Sunday, September 11, 2016

සාගර පලන්සූරිය (කේයස්)

------> කේයස්



මුල් නම – පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
පසු නම් – කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
උපත – 1908 මාර්තු මස 11 දා
වෘත්තීන් – ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
වෙනත් – පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)
විවාහය – 1948 නොවැම්බර් මස 26 දා
පුතුන් – තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
බිරිය – ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
විපත – 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී 



මා මළ විටදි පී.බී. දෙන අසල එම
වැලපී කියන කවි ඇසුමට රිසිමි මම’


පී.බී. අල්විස් කවියාගේ මුහුණ බලා එසේ කවි දෙපදයක් කී ඒ ප්‍රවීණ කවියා තමන් මැරුණු සේ යහනේ වැතිර ගත්තේ ය. එවිට එකදිගට කවි දහයක් පමණ කී පී.බී. කවියා මෙකවිය ද කීයේය.

’රළු ගල් පවා පිපිරෙන්නට පහර දිදී
වැජඹුණු අපේ රන්වන් කුළුගෙඩිය නිදී
ඒ ගල් යළිදු පැළවීගෙන ඉහළ ඇදී
අසලින් යනෙන අසරණයගෙ ඇඟට වදී..’


හඟුරන්කෙත ආදායම් පාලක නිලධාරි (ඩී.ආර්.ඕ) තනතුර එදා හෙබවූයේ විමලරත්න කුමාරගේ කවියාය. දිනෙක ඔහු හමුවන්නට පී.බී. කවියා ගියේ අපේ කතානායක කවියා ද සමඟ ය. එදා රාත්‍රියේ ඒ නිල නිවස්නයේ මේ අපූරු සිදුවීම සිදුවුණි.

ඔහු පිළිබඳ බොහෝ දේ කියැවේ. අධිරාජ්‍යවාදීනට එරෙහිව කොළඹ යුගයේ කවීන් කළ මෙහෙවර හා සසඳන විටදී ඔහු පිළිබඳ ව හැඳින්වෙනුයේ මුල්පෙළෙනි. කවීන් අතර අද්විතීය ස්ථානයක් ඔහුට හිමි වී තිබිණි. ඔහු අව්‍යාජ ය. සරල ය. ප්‍රතිපත්තිගරුක ය. ජාතිකවාදී හැඟුමින් ද පිරිපුන් වූ හේ අවංක ජනතා පුත්‍රයෙකි. පුවත්පත්කලාවේදියෙකි. බොහෝ දෙනාගේ ඉමහත් පැසසුමට බඳුන් වූ ‘කේයස්’ නම් අන්වර්ථ නාමයකින් ‘සුදෝසුදු’කාව්‍යය ලියූ හෙතෙම සාගර පලන්සූරිය නම් ප්‍රතිභාපූර්ණ කවියා ය. කොළඹ යුගයේ දී සාගරයන් අතිශය ජනාදරයට පාත්‍ර වූයේ ද ‘සුදෝසුදු’ නිසා ය.

සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ ඔහු උපත ලද්දේ එනම් 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා ය. පසුකලෙක සාගර පලන්සූරිය වුවද ගබ්බෙල අප්පුහාමි රෙජිස්ට්‍රාර්තුමාගේ මහ පොතේ ලියැවී ඇත්තේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යනුවෙනි. කුඩා ඩිංගිරි මහත්තයාගේ පසුබිම අනේක දුක් ගැහැට පිරීගිය එකක් ම විය.

විප්ලවවාදී ගති පැවතුම් කුඩා වියේදී ද දක්නට ලැබෙන්නේ මෙවන් ප්‍රබල සිදුවීමකිනි. ඩිංගිරි මහත්තයා කුලීන දරුවෙකි. අකුරට ගිය මුල්ම සිංහල පාසල වූයේ මාදම්පාගම ය. එහි කුලහීන දරුවනට බංකුවල වාඩිවීම තහනම් විය. වාඩිවිය යුත්තේ බිම ය. එය නොරිස්සූ කුඩා ඩිංගිරි තම සගයන් ද සමඟ බංකුව අතැර ඔවුන් හා බිම වාඩිවූයේ ය. මෙහිදී ප්‍රදේශය බාර දිසාපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්වූයේ එහි විදුහල්පතිතුමා ය.

වයසින් වැඩෙත් ම සමාජ සාධාරණත්වය උදෙසා හේ සිය ජීවිතයම කැප කළේ ය. අන්ත දිළිඳු බව දෝතින් ගෙන උපන්න ද ඔහු සිත පිරී තිබුණේ උද්යෝගිමත් සිතිවිල්ලෙනි. වරෙක වෙල්එළියේ ගල්තලාවක හිඳ තම කවි සිත අවදි කරවූයේ ය. ඔහු කුඩා වියේ දී ඔවුනට තිබුණු එකම ඉඩම් කැබැල්ලත් උකසකට සින්න වී ගියේ ය. සිය දරු පවුල නඩත්තු කළ පියා ලෙඩ ඇඳට වැටුණේ ය. ජීවත් වන්නට සිදුවූයේ වතුයායක කෙළවරක පිහිටි බිම් කැබැල්ලක පැලක් තනාගෙන ය.

ඔහුට මාදම්පේ පන්සලේ ලොකු හාමුදුරුවන් හා ඥාති සබඳතාවක් තිබිණි. පැවිදි වීමට තීරණය කළ අපේ කතානායකයා මවුපිය විරෝධතා මධ්‍යයේ ම පැවිදි වූයේ ය. ඉන්පසු ඉගෙනුමට ද දක්ෂයකු වූ කළල්ඇල්ලේ පේමානන්ද නම් වූහ. තුරුණු වියට ආසන්න වෙද්දී උගත මනා බණ දහම් සහ චතුර කථිකත්වය ද රසමුසු කවීත්වය ද මනාව පිහිටා තිබිණි. ඇත්ඔය, පැණනිස්ස හිමියන්ගේ මඟපෙන්වීමෙන් අපේ පුංචි හාමුදුරුවෝ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී සාහිත්‍ය, සමාජ සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ ද මනා පරිචයක් ලද්දේහ. කෙටි කලකින් තම සොහොයුරා සිවුරු හළ බව දත් සොහොයුරු පියදාස පලන්සූරිය තම සොයුරා බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් හමුවට කැඳවා ගියේ ය.

උපැවිද්දෙන් නැවතත් පැවිද්දට පැමිණුනි. ඉන්පසු කළල්ඇල්ලේ ආනන්ද සාගර නම් වූහ. මේ වනවිට කවියෙහි දක්ෂයකු ව පසුවෙමින් විවිධ පුවත්පත් සඟරාවනට ද සමාජ ලිපි, කවි පබැඳුම් ලිවීය. ටිබෙට් ජාතික මහින්ද හිමි හා කුළුපගව වැඩිදුර අධ්‍යාපනය පිණිස ඉන්දියාවේ ශාන්ති නිකේතනයට පිවිසියහ. එතැනින් මව්බිමට පැමිණ ගුරු වෘත්තියෙහි නියැළුණි. මේ අවධියේ දී ලියා එළිදැක්වූ ‘සුදෝසුදු’ කාව්‍යයේ පළමු මුද්‍රණය උණු කැවුම් මෙන් විකිණී මහත් සේ ජනාදරය දිනාගන්නට සමත් වූහ.

පසුකලෙක අපේ හිමියන් ආනන්ද, නාලන්ද, කුරුණෑගල මලියදේව, මොරටුව වේල්ස් කුමාර විදුහල්වල ගුරුවරයකු ව කටයුතු කළහ. මේ අතරේදී ලේඛනයෙහි ප්‍රතිභාව පෙන්නුම් කරමින් සාරවත් ලිපි, කවි ආදිය පුවත් සඟරාදියෙහි පළකෙරිණි. පෑගෙන තැලෙන පොඩි මිනිහාගේ පීඩිත බව එහිමි නොඉවසූයේ, කිසිවකුගේ ආරාධනාවකින් තොරව ම වමේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වූයේ ය. ඒ හොරණ ආසනයෙනි. මහජන එක්සත් පෙරමුණෙනි. පිලිප්, ඇන්.ඇම් සමීපතමයෝ ය. කම්කරු පන්තිය වෙනුවෙන් සටනේ වැදී චතුර කථිකත්වයෙන්, කවියෙන් ජනයින් ආකර්ෂණීය කළේය.

ඒ සටන් හමාර කොට ආපසු ගියේ ද පා ගමනිනි, බසයකනි, නැතහොත් දුම්රියකිනි. සිවුරේම සිටිමින් දේශපාලනයට පිවිසිය ද යළි නොඑන්නට ම සිවුරෙන් වෙන්වූයේ 1947 දීය. ප්‍රතිවිරුද්ධ එම්.ඩී.එච්.ජයවර්ධන ඇමැතිවරයා පරදවමින් හේ 1956 මහ මැතිවරණයේ දී වැඩි ඡන්ද 10,000කින් හොරණ අසුන ජයගත්තේය. නොයෙක් කරදර හිරිහැර මධ්‍යයේ ඔහුටත්, පවුලේ අයටත්, ආධාරකරුවන්ටත් ආහාර පාන, රැකවරණය ලැබදුන්නේ හිටපු අගමැති වත්මන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රධාන එම පවුලේ අය ය.

හේ පුවත්පත්, සඟරාදියට ලිවීම අත්නොහළේ ය. ජනතාවට කළ්‍යාණ මන්ත්‍රීවරයකු වුවද ඔහු ජීවත් වූයේ මන්ත්‍රී වැටුපෙන් නොව ස්වශක්තියෙනි. පැවිදි බිමෙන් ගිහි දිවියට පැමිණිය ද හෙතෙම කටපුරා කීයේ ‘තවමත් මට අගෙයි මගෙ හාමුදුරුවරු’ යනුවෙනි

’ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා


එය සුදෝසුදු හි කාගේත් මුව‘ගෙහි රැඳි ජනප්‍රිය කවියකි. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති, පද්‍යාවලි ඪ හා ඪඪ, දම්පද සුගතවාණී, ගද්‍යාවලී ඪ, ඪඪ, ගොවි පෙරමුණ, ගද්‍ය පද්‍ය පරිවර්තන කෘතින් රැසක් ද සාගරයන් රටට පිිළිගැන්වීය. ඉන් බොහෝ කෘති අදටත් පාඨක සිත් දිනා ඇත. ඇතැම් නිර්මාණවල සැඟවී ඇත්තේ ඔහුගේ ම බාල අවධිය බව ද කියැවේ. සාගර 1948 දී විවාපත් වූයේ ය. ජීවන සහකාරිය වූයේ ගල්කිස්සේ, ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා ය. ඈ හැමවිටම ඔහුගේ සෙවණැල්ල වූවා ය. ඔවුනට පුතුන් තිදෙනකු ලැබිණ. සාගරයන් හැමවිටම තම පුතුන් තිදෙනාට සිංහලකමටත් බුදුදහමටත් නැඹුරුව ජීවත්වන්නැයි ඔවදන් දුණි.

’අපේ තාත්තා අපට හරිම ආදරෙයි. විශේෂයෙන් අපේ සෞඛ්‍යය, කෑම බීම සොයා බැලුවා. අපි ආර්ථික අතින් මහා ශක්තියක් තිබූ අය නොවයි. තාත්තාගෙ ළඟ ම මිතුරන් වුණේ විමලරත්න කුමාරගම, පී.බී.අල්විස් පෙරේරා යන කවීන් දෙපළයි. ඒ අය අපේ ගෙදර නිතර එනවා යනවා. ඇවිත් කවි කියනවා.’ ඒ ලක්විජය සාගර පලන්සූරිය (සාමාන්‍යාධිකාරි – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය) දෙවන පුතු තම පියාණන් ගැන කී අයුරුයි. ‘මා දුටු අපරදිග‘ කෘතිය රචනා වූයේ සාගරයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හොබවමින් සිටියදීය. පරිපාලනයේ ඉංග්‍රිසි ආධිපත්‍යය බිඳ දැමීමට හේ හඬ නැඟීය. එහෙත් දෙමළ බස කොන්කළ යුතු යැයි ද අපේක්ෂා නොකළේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. ඒ 1960 දී ය. ඒ සමඟම ඔහුගේ මන්ත්‍රී ධූරය ද අහෝසි විය. එය මහා බරකින් නිදහස් වූවා සේ විය. අනතුරුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ ය.

වයසින් අවුරුදු 13 සිට කවියට, ලේඛනයට ඇල්ම දැක්වූ හේ පසුකලෙක පඩිරුවනක් බඳු වූයේ ය. පැවිදි අවධියේ සිට ම ඇසුරේ පසුවූ පැවිදි උතුමන් වූයේ බඹරැන්දේ සිරිසීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති, කිරිබත්ගොඩ ශ්‍රී ප්‍රඥාසාර, වල්පොල රාහුල යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමිවරු ය. ස්වකීය චතුර කථිකත්වයෙන් හා ආකර්ෂණීය කවිත්වයෙන් ජනසිත් ඇද බැඳ තබාගත්තේ ය. වඩාත් පරසිදු වූයේ ප්‍රගතිශීලී වාමාංශික දේශපාලන කරළියෙහි ය.

’මම දොර නොබින්දෙමි ආවෙමි විවර දොරෙන්
ජය හෝ පරාජය ආ යුතු පරිදි වරෙන්
නිදහස් වන්ට මා උසුලන මිහිරි බරෙන්
උපකාරයක් නොපතමි කිසිකෙනකු කෙරෙන්’


ඒ ඔහුගේ හැටි ය. ඔහු අදීන ය. ස්වෝත්සාහී බව දිවිය පුරාම රැඳී තිබිණ. සෝමවීර චන්ද්‍රසිරි, ආනන්ද රාජකරුණා, තිහාරියේ පීටර් පෙරේරා, පියදාස සිරිසේන, ඩී.ඩබ්ලිව්.වික්‍රම ාරච්චි, පී.කේ.ඩබ්ලිව්.සිරිවර්ධන ආදීන්ගේ සමීපතමයකු විය. හෙළදිව, මාවත හා ලංකාදීප පුවත්පත ද ඇරඹි අවධියේ දී එහි කතුවරයකු ද වූයේය. නව මුහුණුවරකින් සාරවත් ලිපි, සමාජ විවේචන, අදහස් කියාපෑම, කතුවැකි සම්පාදනය ද සිදුවූයේ ඔහු අතිනි.

උපැවිදි වීමත් සමඟ ඔහු ලියූ කවකි මේ.

’මට හුරුපුරුදු තැන මාහට නැතිව ගියේ
සමහර මතක නොමැකී සටහනක තියේ
මානෙල් නොපිපුණත් හිරු නැති අඳුරු රැයේ
කොඳමල් පිපේ නම් එය මට මදිද පියේ’


කලබලයෙන් මෙන් දිනක් ගෙට ගොඩ වූ අපේ සාගර සිය බිරිය දෙස බලා දෑතින් යමක් සංඥා කොට පෙන්වූයේය. ‘ඔයා නාට්ටියක් කරනවද?’ කිසිත් නොදත් බිරිය විමසුවා ය. ඔහු තරහින් මෙන් මුහුණ හකුලුවා ගත්තේ ය. අසල තිබූ කඩදාසියක ඔහු යමක් ලියා පෙන්වීය. ඇය වහා එය කියැවූවා ය. ඒ වනවිට ඔහු දෑසින් කඳුළු කඩාහැලෙමින් තිබිණ. ඔහු ඒ ලියුවේ තමන්ට කටහඬ නැති ව ගිය බවකි.

උගුරේ ආබාධයක් ඇති බවකි. දිගින් දිගටම ප්‍රතිකාර කැරිණි. ඉන්දියාවට ද ගොස් ප්‍රතිකාර කරවූවද එතරම් සුවයක් නොලදිණි. පෙර මෙන් කටහඬ උස් ව නොතිබුණි. ‘මගේ තාත්තා මැරෙන කොට 53යි. මටත් දැන් 53යි. ලබන අවුරුද්දෙ මං ඔයාලා ළඟ නැහැ. ඒකට කමක් නෑ. පුතාලා අම්මත් එක්ක හොඳට අවුරුදු කන්න’ දිනෙක සිය බිරිය හා දරුවන් තුරුළට ගෙන සාගරයන් බිඳුණු හඩින් එසේ කීවේය.

ඔහු රෝගාතුර වූයේ හදිසියෙන් ම ය. වහා රෝහල් ගත කැරිණි. එදා ප්‍රිය බිරියගේ සුරත අල්වාගත් හේ මෙසේ කීයේ ය.

’මං අද මැරෙනවා - මං මුකුත් ඉතිරි කරපු කෙනෙක් නොවෙයි. ඒත් මං ඉතුරු කරපු අකුරු තුනක් තියෙනවා. ඒ අකුරු තුන දරුවන්ට ඇති. අපෙ දරුවන්ගෙ ජීවිත ඉදිරියට ගෙනියන්න ඒ අකුරු තුන ඇති.’

’හාමුදුරුවන්ට එන්න කියන්න – මං අද මැරෙනවා” ඔහු බිරියගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුවම හිමිවරු වඩමවා පිරිත් නූල් බැඳිනි. පිරිකර ද පූජා කෙරිණි. ඒ පිරිත් අවසන අපේ සාගරයන් දෑත් එක්කොට උස්හඬකින් සාදු ... සාදු... යනුවෙන් කීයේය. හාමුදුරුවනේ.. මේ ආත්මයේදී ඔය කහපාට දකින්න මට ලැබෙන්නෙ නැහැ... අද මං මැරෙනවා..’ ඒ හඬ දුබලය.

ඕ දෑස් විහිදා තම හිමි දෙස බලා හුන්නාය. ඔහු දෑස් නිවී..නිවී ගියා සේ ය. ... ඕ එසැනින් සිහිසුන්ව සිය සැමියාගේ මුහුණ මතට ඇද වැටුණාය.

නිදහස් මතධාරී බුද්ධිමතකු මෙන්ම තමා සතු සියල්ල සමාජයට ප්‍රදානය කොට කිසිවක් බලාපොරොත්තු නුවූ ජනසිත් හි ලැගුම් ගත් ඒ සොඳුරුතම මිනිසා 1961 – ජූනි මස 21 දා පස්වරු 5.55ට සිය ජීවිතයෙන් සදහට ම සමුගෙන යන්නට ම ගියේ ය.

ඔහුගේ වියෝවෙන් කම්පිත වූ දහස් සංඛ්‍යාත පිරිස් අතර සිරිල් ඒ. සීලවිමලයන් මෙසේ ලියුවේ ය.

’අපේ සාගර පලන්සූරිය
අපේ කේයස් අනේ මැරුණා
අපේ කවියා උගත් මිතුරා
අපේ ඇසුරින් ඉවත ඇදුනා

අපේ ඇස් ඉදිරියේ සොහොනින්
නැඟුණු දුම්රැළි ඉහළ නැඟුණා
අපේ රටට ම පාඩුවකි ඔහු
සොහොන මැද අළු බවට හැරුණා
Image result for කේයස් 

සැ.‍යු. - මෙය අමල් යශෝමන් ජයසිංහ මහතා විසින් 2012 වසරේ සිළුමිණ පුවත්පතට ලියනලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.