Showing posts with label සහන් කසීර වික්‍රමසිංහ. Show all posts
Showing posts with label සහන් කසීර වික්‍රමසිංහ. Show all posts

Saturday, April 8, 2017

වසර 27 ට පෙර අද වැනි දවසක ගැරහීම් සහ ප්‍රතික්ෂේපයන්ගෙන් පීඩිත AIDS ආසාදිත සිසුවා රයන් වයිට් , මෙලොව හැර පියා නික්මුණේය.


රයන් වයිට්
1971 වසරේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ උපත ලද රයන් වයිට් AIDS ආසාදිතයෙකු බව අනාවරණය වන්නේ 1984 වසරේ දී එනම් ඔහු දහ තුන් හැවිරිදිව සිටින විටය. ඔහු උපතින්ම හිමෝෆීලියා A ( Hemophilia A) රෝගියෙක් වූ අතර රුධිරය කැටි නොගැසෙන බැවින් සුළු තුවාලයකින් පවා නොනවත්වා රුධිරය ගලාගොස් මරණයට පත් වීමේ අවදානමක් ඇත. රයන් වෙත වරින් වර රුධිරය පාරවිලනය කිරීමට සිදුවන්නේ එබැවිනි. උග්‍ර නිව්මෝනියාව හේතුවෙන් රෝහල්ගත කර සිටියදී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට AIDS ශරීරගත ව ඇති බව සොයා ගැනුණු අතර එයට හේතු වී තිබුණේ අසාදිත රුධිර පාරවිලයනයකි. මාස හයක කාලයක් රෝගාතුරව සහ විවේකගත ව සිටි රයන් වයිට් යළිත් තම පාසල වූ Western Middle School වෙත යන්නට තීරණය කරන විට ඔහු දහ හතර හැවිරිදි ය. නමුත් ලෝකය රයන් සහ ඔහුගේ මව සිතනවාට වඩා සංකීර්ණය.
එහි ඇති වන්නේ පාසල් පද්ධතියක් සහ දහ හතර හැවිරිදි රෝගී දරුවෙකුගේ හිමිකමක් සම්බන්ධ ද්වන්ධ යුද්ධයකි. 1985 ජූනි මස 30 වැනිදා රයන් ගේ පාසල අයත් Western School Corporation හි අධ්‍යක්ෂවරයා ඔහුට පාසලට ඇතුළුවීම තහනම් කරන අතර එය ඔහුගේ තනි තීරණයක් නොවීය. පාසලේ සිසුන් 360 දෙනාගෙන් 117 දෙනෙක්ගේ භාරකරුවන් සහ ගුරු මණ්ඩලයේ 50 දෙනෙක් ගේ අත්සනින් යුතුව රයන්ට එරෙහි පෙත්සමක් ලැබී තිබිණ. රයන්ගේ දෙමාපියන් සහ පුවත්පත්

ඔහු වෙනුවෙන් සටන් වැදුණහ. අගෝස්තු 26 පාසල් වාරය ඇරඹුණු විට රයන්ට පාසලට පැමිණ දුරකතනය හරහා ඉගැන්වීම් වලට සවන් දෙන්නට පාසල යෝජනා කළහ. නමුත් ඔක්තෝබර් 02 වැනිදා ඔවුන් තීරණය කරන්නේ රයන් පාසල් නොආ යුතු බවයි. ඉන්දියානා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව රයන් ව ඇතුළත් කරන්නට නියෝග කරන අතර එම නියෝගය ට එරෙහිව අභියාචනාවක් ගෙන ඒමට පාසල් බළධාරීන්ගේ කමිටුව 7-0 ක් ලෙස ඒකමතිකව තීරණය කළහ. 1986 පෙබරවාරි 06 වැනිදා එම අභියාචනයේ දී නිර්දේශ වන්නේ රයන්ගේ පාසල් ගමන පිළිබඳ තීරණය හොවාර්ඩ් නගර සෞඛ්‍ය නිළධාරියාගේ සෝදිසියකට යටත්ව සිදු විය යුතු බවයි. පෙබරවාරි 13 වැනිදා අදාල නිළධාරියා විසින් රයන් වයිට් පාසල් ගමනට යෝග්‍ය යැයි තහවුරු කළේය. ඒ සමගම පෙබරවාරි 21 වැනිදා පාසල මගින් හොවාර්ඩ් නාගරික අධිකරණය වෙත ඉල්ලුම් කෙරෙන රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය ඉවත දැමිණ. පෙබරවාරි 21 වැනිදා රයන් වයිට් පාසල් යන විට සිසුන් 360 අතරින් 151 දෙනෙක්ම නිවසේ රඳවා ගන්නට දෙමාපියන් උත්සුක වූහ. එදිනම සවස් වරුව වන විට වෙනත් අධිකරණයක් මගින් රයන් වයිට් ට එරෙහිව වාරණයක් පනවා තිබිණ. රයන් වයිට් ට තහනම් වූ පාසලේ ක්‍රීඩාගාරය තුළ මාර්තු 02 වැනිදා වෙන්දේසියක් පවත්වන්නට යෙදිණ. ඒ වයිට් පාසලට ඒම වළක්වාලීමේ ඉදිරි නීති කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීමට ය. නමුත් අප්‍රේල් 10 වැනිදා නැවතත් මාණ්ඩලික අධිකරණය මගින් රයන් වයිට් ට එරෙහි වාරණ නියෝගය නිෂ්ප්‍රභා කළ අතර ජූලි 18 වැනි දා ඉන්දියානාපොලිස් අභියාචනාධිකරණය මේ සම්බන්ධව කිසිදු අභියාචනයක් මින් ඉදිරියට භාර නොගන්නා බවට තීන්දුවක් ලබා දෙයි.
ඒ වනවිට රයන් වයිට් ලොව පුරා ප්‍රචලිත වී අවසන් ය. මාස පහක් පමණක් ජීවිත් වේ යැයි අනාවැකි තැබූ මේ දහ හතර හැවිරිදි සිසුවා 1987 දී තමා ප්‍රතික්ෂේප කරන පාසලෙන් සමුගනී. ඔහුටම වෙන් කළ වැසිකිළි ,පාවිච්චියෙන් පසු ඉවතලන හැඳි ගෑරුප්පු භාවිතයට අණ කිරීම සහ ක්‍රීඩාගාරය භාවිතයට ඉඩ නොලැබීම වැනි දෑ නිසා රයන්ගේ පීඩනය වටහා ගන්නා දෙමාපියන් වෙනත් නගරයකට පදිංචියට යති. ඔහුව මානුෂිකව සහ ආදරයෙන් පිළි ගන්නා Hamilton Heights High School පාසලේ 1987 සිට සතුටින් අධ්‍යාපනය ලබන රයන් 1990 අප්‍රේල් 08 වැනිදා ඔහු මෙලොවින් සමුගන්නේ පාසල් උපාධි ප්‍රදානයට මාසයක් තිබියදී ය.
මයිකල් ජැක්සන් සමග
HIV පිළිබඳ දැනුවත්කම මද එම යුගයේ රයන් තමා නොකළ වරදකට ලද දඬුවම් අතිශය වේදනාසහගත ය. පුවත්පත් බෙදාහැරීමේ අර්ධකාලීන රැකියාව ඔහුට අහිමි වන්නේ රයන්ගේ බෙදාහැරීම් කලාපයේ නිවැසියන් එම සේවය අනවශ්‍ය බව දන්වා තිබූ නිසාය. AIDS වැළඳෙන්නේ සමලිංගික හැසිරීම නිසාම යැයි සිතූ සමාජයක මේ දහ හතර හැවිරිදි දරුවාගේ මුහුණටම " උඹ සමකාමියෙක් බව අපි දන්නවා" යි පවසා අපහාස කිරීමට තරම් අසල්වාසීන් නිර්දය සහ සාහසික වූහ. ආසාධිත රුධිර පාරවිලයනය හරහා ද HIV ආසාදනය විය හැකි බවත් එය ස්පර්ශයෙන් බෝ නොවන්නැකැයි ලොවට පැවසීමට රයන් ඉදිරිපත් වන්නේ මේ අමිහිරි මතකයන්ගෙන් ඉරි තැළුණු ළමා සිතක වේදනාවෙනි.
1990 මාර්තු 20 වැනිදා මේ කතාවේ කෙළවර පැමිණෙන බවට පෙරමං සලකුණු පහළ වේ. ඉන්දියානා පොලිස්හි ළමා රෝහලකට ඇතුළු කරන රයන් සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතිණ. ඒ වන විටත් ලෝකයේම ආදරයට පාත්‍ර වී සිටි රයන් බැලීමට එල්ටන් ජෝන් සහ බොහෝ කලාකරුවන් පැමිණි අතර මයිකල් ජැක්සන් පවා ඔහු හමුවීමට එයට පෙර පැමිණ තිබිණ. රෝහල ඉතිරී පැතිර යන මට්ටමට සෙනඟ පැමිණෙයේ නොකළ වරදකට වන්දි ගෙවූ , නමුත් ජීවිතය අත් නොහර සටන් කළ මේ ළමා විරුවා හට සුබ පතන්නට ය. තමා ඔහුට ආදරය කළ බවත් මතුවටත් ආදරය කරන බවත් පවසන්නට ය. ආදරය සහ වේදනාව මැද 1990 අප්‍රේල් 08 ගත වන්නට ඉඩ නොදෙන රයන් වයිට් වසර දහ අටක් තුළ විඳි දුක්ඛ දෝමනස්සයන් හැර පියා සදාකාලික සැනසුමට පත් විය. ඔහුගේ අවමංගල්‍යය උළෙලට පැමිණි පිරිස තර මයිකල් ජැක්සන් , ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නන්ද විය. එල්ටන් ජෝන් රයන් වෙනුවෙන් Skyline Pigeon ගීතය ගැයුවේය.
අවසන් නින්ද..
ඔබගේ දෑතින් මිදෙන්නට කාලයයි
ඉඩ දෙන්න මට - දුර ඈත ඉසව්වකට පියාපත් සලන්නට
නිල් තණ පලස මත , තුරුගොමු ශිඛර මැද
 පිපි කුසුම් ,වනස්පති දිය කඳුරු එහා කොණ
 අහස් ගං මාවත් තැනුණු - ම නිවස්නය වෙතට
Western Middle School වෙතින් කුලියාපිටිය සම්බෝධි ප්‍රාථමික විදුහලත් - ගනේමුල්ල කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයත් දකිමි. Hamilton Heights High School පාසල වෙතින් ත්‍රිත්ව විද්‍යාලය දකිමි. රයන් වයිට් , ඔබ වෙතින් අප අත්හැරෙන සහ අත්හරිනා ජීවිතය දකිමි.

Tuesday, March 14, 2017

ඇමරිකානු හමුදා විසින් දකුණු වියට්නාමයේ මී ලායි (My Lai) හි නිරායුධ වැසියන් සමූල ඝාතනය කරනු ලැබීය...

වසර 49 කට පෙර අද වැනි දවසක
-------------------------------------------------------
මේ සිදුවීම ඉතිහාසයට එක්වන්නේ වියට්නාම යුද්ධයේ සාහසිකම සංහාරය ලෙසිනි. කාන්තාවන් ළමුන් , බිළිඳු දරුවන් ඇතුළුව ඝාතනය වූ සංඛ්‍යාව 347 ක් යැයි ඇමරිකානු රජය ඇස්තමේන්තුගත කළ ද වියට්නාම රජය පවසන්නේ මී ලායි සහ මී කේ ගම්මාන දෙකෙහිම ජීවිත 504 ක් විනාශ වී ඇති බවයි. ඇමරිකානු සොල්දාදුවන් විසින් එම නිරායුධ සිවිල් ජීවිත වනසාලූයේ තුවක්කුවෙන් සහ වෙඩි උණ්ඩයෙන් පමණක්යැයි විශ්වාස නොකරන්න. දූෂණයට ලක් වූ , සමූහ දූෂණයට ලක් වූ කාන්තා සිරුරු සහමුලින්ම විනාශ වන තුරුම ඇමරිකානු වෛරය වියට්නාම ස්ත්‍රී සිරුර තුළින් ප්‍රසාරණය වී තිබිණ.
Image may contain: 3 people, people sitting and people standingමේ දැක්වෙන්නේ ඒ ඉතිහාසගත සහ අනුවේදනීය ඡායාරූපයයි. තම කුස පෙදෙස තද කරගෙන හඬන රතු පැහැ ඇඳුමකින් සැරසුණු වැඩිමහලු කාන්තාවත් අනෙක් දරුවන් භීතියෙන් තැතිගන්නායුරු දකින්න. ඒ සංත්‍රාසජනක මොහොතේ සියල්ල පසෙක ලා තම ඇඳුමේ ගැලවුණු බොත්තම් සකසන දරුවා වඩාගත් කාන්තාව දෙස බලන්න. මේ සේයාරුවට මොහොතකට පෙර බලහත්කාරයෙන් බොත්තම් ගලවා දැමුණු ඇගේ ආත්මය , යළි බොත්තම් ලා සැණින් තිබූ පරිදිම පිළිසකර වේයැයි ඒ තීරණාත්මක , අවසාන මොහොතේ පවා ඇය සිතන්නට ඇත. එනුමුදු සියල්ල විසඳුණේ වෙඩි උණ්ඩයකට අවැසි පරිද්දෙනි. සේයාරුව ගෙන මොහොතකට පසුව මේ සියලුම පිරිස් සමූල ඝාතනය වූ බැවින් ඔවුන් තම දුක සඟවාගෙන සදාකාඉල්ක ඉතිහාසය පත්ලේ වැළලී ගියහ.
යුද්ධාධිකරණයේ දී චෝදනා ලබන ඇමරිකානු සොල්දාදුවන් විසි හය දෙනා නිදහස් විය. ලුතිනන් විලියම් කැලී පමණක් නිරායුධ වියට්නාම වැසියන් විසි දෙදෙනෙක් ඝාතනය කළ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීය. නමුත් ඔහු වසර තුන හමාරක නිවාස අඩස්සියෙන් පසු නිදහස ලබා නිදහස් පුරවැසියෙක් ලෙස අදටත් සිවිල් සමාජයේ සැරිසරන්නේය. විලියම් කැලී 2009 වසරේදී මී ලායි සංහාරය පිළිබඳ තම කණගාටුව පළ කරමින් සමාව ඉල්ලුවේය. අවසානයේ මෙසේද පැවසීය. " මා මෙය කිවයුතුමයි. මම දෙවැනි ලුතිනන් වරයා වශයෙන් මගේ අණ දෙන නිලධාරියාගෙන් අණක් ලැබුවා. මම අමන ලෙසින් එය ඉටු කළා"
මී ලායි හි දී කාන්තාවගේ බොත්තම් ගලවන්නේ කාමාතුර ඇමරිකානු සොල්දාදුවන් ය. හයක් හතරක් නොදන්න නොදරුවන් ඇතුළු කාන්තාවන් , සිවිල් වැසියන් මරා දමන්නට අණ කරන්නේ විලියම් කැලීය. ඒ ඔහුට එසේ කරන්නට ඉහළින් එන අණ නිසාය. රණ බිමෙන් ඔබ්බට ඔබත් මමත් ජීවත් වන ලෝකය මෙයට වඩා සුන්දරයයි ඔබ සිතනවාද ? කාන්තාව කෙරෙහි මෙයට වඩා වූ ගෞරවනීය කියවීමක් ඇත්තේ යැයි ඔබ විශ්වාස කරන්නේද ?
Image may contain: one or more people, shoes, outdoor and waterඑක් පසෙක ලෝක කාන්තා දිනය වෙනුවෙන් පණිවුඩ තබන , මර හඬ තලන , ලිබරල් අදහස් වපුරන කාන්තාවන්ය. නමුත් තමන්ට නොරිසි පුද්ගලයෙකුට පහර දෙන්නට වුවමනා වූ විට ඔවුන්ගේ පළමු කාර්යය වන්නේ විරුද්ධ පාර්ශවයට අදාල කාන්තාවන්ගේ බොත්තම් ගැලවීමය. ඇමරිකාවට සිටියේ මිනිසෙකුගේ අණ පරිදි මිනිස් ජීවිත සංහාරයක යෙදෙන තවත් මිනිස් හමුදාවකි. අපට සිටින්නේ එක් කාන්තාවකගේ ශුද්ධවන්තභාවය පහදනු පිණිස තවත් කාන්තාවකගේ බොත්තම් ලෝකයා හමුවේ ගලවන්නට ඉදිරිපත් වන කාන්තා හමුදාවන් ය.
මී ලායි වල කාන්තාව ඒ මරණීය මොහොතේ පවා තම ගැලවුණු බොත්තම් සකසන්නට තැත් කරන්නීය. නමුත් අප සිටින්නේ තම ජීවිත තුළ ගැලවුණු , ගැලවෙමින් පවතින බොත්තම් සහ බොත්තම් කාස නොදකින අනුන්ගේ බොත්තම් කාස වලින් ඔවුන්ගේ නිරුවත සොයන , ඇඟිලි දිගු කර ලොවට පෙන්වන සමාජයකය. මිත්‍රවරුනි , ස්ත්‍රියගේ ගෞරවය කෙළසන්නේ තුවක්කු බයිනෙත්තු රැගත් ඇමරිකානු පිරිමින්ම පමණක් යයි සිතන්නේ නම් එය වැරදි වැටහීමකි.

Wednesday, January 18, 2017

අද වැනි දවසක ( 1961 ජනවාරි 17) - සහන් කසිර

වසර 56 ට පෙර අද වැනි දවසක ( 1961 ජනවාරි 17) කොංගෝ ජනරජයේ මහජන ඡන්දයෙන් පත් වූ පළමු අගමැතිවරයා වූ පැට්‍රිස් ලුමුම්බා වෙඩි තබා ඝාතනය කෙරිණ. කොංගෝ ජාතික පෙරමුණට නායකත්වය සපයමින් තම මව්බිම බෙල්ජියමේ යටත් විජිතභාවයෙන් මුදාගන්නට සටන් කළ මේ මිනිසාගේ උත්සාහය සාර්ථක විය. 1960 ජූනි මස 30 වැනිදා කොංගෝ ජනරජය නිදහස් රාජ්‍යයක් බවට පත් වේ. නමුත් සය මසක් ගතවන්නට ප්‍රථම පැට්‍රිස් ලුමුම්බා අබිරහස් අන්දමින් ඝාතනය වේ. ඔහුගේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව අදටත් හෙළි නොවූ කරුණු කාරණා බොහෝය.
Image may contain: 1 person, close-upබෙල්ජියමෙන් නිදහස ලබන කොංගෝ ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පැට්‍රිස් ලුමුම්බා පත්වන්නේ 1960 වසරේ ජූනි මස 24 වැනිදා ය. නමුත් සැප්තැම්බර් 14 වැනිදා වන විට එම රජය පෙරළා දැමීමට තරම් කොංගෝව දෙස උකුසු ඇස් හෙළා සිටි අදිසි බලවේගයන් ප්‍රබල වේ. කෝංගෝ ජනරජයේ එක් ප්‍රදේශයක් වූ කටන්ගාහි පාලනය බෙදුම්වාදීන් පිරිසක් නතුව තිබූ අතර මේ සියලුම කුමන්ත්‍රණ පසුපස ඔවුන් විය. කටන්ගා යනු විදෙස් බලවතුන්ගේ උකුස් ඇස් වලට හසුව තිබූ සම්පත් ආකරයකි. දියමන්ති , යුරේනියම් , තඹ , රේඩියම් , ටින් සහ කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් අනූන වූ කටන්ගා ව බෙල්ජියානු සමාගම් විසින් හූරා කනු ලැබූ අතර ලුමුම්බා ප්‍රමුඛ රජයේ අදහස වූයේ සෝවියට් රජයේ උපකාරයෙන් එහි පාලනය අත්පත් කරගැනීම ය.
සැප්තැම්බර් 14 වැනිදා රජය පෙරළීමෙන් අනතුරුව නිවාස අඩස්සියට පත්වන පැට්‍රිස් ලුමුම්බා නිදහස් කරන ලෙස සෝවියට් රජය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය කෙතරම් ඉල්ලීම් සහ නියෝග පැනවුවද ඉන් පලක් නොවිණ. හමුදා පාලකයින් සහ බෙල්ජියානු නිළධාරීන් ට ලුමුම්බා මැඩලීමේ දැඩි උවමනාවක් තිබිණ.
පැට්‍රිස්
පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කර ඇතැයි යන රාවය පැතිර ගිය නුමුදු කොංගෝ පාලකයින්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. පෙබරවාරි 13 වැනිදින කටන්ගානු ගුවන් විදිලි නාලිකාවකින් ඒ බව පැවසේ. ලුමුම්බා සහ තවත් දෙදෙනෙක් නිවාස අඩස්සියෙන් පැන යනවිට ගම්වාසීන්ගෙන් පහර කා මිය ගොස් ඇතැයි එයින් කියවිණ. නමුත් සත්‍යය කිමෙක්දැයි දන්නා කොංගෝ වැසියන් කුපිතව වීදි බැස විරෝධතා දක්වන්නට විය.
පසුව හෙළිදරවු වූ ආකාරයට කටන්ගාවේ අති දුෂ්කර ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන එන ලුමුම්බා සහ තවත් දෙදෙනෙකු අප්‍රිකානු භටයින් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණ. අණ දෙන නිළධාරීන් ලෙස කටයුතු කර තිබුණේ බෙල්ජියානු පොලිස් භටයින් දෙදෙනෙකි. ඒ වනවිට කටන්ගාව ස්වයං පාලනයක් ගෙනගිය හෙයින් එහි පාලකයා ද ලුමුම්බා ඝාතනයට දායක වී ඇත. අගලකට දැමූ මළ සිරුරු සති කිහිපයකට පසු නැවත වරක් ගොඩගෙන රොඩේෂියාවට ආසන්න බිම්කඩකට ගෙන යයි. කුණු වෙමින් තිබූ මළ සිරුරු තුන කුඩා කැබලි වලට කපන කොංගෝ හමුදාව සල්ෆියුරික් අම්ලය යොදා ඒවා දිය කර හැරි බව ද සඳහන් ය. මේ සියල්ලම ලුමුම්බාගේ ඝාතන්යෙන් නිදහස් වීමටය.
1961 ජනවාරි 17 වෙනිදා කොංගෝවට නිදහස සොයා ගිය පැට්‍රිස් ලුමුම්බා මෙලොවින් සමු ගන්නේය. පෙබරවාරි 21 වැනිදා ගව් දහස් ගණනකින් එහා දුර රටක් වූ රුසියාවේ මිත්‍රත්ව සරසවිය පැට්‍රිස් ලුමුම්බා සරසවිය ලෙස නම් කෙරෙන්නේ ඔහුගේ වියෝව සිහි කරනු පිණිසය.
සැබෑ මිනිසුන් වෙඩි තබා කෑලි කපා හෝ දියකර හැරිය නොහැකි බව අපට පවසන්නේ කොංගොවේ සිටි ලුමුම්බා ය. එය සනාතන සත්‍යක් බව සිහිකර දෙන්නේ රුසියාවේ ලුමුම්බා සරසවිය ය.

Monday, January 16, 2017

වසර 38 ට පෙර අද වැනි දවසක...

Image may contain: 4 people, people standing ඉරාන රාජ වංශයේ අවසාන රජු , එනම් ෂා රජු ඉස්ලාමීය අරගලය හමුවේ බියවැද ජීවිතාරක්ෂාව පතා ඉරානයෙන් පලා යයි. ටෙහෙරානයෙන් පිටව යන ෂා රජු සහ ඔහුගේ භාර්යාව වූ ෆාරා ඩිබා අධිරාජිණිය ඊජීප්තුවේ අස්වාන්හි රැකවරණ ලැබූහ.

පර්සියානු බසින් ෂා ( Shah) යන යෙදුමේ අර්ථය වන්නේ ඉරාන රජු හෝ රජුන්ගේත් රජ යන්නය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇංග්ලෝ සෝවියට් ආක්‍රමණිකයන් විසින් එවකට ඉරානය පාලනය කළ රීසා ෂා රජුව (Reza Shah) පළවා හරින ලදි. ඔහුගේ පුත් කුමරු වූ මොහොමඩ් රීසා ෂා පහ්ලවි (Mohammad Reza Pahlavi) 1941 වසරේ දී එනම් වයස අවුරුදු 22 දී ඉරානයේ රජු ලෙස කිරුළු දරයි. ඔහු ඉරානය සැබෑ වෙනසකට ලක් කළ රජෙක් ලෙස අවිවාදිතව හැඳින්විය හැකිය. රට නවීකරණය කිරීම සහ තෙල් සමාගම් පුද්ගලීකරණය කිරීම සිදුවන අතරවාරයේ ඔහු සතුවවෙනත් දැවැන්ත සංවර්ධන අරමුණු ද විය. ඔහුගේ තෙවැනි බිරිඳ වූ ෆාරා ඩිබා රැජිණ (Farah Diba) හට අසීමිත බලයක් හිමිව තිබූ අතර ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් වඩාත් නිදහස් ස්වරූපයකින් කටයුතු කළාය. බටහිරකරණයට නැඹුරුව සිටි බැවින් ඇය විටෙක ෆර්දාව පැළඳීමෙන්ද වැළකී සිටියාය.
මේ සියලුම සිදුවීම් අතරවාරයේ ෂියා මුස්ලිම් ව්‍යාපාරිකයින් ෂා රජු කෙරේ කලකිරෙන්නට විය. රජු ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට ගැති බවට රට තුළින්ම චෝදනා නැගිණ. ආග්‍රාමාත්‍ය මොහොමඩ් මොසක්ඩෙක් ද ෂා රජුට පිටුපා ගිය අතර වරින්වර ඉස්මතු වන කොමියුනිස්ට් විරෝධතා මර්දනය කිරීමට රජුගෙන් අණ ලැබිණ. 1971 වසරේ පැවති ඉරාන රාජ්‍යයේ දෙදහස් පන්සිය වැනි සංවත්සර සැමරුම ෂාහ් රජුගේ පාලනයේ කණකොකා බවට පත් විය. ඇමරිකානු ඩොලර් මිලියන සියයක් ඉක්මවා වියදම් කර මහේශාඛ්‍ය උත්සවාංගනයක් සහ සංදර්ශනයක් දියත් විණ. එම උළෙලේ වූ සියලුම කටයුතු බටහිරකරණයට ලක්ව තිබූ අතර ලොව කිසිදු රටකට නොදෙවෙනි ලෙස එය සංවිධාන කර තිබිණ. මේ වියදම් පිළිබඳව නැගෙන විරෝධය නොතකා තම දැඩි මතයේම රැඳී හුන් ෂා රජු එම සංවත්සරය පිළිබඳ මහත් තෘප්තියෙන් පසුවිය.
1976 වර්ෂයේ දී ඉරානයේ සම්ප්‍රදායික දින දර්ශනයට අත තබන ෂා රජු එතෙක් පැවති වසරේ පළමු දිනය වෙනස් කරයි. එතෙක් පර්සියානු දින දර්ශනයේ වසරේ පළමු දිනය ලෙස සැලකුණේ ශුද්ධ වූ මහම්මුද්තුමා මක්කම සිට මදීනාව වෙත සංචාරය කළ දිනය ය. නමුත් පර්සියාවේ ආරම්භක රජු වන මහා සයිරස් රජුගේ උපන් දිනය වසරේ පළමු දිනය ලෙස නම් කරන ෂා රජු තම රාජ්‍යත්වයේ මිනී පෙට්ටියේ අවසාන ඇණය තමා අතින්ම ගසා ගැනීමට කටයුතු කළේය. සම්ප්‍රදාය සහ ආගමික විශ්වාස සමග රජු දක්වන මුරණ්ඩු භාවයෙන් කුපිත වන රටවැසියන් ගේ විරෝධතා මැඩපැවැත්වීමට නොහැකි තැන හෙතම ඊජිප්තුවට පලා යන්නේය. ඊජිප්තු ජනපතිව සිටි අන්වර් අල් සදාත් තම ඉරාන මිතුරා වෙත පිහිට වෙයි. '
නමුත් කිරුළ අහිමි වීමත් සමගම ෂා රජු ට අත්වන්නේ නොපැතූ අවාසනාවන්ත ඉරණමකි. මොරොක්කෝවේ සහ බහාමාස් හි වරින් වර සැඟවෙමින් ජීවත් වූ ඔහු ඇතුළු රජ පවුලට ඇමරිකාවේ දොරගුළු විවර වන්නේ නැත. එතෙක් මිතුරෙක්ව සිටි ජනපති ජිමී කාටර් ගෙන් ඔවුන් වෙත කිසිදු සහයෝගයක් නොලැබෙන අතර රෝගාතුරව ප්‍රතිකාර ලැබීමට ඇමරිකාවට පැමිණි ෂා රජුට රටතුළ රැඳී සිටීමටවත් අවස්ථාව උදා නොවීය. රෝගීව , කායිකව සහ මානසිකව දුබලව සිටි ඉරානයේ අවසාන රජතුමා 1980 වසරේ දී පිටුවහලෙක් ලෙසින් ඊජිප්තුවේ කයිරෝ නුවරදී මිය යන්නේය. එවකට ඔහුට වයස අවුරුදු හැටක් වූවා පමණකි.
Image may contain: 2 people, people sitting and close-upඉරානයේ අවසන් රජු දුක්ඛිත ඉරණමට මුහුණ දෙද්දී රාජකීයත්වය අහිමි වූ ඔහුගේ දරුවන් පස් දෙනා ලොව පුරා විසිර යති. බාලම දියණිය 2001 වසරේදී ඖෂධ අධිමාත්‍රාවකින් මෙලොව හැර යද්දී ධූරාවලියේ දෙවැනි තැනට සිටි ඔටුන්න හිමි රීසා පහ්ලවි කුමරු 2011 වසරේදි සියදිවි නසාගනී.
පාලනය පැවතෙන තෙක් ලොවම වසඟ කළ කිරීටය සතු මහිමය බලය අහිමි වූ කල්හි අබැටක් නොවටින බව අපට පසක් කරදෙන්නේ ඉරානයේ අවසාන රජු වූ ෂා රජු විසිනි. ඔහු ඊජීප්තුවේදී මියයන්නේ රජෙක් ලෙස නොව පිටුවහල් කළ ඉරාන ජාතිකයෙක් ලෙසින්ම පමණකි.

Wednesday, November 30, 2016

රෝසා පාර්ක් (rosa parks) - සහන් කසිර වික්‍රමසිංහ


වසර හැට එකකට පෙර අද වැනි දවසක නම් වූ කළු ජාතික කාන්තාව , බස් රථයේ තම අසුන සුදු ජාතිකයෙක් වෙත පිරි නැමීම ප්‍රතික්ෂේප කර සිරගත වූවාය. සුදු ආධිපත්‍යයට නොබියව අභියෝග කළ රෝසා පාර්ක්ව සිරගත කිරීම ඉතිහාසගත වන්නේ ඇමරිකානු වර්ණභේදය මුලිනුපුටා දැමීමේ පළමු වෙඩි මුරය ලෙසිනි.
1955 දෙසැම්බර් මස 1 වැනි දා රෝසා පාර්ක් ගමන් ගත් බස් රථයේ , කළු ජාතික - සුදු ජාතික ආසන පිරී පවතිද්දී අමතර සුදු ජාතිකයින් කීපදෙනෙක් බස් රථයට ගොඩ වැදිණ. සුපුරුදු පරිදි කළු ජාතිකයින්ට නැගිට තම අසුන් ඔවුන් වෙත ලබා දෙන් ලෙස රියදුරා විසින් අණ කරන ලදී. නමුත් රෝසා පාර්ක් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඇය පොලිස් අත් අඩංගුවට පත් වන්නීය. විප්ලවය ඇරඹෙන්නේ එතැන් සිටය.

ඩෙක්‌ස්‌ටර් බැප්ටිස්‌ට්‌ දේවස්ථානයෙහි ප්‍රධාන පූජක ධුරයට අලුතින්ම පත්ව පැමිණි "මාර්ටින් ලූතර් කිං" ප්‍රමුඛ කළු ජාතිකයින් ඓතිහාසික "මොන්ටිගෝමරි බස් වර්ජනය අරඹන්නේ " මේ සිදුවීමට විරෝධය පෑමක් ලෙසිනි. දින තුන්සිය අසූ දෙකක් පුරාවට හතළිස් දහසකට අධික කල්ලන් සමූහයක් විසින් දියත් කළ එම වර්ජනය අවසන් වුයේ ඔවුනට ජය අත් කර දෙමිනි. එය කළු ලෝකය සිහින දුටු සැබෑ නිදහස අත් වූ දිනය ලෙස හැඳින්වූවාට වරදක් නැත. නමුත් මේ ජයග්‍රහණය කරා ආ මාවතේ අහිමි වූ දෑ බොහෝය. සුණු විසුණු වූ දෑ බොහෝය. රෝසා පාර්ක් ගේ සහ ඇගේ සැමියාගේ රැකියා අහිමි වූ අතර කළු ජාතික ආගමික මධ්‍යස්ථාන ගිනිබත් විය. අවසානයේ මාටින් ලූතර් කිං ගේ ජීවිතයද වෙඩි උණ්ඩයක් විසින් උදුරා ගනු ලැබිණ.
ඒ ඉරණම්කාර දිනයේදී රෝසා පාර්ක් තම අසුන සුදු ජාතිකයෙක් වෙත පරිත්‍යාග කර මුනිවත රැක්කේ නම් , මෙතරම් ජන අරගලයකට ජීවය ලැබේයැයි සිතන්නට නොහැකිය. කළු සුදු භේදය පිළිබඳ ලෝක අවධානය මෙතරම් ප්‍රබල ලෙස යොමුවෙතැයි උපකල්පනය කළ නොහකිය. ඇමරිකානු කළු සුදු භේදයේ මිනී පෙට්ටියට අවසාන ඇණය මේ තරම් ඉක්මණින් වැදෙතැයි විශ්වාස කිරීම උගහටය.
නමුත් ඇය , රෝසා පාර්ක් නම් වූ හතළිස් දෙහැවිරිදි කාන්තාව එම ආශ්චර්යය මිහිමතට කැඳවීමට සමත් වන්නීය. අනාගත පරපුරක සැනසුම උදෙසා වර්තමානය කැපකරන්නට තරම් නිර්භය වූවාය. එබැවින් රෝසා පාර්ක් යනු ඇමරිකානු කළු ජන හදවත් ඉන්ද්‍රජාලිකව සුවඳවත් කළ සෙව්වන්දියක ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඉතිහාසය පුරා ඇය කළ කැපකිරීම් සහ විඳි වේදනාවලට එය උපහාරයක් වේ යැයි සිතිය නොහැකිද?

ලිපිය Sahan Kaseera Wickramasinghe

Image result for rosa parks


Image result for rosa parks

Monday, November 21, 2016

කෙනඩි ඝාතනයවී වසර පනස් තුනයි

වසර පනස් තුනකට පෙර අද වැනි දවසක , ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට ගොදුරු වුයේ ඇමරිකානු ඉතිහාසය කණපිට හරවමිනි.
1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරය ජනී ජනයාගෙන් පිරෙමින් පැවතිණ. ඔවුන් අපේක්ෂාවෙන් සිටියේ ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ගේ සහ ඔහුගේ රූමත් ආර්යාව ජැකලීන් කෙනඩිගේ සම්ප්‍රාප්තියයි. ඔවුන් ගත කරන්නේ ඇල්මැරුණු යුග දිවියක් වුවද ලෝකයා ඉදිරියේ ප්‍රේමණීය ඉරියවු පල කළ ජැකී-කෙනඩි යුවල රැගත් විවෘත ලිමොසින් මෝටර් රථය දෙපස පොදි කන මහා සෙනග අතරින් ඉදිරියට ඇදී ගියේය.
එක්වරම නිකුත් වන වෙඩි හඬකි. තම ගෙල පෙදෙස දෑතින්ම ආවරණය කරන ජනපතිවරයා ආර්යාව දෙසට නැඹුරු වන අතර , ඇයට යමක් සිතන්නට ඉඩ නොතබන අසුරු සැණකින් තවත් වෙඩි හඬක් පිට විය . ඒ ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනෙඩි ගේ දිවියට නැවතීමේ තිත තබන්නට තරම් භයානක වූත් - රූමත් ජැකලීන් වැන්දඹුවක් බවට ඇද දමන්නට තරම් අකාරුණික වුත් මරණයේ වෙඩි උණ්ඩයයි.
ලේ මස් සමග හිසෙහි පැත්තක් සුණු විසුණු වී යන කෙනඩි අප්‍රාණිකව ඉදිරියට නැමෙයි. එසැණින් රූමත් ජැකී , ඉදිරියට ධාවනය වන රථයේ පසුපස බඳ පෙදෙස මත දණ ගාන අයුරු ද පසුපසින් දිවවිත් රථයට ගොඩවන ප්‍රභූ ආරක්ෂකයා ඇයව වලක්වන අයුරුද දක්නට ලැබිණි. කම්පනයට පත් ජැකී තම ආරක්ෂාව පිණිස එසේ කරන්නට ඇතැයි බොහෝ දෙනා සිතුවද එහි සිදුව තිබුණේ අනෙකකි. මේ වෙඩිපහර සමග පියවි සිහිය අහිමි වන ඒ සියුමැලි රූමතිය අනතුර නොතකා රිය බඳ වෙත පිවිසෙන්නේ සැමියාගේ ගේ මොළයෙන් විසි වී යන කැබැල්ලක් වැටෙන්නට නොදී අසුලා ගැනීමටය.
ඔවුන් ගත කළ යුග දිවිය කෙතරම් අමිහිරි වුවද අනතුර දුටු තැන අවදි වන ජැකී ගේ ගැහැණු සිත කෙනෙඩි වෙනුවෙන් කැප වන්නී,සැමියා මෙලොව හැර යනතෙක්ම වෛද්‍යවරුන් සමග අරගල කරමින් ඔහුගේ සිරුර අත් නොහැර රැදී සිටීමට ධෛර්යසම්පන්න විය.

කෙනඩි ඝාතනයට චෝදනා පිට අත්අඩංගුවට ගත් සැකකරුවා පොලිස් රැකවල් මැද සිටියදී හදිසියේ කඩා වදින තුන්වැනි පාර්ශවයක් විසින් වෙඩි තබා මරා දමන අතර කෙනෙඩි ඝාතනය අදටත් අබිරහසක් බවට පත් කරමිනි.
ඉනික්බිතිව එළඹුණු දුර්ගාන්ත කාල වකවානුවේදී ජැකලීන් කෙතරම් නම් චිත්ත පීඩාවෙන් පසු වූයේද යත් කිහිප වරක් ම සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ බව පසුව ඇය විසින්ම හෙළිදරවු කරන ලදී. වෙනකක් තබා තම සැමියා ජීවතුන් අතර සිටියදී ඔහු හා හොර රහසේ ඇසුරු කළ ලෝප්‍රකට සරාගිනිය මැරිලින් මොන්රෝ ගේ සිය දිවි නසා ගැනීම පිළිබඳව ද ඇයට ඇගේම අදහසක් තිබිණි. " අඩුම තරමේ මොන්රෝ නම් එහෙම හරි මේ පීඩාවෙන් ගැලවුණා" ජැකලීන් පසුකාලීනව තම සැමියාගේ රහස් ප්‍රේමවන්තිය පිළිබඳව පැවසුවේ එපමණකි.
....................................................
1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ජෝන් එෆ් කෙනඩි මිය යන්නේය.
ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයට එක් ජනපතිවරයෙක් අහිමි වී යද්දී විශාල, ගැඹුරු හදවතක් ඇති සියුමැලි ළඳකට තම සැමියාගේ දුක්ඛදායක වියෝගය සහ කම්පනය උරුම වන්නේය.
- සහන් කසීර වික්‍රමසිංහ -

එම පොස්ටුව. 
https://www.facebook.com/sahankaseera/posts/10209862048525107?comment_id=10209862979308376&notif_t=feed_comment_reply&notif_id=1479785998093944