all posts
Showing posts with label සුදේශ් කරුණාතිලක. Show all posts

Wednesday, January 27, 2016

අපේ රටේ හදපු නෙලුම් පොකුණු මෙන්න


අද වන විට ලෝකයේ ජනප්‍රියම නෙලුම් පොකුණ ඇත්තේ ලංකාවේ කොළඹ හතේය. ඒ නෙලුම් පොකුණ නම් ලද රඟහලයි. එහෙත් ලොවම පුදුම කරනා ඓතිහාසික නෙලුම් පොකුණ ඇත්තේ ලංකාවේ දෙවැනි රාජධානිය වූ පොළොන්නරුවේය. වර්තමාන නෙලුම් පොකුණ රඟහල නිර්මාණයට පාදක කරගනු ලැබුවේද පොළොන්නරුවේ නෙලුම් පොකුණය.
අතිශයින් ජනප්‍රිය පුරාවිද්‍යා ස්මාරකයක් වන පොළොන්නරුව නෙලුම් පොකුණ සුවිශේෂ රාජකීය නිර්මාණයකි. ක්‍රි.ව. 1153 - 1186 යන රාජ වර්ෂයන්හි මෙරට තම බලපරාක්‍රමය පැතිරවූ දෙතිස් වසක් මෙරට රාජ්‍යත්වය හෙබවූ මහා පරාක්‍රමබාහු රජු තම රාජ්‍ය කාලයේවූ මහා සංවර්ධනය අවුරුදු දහස් ගණනකට ඉතිරි කළේය. ඒ තේජස පරාක්‍රම සමුද්‍රය, තිවංක පිළිමය, රන්කොත් වෙහෙර, මැණික් වෙහෙර, ලංකාතිලක පිළිම ගෙය, දෙමළමහා සෑය, ගල් විහාරය ආදී සඳහන් කළ නොකළ නිර්මාණ සුවිශාල සංඛ්‍යාවකින් දැකබලා ගත හැකිය.
පරාක්‍රමබාහු නරපතියන් විසින් තමා සතුවූ නිර්මාණාත්මක බවින් හා නිර්මාණශීලී වැසියන් ලවා කරවන ලද මහා නිමැවුම් අතරට නෙලුම් පොකුණේ ජල තාක්ෂණය මෙන්ම නෙලුම් පොකුණේ නිර්මාණයද එක්වී ඇත.
බොහෝ දෙනකු සිතන්නේ පොළොන්නරුවට නෙලුම් පොකුණු ඇත්තේ එකක් බවය. එහෙත් එය සැබෑවක් නොවේ. ඔබ මේ පිළිබඳ පුදුමවන වගද මම දනිමි. එය ප්‍රලාපයක් නොවේ. වංස කතාවලට අනුව මෙන්ම පුරාවිද්‍යාත්මකද එය සැබෑවක්ව හමාරය.
මේ ලියන්නේ ඒ නෙලුම් පොකුණේ ඓතිහාසික වූත් සාඩම්බර වූත් කතාවයි.
මහා වංසයේ හැත්තෑ අටවැනි පරිච්ඡේදය හා හැත්තෑ නවවැනි පරිච්ඡේදය පුරා ලියැවී ඇත්තේ මහා පරාක්‍රමබාහු රජු විසින් කරන ලද විහාර ආරාම, උයන් පොකුණු ගැන තොරතුරුය. එහි සඳහන් වන ලෙසට මහා පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද වැව්, අමුණු, පොකුණු රැසකි. එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට හැත්තෑ අටවැනි පරිච්ඡේදයෙහි 45 සිට 48 දක්වා ගාථාවන්හි සඳහන් වන ආකාරයට නාන කොටු අටකි. එහි එක් ස්ථානයක් පියුම් නාන කොටුව ලෙස දක්වා ඇත. ඇතැම් විට මේ කියන්නේ අද අපි එහි මතුපිට පෙනුම සලකා නෙලුම් පොකුණු ලෙස පොදුවේ හඳුන්වන සැබෑවටම එහි වූ එක පොකුණකට යෙදූ නාමයම විය හැකිය. ඒ බව මහා වංසයේ සඳහන් වන්නේ මෙලෙසය.
"භික්ෂුන්ගේ අභ්‍යන්තර මලය ශාසන සුද්ධියෙන් ශුද්ධ කොට පිටත් මලද ශුද්ධ කරනු පිණිස සෙයින් ග්‍රීස්ම සමයෙහි නහනු පිණිස වට නාන කොටුවය, ගුහා නාන කොටුවය, පියුම් නම් නාන කොටුවය, භද්‍ර නම් නාන කොටුවය යානාදී ටැම් පියගැට පිළිකඩ ආදියෙන් සැදුම්ලත් ශෛලමය නාන කොටු අටක් කරවූවේය.
මෙහි දැක්වෙන පියුම් නම් නාන කොටුව ඇතැම් විට මෙම නෙලුම් පොකුණට කියූ නමක් විය හැකිය. එහෙත් ඒ බව තවදුරටත් ප්‍රශ්නයක් වන්නේ මහා වංසයේ හැත්තෑ නවවැනි පරිච්ඡේදයේ පස්වැනි හයවැනි ගාථාවන්හි සඳහන් වන පරිදි "පොකුණු" නමින්ම හඳුන්වා ඇති පොකුණු දෙකක් කරවා ඇති බව සඳහන්වීමත් සමඟය. එහි සඳහන් වන්නේ මෙලෙසය.
"ග්‍රීස්ම කාලයෙහි භික්ෂුන්ට නහනු පිණිස ඒ උයනෙහි ගුහ ඇත්තා වූ සිත්කලු වූ ගල් පොකුණු දෙකක් කර වූයේය."
මෙහි සඳහන් වන සිත්කලු වූ ගල් පොකුණු යන නමින්ම පොකුණු පිළිබඳව සඳහන් කරන ඒ සමයෙහිද පොකුණු සඳහා "නාන කොටුව" යන්න භාවිත කළාද යන්නෙහි පැනයක් හටගනී. කෙසේ වුවද මේ උපුටා ගැනීම් දෙකෙහිම යම් පමණක හෝ සබැඳියාවක් අප කියන්නට යන නෙලුම් පොකුණ කතාව සමඟ සම්බන්ධ විය හැකි යැයි අනුමාන කළ හැකිය. මහා වංසයේ කෙසේ සඳහන් වුවද අද වන විට අප හට දැක ගත හැකි නෙලුම් පොකුණ කතාව අපූරු කතාවක් වනු නොඅනුමානය.
අද වන විට පොළොන්නරුවේ ගල්විහාරයේ සිට තිවංක පිළිමගෙය දක්වා දිවෙන මාර්ගයේ මීටර් 500ක් පමණ යන විට වම් පසින් අප සියලු දෙනාම දන්නා ප්‍රධානතම නෙලුම් පොකුණ හඳුනාගත හැකිය.
දෙවැනි නෙලුම් පොකුණ පිහිටා ඇත්තේ ඇතුමල්පිටිය ලක්ෂ උයන මාර්ගයේ කර්මාන්ත පුරයට පිටුපස කෝන් වැව නමැති කුඩා වැව අසලය. එසේම ඊට මඳ දුරක අෑතින් නිර්මාණාත්මක බවින් ඉහළ මට්ටමක් පෙන්නුම් කරන නටබුන් රාශියක් දැකිය හැකි අතර මෙහි නෙලුම් පොකුණට අයත් පෙති යැයි හඳුනාගත හැකි ශිලාමය නටබුන් විසිරී ඇත. එය සැබෑවටම ශිලාමය පොකුණක් නම් එය අන් සියලු නෙලුම් පොකුණුවලට වඩා අලංකාරවත්ව නිර්මාණය කොට තිබෙන්නට ඇත. ඒ අසලම තවත් පොකුණක යැයි සුළු වශයෙන් අනුමාන කළ හැකි නටබුන් කොටසකි. අනෙක් නෙලුම් පොකුණ කෝන් වැව ආසන්නයේ ඇති තේක්ක වගා බිමක දැකිය හැකි අතර එහි ඇත්තේද නෙලුම් පොකුණක පෙති යැයි අනුමාන කළ හැකි තැනින් තැන විසිරී ගිය ශිලාමය කොටස්ය.
මෙම නෙලුම් පොකුණු සියල්ලෙන්ම සැබැවින්ම නෙලුමක පෙති ආකාරයට දිස්වන්නේ අද වන විට ප්‍රසිද්ධියට පත්ව ඇති තිවංක පිළිමගෙය අසල නෙලුම් පොකුණෙහිය. මෙහි කැණීම්කොට සංරක්ෂණය කිරීම කර ඇති අතර මෙම නෙලුම් පොකුණෙහි පතුල අවධානයෙන් විමසීමේදී එහි වඩු සලකුණු යැයි සැලැකිය හැකි සංකේත දැක ගත හැකිය. මෙය ඇතැම් විට මෙම පොකුණෙහි ආරම්භක අවස්ථාවේදීම ශිලාමය පෙති සවි කිරීමට පහසු වන පිණිස යෙදූ ලකුණු විය හැකිය. නොඑසේනම් පසු කලෙක පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු සඳහා පහසු වනු පිණිස එම කම්කරුවන් විසින් යොදන ලද සලකුණු විය හැකිය. කෙසේ වුවද මෙම නෙලුම් පොකුණේ ඉහළ (ගල්වරිවල) නෙලුම් පෙතිමත තවදුරටත් නෙලුම් පෙත්තේ හැඩතල මතුකොට ඇත.
මෙහි අප පැවැසූ ලක්ෂ උයන ආශ්‍රිතව ඇති දෙවැනි නෙලුම් පොකුණෙහි ඇත්තේ පෙති හතරක මලක හැඩයකි. එයටද පොදුවේ නෙලුම් පොකුණ ලෙස නම් යෙදුවද එය නෙලුමක හැඩය නොගනී. කෙසේ වුවද කැලෑවැදී එහි හුදෙකලාව ඇති මෙම නෙලුම් පොකුණ දකින හිත පුරා පැතිරෙන්නේ කියා ගත නොහැකි පමණේ සංවේගයකි.
පොළොන්නරුව නෙලුම් පොකුණ සඳහා ජලය ලබාගෙන ඇති තාක්ෂණයද අපූරු වූවකි. මේ පිළිබඳ අදහස් දක්වන්නකු වූ ඉන්දික මානවඩු පවසන අන්දමට නෙලුම් පොකුණ ලෙස හඳුන්වනු ලබන හැම පොකුණක්ම 200 සමෝච්ච රේඛාවට ආසන්න උස් භූමියක පිහිටා ඇත. ඊට හේතුව පරාක්‍රම සමුද්‍රයේ සිට වාන් මට්ටමේ පිටවන ජලය ඇළ මාර්ගයක් ඔස්සේ නෙලුම් පොකුණ ආසන්නයේ ඇති වැව්වලට හා ජල මාර්ගයන්ට ජලය පිරවීමය. එවිට නෙලුම් පොකුණ වටා භූමියේ භූගත ජල මට්ටම ඉහළ යයි. එවිට නෙලුම් පොකුණ වෙත ජලය නිරායාසයෙන් පිරෙයි.
කෙසේ වුවද ජලය රැගෙන ඒමේ ජලය බැසීයෑමේ ක්‍රමවේදයන් විමසීම පසෙකලා මෙම පොකුණු කඩිනමින් සංරක්ෂණය කළ යුතුව ඇත. නොඑසේනම් මේවා විනාශවී යෑම වැළැක්විය නොහැකි වනු ඇත.

උපුටා ගැනීම 
Sudesh Karunathilakeගෙන් 

'යුගයේ ගායිකාව සහ යුගයේ එළදෙන'


(පසුගිය සතියේ සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ ගීයක් ගැයූ යුවතියක 'යුගයේ ගායිකාව ලෙස' හඳුන්වා දුන්නේ යුගයේ එළදෙනකි. මේ ඒ ගැන කෙටි සහ සරල විරෝධයකි)
ජාතියේ යශෝරාවය වූ නන්දා මාලනියගේ ගීතයක් උමාරා, උමාරියා ස්ටයිල් එකට ගයලා, පොඩි චේගුවෙරා ඇක්සන්ට් එකක් දාලා, ගීතයේ වචන ටික ලංසි ප්‍රනවුන්සේෂන් එකක දාලා පොඩ්ඩක් තුප්පහි කරලා, ඇස් පොඩි කරලා, කට උල් කරලා, පශ්චාත්භාගය වනලා, නටවලා, තටමලා, පොඩි කැට් වෝක් දෙක තුනක් දාලා සිංදුවක් කියපු ගමන් මේ ගායිකාව යුගයේ ගායකාව කරපු යුගයේ එළදෙනකට මුලින්ම මාගේ දැඩි විරෝධය පළ කරමි.
මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවක ආධුනික ශිල්පියකු විසින් ගයන ගීතයක හොඳ නරක කියා දෙන්නට සංගීතය විෂයෙහි දැනුමක් හැදැරීමක් ඇති කෙනෙක් විනිශ්චය මණ්ඩලයට පත් නොකොට 'ලස්සනට වචන ගැලපීම පමණක්' සුදුසු කමක් කොට ගත් නිවේදිකාවකට භාර දීම පිළිබඳව සිරසටද විරෝධය පළ කරමි.
අනික ජනතාවගේ SMS මනාපයෙන් සුපිරි තරු තෝරන තරඟයක යුගයේ ගායිකාව තරඟ වදිනකොට අනෙක් තරඟ කරුවන්ට යන කළ දසාව කුමක්ද? මේ නොකියා කියන්නේ අනිත් එවුන් පැත්තකට දාලා යුගයේ ගායිකවට SMS යවපල්ලා කියලා නොවේද
භාෂි මධුභාෂිණී තරඟකාරිය, යුවතිය ගැන විවාදයක් නෑ. ඇය දක්ෂයි. ස්ටාර් පෙරහැර වේදිකාවේ සිට ඇය ජනතාවට අලුත් ට්‍රෙන්ඩ් එකක් හඳුන්වා දෙනවා විරෝධාකල්ප ගී සහ ගීය ගැයුමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කරන කළින් සකසා ගත් හිතට දැනෙන වචන කීපයක් හරහා. අනිත් තරඟ කරුවන් ගීතය ගයනවා හැරෙන්න එහෙම වචන මාකට් කරන්න උත්සාහයක් ගන්නවා පෙනෙන්නට නැහැ.
නන්දා මාලනිලා, කපුගේලා, ජයතික බණ්ඩාරලා මීට අවුරුදු විස්සකට කළින් දහසකුත් එකක් තර්ජන මැද්දේමේ විරෝධාකල්ප ගී ගයද්දී රෝම කූප කෙළින් කරන් අහං හිටපු අපිට මේවා අරුමයක් නොවුනාට අද පරපුරට මේක අලුත් වැඩක්. ඔවුන් ඉතා විමසිළිමත්ව මේ දිහා බලං ඉන්නවා. ඒ හින්දාම මේ ගායිකාවන් උස්සා තියන්න භාවිතා කරන වචන ගැන විනිශ්චය මණ්ඩල වල සාමාජිකයින් හැටියට ඉන්න අය සහ මෙවැනි විනිශ්චය මණ්ඩල වලට එන මිනිස්සු වග කියන්නට ඕනේ.
නන්දා මාලිනියගේ ගීතය පොඩි තුප්පහි ස්ට්යිල් එකක් දාල කියපු මේ විසේකාර කෙල්ල යුගයේ ගායිකාව කරපු 'යුගයේ එළදෙන' එතකොට නන්දා මාලනිය හඳුන්වන්නේ යුගයේ කවුරු කියලද...?
ඇය මීළඟ වැඩසටහනේදී මේ ප්‍රශ්ණෙට උත්තර දිය යුතුයි...
මේ වගත් එසේම,
සුදේශ් කරුණාතිලක ~
-----------------------------------------------------------
පසුව ලියමි: පහත ලින්ක් ඔස්සේ ගී දෙකම අහන්න විඳ ගන්න.
ඔබටත් ජාතියේ ගායිකාව වීමට අවශ්‍ය නම් තුප්පහි ස්ට්යිල් එකට සිංදු කියන්න පටන් ගන්න.
------------------------------------------------------------
නන්දා මාලනිය විසින් මීට වසර ගණනාවකට පෙර ගැයූ 'හන්තාන අඩවියේ'
---------------------------------------------------------------
භාෂි මධුභාෂිණි ගැයූ නන්දා මාලනියගේ 'හන්තාන අඩවියේ'