Showing posts with label වනජීවින්. Show all posts
Showing posts with label වනජීවින්. Show all posts

Sunday, January 22, 2017

ලේනම කොටි..


Cryptozoology විශය ගත්තම මිථ්‍යාව සහ ජනප්‍රවාද වලින් වැලලි ගිය කතාන්තර ගොන්නකට විද්‍යාව මුහු කිරීමට දායක වෙන අපුරු විශයක්. පෞද්ගලිකව මම මිථ්‍යාව හඹා යන්නෙකු නෙවෙයි. විශේෂය‍ෙන්ම ලංකාවෙදි cryptozoology විශය පථයට අදාල වෙන / අදාල කරගත හැකි සිදුවීම් පවා මෙහෙය වෙන්නේ මිථ්‍යාවට පණ දෙන අටියෙන් මිසකැ විද්‍යාත්මක අර්ථ නිරූපන සොයා නොවෙයි. ග්‍රීක භාෂාවෙන් κρύπτω / Krypto පදයෙන් තමයි Cryptozoology කියන පදය නිර්මාණය වෙන්නෙ. Krypto ග්‍රීක අර්ථය "සැඟවුනු".. එයින් බිහිවෙනවා Cryptids (සැඟවුනු ජීවීන්) ඒ පදයෙන් බිහිවෙනවා Cryptozoology. Cryptozoology පදයට මන් හිතන්නෙ සිංහල වරණයක් ලබා දෙනවා නම් "ගුප්ත සත්ව විද්‍යාව" ලෙස හැඳින්වීම වඩාත් සාධාරණයි. හිමාලයේ යෙටී, ලොක්නස් විලේ නෙසී, සැස්ක්වැච්, බිග් ෆුට්, චුපක්බ්රා වගේ මාතෘකා සංවාදයට ලක්වෙන්නෙ මේ විෂය‍ෙදි.
ලංකාව ගත්තහම මිථ්‍යා කතා, ජනප්‍රවාද අනන්තවත්. ඔය අතරින් ගුප්ත සත්වවිද්‍යාවට සෘජුවම ඈඳාගත හැකි ප්‍රධාන මාතෘකා තුනක් තියෙනවා. නිත්තෑවෝ, මධ්‍යම කඳුකරේ ඇත්කඳ ලිහිණි ජනප්‍රවාදය සහ ලේනම කොටි. මේකෙන් ලේනම කොටි මාතෘකාව සහ නිත්තෑවන් අතර සෘජු සම්බන්දයක් තියෙනවා. ලේනම කොටි ප්‍රවාදය එතරම්ම ප්‍රචලිත නැති නිසා ඒ ගැන සටහනක් මේ.
ජනප්‍රවාදයට අනුව නිත්තෑවො කියන්නෙ ඇඟ පුරාම ලොමින් වැසුනු මිනිස්සුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා ම්ලෙච්ඡ්ඡ වනචාරීන් පිරිසක්. මොවුන්ගෙන් වඩාත්ම හිරිහැරයට ලක් වෙන්නෙ පානම්පත්තුව අවට විසු වැද්දන් කොඨ්ඨාසයක්. අවසානයේදි මේ වැද්දන් සියල්ලම එකතු වෙලා නිත්තෑවන් ගල් ලෙනකට එලවා දමා පිට වීමට නොහැකි ලෙස අවහිරකො‍ට දින ගනනක් ගිනි තබා නිත්තෑවන් සමූල ඝාතනයට ලක් කරනවා. (මේ වන තෙක් නිත්තෑවන් සිටි බවට විද්‍යාත්මක සාක්ෂි නැත) නිත්තෑවන් ගැන කතාවෙ සාරාංශය එයයි.
නිත්තෑවන් ගිනි තබා විනාශ කල වැදි රැලට ඉන්පසු වෙන්නෙ කුමක්ද? එතනින් තමයි ලේනම කොටි ජනප්‍රවාදය ආරම්භ වෙන්නෙ.
ලංකාවෙ පැරණිම ස්වභාව විද්‍යා සඟරාව වන "Loris" සඟරාවේ1936 වර්ශ පලමු කලාපයේ වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් මහත්මයා ලිපියක් පල කරනවා එක්තරා වැදි රැහැක අවසානය පිළිබඳව. ලේනම ජීවත් වුන වැදි රැහැක පිරිසක් කතරගම පූජා උත්සවයට සහභාගී වී නැවත ගමට පැමිණි පසු තමන් කතරගමදී දුටු අලංකාර පූජා උත්සවය රැහේ අනෙක් අයට විස්තර කිරීමට උත්සහ ගන්නවා. විස්තර කිරීම ප්‍රමාණවත් නොවු බැවින් ඔවුන් අවසානයේදි එකී උත්සවය නැවත රඟ දැක්වීමට උත්සහ දරනවා. කතරගමදි දුටු ආලෝක පූජාවන්, පහන් තෙල් ආදිය සකස් කර ගැනීමට ගෝනුන්, මුවන් ආදිය මරා තෙල් හිඳවා ගත්තත් අවසානයේදි ඒවා ප්‍රමාණවත් නොවුන බැවින් ඌරන් මරා තෙල් හිඳවා උත්සවය නැවත රඟ දක්වනවා. මෙලෙස ඌරු තෙල් මඟින් පහන් දැල් වූ බැවින් ඉන් දෙවියන් කෝපයට පත්ව වැදි රැල නැසීමට අතිශය බියකරු දිවියන් (කොටි) මුදා හරිනවා. අවසානයේදි දිවියන් අතින් විනාශ වන වැදි රැලෙන් දිවි ගලවාගන්නෙ වැදි සොහොයුරන් දෙපලක්. ඔවුන් දිවියන්ගෙන් ගැලවීමට බඹරගස්තලාව ආසන්නයේ ගල්පොත්තක් මුදුනට නගිනවා. මේ ගල තමයි "වැද්දන්ගෙ හෙල"...
මේ කියන පුජා උත්සවය කුමක්ද ? ලේනම සිට කතරගමට යාමට කෙටි මාර්ගයක් තිබෙනවා. පානම්පත්තුවෙ සම්ප්‍රදායක් තමයි කතරගම පෙරහැර පැවැත්වීම. ඔකඳ දේවාලයේ සිට කතගමුව ආයිත්තම්පැලැස්ස වන තෙක් පැමිණෙන මොවුන් පෙරහැරක් ලෙස එතැන් පටන් කතරගමට ගමන් කරනවා. මේ පෙරහැර තමයි පෙරැකී ජනප්‍රවාදයේ එන වැද්දන් පිරිස නරඹා ඇතැයි පැවසෙන පෙරහැර.
වැද්දන් මෙලෙස කොටි ප්‍රහාරයකින් විනාශව ගිය බවට දැක්වෙන එකම මුලාශ්‍රය වෛද්‍ය ස්පිට්ල්ගෙ වාර්තාව පමණක් නොවෙයි. ස්පිට්ල්ගෙ වාර්තාවෙන් දශක කිහිපයකට පසු Loris සඟරාවටම වාර්තාවක් සපයන සී. සෙල්වින් සමරවීර ස්පිට්ල් වාර්තාවට සමාන වාර්තාවක් ඉදිරිපත් කරනවා. එමෙන්ම යටත්විජිත යුගයේ කීර්තිමත් සිවිල් සේවකයකු ලෙස ප්‍රකට හියු නෙවිල් විසිනුත් ඊට සම වාර්තා සටහන් කර තිබෙනවා.
හියු නෙවිල් උපකල්පනය කරනවා වැද්දන් විනාශ වීමට තරම් කොටි ප්‍රහාර දරුණු වීමට හේතුව වැද්දන් විසින් විශාල වශයෙන් දඩයම් කිරීම හේතුවෙන් කොටින්ගෙ ප්‍රධාන ගොදුරු අවම වී ආහාර සඳහා මිනී මසට ලේනම ජීවත්වු කොටින් හුරුවු බවට.
දැන් කොහොමද මේ කතාව නිත්තෑවන්ට සම්බන්ද වෙන්නෙ? කුඩුම්බිගල තපෝවනයෙ ජීවත් වුන තාඹුගල ආනන්දසිරි හිමියන් තම විසිපස් වසරක වන දිවිය ගැන රචනා කරමින් සටහන් කරනවා මෙලෙස විනාශව ගිය වැදි රැහැ නිත්තෑවන් විනාශ කල රැහේ පසුකාලිනයන් බවට. එලෙස නිත්තෑ ප්‍රවාදය සහ වැදි රැහැ සම්බන්ද කරන ආනන්දසිරි හිමියන් වරක් තමන්ට මුණ මහා වන මැද මුණ ගැසුණු දිවියාව විස්තර කරන්නේ අසාමාන්‍ය ලෙස වැඩුණු සත්වයෙක් ලෙසයි. තමන් සිටි ලෙනට නුදුරින් පැමිණ නැවති සිටි දිවියා අනෙක් දිවියන් මෙන් නොව විශාල දිවියෙකු වු බවත්, මුහුණ දෙපස වෛරම් පිහිටි බවත්, සාමාන්‍ය දිවියකුට වඩා දිගු වල්ගයක් පිහිටා තිබු බවත් ආනන්දසිරි හිමියන් සටහන් කරනවා.
දිවියන් යනු කුලෑටි සත්ව විශේෂයක්. මිනිසුන් දුටු විට පසුබසින. මිනිසුන් මඟහැර යෑමට උත්සුක වන සත්ව විශේෂයක් වන නමුත් ආනන්දසිරි හිමියන් දුටු සත්වයා එලෙස එහිමියන් මඟ හැර ගොස් නැත.මඳ වෙලාවක් ආනන්දසිරි හිමියන් දෙස බලා හිඳ නැවත වනයට ගොස් ඇති මේ සත්වයා පිළිබඳව එහිමියන් ප්‍රදේශවාසින්ගෙන් විමසු කල ඔවුන් පවසා ඇත්තේ ඒ සාමාන්‍ය කොටියකු නොව ලේනම කොටියකු බවයි.
ජනප්‍රවාදය නැවතත් අසන්නට ලැබෙන වාර්තාවක් වන්නේ 1953 -57 කාල සීමාව තුල එ.ජනපද තානාපති ලෙස සේවය කල කේ. ක්‍රොව් මහතා තැබු සටහනකින්. එතුමා රුහුණු ජාතික වනෝද්‍යානයට සංචාරය කල අවස්ථාවක යාල සහ බූටෑව සංචාරක බංගලා බාරකරු විසින් එතුමන්ට පවසා ඇත්තේද පෙර සටහන් කල වැද්දන්ගෙ සිද්දියට සර්වසම සිද්ධියක්.
කෙසේ නමුත් වැද්දන්ට යම් විනාශයක් කොටින්ගෙන් සිදුව ඇති බවට මේ සියලු කතා වලින් හෙලි වෙනවා. එමෙන්ම ලේනම ප්‍රදේශය‍ෙ අති බිහිසුණු එමෙන්ම ප්‍රමාණයෙන් විශාල කොටින් ජීවත්වු බවට ජනප්‍රවාද මෙන්ම ඇසින් දු‍ටු සාක්ෂිද බොහෝමයි.
එසේ නම් සත්‍ය ලෙසටම ලේනම‍ෙ, පානම්පත්ව‍ෙ සක්මන් කල බිහිසුණු සත්ව විශේෂයක් සිට ඇත්ද ? ආනන්දසිරි හිමියන් සිය කෘතියෙ නැවත සටහන් කරනවා ලේනම කොටියකු දැක ගැනීමට සිදුකල උපක්‍රමයක් පිළිබඳව. ගස් කඳකට ඇමක් ගැට ගසා දුරින් සිට නිරීක්ෂණය කිරීමේදි ලෙන අසල දුටු සත්වයා නැවත පැමිණි බවට එහිමියන් සටහන් කරනවා.
Panthera pardus kotiya විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සත්ව විශේෂය හැරෙන්නට වෙනත් කොටි පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි නැත. නමුත් ලේනම කොටි යනු කුමන ජීවින් විශේෂයක්ද ? වැද්දන්ට සිදුවුයේ කුමක්ද ?
Possibilities/ විය හැකි දේ පිළිබඳව උපකල්පන
* වැද්දන් යම් පූජාවක් පෙර විස්තර කල පරිදි සිදු කලා නම් සත්ව තෙල් හිඳිමට ඝාතනය කල සතුන්ගෙ ඉවතලන දෑ තම වැදි ගම්මානය අවටම දැමීම නිසා විලෝපිකයන් ආකර්ශනය වූවා විය හැකිය.
* ජේම්ස් එමර්සන් ටෙනට්ගෙ වාර්තා වලට අනුව එකල ගිලී යන නැවකින් පැනගත් බෙංගාල ව්‍යාඝ්‍රයෙක් ත්‍රිකුණාමලය සහ අවට අවස්ථා කිහිපයකම දැකගත හැකි වු බවට වාර්තා ඇත. එසේනම් ලේනම කොටියා ව්‍යාඝ්‍රයෙක්ද ?
* පැරණි රජ දවස සිට රාජසිංහ අවධිය තෙක්ම බෙංගාල ව්‍යාඝ්‍රයන් මෙරටට ගෙන්වා ඇත. ඒ රාජකීය සත්වෝද්‍යාන සඳහා. එසේන්ම් කලකට එපිට එසේ එලියට පැනගත් ව්‍යාඝ්‍ර ගහණයක්ද ?
* එමර්සන් ටෙනට් පවසන ව්‍යාඝ්‍රයා කොටියෙකු සමඟ මුහුම්ව බිහිකල විකෘතියක් ද ලේනම තැති ගැන්වුයේ? එසේ විය හැකිද..? සත්ව විද්‍යාව තුල විශේෂය අර්ථ දක්වනුයේ "අන්තර් අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කල හැකි ලෙස" නමුත් ස්වභාවදහම තුල ව්‍යතිරේක බොහෝමයි.
අ) එසේ නම් කොටියකු හා ව්‍යාඝ්‍රයකු මුහුම්ව ඇතිවු විකෘතියක්ද ? සරු ජනිතයින් නොවුන නිසාද ඔවුන් අද දක්නට නැත්තේ ?
ආ) අඩු සම්භාවිතාවක් ඇතිව එලෙස බිහිවු කොටි-ව්‍යාඝ්‍ර ජාන මුහුම් සරු ජනිතයින් ගේ ජාන ලේනම ප්‍රදේශය‍ෙ කොටි පරපුරට ඇත්ද ?
පිලිතුරු නොමැති ගැටළු. ලේනම යම් අස්වාභාවික යමක් සිදුව ඇති බවට සාක්ෂි එමටය.. නමුත් සත්‍ය කුමක්ද යන්නට කවුරුත් නොදනී.. ජනප්‍රවාදයෙන් විද්‍යාව පෙරා වෙන්කොට ගැනීම ගුප්ත සත්වවිද්‍යාවට අදාල රාජකාරියක්. අනාගතයේදි එසේ පර්යේෂණ මෙහෙය වන්නන්ට තවත් දිශාවක් දක්වනු සඳහා තබපු සටහනක් මේක.
ප.ලි - කාලයක් තිස්සේ ටිකෙන් ටික ලැබෙන වෙලාව මත ඩිවෙලප් කරපු සටහනක්. බස් එකේ කෝච්චියේ එද්දි යද්දි වෙලාව ලැබෙන විදිහට ලියන ලිපිවලින් වැඩිම කාලයක් මෙමෝ එකේ තියන් ඉඳලා පබ්ලිශ් කරන්න හිතන් හිටියත් බැරිවුන එකක්. අද යාන්තන් ඉවර කලා.
© ලිපිය Don Supz
No automatic alt text available.

Thursday, September 8, 2016

හස්ථි පරිණාමය සහ විශේෂ (සංක්ෂිප්ත ලිපියකි)


වසර මිලියන 60 කට පමණ පෙර ක්ශීරපායී පරිණාම වෘක්ෂය තුල නව නැම්මක් හටගන්නෙ වත්මන් හස්ථි පරපුර බිහිවීමේ මුල් පියවරක් ලෙසයි. එකී පරිණාම වෘක්ෂය‍ෙ මුල් පුරුක ලෙස (ප්‍රොබොසිඩියා ගෝත්‍රයේ පලමු පුරුක) ලෙස වඩාත් පිලිගැනීමට ලක්වන ආදිතමයා වන්නේ මොරිතීරියම් (Morethrium) නැමැති සත්වයායි. බාහිර පෙනුමෙන් වර්තමාන හස්ථියෙකුට කිසිදු සමාන කමක් නොදක්වන මෙම සත්වයා පෙනුමින් වඩාත් සමාන කමක් දක්වන්නේ වර්තමානයේ ජීවත්වන ටැපීය (Tapir) සත්ව විශේෂයටයි.
මොරිතීරියම් සත්වයාට දිගු දළ හෝ හොඬවැලක් නොපිහිටි අතර කෙටි වල්ගයක් සහ කුඩා ශරීරයක් හිමිවූවෙකි. ප්‍රථම ෆොසිල සාධක ඊජිප්තුවේ මොරීස් විල අසලින් සොයාගත් බැවින් මොරිතීරියම් නම ලැබීය. මොරිතීරියම් සත්වයන් ජලචර විශේෂයක් වූ අතර හිපපොටේමස් සත්වයන් මෙන් දිනයේ දිගු වේලාවක් ජලය තුල රැඳුනු සත්වයෙකි.
පුරා ජෛව විද්‍යාඤයන්ට අනුව මොරිතීරියම් සත්වයා හා පසුකලෙක පරිණාමය වු හස්ථි විශේෂ අතර පොදු ලක්ෂණ ද්විත්වයකි.
1. කපාලය මත පිහිටි විශාල වායු කුහර
2. යටි හනුවෙන් නෙරා ආ දළ ( මොරිතීරියම් සත්වයාට ඉතා කුඩා දළ පිහිටි බැවින්)
මොරිතීරියම් විශේෂය ක්‍රමික පරිණාමයට ලක්වීමෙන් ප්‍රොබොසිඩියා ගෝත්‍රයේ නොයෙක් විශේෂ බිහිවිය. ඇතැම් ආදි ප්‍රොබොසිඩාවුන් දළ යුග්ම ද්විත්වයකට (උඩු සහ යටි හනුවේ යුගළ බැගින්) හිමිකම් කී බවට ෆොසිල සාධක හමුව ඇත.
ප්‍රොබොසිඩියා ගෝත්‍රය මුල් අවධියේ අප්‍රිකානු මහද්වීපයට පමණක් සීමාව සිටි අතර (වසර මිලියන 26 පෙර මයොසීන අවධියේ) පසුව අනෙකුත් මහද්වීප වලට සංක්‍රමණය වීමක් සිදුව ඇත (ඔස්ට්‍රෙලියානු සහ ඇන්ටාර්ටික් හැර). මයොසීන අවධිය තුල ප්‍රොබොසිඩියා ගෝත්‍රය විවිධත්වයන් වර්ධනය වී හස්ථි විශේෂ 350 ක් පමණ ජීවත්ව ඇති බවට ෆොසිල සාධක සාක්ෂි දරයි. නමුත් හොලොසීන අවධිය‍ෙ අවසන් භාගය වන විට ( මීට වසර 10000 එපිටින්) හස්ථි විශේෂ ප්‍රමාණය දෙක දක්වා පහත වැටී ඇත. එනම් වත්මනදි දැක ගත හැකි අප්‍රිකානු හස්ථීන් (Loxodonta africana) සහ ආසියානු හස්ථීන් (Elephas maximus) විශේෂ එම විශේෂ දෙකයි.
අප්‍රිකානු හස්ථියා විශේෂ යුගලකට ඛණ්ඩනය වේ. එනම්
*අළු පැහැති සැවානා විශේෂය (Loxodonta africana africana)
* තද අළු පැහැ ගත් වනාන්තර විශේෂය ( Loxodonta africana cyclotis)
සැවානා විශේෂය ගොඩබිම ජීවත්වන විශාලතම සත්ව විශේෂය වන අතර වනාන්තර විශේෂය සාපේක්ෂව කුඩා වේ.
ආසියානු අලියා උප විශේෂ ත්‍රිත්වයකට ඛණ්ඩනය වේ.
* ශ්‍රි ලංකා උප විශේෂය ( Elephas maximus maximus )
* මහද්වීපික උප විශේෂය (Elephas maximus indicus)
* සුමාත්‍රානු උප විශේෂය ( Elephas maximus sumatranus)
හස්ථි විශේෂ සියල්ලම පාහේ වත්මනදි වඳව යෑමේ තර්ජනයට මුහුණ පා සිටින අතර සංඛ්‍යා ලේඛන අනුව අප්‍රිකානු අලින් 500000 සහ ආසියානු අලි 30000 පමණ ඉතිරිව සිටී. මේ අතරින් දැඩි තර්ජනයට මුහුණ පා සිටින්නේ ආසියානු විශේෂ වේ.
සියවසකට එපිටින් තායිලන්තය තුල පමණක් සිටි වන අලි ගහණය 100000 ඉක්මවා සිටි අතර වත්මනදි සමස්ථ සංඛ්‍යාව 4000 කි. එයිනුදු 2000 හීලැ අලින් වන අතර ඉතිරිය පමණක් වන අලින් වේ.
හස්ථියකුගේ මස්තිෂ්කය ඉතා සංකීර්ණ වන අතර බුද්ධිය ,මතකය වැනි අංග තුලින් ඉදිරියෙන්ම සිටින ක්ශීරපායී සත්වයෙකි.
හස්ථියකුගේ සමස්ථ ආයු කාලය තුල දත් 6 වරක් හෝ 7 වරක් නැවත හලී හටගනු ලබන අතර අවසන් වාරයෙන් පසු නැවත දත් හට නොගන්නා බැවින් ඇතැම් හස්ථීන් මිය යන්නේ ආහාර ගැනීමට නොහැකිවයි.
* හස්ථිනට දහඩිය දමන්නේ පා ඇඟිලිවල නියපොතු අගටයි
* ආසියානු හස්ථියකුගේ ඉදිරි පාදයේ ඇඟිලි 5 ක් පිහිටන අතර පසුපා වල ඇඟිලි 4ක් පිහිටයි
* හස්ථින්ගෙ ශබ්ද ප්‍රතිග්‍රහණය ඉතා දියුණු අතර 4km දුරින් පිහිටි ශබ්ද හඳුනාගනී
* හස්ථීන් ඉව ලබාගන්නේ හොඬවැල අග්‍රය‍ෙන් ස්පර්ශ කොට එම අග්‍රය මුව තුලට රුවා ගැනීමෙනි
* සාමාන්‍ය ආයු කාලය 55 -60 වන මුත් වාර්තාගත උපරිම කාලය 82 පමණ වේ
* හස්ථි සමාජය මාතෘමුලික ක්‍රමයකි
* ගර්භනී සමය මාස 17 - 24 අතර
* අලුත උපන් පැටවකු 80 -100 kg පමණ වේ
* දිනකට ජලය ලීටර 200 පානය කරයි
* දිනකට 250 kg පමණ ආහාර ගනු ලබයි.

ලිපිය Don Supz

Wednesday, September 7, 2016

පැන්තෙරා පාර්ඩුස් (Panthera pardus) (අපි දන්නේ කොටියා/දිවියා කියලනේ)

පැන්තෙරා පාර්ඩුස් (Panthera pardus)
----------------------------------------------------------
පරිණාමය නැමැති ක්‍රියාවලියෙ අසිරිමත් නිර්මාණ රැස අතුරින් එක් විශිෂ්ඨ නිර්මාණයක් වන්නෙ පැන්තෙරා පාර්ඩුස් විශේෂයයි. කොටියා/දිවියා ලෙස සිංහල භාශාවෙන් හඳුන්වන, ඉංග්‍රීසි බසින් Leopard ලෙසත්, දමිළ බසින් චිරුත්තයි ලෙසත් හඳුන්වනු ලබයි. විවිධ පරිසර තත්වයනට අනුවර්තනය වීමේ හැකියාව අතින් අනභිභවනීය ස්ථානයක් උසුලන දිවියන් ලොව පුරා නිවර්තන වැසි වනාන්තර, කාන්තාර, සැවානා ආදි නොයෙක් පරිසර තත්වයනට විශිෂ්ඨ ලෙස අනුවර්තනය වී ඇති ආකාරය දැක ගත හැකි වේ.
කාර්නිවෝරා (carnivora) ගෝත්‍රයේ පැන්තෙරා (Panthera) ගණයට අයත් වන මෙම සත්ව විශේෂය‍ෙ අනුවර්තන හැකියාවට හොඳම නිදසුන ලොව පුරා විහිදි ඇති විවිධ උප විශේෂ ආකාරයි. 1794 වර්ශයේ සිට 1956 තෙක් ස්වභාව විද්‍යාඥයන් විසින් පැන්තෙරා පාර්ඩුස් උප විශේෂ 27ක් පමණ හඳුන්වා තිබුණ මුත් වර්තමානයේදි පිලිගත් උප විශේෂ 9 කට පමණක් සීමාවී ඇත.
1. අප්‍රිකානු දිවියා (Panthera pardus pardus)
උප සහරා කලාපය නිජබිම කරගත් මෙම උප විශේෂය අප්‍රිකාව තුල පමණක් දැකගත හැකිවේ. අප්‍රිකානු කලාපය තුල අනෙකුත් සුපිරි විලෝපිකයන් හා තරඟයේ යෙදෙමින් සැවනා පරිසර තත්වයනට අනුවර්තිත දිවියක් ගත කරයි. ‍‍පෞරාණික වාර්තා අනුව මුල් නිජබිම උප සහරා කලාපයෙන් ඔබ්බට විහිදී තිබුන නමුත් මේ වන විට එය උප සහරාවට පමණක් සීමාව ඇත
2. ඉන්දියානු දිවියා ( Panthera pardus fusca)
ඉන්දියානු උප මහද්වීපය තුල දැකගත හැකි උප විශේෂයයි. 2008 වර්ශය තුල වඳව යෑමේ තර්ජනයට ලක්වූවන්ගෙ ලැයිස්තුවට IUCN වර්ගීකරණය මඟින් ලැයිස්තු ගත කර ඇත. වාසස්ථාන අහිමි වීම සහ දඩයම මොවුන්ට ඇති ප්‍රධාන තර්ජන වේ. එමෙන්ම උප මහද්වීපය තුල ව්‍යාඝ්‍රයන්, සිංහයන් ආදි සුපිරි විලෝපිකයන් හා තරඟයක් පවතී. ඉන්දීය රජය මොවුන් සංරක්ෂණය කිරීම සඳහා විවිධ වැඩපිළිවෙළ දියත් කොට ඇත
3. අරාබියානු දිවියා (Panthera pardus nimr)
අරාබි අර්ධද්වීපයට සීමාව ඇති මෙම උප විශේෂය වියලි කාන්තාර දේශගුණයට අනුවර්තනය වු උප විශේෂයකි. දැඩි වඳව යාමේ තර්ජනයට මුහුණ පා ඇත. 2006 වර්ශය වන විට සමස්ථ ගහණය 200 පමණ විය. අරාබියානු දිවියා සියළු උප විශේෂ අතුරින් කුඩාම උප විශේෂයයි. ජානමය ලක්ෂණ අතින් වඩාත් සමීප වන්නෙ අප්‍රිකානු උප විශේෂයටයි.
4. පර්සියානු දිවියා ( Panthera pardus ciscauccasia syn. Panthera pardus saxicolor)
දකුණු තුර්ක්මෙනිස්ථානය, උතුරු ඉරානය, ඇෆ්ගනිස්තානයේ ඇතැම් ප්‍රදේශවල වාසය කරයි. මඳක් විශාල උප විශේෂයක් වන අතර සමස්ථ ගහණය 800 -1200 ත් අතර වේ.
5. උතුරු චීන දිවියා ( Panthera pardus japonensis)
උතුරු චීනය නිජබිම කරගත් උප විශේෂ ය. සංඛ්‍යාත්මක දත්ත මඳ සත්වයෙකි
6. අමූර් දිවියා (Panthera pardus orientails)
ගිණිකොණ දිග රුසියාව, චීනයේ ජීලින් ප්‍රාන්තය වාසභූමිය කරගත් උප විශේෂයයි. දැඩි ලෙස වඳව යෑමේ තර්ජනයට ලක්වු විශේෂයකි. වර්තමානයේදි සමස්ථ ගහණය 60 ක් පමණ ඉතිරිව ඇත. දුර්ලභම උප විශේෂය මොවුන් වේ.
7. ඉන්දු චීන දිවියා ( Panthera pardus delacouri)
ගිණිකොණ දිග ආසියාව සහ දකුණු චීනය ආශ්‍රිතව වාසය කරයි. අදික දඩයමට ලක්වන විශේෂයකි. සමස්ථ ගහණය 1000 -2500 අතර අගයක් ගනී.
8. ජාවා දිවියා ( Panthera pardus melas)
මෙම උප විශේෂය ඉන්දුනීසියාවේ ජාවා දූපතට සීමාව ඇත. අලස් පූරවෝ රක්ශිතය තුල උපරිම ගහණය වාර්තා වේ. සමස්ථ ගහණය 250 අාසන්න අගයක් ගනී. නිජබිම අහිමි වීම මොවුන්ට ඇති විශාලතම තර්ජනයයි
9. ශ්‍රි ලංකා දිවියා ( Panthera pardus kotiya)
ලංකාවට පමණක් ආවෙණික උප විශේෂයයි. වඳව යැමේ තර්ජනයට ඇතුලත්ව ඇත. ලංකාව තුල දැකිය හැකි උපරිම විලෝපිකයා බැවින් ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල උප විශේෂයකි. 1956 වර්ශයේදි මෙම විශේෂය හඳුන්වා දෙන ලද්දේ දැරණියගල මහතා විසිනි.

ලිපිය