Showing posts with label සමාජය. Show all posts
Showing posts with label සමාජය. Show all posts

Saturday, April 8, 2017

වසර 27 ට පෙර අද වැනි දවසක ගැරහීම් සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩිත AIDS ආසාදිත සිසුවා රයන් වයිට් , මෙලොව හැර පියා නික්මුණේය.


රයන් වයිට්
1971 වසරේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ උපත ලද රයන් වයිට් AIDS ආසාදිතයෙකු බව අනාවරණය වන්නේ 1984 වසරේ දී එනම් ඔහු දහ තුන් හැවිරිදිව සිටින විටය. ඔහු උපතින්ම හිමෝෆීලියා A ( Hemophilia A) රෝගියෙක් වූ අතර රුධිරය කැටි නොගැසෙන බැවින් සුළු තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ගලාගොස් මරණයට පත් වීමේ අවදානමක් ඇත. රයන් වෙත වරින් වර රුධිරය පාරවිලනය කිරීමට සිදුවන්නේ එබැවිනි. උග්‍ර නිව්මෝනියාව හේතුවෙන් රෝහල්ගත කර සිටියදී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට AIDS ශරීරගත ව ඇති බව සොයා ගැනුණු අතර එයට හේතු වී තිබුණේ අසාදිත රුධිර පාරවිලයනයකි. මාස හයක කාලයක් රෝගාතුරව සහ විවේකගත ව සිටි රයන් වයිට් යළිත් තම පාසල වූ Western Middle School වෙත යන්නට තීරණය කරන විට ඔහු දහ හතර හැවිරිදි ය. නමුත් ලෝකය රයන් සහ ඔහුගේ මව සිතනවාට වඩා සංකීර්ණය.
එහි ඇති වන්නේ පාසල් පද්ධතියක් සහ දහ හතර හැවිරිදි රෝගී දරුවෙකුගේ හිමිකමක් සම්බන්ධ ද්වන්ධ යුද්ධයකි. 1985 ජූනි මස 30 වැනිදා රයන් ගේ පාසල අයත් Western School Corporation හි අධ්‍යක්ෂවරයා ඔහුට පාසලට ඇතුළුවීම තහනම් කරන අතර එය ඔහුගේ තනි තීරණයක් නොවීය. පාසලේ සිසුන් 360 දෙනාගෙන් 117 දෙනෙක්ගේ භාරකරුවන් සහ ගුරු මණ්ඩලයේ 50 දෙනෙක් ගේ අත්සනින් යුතුව රයන්ට එරෙහි පෙත්සමක් ලැබී තිබිණ. රයන්ගේ දෙමාපියන් සහ පුවත්පත්

ඔහු වෙනුවෙන් සටන් වැදුණහ. අගෝස්තු 26 පාසල් වාරය ඇරඹුණු විට රයන්ට පාසලට පැමිණ දුරකතනය හරහා ඉගැන්වීම් වලට සවන් දෙන්නට පාසල යෝජනා කළහ. නමුත් ඔක්තෝබර් 02 වැනිදා ඔවුන් තීරණය කරන්නේ රයන් පාසල් නොආ යුතු බවයි. ඉන්දියානා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව රයන් ව ඇතුළත් කරන්නට නියෝග කරන අතර එම නියෝගය ට එරෙහිව අභියාචනාවක් ගෙන ඒමට පාසල් බළධාරීන්ගේ කමිටුව 7-0 ක් ලෙස ඒකමතිකව තීරණය කළහ. 1986 පෙබරවාරි 06 වැනිදා එම අභියාචනයේ දී නිර්දේශ වන්නේ රයන්ගේ පාසල් ගමන පිළිබඳ තීරණය හොවාර්ඩ් නගර සෞඛ්‍ය නිළධාරියාගේ සෝදිසියකට යටත්ව සිදු විය යුතු බවයි. පෙබරවාරි 13 වැනිදා අදාල නිළධාරියා විසින් රයන් වයිට් පාසල් ගමනට යෝග්‍ය යැයි තහවුරු කළේය. ඒ සමගම පෙබරවාරි 21 වැනිදා පාසල මගින් හොවාර්ඩ් නාගරික අධිකරණය වෙත ඉල්ලුම් කෙරෙන රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය ඉවත දැමිණ. පෙබරවාරි 21 වැනිදා රයන් වයිට් පාසල් යන විට සිසුන් 360 අතරින් 151 දෙනෙක්ම නිවසේ රඳවා ගන්නට දෙමාපියන් උත්සුක වූහ. එදිනම සවස් වරුව වන විට වෙනත් අධිකරණයක් මගින් රයන් වයිට් ට එරෙහිව වාරණයක් පනවා තිබිණ. රයන් වයිට් ට තහනම් වූ පාසලේ ක්‍රීඩාගාරය තුළ මාර්තු 02 වැනිදා වෙන්දේසියක් පවත්වන්නට යෙදිණ. ඒ වයිට් පාසලට ඒම වළක්වාලීමේ ඉදිරි නීති කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීමට ය. නමුත් අප්‍රේල් 10 වැනිදා නැවතත් මාණ්ඩලික අධිකරණය මගින් රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය නිෂ්ප්‍රභා කළ අතර ජූලි 18 වැනි දා ඉන්දියානාපොලිස් අභියාචනාධිකරණය මේ සම්බන්ධව කිසිදු අභියාචනයක් මින් ඉදිරියට භාර නොගන්නා බවට තීන්දුවක් ලබා දෙයි.
ඒ වනවිට රයන් වයිට් ලොව පුරා ප්‍රචලිත වී අවසන් ය. මාස පහක් පමණක් ජීවිත් වේ යැයි අනාවැකි තැබූ මේ දහ හතර හැවිරිදි සිසුවා 1987 දී තමා ප්‍රතික්ෂේප කරන පාසලෙන් සමුගනී. ඔහුටම වෙන් කළ වැසිකිළි ,පාවිච්චියෙන් පසු ඉවතලන හැඳි ගෑරුප්පු භාවිතයට අණ කිරීම සහ ක්‍රීඩාගාරය භාවිතයට ඉඩ නොලැබීම වැනි දෑ නිසා රයන්ගේ පීඩනය වටහා ගන්නා දෙමාපියන් වෙනත් නගරයකට පදිංචියට යති. ඔහුව මානුෂිකව සහ ආදරයෙන් පිළි ගන්නා Hamilton Heights High School පාසලේ 1987 සිට සතුටින් අධ්‍යාපනය ලබන රයන් 1990 අප්‍රේල් 08 වැනිදා ඔහු මෙලොවින් සමුගන්නේ පාසල් උපාධි ප්‍රදානයට මාසයක් තිබියදී ය.
මයිකල් ජැක්සන් සමග
HIV පිළිබඳ දැනුවත්කම මද එම යුගයේ රයන් තමා නොකළ වරදකට ලද දඬුවම් අතිශය වේදනාසහගත ය. පුවත්පත් බෙදාහැරීමේ අර්ධකාලීන රැකියාව ඔහුට අහිමි වන්නේ රයන්ගේ බෙදාහැරීම් කලාපයේ නිවැසියන් එම සේවය අනවශ්‍ය බව දන්වා තිබූ නිසාය. AIDS වැළඳෙන්නේ සමලිංගික හැසිරීම නිසාම යැයි සිතූ සමාජයක මේ දහ හතර හැවිරිදි දරුවාගේ මුහුණටම " උඹ සමකාමියෙක් බව අපි දන්නවා" යි පවසා අපහාස කිරීමට තරම් අසල්වාසීන් නිර්දය සහ සාහසික වූහ. ආසාධිත රුධිර පාරවිලයනය හරහා ද HIV ආසාදනය විය හැකි බවත් එය ස්පර්ශයෙන් බෝ නොවන්නැකැයි ලොවට පැවසීමට රයන් ඉදිරිපත් වන්නේ මේ අමිහිරි මතකයන්ගෙන් ඉරි තැළුණු ළමා සිතක වේදනාවෙනි.
1990 මාර්තු 20 වැනිදා මේ කතාවේ කෙළවර පැමිණෙන බවට පෙරමං සලකුණු පහළ වේ. ඉන්දියානා පොලිස්හි ළමා රෝහලකට ඇතුළු කරන රයන් සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතිණ. ඒ වන විටත් ලෝකයේම ආදරයට පාත්‍ර වී සිටි රයන් බැලීමට එල්ටන් ජෝන් සහ බොහෝ කලාකරුවන් පැමිණි අතර මයිකල් ජැක්සන් පවා ඔහු හමුවීමට එයට පෙර පැමිණ තිබිණ. රෝහල ඉතිරී පැතිර යන මට්ටමට සෙනඟ පැමිණෙයේ නොකළ වරදකට වන්දි ගෙවූ , නමුත් ජීවිතය අත් නොහර සටන් කළ මේ ළමා විරුවා හට සුබ පතන්නට ය. තමා ඔහුට ආදරය කළ බවත් මතුවටත් ආදරය කරන බවත් පවසන්නට ය. ආදරය සහ වේදනාව මැද 1990 අප්‍රේල් 08 ගත වන්නට ඉඩ නොදෙන රයන් වයිට් වසර දහ අටක් තුළ විඳි දුක්ඛ දෝමනස්සයන් හැර පියා සදාකාලික සැනසුමට පත් විය. ඔහුගේ අවමංගල්‍යය උළෙලට පැමිණි පිරිස තර මයිකල් ජැක්සන් , ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ද විය. එල්ටන් ජෝන් රයන් වෙනුවෙන් Skyline Pigeon ගීතය ගැයුවේය.
අවසන් නින්ද..
ඔබගේ දෑතින් මිදෙන්නට කාලයයි
ඉඩ දෙන්න මට - දුර ඈත ඉසව්වකට පියාපත් සලන්නට
නිල් තණ පලස මත , තුරුගොමු ශිඛර මැද
 පිපි කුසුම් ,වනස්පති දිය කඳුරු එහා කොණ
 අහස් ගං මාවත් තැනුණු - ම නිවස්නය වෙතට
Western Middle School වෙතින් කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විදුහලත් - ගනේමුල්ල කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයත් දකිමි. Hamilton Heights High School පාසල වෙතින් ත්‍රිත්ව විද්‍යාලය දකිමි. රයන් වයිට් , ඔබ වෙතින් අප අත්හැරෙන සහ අත්හරිනා ජීවිතය දකිමි.

Wednesday, November 30, 2016

===මඩකලපුවේ සැබෑ තත්වය කුමක්ද..??=== චමල් අකලංක


කවුද හාමුදුරුවනේ මේ ගම්වල ඉන්නෙ.. ?
යුද්ධෙ කාලෙ ගම් අතෑරලා ගිහින් ආයෙ උපන් ගම් වලට ආව මිනිස්සු ඉන්නෙ.. ඒමිනිස්සුන්ට හරියට කන්න ටිකක් නෑ.. ඉන්න ගෙයක් නෑ මහත්තයො..
රජයෙන් මුකුත් කරන්නැද්ද ඉතින්..?
මොන පිස්සුද මහත්තයො. උප්පැන්නයක්.. අයිඩින්ටියක් නෑ.. පදිංචිය තහවුරු කරලා ලියුමක්වත් දීලා නෑ තාම හිටපු එක ආණ්ඩුවක්වත්..
මහින්ද මහත්තයා මුකුත් කළේ නැද්ද යුද්ධෙ ඉවර උනාම..?
(උපහාසයෙන් ) කිසිම දෙයක් කළේ නෑ.. බැලුවෙවත් නෑ මේ සිංහල මිනිස්සු දිහා..
මේ මිනිස්සු ලංකාවෙ පුරවැසියො මහත්තයො.. ඉතින් අපි ඡන්ද අයිතිය ඉල්ලලා පාරට බැස්සම ජනාධිපතිවරණේ කාලෙ මේ සිංහල මිනිස්සුන්ගෙ ඇඳුම් ගලෝලා මහපාර මැද්දෙ ගැහුවෙ එයා.. මම දෙතුන් පාර හම්බෙන්න හැදුවා,. බලෙන් කතා කලා.. බැලුවෙවත් නෑ...
එතකොට දැන් ඉන්න අය මොකක්ද කළේ.. අර ඉස්සරහ පලකෙ තියෙන්නෙ සිරිසේන මහත්තයගෙ නමනෙ..??
( නැවත සිනාසී ) පන්සලට එන්න කියලා ආරාධනා කරලා මෙතෙන්ට ගාඩ් එකත් දැම්මා.. තදට වැහැපු හින්දා එන්න බෑ කිව්වා... මං තව ටික දවසක් බළලා ඕක පෙරළලා දානවා.. ( මේ ළඟදී කුළුගෙඩියකින් ගසා කුඩු කර දැම්මේ ඒ ඵලකයයි )
එතකොට බොදු බල සේනා වගේ සංවිධාන ?
ඒවත් එහෙම තමයි.. ඇවිල්ලා සාමාජිකයො බන්දගන්නවා කියලා යනව.. ආයෙ එන්නෙ නෑ..
මඩකලපුව නගරයටම ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය මඩකලපුව මංගලාරාම විහාරයයි..
ඉහතින් දැක්වූයේ එහි විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් සමග අප සිදුකළ සාකච්ඡාවේ කොටසකි.. ( ත්‍රස්ථවාදීන් විනාශ කළ මංගලාරාමය නැවත ගොඩනගා ඇත්තේ සුමනරතන හිමියන් විසිනි )
විහාරයේ සිටින පොඩි හාමුදුරුවන් සියල්ලෝම මඩකලපුවේ පිරිවෙන් නැති නිසා නේවාසිකව ඉගෙන ගන්නේ මහනුවරය..
කොළඹ සිට කෑගසනවාට විචාර දෙනවාට වඩා පුළුල් සමාජ ආර්ථික හා දේශපාලනමය ගැටළුවක් මඩකලපුවේ පවතින බව මේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම පිණිසම එහි ගිය අවස්ථාවේදී අපි දැනගත්තෙමු..
පැවති යුද්ධය නිසා උතුරේද නැගෙනහිරද මිලියන ගණනක් සිවිල් වැසියන් තම ගම්බිම් අතහැර පලා ගිය අතර මඩකලපුවේද එසේමය..එසේ පලායන සිවිල් වැසියන් ත්‍රස්තවාදීන්ගේ හදිසි දැනුම් දීමකින් පලා ගියේ ඇඳිවත පිටින් ය.. පසුව යුද්ධය අවසන් වී ඔවුන් තම උපන් ගම් බිම් වලට පැමිණියේ දෙවනි හෝ තෙවැනි පරම්පරාවන් ද සමගය..
මඩකලපුවේ ගැටළුව වන්නේ එසේ යුද්ධය නිසා පලා ගොස් නැවත තම ගම්බිම් වලට පැමිණි සිංහල ජනතාවට තම මුල් ඉඩම අයිතිය හෝ මූලික අවශ්‍යතාවයන් හෝ නොලැබීමයි...
එහි පැමිණි සිංහල ජනතාව පදිංචිව ඇති ගම් වන්නේ,,
සිප්පියාමඩුව
පිල්ලුමලේ
සින්නවත්ත
කුළුකුණාමඩුව
කොස්ගොල්ල
පුන්නකුඩා
ජයන්තිපුර
මංගලගම යි..
මේ ගම්වල පවුල් 3500 ක් පමණ ජීවත් වෙති.. ඔවුන් මේ බිමේ ඉපදුණු ශ්‍රී ලාංකික පුරවැසියන්ය.. නමුත් කණගාටුවට කරුණ වන්නෙ මේ මිනිස්සුන්ගෙන් බහුතරයකට තවම ඡන්ද අයිතියවත් නොලැබීමයි.. උප්පැන්න නැත.. ජාතික හැඳුනුම්පත් නැත.. මරණ සහතික, විවාහ සහතික ගැනීමට ක්‍රමයක් නැත.. සමෘද්ධිය නැත.. අඩුම තරමේ ඉන්න බිමේ අයිතියවත් ඔප්පුවක්වත් නැත..රැකියා නැත.. ජීවත් වන්නේ කුලී වැඩක් හෝ වගාවක් කිරීමෙනි.. ගොවිතැන් කිරීමට ඉඩම් නැත.. ගොවිතැන් කළද ශුෂ්ක පරිසරයේ ජලය සොයා ගැනීමට ජල යෝජනා ක්‍රමද නැත.. නියං කාලෙට බොන්න පවා වතුර නැත.. වන අලි ගම් වදින නිසා රෑට නින්දක් නැත.. දරුවන් පාසල් ගැන සිතන්නේ නැත.. කෙවිළියාමඩුවේ සිට පාසලකට යාමට මංගලගමට යා යුතු දුර කිලෝමීටර් 10 කි..
හාමුදුරුවන් අප සමග පැවසුවේ දිනක් ගමකට යනවිට බඩදරු අම්මා කෙනෙක් දින තුනකින් නොකා සිට ඇයට ආහාර දී උපකාර කළ බවයි..
සැබෑ ප්‍රශ්ණය එය නොවන අතර මේ සියළු ගැටළු නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඉක්මනින් විසඳිය හැකි වුවද..,
ගැටළුව වන්නේ එම මිනිසුන් උප්පැන්න.. හැඳුනුම්පත්., ඔප්පු ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට ග්‍රාමසේවකගේ සිට ඉහළ රජයේ නිලධාරීන් හමුවට ගිය විට ඔවුන්ට අදාල සේවා නොලැබීමයි... රාජ්‍ය නිලධාරීන් සියල්ලම පාහේ සිංහල නොවීම නිසා තමන්ට මේ ආකාරයෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව බවයි ගම්වැසියන්ගේ චෝදනාව වන්නේ...
හාමුදුරුවන් පැවසුවේ නඩු කීවද මේ ගැටළුවම උසාවියේද ඇති නිසා පලක් නොවූ බවත්.. මඩකලපුවේ නීතිඥ සහය නොලැබෙන බවත් කොළඹින් හෙව්වට ඒ අයට ගාණක් නැති බවත් ය..
උපන් බිමේ පුරවැසියෙක් ලෙස ජීවත් වීමේ අයිතිය පවා නොලැබීමේ ගැටළුවක් මෙතැන පවතින බව දැන් ඔබට වැටහෙනු ඇත..
මෙයට හේතුව කුමක් ද..?
හේතුව සරලය.. එනම් ඡන්ද පදනමයි,, මඩකලපුවෙ බහුතරය දෙමළ මුස්ළිම්ය.. සිංහල ජනතාවට කේවල් කිරීමට තරම් ඡන්ද ප්‍රමාණයක් නැත..
සිංහලයාගේ ගැලවුම්කාර දියසේන කුමාරයා ලෙස තමන්ව හඳුන්වන මහින්ද රාජපක්ස හිටපු ජනාධිපතිවරයා ඒ මිනිස්සුන්ට ඇඳුම් ගලවා පහර දුන්නේ ද.. යහපාලනය ගෙන එමියි.. සියල්ලන්ට සමානව සලකමියි කියූ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති ලෙස ගැටළුව නොදැක්කා සේ සිටින්නේ ද අනෙක් දේශපාලුවන්ටද ප්‍රශ්ණය ගාණක්ම නැත්තේ ද ඡන්ද අහිමිවන නිසාය...
ඒ නිසා මේ ප්‍රශ්ණය දෙස බයි ටොයි හෝ කිසිදු දේශපාලනයක් ලෙස බෙදී බැලීමෙන් වළකින්න.. ඒ කාටවත් ඡන්ද නැති නිසා මේ මිනිස්සු ගැන ගාණක් නැති බව අකමැත්තෙන් හෝ තේරුම් ගන්න...
සිංහලේ, බොදුබල සේනාව ,රාවණා බලය ආදි ඊනියා සංවිධාන ගැන ද කතා කර පළක් නැත.. හරිනම් ඇඳුම් කඩවල් වලට ගල් ගැසීමට පෙර.. ඇමරිකාවට විරුද්ධව කොටුවේ උද්ඝෝෂණ කිරීමට පෙර.. ප්‍රධාන සටන් පාඨය විය යුත්තේ මේ අහිංසක මිනිස්සුන්ගේ ගැටළුවයි,,
ඒ මිනිසුන් ජනාධිපතිවරණ සමයේදී ඡන්ද අයිතිය ඉල්ලා නිරුවත් කොට පහර දෙද්දී මහින්දට ඡන්දෙ දෙන්න කී බල සේනා හෝ අනෙක් සංවිධාන වලින් මීට වඩා කිසිවක් බලාපොරොත්තු විය නොහැක..
එසේනම් මේ ගැටළුව දෙස දේශපාලනය හෝ ඊනියා ස්වෝත්තමවාදය පසෙකට දමා විවෘතව බලන්න.. එයට පක්ස පාට ජාති ආගම් අදාල විය යුතු නැත.. උපන් බිමේ අයිතිය අහිමි වී සිටින්නේ අපේම ජනතාවයි.. ඒ මිනිසුන් වෙනුවෙන් නැගී සිටින්න මිනිසුන් ලෙස.. උතුරේ දමිළ වැසියන්ගේ මුල් ඉඩම් නිදහස් කරනවා සේම මේ මිනිසුන්ටද තම ඉඩම් වල අයිතිය උප්පැන්න සහතික ජාතික හැඳුනුම්පත් ආදී සියල්ල ලැබිය යුතුය.. නිලධාරීවාදය වහා නැවැත්විය යුතු අතර සැමට සාධාරණව සාමයෙන් ජීවත් වීමේ වටපිටාවක් ජාති භේදයකින් තොරව බිහිවිය යුතුය... ජාති භේදයෙන් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව වහා පියවර ගත යුතුය...
ජනාධිපතිවරයා ඇතුළු සියළු වගකිවයුත්තන් මෙයට වගකිව යුතුය.. අපට කළ හැක්කේ අදාල ආයතන හා නෛතික රාමුවට මේ මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස බලපෑම් කිරීම මිස ජාතිවාදය අවුලා කඩු පොලු මන්න වලින් ලේ වගුරා ගෝත්‍රිකයන් ලෙස හැසිරීමෙන් නොවන බව ත් සිහිතබා ගත යුතුය..
එක් අන්තවාදයක් තවත් අන්තවාදයකින් විනාශ කළ නොහැක.. දේශපාලනය හා ජාතියේ ආගමේ නාමයෙන් සිටින සියළු සංවිධාන සියල්ලන්වම රවටා ඇති බව පැහැදිලිය.. මේ මිනිසුන් වෙනුවෙන් කතා කළ හැක්කේ සිංහලයන්ට පමණක් නොවන අතර දෙමළ මුස්ළිම් ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට එය අදාල විය යුතුය..සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස ශ්‍රී ලාංකිකයෙක්ට ඇතිවූ ගැටළුවක් ලෙස සැලකිය යුතුය...
ජාතියක් ගෝත්‍රයක් ආගමක් වර්ණයක් නිසා මිනිසුන් අසාධාරණයට ලක් වේ නම් එය ම්ලෙච්ඡ තත්වයකි... එය සිංහලයාටද දෙමළාටද මුසල්මානුවාටද හෝ කුමන ජාතියකට හෝ සිදු වේ නම් සියල්ලන්ම ඊට විරුද්ධ විය යුතුය..
අවාසනාවකට ලංකාවේ මේ ජාතීන් තුනම ජාතිය ආගම නිසා අසාධාරණයට ලක් වුවද.. බොහෝ අවස්ථා වලදී ඊට අනෙක් ජාතීන් හඬ නගන්නේ නැත...
නමුත් විය යුත්තේ මිනිසුන් මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමයි....
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙන් වන්නේ කරන ක්‍රියාවෙනි.. එය උපතින් ජාතියෙන් සිදු නොවේ..
කඩිනම් විසඳුම් සොයමු...
සාධාරණව සාමකාමීව..
( මෙය ලිවීමට හේතු වූයේ මේ දිනවල අම්පිටියේ හිමියන්ගේ වීඩියෝපට සමාජජාල හරහා සැරිසැරීමෙන් ඇතිවී ඇති ගැටළුව සම්බන්ධ වැරදි වැටහීම් ගැන නිවැරදි අවබෝධයක් ලබා දීමට වන අතර බුද්ධ චීවරය දරා සිදුකරන හිමියන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත නොකරමි..
නමුත් හාමුදුරුවන්ව අමතක කර ඊට එහා ගිය සැබෑ ගැටළුව ගැන මනුශ්‍යයන් ලෙස සිතීම වඩා වැදගත් වන බව මාගේ විශ්වාසයයි... )

Friday, September 9, 2016

බඩුවක් ගහමුද?? මේ ගැනත් ටිකක් දැනගන්න...

ගණිකාව ‍නෙහොත් බඩුව... 



ඇත්තටම මේ කවුද? ඇයි මේ විදිහට හදුන්වන්නේ? මේ අය මොකද කරන්නේ? දන්නෙ නැති එකාට ප්‍රශ්ණ ගොඩයි. මම කලින් දිනක ගණිකාවක් සමග කල කතාබහක් ගැන සැකසූ සටහනක් ඉදිරිපත් කල අතර එහිදී මේ ගණිකාව එහෙමත් නැත්නම් නූතනයේ පාවිච්චි වන සුලභ හැදින්වීම වන බඩුව ගැන ඔබට දැන ගන්නට හැකි වන්න ඇතැයි මම විශ්වාස කරනවා.

ගණිකාව කියන්නෙ කාටද ඒක වෙන්නෙ කොහොමද කියල මම කියන්නම්.
කැම්පස් එකේ සමාජවිද්‍යාව කරන එවුන්ට නම් මේක ගොඩක්ම වැදගත් වෙයි. ඒ නිසයි මම මේ සටහන අද ලියන්නේ.....

ගණිකා වෘත්තිය ලොකයේ ඇති පැරණීතම වෘත්තය ලෙස හැදින්විය හැක. එයට දීර්ඝ ඉතිහාසයකි. බුද්ධ කාලයේ පවා මේ වෘත්තිය පැවති බවට සාධය ඇත. චිංචි මානවිකාව, සිරිමා , අම්බපාලි , වැනි ගණිකාවන් පිළීබදව සදහන් වේ. එම ගණිකාවන්ගේ දුරුගුණ මෙන්ම යහගුණ පිළිබදවද ඉතිහාසයේ සදහන් වේ.
අඹු සැමියන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා හැරුණු විට ඉන් පරිබාහිරව අනියම් ලිංගික සබදතා ඇතිවීම සමාජ සම්්මතයට එරෙහි වයීමක් ලෙස හැදින්වේග නමුත් එවැනි අනියම් සබදතා ගණිකා වෘත්තියක් වන්නේ ද නැත. එය ගණිකා වෘත්තිය ලෙස අර්ථ ගැන්වීමට මූලික කරුණූ කීපයක් සපුරාලිය යුතුය.

  1. එය ඕනෑම ස්ත්‍රියක් ඕනෑම පුරුෂයෙක් සමග සිදුවන ලිංගික සබදතාවයක් විය යුතුය.
  2. එය කිසියම් මුදලක් හෝ ත්‍යාගයක් හෝ කිසියම් දීමනාවක් අපේක්ෂාවෙන් සිදුවන ලිංගික සම්බන්ධතාවයක් විය යුතුය.
  3. එය පවතින සාරධර්ම වලට පටහැනි වූ හැගීම් සහගත නොවන ලිංගික සම්බන්ධතාවයක් විය යුතුය.
ගණිකා වෘත්තිය යනු කුමක්දැයි සමාජ විද්‍යා විෂ්ව කෝෂයේ (ENCLOPEDIA OF SOCIAL SCIENCE)

ගණිකාව යනු ,

පුරුද්දක් වශයෙන් හෝ වරින් වර හෝ කිසියම් මුදලක් , ත්‍යාගයක් හෝ දිමනාවක් අපේක්ෂාවෙන් සිරිත් විරිත් යම් ප්‍රමාණයකට නොසලකා හරිමින් ලිංගික සම්බන්ධතා පවත්වන තැනැත්තිය වේ.

                        ගණිකා වෘත්තිය ලෝකයේ ඇති පැරණිතම වෘත්තිය ලෙස සැලකේ. මහා කවි කාලිදාස ශ්‍රී ලංකාවට පැමිණ එවකට විසූ කුමාරදාස රජතුමන් සමග කුමාර කාලිදාස වෘත්තාන්තය ලියූ බවත් මොවුන් දෙදෙනාම එකම ගණිකාවක් සමග ජීවත් වූ බවත් සදහන් වේ. එසේම ඉන්දියාවේ දේවදාසීන් හින්දු කෝවිල් වල ආගමික කටයුතු සදහා කැප වුනු පිරිසක් විය.

ඔවුන්ට පැවරී තිබූ කාර්යය වූයේ,

  1. කෝවිල තුල නාට්‍යාංගනාවන් වශයෙන් කටයුතු කිරීම.
  2. කෝවිලේ පූජකයන්ට ලිංගික සේවය සැපයීම.
  3. කෝවිලට පැමිනෙන වෙනත් පුද්ගලයින් වෙනුවෙන් ලිංගික සේවය සැපයීමයි.
මෙයින් පැහැදිලි වන්නේ  මොවුන් ගණිකාවන් වශයෙන් හදුනාගත හැකි බවයි. අතීතයේද කාන්තාවන් සදහාම වෙන් වූ වෘත්තියක් ලෙසට පත්වී තිබූ මේ වෘත්තිය සමාජ නවීකරණයත් සමගම විවිධ දිශාවන් දක්වා දිශාගත වී තිබේ.
ඒ අනුව ගණිකා වෘත්තිය ප්‍රභේද 4කි.

  1. ස්ත්‍රි ගණිකා වෘත්තිය                        -           FEMALE PROSTITUTION
  2. පුරුෂ ගණිකා වෘත්තිය                     -           MALE PROSTITUTION
  3. ළමා ගණිකා වෘත්තිය                       -          CHILD PROSTITUTION
  4. සමලිංගික ගණිකා වෘත්තිය              -           HOMOSEXUAL PROSTITUTION





ළමා ගණිකා වෘත්තිය හා සමලිංගික ගණිකා වෘත්තිය මෑත ඉතිහාසයේ සමාජ විපර්යාස ක්‍රියාවලිය සමග ඇති වූ තත්වයකි. ආසියාතික රටවල් ළමා ගණිකා වෘත්තියට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. ප්‍රසිද්ධ සංචාරක සගරාවක් පවසන්නේ , ගණිකාවක් අවශ්‍යනම් තායිලන්තයට යන්නටත් , ළමා ගණිකාවක් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවටත් පැමිණිය යුතු බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව පිරිමි ළමා ගණිකා වෘත්තියේ පාරාදීසය ලෙස සැලකේ. අධි සංවර්ධනය වූ රටවල සමලිංගික ගණිකාවන් හදුනාගත හැකිය. විශේෂයෙන්ම සමලිංගික විවාහ නීතිගත කොට ඇති රට වල සමලිංගික ගණිකාවන් හදුනාගත හැකිය.
ස්ත්‍රී ගණිකා වෘත්තිය පිළීබදව අතීතයේ පටන්ම වඩාත් කතාබහට ලක්වන අතර  මූලික කොටස් කිහිපයකින් දැක්විය හැකිය.

  1. විභව ගණිකාව - විභව ගණිකාව යනු නිශ්චිත වශයෙන්ම ගණිකාවන් නොවූ එහෙත් ගණිකා වෘත්තිය සදහා හුරුවෙමින් පවතින කාන්තාවන් වේ.
  2. ලාභාල ගණිකාව - ලාභාල ගණිකාව යනු ඉතා අඩු වයසින් ගණිකා වෘත්තියට පිවිසි පිරිස වේ. මොවුන් ඉතා ලාභාල වයසින් ගණිකා වෘත්තියට පිවිසෙන නිසා පසු කලෙකදී ඉතා සාර්ථකව එම වෘත්තියේ නියැලීමට හැකියාවක් පවතින පිරිස වේ
  3. වීදි ගණිකාව - වීදි ගණිකාව යනු නගරයේ ප්‍රසිද්ධ ස්ථාන වල ,නගරයේ වීදි වල සැරිසරමින් ගණිකා වෘත්තියේ නැයැලෙන පිරිසයි. ඔවුන් ඉතා අපිරිසිදු පහත් ආර්ථික ත්වයකට හිමිකම් කියයි.
  4. ස්ථානීය ගණිකාව - ඇය නිශ්තිත ගණිකාව ලෙසින්ද හැදින්වේ. මෙම ගණිකාවන් කිසියම් නිශ්චිත ස්ථානයක ගත කරමින් වෘත්තියේ නියලේ. බොහෝ විට මොවුන්ගේ නිශ්චිත ස්ථානය ගණිකා නිවාසයයි.
  5. සංචාරක ගණිකාව - මොවුන් විශේෂ උත්සව ස්ථාන වල ගැවසෙමින් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ය. සැනකෙළි භූමිවල , පෙරහැර කාලවල එම ස්ථාන ආශිතව සැරිසරමින් මොවුන් ගණිකා වෘත්තියේ යෙදේ.
  6. මධ්‍යම පාන්තික ගණිකාව - ඇය සුපිරි ගණිකාව වශයෙන්ද හදුන්වයි. සුපිරි ගණිකාවන් රැකියාවන් කරන අතරවාරයේ අමතර ආදායමක් අපේක්ෂාවෙන් ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන් වේ. මොවුන් කිසියම් ප්‍රමාණයකට අධ්‍යාපන දැනුමක් , වෘත්තීය නිපුනතාවයක් ලබා ගත් කාන්තාවන් වේ
  7. විලාසිනියන් - මේ යටතේ මෝස්තර නිරූපිකාවන් , නිලියන් , රූපරාජිනියක්, සම්භාහන ආයතන වල සේවය කරන කාන්තාවන් අයත් වේ. විලාසිනියන් වශයෙන් හැදින්වෙන ගණිකාවන් බොහෝ විට රටේ ප්‍රසිද්ධ නමක් දරණ පුද්ගලයන්වේ. එසේම මෙම කාන්තාවන්ට ඉතා ඉහල ඉල්ලුමක් මෙන්ම වැඩි මිල ගණන් අයකිරීමක්ද පවතින බව පෙනේ.
  8. දුරකතන ගණිකාවන් - මොවුන් දුරකතන මාර්ගයෙන් රටේ ඉහල තනතුරු දරණ අය සමග සම්බන්ධතා පවත්වයි. බොහෝ සුපිරි හෝටල් වල දුරකතන ගණිකාවන්ගේ ඡායාරූපය , දුරකතන අංකය සහිත ලේඛනයක් ඇත. එම ලේඛනය මගින් පුද්ගලයන් දුරකතන ගණිකාවන් සමග සම්බන්ධවේ.
  9. අධිපති ගණිකාව - ඇය මැඩම් ගණිකාව ලෙසද හැදින්වේ.මොවුන් කාලාන්තරයක් ගණිකා වෘත්තියේ නියැලී ලබා ගත් අත්දැකීම් මත ගණිකා නිවාසයක් පවත්වාගෙන යන පිරිස වේ. මොවුන් යටතේ ගණිකා නිවාසය තුල තවත් ගණිකාවන් ජීවත් වේ. අධිපති ගණිකාවගේ ආර්ථික මට්ටම ඉතා ඉහල මට්ටමක් ගනී.
  10. වවුල් ගණිකාව - වවුල් ගණිකාව යනු කාලයක් තිස්සේ ගණිකා වෘත්තියේ නියැලී වයසට පත්වූ අය වේ. වයසට පත් වූවත් පුරුද්දක් වශයෙන් ගණිකා වෘත්තියේ නැයැලෙන කාන්තාවන්ය. මොවුන් සදහා ඇති ඉල්ලුම ඉතා පහලය.
ගණිකා වෘත්තිය නීතිගත කොට ඇති ඇමරිකාවේ ඇතැම් ප්‍රන්ත වල ගණිකාවන් තම අනන්‍යතාව පෙන්නුම් කරන්නේ එක් කනක රතු කරාඹුවක් පැලදවීමෙනි. ඔවුන්ගේ අතේ වෛද්‍ය සහතිකයක්ද තිබේ. ගණිකා වෘත්තිය ඕනෑම මානව සමාජයක් තුල සාරධර්ම පිරිහීමට , පවුල් ආරවුල් ඇති වීමට , ලිංගික සම්පේෂන රෝග ඇතිවීමට ඒවා ව්‍යාප්ත වීමට හේතුපාදක වේ. නමුත් අතීතයේ පටන්ම පැවත එන රැකියාවක් වශයෙන් වර්තමානය දක්වාම ගණිකා වෘත්තිය ලෝකයේ ඕනෑම රටක පාහේ ව්‍යාප්ත වී තිබේ. දැඩි ලෙස ආගමික තහංචි ක්‍රියාත්මක වන මැදපෙරදිග කලාපය තුල ගණිකා වෘත්තියට පවතින්නේ ඉතා අඩු වැදගත්කමක් එසේම ගණිකාවන් වෙනුවෙන් දරුණු වදහිංසා පැමිණවීම අරාබි ලෝකයේ තුළ දැකිය හැක.


  1. ගණිකා වෘත්තිය ඇතිවීමට බලපාන හේතු සාධක රැසකි,
  2. අයහපත් පරිසරය
  3. පවුල් පසුබිම තුළ තමන්ගේ මව සහ ආච්චි ගණිකාවන් වීම
  4. ආර්ථික අපහසුතාවය හා දරිද්‍රතාවය
  5. සංස්කෘතික තහංචි
  6. නොදැනුවත්කම
  7. විරැකියාව
  8. සමාජය පිළිබද පවතින ආකල්ප
  9. තරුණ වියේදී ඇතිවන අසීමිත ලිංගික අවශ්‍යතා නිසා ගණිකාවන් ඇසුරු කිරීම
  10. අවිවාහක මාතෘත්වය
  11. ලිංගික ගොදුරු බවට පත්වීම
  12. ගමෙන් නගරයට සංක්‍රමණය වීම හා නගරය තුල පවතින වටපිටාව
  13. සුඛෝපභෝගී ජීවන රටාවට අවශ්‍ය පසුබිම ගණිකා වෘත්තිය විසින් සාධනය කිරීම
  14. විවාහය පිළීබදව පවතින ආකල්ප හා වැන්දඹු භාවයට පත්වීම
අවිවාහක මාතෘත්වය පදනම් කරගෙන කාන්තාවන් ගණිකාවන් බවට පත්වන බැව් විලියම් බොන්ගර් (WILLIAM BONGER) සදහන් කරයි. කාන්තාවන් තුල පවතින අසීමිත ලිංගික ආශාවන් ගමෙන් නගරයට සංකුමණය බොහෝවිට ගණිකා වෘත්තිය ඇති වීමට හේතුවේ. කෙසේ වුවත් ගණිකාවන් නිසා ලිංගික අපචාර අඩුවන බව අපරාධ විද්‍යාඥයෝ දක්වා තිබේ. තරුණයන් , සල්ලාලයන් , ස්ත්‍රී දුෂකයන් අවශ්‍යතාවයන් ගණීකාව මාර්ගයෙන් ඉටුවීමේදී රටක ලිංගික අතවර , ස්ත්‍රී දූෂන විශාල වශයෙන් අඩුවන බව අපරාධ විද්‍යාඥයෝ පෙන්වා දෙයි.නමුත් ගණිකා වෘත්තිය මගින් සමාජය පැහැදිලිවම බිදවැටීමට ලක්වේ. අඹු සැමියන් , දූ දරුවන් ගණිකා වෘත්තිය නිසා අනාත අසරණ භාවයටත් අපකීර්තියටත් භාජනය වේ. ගණිකා වෘත්තිය මගින් ඇතිවන අයහපත්ම ප්‍රතිඵලය වන්නේ ලිංගික සම්ප්‍රේෂන රෝග රෝග ව්‍යාප්තියයි. ලිංගික සම්ප්‍රේෂන රෝග ව්‍යාප්තිය මගින් නිරෝගිමත් ශ්‍රම බලකායක් රටට අහිමි වේ. විශේෂයෙන්ම වර්තමාන ලෝකය මුහුන දී තිබෙන බරපතලම ගැලටලුව වී තිබෙන්නේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමයි. වර්තමාන ලෝකයේ ගණිකා වෘත්තිය වඩාත් ප්‍රචලිතව පවතින්නේ තායිලන්තය තුලය. තායිලන්තය හා බොහෝ අප්‍රිකානු රටවල එච් අයි වී ආසාධිතයන්ගේ ප්‍රමාණය ඉතා ඉහල අගයක් ගන්නා බැව් වාර්තා වේ. ශ්‍රී ලංකාව තුලද වර්තාගත නොවූ එව් අයි වී ආසාධිතයන් විශාල ප්‍රමාණයක් සිටින බව අනාවරනය වී ඇත.
දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග අසභ්‍ය චිත්‍රපට , අසභ්‍ය ලේඛන , වල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය. ඒ අනුව ගණිකා නිවාස බහුල වශයෙන් ව්‍යාප්ත විය.අවසානයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය පුරාම සමාජ ආර්ථික විපර්යාසයන් පෙරලා ගණිකා වෘත්තිය මැඩලීමට විවිධ ක්‍රියාමාර්ග රැසක් විවිධ රජයන් විසින් ක්‍රියාකිරීමට සැරසුනත් ඒවා සාර්ථක ක්‍රියාමාර්ග වශයෙන් සිදුනොවිනි. කෙසේ වුවද ගණීකා වෘත්තිය මැඩලීමට ගත හැකි ක්‍රියාමාර්ග මෙසේ දැක්විය හැක.


  • නීතිය තුලින් දැඩි පාලනයක් ඇති කිරීම.
  • ලිහිල් දඩුවම් ක්‍රම ඉවත් කර රළු දඩුවම් ක්‍රම ඇති කිරීම.
  • පවුල් සංස්ථා තුළ සිරිත් විරිත් සාරධර්ම ධර්මතා හා අනෞන්‍ය සබද කම් නගා සිටුවීම.
  • පාසැල් මට්ටමේ සිට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම.
  • ද්විතියික හා උසස් අධ්‍යාපනය තුලින් පුද්ගලයා දැනුවත් කිරීම.
  • දියුණු සන්නිවේදන මාධ්‍යයන් උපයෝගී කරගෙන ගණිකා වෘත්තියේ පවතින නිශේදනාත්මක බලපෑම පිළිබද දැනුවත් කිරීම.
  • ගණිකා නිවාස ව්‍යාප්තිය ඇතිවීමට එරෙහිව රජයේ මැදිහත් වීමෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීම.
  • දරිද්‍රතාව අවම කිරීම සදහා සංවර්ධන උපාය මාර්ග යෙදවීම හා සුභසාධන කටයුතු දියත් කිරීම.
  • කාන්තා පිරිමි දෙපාර්ශවයටම නියමිත වයසකදී විවාහයක් සිදුකිරීමට අවශ්‍ය පසුබිම පවුල තුලින් ඉටුකරගැනීම.


ගණිකාවන් ඇසුරු කරන්නන් සමාජයේ සුලබයි. ඉතින් ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවනම් මේක පට්ට වටියි කියල මං හිතනවා.   

ඉතා වටිනා ලිපියක් බැවින් උපුටාගෙන පලකරන ලදී.. මෙහි සම්පුර්ණ  අයිතිය  
http://windika2013.blogspot.com/2014/01/blog-post_8.html ලිපිය ලියු   ගේ..  ඔහුගේ අවසරයක් නැතත්  ඔහුගේ නමින් පලකරන ලදී...