Sunday, September 11, 2016

මහගම සේකරයන් ...

අරුතේ හැමදාම එක ගායකයෙක් අරගෙන ඔහුගේ හෝ ඇයගේ ගීතයක් අරුත්ගන්වන එකට පොඩි වෙනසක් කරන්න එක්ක ගීත රචකයෙක් අරගෙන ඔහුගේ ගීත ගැන පුංචි විචාරයක් කරන්න හිතුණා මිට කාලෙකට පෙර. නමුත් ඊට පස්සේ සෑහෙන කාලයක් මේ පැත්තට එන්න බැරිවුණා. ඔන්න ඉතින් ඒ ආසාව සපුරා ගැනීම සඳහා පුංචි උත්සහයක්.
අපිට ගොඩක් වෙලාවට ගීතයකට අරුතක් දෙනවා කියනකොට මතක් වෙන්නේ ගායකයාව විතරයි...හැබැයි ගායකයාගෙන් හෝ ගායිකාවගෙන් අපිට ඇහෙන දේ නිම වෙන්න පද රචකයා සහ සංගීතය බෙහෙවින් ඉවහල් වෙනවා කියල අරුතේ අපිට නම් ඉතිං හොඳට මතකයි නේ....ඒක නිසාම අද ගීත රචකයෙක් අරගෙන ඔහුගේ ගීත විචාරය කරමු කියල හිතුණා. (ගීත මුළුමනින්ම විචාරය කලොත් මට මේක කරගන්න බැරි වෙන හින්ද මා තෝරාගත් ගීත රචකයාගේ ගීත කීපයක් අරගෙන ඒවායේ මම කැමතිම කොටස් ගත්ත. ඒ සම්බන්ධව කමාව භාජනය කරන්න කියල ඉල්ලා සිටිනවා.)
ඇත්තෙන්ම මේ ගීත රචකයා ගැන කතා කරන්න මට ඇති සුදුසුකමක් නැහැ. ඒත් මා ඔහුට තියෙන ප්‍රියතාවය නිසාම ඔහුව තෝරාගත්තා. මගේ අතින් ඔහුගේ රචනා වලට අඩුපාඩුවක් වී ඇතිනම් ඒවා නිවැරදි කරන මෙන් සමුහයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ ගීත රචකයා වෙන කවුරුත් නෙමෙයි.....මහගම සේකර.
ඉතින් ගීතවලට යාමට පෙර සේකරයන් ගැන කරුණු කීපයක් සඳහන් කළහොත් හොඳයි කියල හිතුවා.
1929 අප්රේ ල් 07 වනදින උපන් සේකර අපෙන් සමුගන්නේ 1976 දී. දරුවෝ තුන් දෙනෙක්ගෙ පියෙක්. දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් සිටියා. ඔහුගේ බිරිඳ කුසුමලතා මහගම සේකර.
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම කලාකාරයෙක් වූ සේකර අනුවාද, ළමා සාහිත්‍ය කෘති, නවකතා, කෙටි කතා, පද්‍ය, නාට්‍ය, තිර රචනා මෙන්ම චිත්‍ර ඇඳීම සහ කැටයම් නිර්මාණ ශිපියෙක්. ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ නිර්මාණ රාශියක් සේකරයන් අප වෙත දායාද කරලා තියෙනවා
සේකරයන්ට 1966, 1968, සහ 1970 සරසවි සම්මාන උළෙලවලදී හොඳම ගීත රචනයන්ට සම්මාන ලැබෙනවා. ඒ පිලිවෙලින් සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගේ රටයි ගීතය, සත් සමුදුර චිත්‍රපටයේ සිනිඳු සුදු මුදු තලාවේ ගීතය සහ බිනරමලී චිත්‍රපටයේ රටකින් රටකට පාර අසාගෙන ගීතය සඳහා.
ඔහුගේම වචනවලින් ඔහුව හඳුන්වා දෙනවානම් .....
මා ගැන දන්නා
අය කොතෙකුත් වෙති
පත්තරවල මා
නම ගම පළවෙයි.
මහගම සේකර
එම්.ඒ.සිංහල
පදිංචි ගම්පහ
රදාවාන ගම
දැන් විදුහල්පති
ඔය ඔය විදියට…...
ඉතිං පෞද්ගලික විස්තර සඳහා වැඩිපුර කාලය ගත කරන්නේ නැතුව ගීත වලට ගියොත්.... සේකරයන්ගේ සෑම ගීත රචනාවක්ම පුදුමාකාර රසවත් භාවයක් තිබුණත්, මම තෝරාගන්නේ සේකර සහ අමරදේවයන් මුසුව අපට ගෙන ආ නිර්මාණ කීපයක්.
ඉතින් ප්‍රථමයෙන්ම, සේකරයන් විසින් රචිත අමරදේවයන් සංගීතවත් කර ගායනා කරන රත්න දීප ජන්ම භුමි ගීතය...විශේෂයෙන් කියන්න ඕන සේකරයන් සහ අමරදේවයන් මුසුව අපට ඉතාමත් සුමිහිරි ගීත රාශියක් දායාද කරපු යුගයක් තිබුණා. රත්නදීප ගීතයත් එයින් එකක්. මේ ගීතයේ තිබෙන විශේෂය තමයි ලංකාව ජනරජයක් කරද්දී ජනරජ ගීතය ලෙස ගීතයක් තෝරාගැනීමට තරඟයක් තිබ්බලු, නමුත් මේ තරඟයෙන් කිසිම ගීතයක් තෝරාගන්න බැරිවෙද්දී පසුව ප්‍රබුද්ධ ගීත රචකයන් කීප දෙනෙක්ට ආරාධනා කලාලු ගීත නිර්මාණය කරලා දෙන්න. ඉතින් ඒ වෙද්දී නිර්මාණය වෙලා තිබ්බ රත්න දීප ගීතය සේකරයන් විසින් ලබා දීල තියෙනවා ජනරජ ගීතය ලෙස යොදා ගැනීමට. නමුත් මේක තේරිලා නැහැ. ඒ වෙනුවට ඒ සම්බන්ධව කටයුතු කල දේශපාලනඥයා කිව්වලු ඔහුට මේ ගීතයේ ජනරජය ගැන ලියවිලා නැහැ කියල. එතකොට සේකරයන් එම දේශපාලනඥයා ට කිව්වලු එහෙමනම් ජනරජ ව්‍යවස්ථාව අරගෙන ඒකට තනුවක් දාල ගායනා කරන්න කියල. පේනවනේ දැන් වගේ නෙමේ අපේ කලාකරුවන් දෙකට නැමුණේ නැහැ ඉස්සර.
සේකරයන් කොච්චර ලස්සනට තමන් ඉපදුන භුමිය කෙතරම් වටිනවද කියන එක හඟවල තියෙනවද රත්නදීප ගීතයෙන්. මේ භුමිය මැණික් එහෙම නැත්නම් රත්න වලට සමාන කරලා;
රත්න දීප ජන්ම භුමි
ලංකා දීප විජය භුමි
මේ අපේ උදාර වූ
මාතෘ භූමියයි
මාතෘ භූමියයි
මාණික්ය සේ පොලෝ ගැබේ නිධාන වී..
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි.....
මේ ගීතය පුරාවටම තියෙන්නේ අතීතයේ ශ්‍රී විභූතිය ගැන ප්‍රකාශ කරලා...ඔහු කියනවා මේ පොළවෙන් මැණික් ලෙස මතු වන්නේ අතීතයේ රට වෙනුවෙන් නිර්භීතව සටන් කරපු මිනිස්සුන්ගේ රුධිරය කියල. අපේ රටට කොතරම් ගැලපෙනවද මේ පද පෙළ කියල හිතුවොත්...අපි අපේ ඉතිහාසය කියෙව්වහම කොතරම් වීරයන් සංඛ්‍යාවක් අපට හමු වෙනවද....මේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ වලින් ගලවා ගන්න තවත් කෙතරම් අපි නොදන්නා වීරයන් සංඛ්‍යාවක් උත්සහ කරන්න ඇතිද? කවුරුත් නොදන්නා ඒ වීරයන් මේ පොළව තුළ මිහිදන් වෙන්න ඇති. ඉතිං ඔවුන්ගේ රුධිරය තමයි මේ පොළවෙන් මැණික් ලෙස මතු වෙන්නේ.....
මීළඟට තෝරාගත් ගීතය ‘වක්කඩ ළඟ දිය වැටෙන තාලයට’ ගීතය. මෙයත් සේකරයන් රචනා කර අමරදේවයන් සංගීතවත් කළ ගීතයක්. මෙය මම කලින් අහලා තිබුනේ කළු ගඟ ලියකට සමාන කර ලියු ගීතයක් ලෙසයි. නමුත් මට මෙහෙමත් හිතුණා මේක ‘කළු’ කියන ගැහැණු ළමය / කාන්තාව ගැන වෙන්න බැරිද?
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන්දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
මම දැක්ක මේ දවස්වල අර ‘වැරදියට තෙරුම්ගතිපු ගීත’ කියල වීඩියෝවක් ශෙයා වෙනව මුහුණු පොතේ, අන්න ඒකේ තිබුණ මේකට වෙනමම තේරුමක් දාල. මම ඒකට එකඟ වෙන්නේ නැහැ මොකද ඒ කියන තේරුම මේ ගීතයේ තිබෙන එක පදයකින් වත් නිරූපණය වෙනවා කියල මට හිතෙන්නේ නැති නිසා.
අපි දන්නවා තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි අමනාප වෙලා ඉන්නකොට නෝක්කාඩුවෙන් හරි බලන එක බැල්ම කොතරම් වටිනවද කියල. ඉතින් ඒ සතුට ගීතයේ නිරූපණය වෙන්නේ මේ පරිසරය ගැන කරන හැඳින්වීමෙන් කියලයි මට හිතෙන්නේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයවුනත් එවකට කොළඹ දිස්ත්‍රික්කයට අයිතිව තිබුණු රදාවාන ප්‍රදේශයේ උපත ලැබූ සේකර ගැමි පරිසරය අපිට චිත්‍රයක් මවන්නේ ඔහුගේ තිබෙන රචනා කුසලතාව නිසාමයි කියලයි මට හිතෙන්නේ. වක්කඩෙන් තමයි මුළු කුඹුරුයායටම වතුර සැපයීම පාලනය කරන්නේ. ගොඩක් වෙලාවට ඉහල යායේ ඉඳල පහල යායට වතුර වැටෙන තැන තිත්ත පැටව් වගේ පොඩි මාළුන් රැඳිලා සිටිනවා. ඉතින් සේකර කියන්නේ ඒ වතුර ගලනා වේගෙන්ම තිත්ත පැටව් නටනවා. හරියට තරහව නිවෙන්න පෙර ‘කළු’ දෙන නෝක්කාඩු බැල්ම වාගේ වැස්සට පෙර අහසේ අකුණු කොටනවා. නගරයේ වගේ ගැමි පරිසරයේ තාප්ප නැහැ බොහෝවිට තියෙන්නේ වැටක්, ඉතින් මේ වැටෙත් කටරොලු මල් පිපිලා...කොටින්ම කියතොත් තරහ වෙලා හිටපු කළු නැවත යාලු වෙන්න යනකොට මේ පෙම්වතාට පරිසරයම ලස්සනට පේන හැටි මනාවට ගීතයේ වර්ණනා කරනවා.
සේකරයන් සහ අමරදේව සුසංයෝගයේ අග්‍රම පලය ලෙස අමරදේවයන් දකින ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය තමයි මං මීළඟට තෝරාගත්තේ. මාදින්නාගොඩ ශේෂා පලිහක්කාරගේ නිවසේදී සේකරයන් මේ ගීතය නිර්මාණය කළ බව අමරදේවයන් වරක් පවසා තිබුණා. නලදමයන්ති වේදිකා නාට්යොයට චිත්රමසේන හා වජිරා මේ ගීතය යොදාගන්නවා.
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ හීන අතරේ
මැවෙයි ඒ රූපේ...
මම නලදමයන්ති නාට්‍ය බලල නැහැ. නමුත් මේ ගීතය ප්‍රසිද්ධයි පුරුෂයෙක් ගැන වර්ණනා කෙරෙන ගීතයක් හැටියට.ඈත හිමයේ තුරුවැල් අතරින් පවා ගලාඑන්නේ පෙම්වතාගේ නාමය...රෑ නින්දේදී තරුණියන් හීනෙන් දකින්නෙත් ඔහුගේ රූපය.... සමහරවිට නල ගැන දමයන්තිගේ වර්ණනාවක් වෙන්න ඇති..
සේකරයන්ගේ ගීතවල මම කැමතිම, මගේ සිත්ගන්නෙම ඒ ගීතවල තියෙන නිවුණු ස්වරුපය. ඒ ගීතයක් අහද්දී හිතට සහනයක් ලැබෙන්නේ. සමහරවිට විරහ ගීතයක් වුණත් අපිට වෛරය ක්‍රෝධය පුරවනවා වෙනුවට සැබෑ විරහව...තමන් පෙම් කළ කෙනාට වෛර නොකරන විරහව..තමයි අපට දැනෙන්නේ. අමරදේවයන් ගෙ සංගීතය සහ ගායනයත් මේකේ සමාන පංගුකාරයෙක් හැටියට තමයි මම දකින්නේ.
ඒවගේ ගීයක් තමයි මීළඟට තෝරාගත් සේකරයන්ගේ ‘පාලු අඳුරු නිල් අහස මමයි’ කියන ගීතය.
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඔබයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි
අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි
‘තනි තරුව’ ලෙස අපි දකින්නේ සිකුරු ග්‍රහයාව. නිල් අහස තියෙද්දීම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ සිකුරු ග්‍රහයා. තව ටිකක් රෑවෙලා අහස ඝන අඳුරු වුනහම තමයි තරු පේන්න ගන්නේ. ඉතින් සිකුරු ග්‍රහයා ආදරය එක්ක සම්බන්ධයක් තිබෙන ග්‍රහයෙක් හැටියට සැලකෙන්නේ. ඔහු කියන්නේ පාලු තරු නැති නිල් අහසේ පේන ආදරය නමැති තාරකාව ඇය...තරුණ මහලු; අතීතය වර්තමානය ඕනෑම කාලයකදී වුවත් හැම හදවතක්ම බලාපොරොත්තුවන්නේ ආදරය.....
ඒ වගේම සරු බවක් නොමැති වූ මහ පොලව පෙම්වතානම් ඒ පොලව සරු කරන්න හැකි දියදහර ආදරයයි නැතිනම් පෙම්වතියයි....
පුදුමාකාර ගීතයක්. වරක් සේකරයන් පවසා තිබුණා ඔහු පෙම්කල එක් යුවතියක් හා එක්වීමට බැරිවුණේ කුලමල ප්‍රශ්න නිසා එය අනුභූතියක් කරගනිමින් මේ ගීතය රචනා කළ බව.
සේකරයන්ගේ තවත් ගීත රාශියක් තියෙනවා මෙතන සඳහන් කලයුතු. නමුත් මේ ලිපිය දිග වෙන නිසාත් එතකොට කියවීමට රුචිය නොමැතිවීමට ඉඩ තිබෙන නිසාත් මම මේක මෙතනින් අවසන් කරනවා.
අවසන් කරන්නම් රත්න ශ්‍රී විජේසිංහයන්, සේකරයන් පිළිබඳව ලියු නිසඳසකින්;
ජනවාරි මාසයට
හැමදාම සීතලයි
ඒත් දැන් වෙනදාට
වඩා සීතල දැනේ
ජනවාරි මාසයට
හැමදාම මල් පිපේ
ඒත් දැන් පිපුණු මල්
පවා පරවී තිබේ
එක්තරා ජනවාරි
මාසයක ඔබ අපට
ආයුබෝවන් කියා
ගිය හෙයිනි"
ඉතින්, සේකර ඔබ හැරගිය මේ භුමියට සීතලයි....... ඔබගේ පදවැල් නමැති උණුසුම නැතිව මේ භුමිය සීතලයි!
(මේ ලිපිය ලිවීමට අන්තර්ජාලයෙන් සේකරයන් පිළිබඳව විස්තර සහ ඔහු ගෙ ගීත පිළිබඳ තොරතුරූ ලබා ගත් අතර විචාරය කර ඇත්තේ මගේම අදහස් බව මෙයින් සඳහන් කරමි)
ලිපිය 
Nil Gunawardana විසින් ගීතයක අරුත සොයා යමු... සමුහයේ පලකල ලිපියකි...