ඉරාන රාජ වංශයේ අවසාන රජු , එනම් ෂා රජු ඉස්ලාමීය අරගලය හමුවේ බියවැද ජීවිතාරක්ෂාව පතා ඉරානයෙන් පලා යයි. ටෙහෙරානයෙන් පිටව යන ෂා රජු සහ ඔහුගේ භාර්යාව වූ ෆාරා ඩිබා අධිරාජිණිය ඊජීප්තුවේ අස්වාන්හි රැකවරණ ලැබූහ.
පර්සියානු බසින් ෂා ( Shah) යන යෙදුමේ අර්ථය වන්නේ ඉරාන රජු හෝ රජුන්ගේත් රජ යන්නය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇංග්ලෝ සෝවියට් ආක්‍රමණිකයන් විසින් එවකට ඉරානය පාලනය කළ රීසා ෂා රජුව (Reza Shah) පළවා හරින ලදි. ඔහුගේ පුත් කුමරු වූ මොහොමඩ් රීසා ෂා පහ්ලවි (Mohammad Reza Pahlavi) 1941 වසරේ දී එනම් වයස අවුරුදු 22 දී ඉරානයේ රජු ලෙස කිරුළු දරයි. ඔහු ඉරානය සැබෑ වෙනසකට ලක් කළ රජෙක් ලෙස අවිවාදිතව හැඳින්විය හැකිය. රට නවීකරණය කිරීම සහ තෙල් සමාගම් පුද්ගලීකරණය කිරීම සිදුවන අතරවාරයේ ඔහු සතුවවෙනත් දැවැන්ත සංවර්ධන අරමුණු ද විය. ඔහුගේ තෙවැනි බිරිඳ වූ ෆාරා ඩිබා රැජිණ (Farah Diba) හට අසීමිත බලයක් හිමිව තිබූ අතර ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් වඩාත් නිදහස් ස්වරූපයකින් කටයුතු කළාය. බටහිරකරණයට නැඹුරුව සිටි බැවින් ඇය විටෙක ෆර්දාව පැළඳීමෙන්ද වැළකී සිටියාය.
මේ සියලුම සිදුවීම් අතරවාරයේ ෂියා මුස්ලිම් ව්‍යාපාරිකයින් ෂා රජු කෙරේ කලකිරෙන්නට විය. රජු ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට ගැති බවට රට තුළින්ම චෝදනා නැගිණ. ආග්‍රාමාත්‍ය මොහොමඩ් මොසක්ඩෙක් ද ෂා රජුට පිටුපා ගිය අතර වරින්වර ඉස්මතු වන කොමියුනිස්ට් විරෝධතා මර්දනය කිරීමට රජුගෙන් අණ ලැබිණ. 1971 වසරේ පැවති ඉරාන රාජ්‍යයේ දෙදහස් පන්සිය වැනි සංවත්සර සැමරුම ෂාහ් රජුගේ පාලනයේ කණකොකා බවට පත් විය. ඇමරිකානු ඩොලර් මිලියන සියයක් ඉක්මවා වියදම් කර මහේශාඛ්‍ය උත්සවාංගනයක් සහ සංදර්ශනයක් දියත් විණ. එම උළෙලේ වූ සියලුම කටයුතු බටහිරකරණයට ලක්ව තිබූ අතර ලොව කිසිදු රටකට නොදෙවෙනි ලෙස එය සංවිධාන කර තිබිණ. මේ වියදම් පිළිබඳව නැගෙන විරෝධය නොතකා තම දැඩි මතයේම රැඳී හුන් ෂා රජු එම සංවත්සරය පිළිබඳ මහත් තෘප්තියෙන් පසුවිය.
1976 වර්ෂයේ දී ඉරානයේ සම්ප්‍රදායික දින දර්ශනයට අත තබන ෂා රජු එතෙක් පැවති වසරේ පළමු දිනය වෙනස් කරයි. එතෙක් පර්සියානු දින දර්ශනයේ වසරේ පළමු දිනය ලෙස සැලකුණේ ශුද්ධ වූ මහම්මුද්තුමා මක්කම සිට මදීනාව වෙත සංචාරය කළ දිනය ය. නමුත් පර්සියාවේ ආරම්භක රජු වන මහා සයිරස් රජුගේ උපන් දිනය වසරේ පළමු දිනය ලෙස නම් කරන ෂා රජු තම රාජ්‍යත්වයේ මිනී පෙට්ටියේ අවසාන ඇණය තමා අතින්ම ගසා ගැනීමට කටයුතු කළේය. සම්ප්‍රදාය සහ ආගමික විශ්වාස සමග රජු දක්වන මුරණ්ඩු භාවයෙන් කුපිත වන රටවැසියන් ගේ විරෝධතා මැඩපැවැත්වීමට නොහැකි තැන හෙතම ඊජිප්තුවට පලා යන්නේය. ඊජිප්තු ජනපතිව සිටි අන්වර් අල් සදාත් තම ඉරාන මිතුරා වෙත පිහිට වෙයි. '
නමුත් කිරුළ අහිමි වීමත් සමගම ෂා රජු ට අත්වන්නේ නොපැතූ අවාසනාවන්ත ඉරණමකි. මොරොක්කෝවේ සහ බහාමාස් හි වරින් වර සැඟවෙමින් ජීවත් වූ ඔහු ඇතුළු රජ පවුලට ඇමරිකාවේ දොරගුළු විවර වන්නේ නැත. එතෙක් මිතුරෙක්ව සිටි ජනපති ජිමී කාටර් ගෙන් ඔවුන් වෙත කිසිදු සහයෝගයක් නොලැබෙන අතර රෝගාතුරව ප්‍රතිකාර ලැබීමට ඇමරිකාවට පැමිණි ෂා රජුට රටතුළ රැඳී සිටීමටවත් අවස්ථාව උදා නොවීය. රෝගීව , කායිකව සහ මානසිකව දුබලව සිටි ඉරානයේ අවසාන රජතුමා 1980 වසරේ දී පිටුවහලෙක් ලෙසින් ඊජිප්තුවේ කයිරෝ නුවරදී මිය යන්නේය. එවකට ඔහුට වයස අවුරුදු හැටක් වූවා පමණකි.
ඉරානයේ අවසන් රජු දුක්ඛිත ඉරණමට මුහුණ දෙද්දී රාජකීයත්වය අහිමි වූ ඔහුගේ දරුවන් පස් දෙනා ලොව පුරා විසිර යති. බාලම දියණිය 2001 වසරේදී ඖෂධ අධිමාත්‍රාවකින් මෙලොව හැර යද්දී ධූරාවලියේ දෙවැනි තැනට සිටි ඔටුන්න හිමි රීසා පහ්ලවි කුමරු 2011 වසරේදි සියදිවි නසාගනී.
පාලනය පැවතෙන තෙක් ලොවම වසඟ කළ කිරීටය සතු මහිමය බලය අහිමි වූ කල්හි අබැටක් නොවටින බව අපට පසක් කරදෙන්නේ ඉරානයේ අවසාන රජු වූ ෂා රජු විසිනි. ඔහු ඊජීප්තුවේදී මියයන්නේ රජෙක් ලෙස නොව පිටුවහල් කළ ඉරාන ජාතිකයෙක් ලෙසින්ම පමණකි.
No comments:
Post a Comment