Monday, March 20, 2017

PINK චිත්‍රපටයේ Jeene de Mujhe (ජීනේ දේ මුජේ - මට ජිවත් වෙන්න දෙන්න)..... ලිපිය නීල් ගුණවර්ධන

මීට දවස් කීපයකට කලින් ලෝකයම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවා. ඒ මාර්තු මාසේ 8 වෙනිදා. වැලන්ටයින් දිනය, මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, සාහිත්‍ය මාසය ඔය කොයි දිනයත්, මාසයත් වගේ ජාත්‍යන්තර කාන්තා දිනයටත් මේ වෙද්දී වෙළඳ වටිනාකමක් ඇවිත්. මම එහෙම කිව්වේ, මාසේ පටන් ගත්ත දවසේ පටන් මේ වනතෙක් අහන්න දකින්න ලැබෙන දැන්වීම් කන්දරාව නිසා. මුළු මාසෙමත් මේවා අපිට අහන්න තියෙයි. කාන්තාවටම විශේෂිතවූ ගිණුම්, කාන්තාවන්ටම විශේෂිතවූ වට්ටම්, තෑගී, විවිධ වැඩසටහන් මේ ආකාරයේ බොහෝ වැඩසටහන් ගොඩයි. මාකටින් බොහෝයි. ලාබ ලැබීමේ බලාපොරොත්තුවෙන් ඇති කරලා තියෙන ඕනෑම ආයතනයක් ඉතිං තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජනයට ගන්නවා තමයි කියල ඔබ හිතයි. මට හිතෙන්නේ; කාන්තාවම වෙළඳ භාණ්ඩයක කරගත් සමාජයක කාන්තා දිනය ගැන කවර කතාද කියල. ඉතිං මේ ගැන හිත හිත ඉන්නකොට තමයි ගිය සතියේ දවසක මම ‘PINK’ චිත්‍රපටය නැරඹුවේ. මගේ යාලුවෙක් කියපු විදියට මම ඒක බලන්නත් ගොඩක් පරක්කුයි. මොකද චිත්‍රපටය නිකුත් වුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ.

කොහොමහරි මේ චිත්‍රපටය මගේ හිත ඇතුලේ සංවාදයක් ගොඩ නගන්න සමත් වුණා. මාර ලස්සනයි කියන්න පුළුවන් චිත්‍රපටයක් නෙමෙයි. නමුත් මාර සංවාදයක් අප තුළම ගොඩනැගෙන, මාර පීඩනයක් හිතට එන, නමුත් අවසානය සුබ වෙච්ච චිත්‍රපටයක්. මේචිත්‍රපටයේ එන විදියට අපේ රටේ, ලෝකයේ කාන්තාවටත් අවසානයේදී හරි සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල අපි හිටියත් ගොඩක් වෙලාවට අපිට සැබෑ ලෝකයෙදි නම් එහෙම වෙනවා පේන්නේ නැහැ. චිත්‍රපටයේ තේමා ගීතයට මගේ අවධානය යොමුවුණේ. මට හිතුණේ චිත්‍රපටයේ මුළු තේමාවම ගීතයේත් තියෙනවා කියල.

ඉතින් කාන්තා දිනය ගැන කතා කරලා පටන් ගත්තේ ‘PINK’ කියන්නේ රෝස පාට. රෝස පාට සාමාන්‍යයෙන් සංකේතවත් කරන්නේ ගැහැණියව / කාන්තාවව. චිත්‍රපටයේ තේමාවත් කාන්තාව. සමාජය කාන්තාව දිහා බලන විදිහ. ඒකට කාන්තාව වැරදි නැහැ කියන එක. ඇයටත් නිදහසක්, නිදහසේ සිටීමට, ස්වාධීනව ජීවත් වීමට අයිතියක් තියෙනවා කියල කතා කරන චිත්‍රපටයක් ‘PINK’ කියන්නේ.
‘PINK’ අධ්‍යක්ෂණය කලේ ශුජිත් සිර්කා, චිත්‍රපටය නිෂ්පාදනය කලේ රශ්මි ශර්මා, රොනී ලහිරි සහ ශිල් කුමාර් කියන නිෂ්පාදකවරු. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සංගීතඥයන් කීපදෙනෙක් අතින් සිදු වෙනවා. මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය, පද රචනය සහ ගායනය ෆයිසා මුජාහිඩ් විසින්; චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ; අමිතාබ් බච්චන්, තප්සි පානු, කිර්ති කුල්හාරි, අන්ද්රියා තාරියාන්ග් යන නළු නිළියන්. චිත්‍රපටය ගොනුවෙලා තියෙන්නේ දිල්ලි නගරය ආසන්නව තනිව ජීවත්වන තරුණියන් තුන්දෙනෙක් සහ යම්කිසි අවස්ථාවකදී ඔවුන් තම ආත්මාරක්ෂාව මත ගතිපු තීරණයක් නිසා අනෙක් පාර්ශවයේ තියෙන බලවත් කම මත ඔවුන්ට ඇතිවෙන ඉරණම සහ ඒ ඉරණම වෙනස් කරන්න උසාවියට සත්‍ය පහදලා දෙන නීතිඥයෙකු වටා. අරුතේ අරමුණ චිත්‍රපටිය ගැන කතා කිරීම නොවන නිසා මම මීට එහාට චිත්‍රපටය ගැන කියන්නේ නැහැ. කෙලින්ම ගීතයට යන්නම්. ඒත් ඔබ තවමත් නරඹා නැතිනම් ‘PINK’ නරඹන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා

ගීතය: 
Jeene de Mujhe (ජීනේ දේ මුජේ - මට ජිවත් වෙන්න දෙන්න).....

Yaar
Hat ja zara
Dekh le
Main hoon yahaan

මිතුර, මදකට පැත්තකට වෙන්න, බලන්න මෙතන මම ඉන්නා බව නොපෙනේද?

Meri zindagi hai
Yeh mera jahaan
Tu samjhe yahaan
Tu hi hai badshaah

මේ මගේ ජීවිතය, මේ මගේ ලෝකය...ඔබ හිතන්නේ මේ ලෝකයේ අයිතිකරු ඔබ කියාද?

Jeene de Mujhe
Tu jeene de
Zindagi ka jaam tu peene de

මට ජිවත් වෙන්න දෙන්න, ඔබ මට ජිවත් වෙන්න ඉඩ දෙන්න, මට ජීවිතය රස විඳින්න දෙන්න

Jaisi bhi hoon mujhko
Tu rehne de
Dil mein jo hai
Woh ab kehne de

මම මොනවගේ වුනත්, ඒ විදියට මට ජිවත් වෙන්න දෙන්න
මගේ හදවතේ ඇතිදේ මට දැන් කියන්න දෙන්න

Tujhe kya pata
Meri dil mein hai kya
Jo keh doon toh
Tham jaayega yeh sama

මගේ හදවත කියන්නේ කුමක්ද කියා ඔබ දන්නේ කොහොමද
මගේ හදවතේ තිබෙන දේ කීවොත්, ලෝකය ගල් ගැසේවි (කාලය නවතීවි)

Saath hai mere khuda
Tu samjhe khud ko kya

දෙවියන් මා සමඟයි... ඔබ කවුරුන් කියාද ඔබ සිතාගෙන ඉන්නේ

Zamaane ki parvaah
Na mujhko yahaan
Tu bhool gaya mujhse hai Yeh jahaan

මට මේ ලෝකය කියන දෙයින් වැඩක් නැත...මේ ලෝකයේ පැවත්ම මං නිසා සිදු වෙන බවද ඔබ අමතක කොට ඇත...

ගීතයේ අරුත හරිම කෙටියි. ඒත් ඒකෙන් ලොකු පණිවිඩයක් දෙනවා. මේකේ ‘මම’ කියල හඳුන්වන්නේ චිත්‍රපටයේ එන චරිතයක් නෙමේ. ‘මම’ කියල හඳුන්වන්නේ ‘ගැහැණිය’. අපි දන්නවා මේ සමාජයේ ගැහැණියකට තරුණ දියණියකට තියෙන සමාජ සීමාවන්....ඒවා බොහෝයි. දැන් දැන් වෙනස් වෙමින් යනවා වගේ පෙනුනත්. තරුණියකට කොටට ඇන්දහම පිරිමි ළමයෙක් විහිලු කලොත් වැරැද්ද කොට ගවුම ඇඳපු තරුණියගේ, කාන්තාවක් තනියම ජිවත් වුණොත් ඒක පිරිමියෙක් සමඟ ඕනෑම වෙලාවක ලිංගිකව එක්වෙන්න සුදානමින් ඉන්නවා වගේ බලන එක, මත්පැන් වගේ දෙයක් පානය කරන ගැහැණිය දිහා වපර ඇහෙන් බලන එක, රැකියාව හින්ද රෑ වෙලා නිවසට එන ගැහැණිය ගේ චරිතය අපවිත්‍ර යයි සිතන එක, මේ වගේ ගොඩක් අපේ සමාජයේ මුල් බැසගත්...කාන්තාවක් නොකළ යුතුයි කියල මුල් බැසගෙන තියෙන ආකල්ප. ඒ වගේම ඒවා පිරිමි කරනකොට ඒක බොහෝවිට ‘පිරිමිකම’ නිසා කරන වැඩක් හැටියට හඳුන්වන එක. පිරිමියාව නාවල ගෙට ගන්න විතරයි තියෙන්නේ කියන ආකල්පය.

මේ වගේ දේවල් දැන් අපේ සමාජයෙන් තුරන් වෙන්න කාලය ඇවිත්. මේ සීමාවන් මඟින් අපි රාමුකරන්නේ ලස්සනට ගෙවන්න තියෙන ජීවිතයක් කියන එක අපිට අමතක වෙනවා. ලස්සනට අඳින්න, නිදහසේ ඉන්න, කැමති රැකියාවක් කරන්න, හොඳින් කන්න බොන්න සමාජ ජීවිතයක් ගතකරන්න ගැහැණියත් කැමතියි. යම්කිසි මනුස්සයෙක් සතුටු විය යුතු, නිදහසේ සිටිය යුතු සීමාව මොකද්ද කියල තීරණය කරන්න වෙනකෙනෙක්ට නැතිනම් සමාජයට බැහැ. නමුත් සමාජය එහෙම එකක් අතට අරන් තියෙනවා. අපි ඒකට සංස්කෘතිය කියලත් නමක් දාගෙන ඉන්නවා. හැබැයි තියෙන ප්‍රශ්නේ මේ කතාව පිරිමියාට මාරුවෙද්දී වෙනස් වෙන එක.

මේ ගීතයෙනුත් කියන්නේ ඒකයි. ගැහැණියට නිදහසේ ජිවත් වෙන්න දෙන්න. ඇය ජිවත් වෙන්න ඕන විදිය මොකද්ද කියල තීරණය කරන්න ඔබ කවුද? කියන එකයි.

තව ටිකක් එහාට හිතුවොත්, ගැහැණියකට කෙනෙක් බලෙන් ලිංගික ක්‍රියාවලියක යෙදුනත් ‘දුෂණය’ වුණා කියන්නේ ගැහැණියව. එතකොට අර බලහත්කාරය කරපු කෙනා ඊට කලින් හැඟීම් සහ සිතුවිලි වලින් මානසිකව දුෂණය වෙලා. තමන්ට අකමැති කෙනෙක්ට බලහත් කාරකමක් කරපු නිසා ඊට පසුව ශාරීරිකවත් දුෂණය වෙලා කියල තමයි මට නම් හිතෙන්නේ. එහෙම බැලුවහම ගැහැණිය එක පාරක් දුෂණය වෙනකොට පිරිමියාව දෙපාරක් දුෂණය වෙනවා. බස් එහෙක යනකොට ජැක් එකක් ගහන එක, පාරේ යනකොට පිරිමි ළමයි විසිල් ගහන එක විහිලු කරන එක, රැකියාවක් ගන්න, රැකියාවේ රැඳෙන්න විවිධ ලිංගික අල්ලස් දෙන්න සිද්ධ වෙන එක, ගෙවල් වල තමන්ගේ ස්වාමියාගේ අතින් හිංසනයන්ට ලක්වෙන එක....මේ හැම එහෙකටම ගැහැණිය මුහුණ දෙන්නේ කැමැත්තකින් නෙමේ. මේවා ලොකු පීඩනයක් ඒවාට ලක්වෙන කෙනාට සහ ඒවා අහන්න දකින්න ලැබෙන අයටත්. මේවාට එදිරිව නිතිය ඉස්සරහට ගියත් බොහෝවිට වැඩක් වෙන්නේ නැහැ. සහ හිංසනයන්ට ලක්වූ කාන්තාවන් ගැන තරුණියන් ගැන සමාජයේ තිබෙන ආකල්ප හේතුවෙනුත් මේවා නීතිය ඉදිරියට යන එකත් සිදු වෙන්නේ බොහොම අඩුවෙන්. යුක්තියට ගරු නොකරන නීතියක් බොහෝවිට ප්‍රායෝගිකව උපයෝගී වන රටක, වින්දිතයාට සාධාරණය ඉෂ්ඨ නොවෙන අවදියක අපි ඉන්නේ.

මම මේක කියවන මේ සමුහයේ සහෘදයින්ගෙනුත් ඉල්ලන්නේ....හැමවෙලේම හිතන්න...... මේ ප්‍රශ්නය සංයුක්තව බැලුවහොත් අපට තේරුම් ගත හැකියි, කාන්තාවකට කාන්තාවක් වුනු නිසාම සමාජයෙන් පීඩාවක් තියෙන බව වගේම, පොදු වේ සමාජයේ ආර්ථික සමාජ පීඩනයට පුරුෂයාද හසුවී ඇතිවග. ඉතින් ඔහු මේ පිට කරන්නේ ඒ පීඩනය වෙන්න පුළුවන්. රැකියාවක් නැති තරුණයා බෝක්කුව උඩ, මහපාරේ නිකරුනේ කාලය ගත කරන එක, තෘප්තිමත් නැති ලිංගික ජිවිත ඒ තෘප්තිය විවිධාකාර තාවකාලික ක්‍රම වලින් හොයන එක, තමන්ට අහිමිවූ බලය දුර්වලයාට පෙන්වන එක, වගේ කරුණු මේ පිටුපස තියෙන්න පුළුවන්. මේවාට විසඳුම් ද අපි සෙවීමට පෙළඹී ඇත්තේ තනි තනිව නිසා බොහෝවිට අපිට හමු වන්නේද තාවකාලික විසඳුම්. නමුත් අප කළ යුත්තේ සැවොම එකතුවී මෙවැනි අවභාවිතයන් සමාජයෙන් තුරන් කොට දැමීමයි.
මොහොතක් සිතන්න .......ඔබට මේ ලෝකය තුළ නිදහසේ ජීවත්වීමට කොපමණ අයිතියක් ඇතිද...එම ප්‍රමාණයේම අයිතියක් අනෙකාටද ඇති බව.

ලිපිය නීල් ගුණවර්ධන

No automatic alt text available.