Showing posts with label Methmalie dissanayake. Show all posts
Showing posts with label Methmalie dissanayake. Show all posts

Monday, November 7, 2016

ලෝකයටම බලපාන ඇමරිකානු ජනපතිවරණය පවත්වන්න විදිය - මෙත්මලි දිසානායක

මේ දවස්වල ඇමරිකාවේ ජනාධිපතිවරණය ගැන විශාල උනන්දුවක් මතුවෙලා තියෙන බව ඔබ දන්නවා ඇති කියා අප සිතනවා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් යන චරිත දෙක නිසාම මේ ජනාධිපතිවරණය ගැන අති විශේෂ වූ අවධානයක් මතුවී තිබෙනවා. ලෝකයේ බලවත්ම රට විදියට ඇමරිකාව සැළකෙන නිසා ඒ රටේ ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් වේද යන්න ගැන බොහෝ දෙනා අවධානයෙන් පසු වෙනවා.
ඇමරිකාවේ ජනාධිපති කෙනෙකු තෝරා පත්කර ගන්නේ ලංකාවේ හරි අනෙක් බොහෝ රටවල හරි වගේ සෘජු ජනතා ඡන්දයෙන්ම නෙවෙයි. ඒ කියන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනිවාර්යයෙන් දිනන්නේ නැහැ. ඇමරිකාව ගොඩ නැගුණේ ෆෙඩරල් රාජ්‍යයක් විදියට නිසා, එක් එක් ප්‍රාන්තවලට යම් වැදගත්කමක් ලැබිය යුතුය යන අදහස පැවතුණා. ඒ අනුව තමයි විධායකය වගේම ව්‍යවස්ථාදායකය හැඩ ගැහුණේ.
අපි කල්පනා කළා ඇමරිකාවේ ජනාධිපති තෝරාගනු ලබන ක්‍රමය ගැන යමක් ඔබට කියන්න . මේක සංකීර්ණ වෙන්න පුලුවනි. ඒ නිසා අපි පුලුවන් තරම් සරලව මේ ගැන කියන්න උත්සාහ කරනවා.

වෙනස් නීති

ඇමරිකාවේ ජනාධිපතිවරණය පවත්වන්නේ සෑම අවුරුදු 4 කට වරක් නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා. මේ නිසා ඡන්දය නොවැම්බර් 02 සිට 08 දක්වා ඕනෑම දවසක පැවැත්වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව මෙවර ජනපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 08 වනදායි
ඇමරිකාවේ ප්‍රාන්ත 50 ක් වගේම වොෂිංටන් අගනුවර ඇතුලත් වන කොළොම්බියා දිස්ත්‍රික්කය ඇතුලත් වෙනවා. ඇමරිකාව ෆෙඩරල් රටක් නිසා එරට අභ්‍යන්තර කටයුතුවලට බලපාන ගොඩක් නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ජනාධිපතිවරණ පවත්වන නීති පවා ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස්. ඒ නිසා ලංකාවේ වගේ එකම නීතියකට අනුව ඡන්දය පැවැත්වෙන්නේ නෑ. ඒ වෙනුවට හැම ප්‍රාන්තයකම ඒවාටම අනන්‍ය නීති තියෙන්න පුලුවන්.

ක්‍රියාවලිය

ඇමරිකාවේ ජනාධිපතිවරණය හරිම දිග ක්‍රියාවලියක්. ඇත්තෙන්ම ඒක පටන් ගැනෙන්නෙ ඡන්දය පවත්වන වර්ෂයට කළින් වසරේ. මූලික වශයෙන් මෙහි පහත පියවර දකින්න පුලුවන්
  1. ඒ ඒ පක්ෂ සිය අපේක්ෂකයා තෝරා ගැනීම
  2. පක්ෂවල ජාතික සම්මේලන
  3. මහජන ඡන්දය
  4. ඡන්ද විද්‍යාලය රැස්වීම
  5. කොංග්‍රස් මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ජනාධිපති නිල වශයෙන් තෝරා ගැනීම .
  6. නව ජනපති දිවුරුම් දීම
ඒ ඒ පක්ෂ සිය අපේක්ෂකයා තෝරා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණක් නොව එක් එක් පක්ෂ විසින් ඒ ඒ පක්ෂවල නීති අනුව ක්‍රියාවට නගන්නක්. එකම පක්ෂය තුළ වුවද එක් එක් ප්‍රාන්තවල දී වෙනස් ක්‍රමවේදයන් මේ සඳහා යොදා ගනු ලබනවා.

මුල් වටයේ ඡන්ද විමසීම් (Primaries)

(2016 ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනය/AP)
(2016 ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනය/AP)
සාමාන්‍යයෙන් ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නන් කළින් වසර අග භාගයේ සිටම කටයුතු පටන් ගන්නවා දකින්න පුලුවනි . මේ අපේක්ෂකයන් අතර ප්‍රාන්ත මට්ටමේ තරඟ පැවැත්වෙනවා. මෙහිදී මුල් වටයේ ඡන්ද විමසීම් (Primaries) හෝ පක්ෂ රැස්වීම් (Caucuses) හෝ මගින් මෙම තරඟ පවත්වනු ලබනවා. එම පක්ෂ විසින් මෙහිදී කරන්නේ ජාතික සම්මේලනයට නියෝජිතයන් තෝරා ගැනීමයි . ඒ ඒ ප්‍රාන්තයට එක්තරා නියෝජිත ප්‍රමාණයක් ලැබෙනවා. එක් එක් අපේක්ෂකයා තමා එම ප්‍රාන්තයෙන් ලබාගන්නා ප්‍රසාදය අනුව යම් නියෝජිත සංඛ්‍යාවක් ලබාගන්නවා.
උදාහරණයක් වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනයට යම් ප්‍රාන්තයකින් නියෝජිතයන් 50 ක් යවන්නේ යයි හිතමු. A නම් අපේක්ෂකයා 25 දෙනෙකුද, 15 දෙනෙකුද, 10 දෙනෙකු දිනාගත්තොත්, ජාතික සම්මේලනයේදී ඒ ඒ අපේක්ෂකයා වෙනුවෙන් ඒ ඒ නියෝජිතයො ඡන්දය දෙනවා.
කොහොම වෙතත් ගොඩක් වෙලාවට ප්‍රාථමික ඡන්ද විමසීමේදීම කෙනෙක් වැඩි නියෝජිත පිරිසක් ලබාගෙන ජයග්‍රහණය කරනවා. මෑත කාළයේ හුඟක් ජනාධිපතිවරණවලදි එහෙම වුණා. ඒ නිසා ජාතික සම්මේලන එතරම් උද්‍යෝගී ඒවා වුනේ නැහැ.
(2016 රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනය/Vanity Fair)
(2016 රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනය/Vanity Fair)
නමුත් ඉතිහාසයේ අවස්ථා ගණනාවක් තියෙනවා පක්ෂයකට මූලික තරඟවලදි එක් අපේක්ෂකයකු තෝරාගන්න බැරිවුනු . ඒ වෙලාවට සම්මේලනයෙදි තමා කෙනෙක්ව තෝරාගන්නෙ. ඒ වෙලාවට සමහර විට හිතන්නෙ නැති කෙනෙක් අපේක්ෂකයා වෙන්නත් ඉඩ නැතිව නෙවෙයි.
ප්‍රධාන පක්ෂ දෙකට අමතරව සමහර පොඩි පක්ෂත් ජාතික සම්මේලන වගේම මූලික ඡන්ද විමසීම් පවා පවත්වනවා.

අපේක්ෂකයාගේ නම ඇතුලත් කර ගැනීම (Ballot Access)

ඇමරිකාවේ පොඩි පක්ෂවලට බලපාන වෙනමම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි එක් එක් ප්‍රාන්තවල ඡන්ද පත්‍රිකාවට තම අපේක්ෂකයාගේ නම ඇතුලත් කර ගැනීම . මේකට කියන්නේ Ballot Access කියලා. ලංකාවේ නම් අපි දන්නවා ජනාධිපතිවරණයකදි ලංකාවටම බෙදන්නේ එකම ඡන්ද පත්‍රිකාවක්. ඇමරිකාවේ මේක ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. මේ පත්‍රිකාවට නම ඇතුලත් කරගන්නට ඒ ඒ ප්‍රාන්තවල තියෙන නීතිත් වෙනස්. සමහර ප්‍රාන්තවල ඒවා ලිහිල්. අනෙක් තැන්වල එහෙම නැහැ.
මේ නිසා සාමාන්‍යයෙන් පොඩි පක්ෂවල අපේක්ෂකයන්ට ඔක්කොම ප්‍රාන්තවල තරඟ කරන්නට අවස්ථාව නැති වෙනවා. මෙවර ලිබර්ටේරියන් පක්ෂයේ ගැරී ජොන්සන් පමණක් ඒ අවස්ථාව ලබාගෙන තියෙනවා. මීට කළින් තුන්වන අපේක්ෂකයකු ඒ අවස්ථාව ලබාගෙන තියෙන්නෙ 2000 දි.

විවාද

(ක්ලින්ටන් – ට්‍රම්ප් අවසන් විවාදය/Getty Images)
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකට සති කිහිපයක් තිබියදී ප්‍රධාන අපේක්ෂකයන් අතර විවාද පවත්වනු ලබනවා. මෙය සම්ප්‍රදායක් විනා මැතිවරණ නීතියක් නොවන බව ඔබ මතක තබා ගත යුතුයි. මෙම සම්ප්‍රදාය ඇරඹුනේ 1960 ජෝන් එෆ්. කෙනඩි සහ රිචර්ඩ් නික්සන් අතර විවාදවලින්. වර්තමානයේ ප්‍රධාන අපේක්ෂකයන් අතර විවාද තුනක්ද ඔවුනගේ උප ජනාධිපති අපේක්ෂක සගයන් අතර එක විවාදයක්ද පවත්වනු ලබනවා. මෙම විවාද විශ්ව විද්‍යාලයක හෝ වෙනත් පොදු ශාලාවකදී පවත්වනු ලබන අතර එක් එක් මාධ්‍ය ආයතන විසින් සංවිධානය කෙරෙනවා.
ජනාධිපතිවරණ විවාදයක් සඳහා සුදුසුකම් ලැබීමට යම් අපේක්ෂකයකු එවකට පවත්වනු ලබන ජනමත විමසුම්වලදී සියයට 15 ක වත් ජාතික මට්ටමේ මනාපයක් ලබාගත යුතුයි . මේ හේතුවෙන් තුන්වන අපේක්ෂකයකුට එම විවාද සඳහා සහභාගී වීම ලෙහෙසි නැහැ . අවසන් වරට තුන්කොන් විවාදයක් පැවැතියේ 1992 දී . ඒ ස්වාධීන අපේක්ෂක රොස් පෙරොට්, ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක බිල් ක්ලින්ටන් අතර යි.
(ක්ලින්ටන් - ට්‍රම්ප් අවසන් විවාදය/Getty Images)
(ක්ලින්ටන් – ට්‍රම්ප් අවසන් විවාදය/Getty Images)

මහජන ඡන්ද විමසීම

(ඇමරිකානුවන් ඡන්දය ප්‍රකාශ කරන අයුරු/USA Today)
(ඇමරිකානුවන් ඡන්දය ප්‍රකාශ කරන අයුරු/USA Today)
කළින් සඳහන් කළ ආකාරයට ජනාධිපතිවරණ මහජන ඡන්ද විමසීම පවත්වන්නේ සෑම වසර හතරකටම වරක් නොවැම්බරයේ පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා. නමුත් දිනය ඇරුණම අනෙක් බොහෝ දේවල් සඳහා බලපාන නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා. සමහර ප්‍රාන්තවල කෝරළයෙන් කෝරළයට පවා පොඩි වෙනස්කම් තියෙනවා.
ඇමරිකාවේ බොහෝ අයට ඡන්ද දවස නිවාඩු දවසක් නෙවෙයි. ඒ නිසාම හැම ප්‍රාන්තයකම කළින් ඡන්දය ලබාදීමේ (early voting) පහසුකම දීල තියෙනව . සමහර ප්‍රාන්තවල මාසයකට වැඩි කාළයක ඉඳන් ඡන්දය දාන්න පුලුවන්. සමහර ප්‍රාන්තවල මේ සඳහා දෙන්නෙ දවස් හතරක පමණ පොඩි කාළයක්. මීට අමතරව විදේශගත ඇමරිකානුවන්, ආරක්ෂක හමුදා සහ වෙනත් ඇතැම් අවශ්‍යතා තියෙන අයට පිට ස්ථානවල ඉඳන් ඡන්දය දාන්න (absentee ballots) ක්‍රමවේදයක් හදල තියෙනව . (අපේ තැපැල් ඡන්ද වගේ).
2008 ජනාධිපතිවරණයෙදි ඡන්දය පාවිච්චි කළ අයගෙන් සියයට 32 ක් ඡන්දය දවසට කළින් ඡන්දය පාවිච්චි කළා.
අපි දන්නවා ලංකාවෙ නම් ඡන්ද පොළ විවෘත කරන්නෙ උදේ 7 ට . වහන්නෙ හවස 4 ට . ඇමරිකාවෙ මේකත් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට , සමහර විට කෝරළයෙන් කෝරළයට පවා වෙනස්. සමහර ප්‍රාන්තවල නියමිත වෙලාව ප්‍රාන්තයටම පොදුයි. සමහර ප්‍රාන්තවල කෝරළවල වෙනස් වෙලාවල් නියම කරල තියෙනව . සමහර තැන්වල ඡන්ද පොළ උදේ 6 ඉඳන් රෑ 10 වෙනකල් වගේ විවෘත කරල තියෙනව .
ඒ විතරක් නෙවෙයි. ඡන්ද පොළ වහද්දි පෝලිමේ කවුරු හරි ඉතිරි වෙලා හිටියොත්, එයාලට ඡන්දය දාන්න දෙනවද නැද්ද කියන එක පවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා.

ඡන්ද විද්‍යාලය (Electoral College)

(2016 ඡන්ද විද්‍යාලය/wikimedia)
(2016 ඡන්ද විද්‍යාලය/wikimedia)
කළිනුත් කිව්වා වගේ ඇමරිකාවෙ ජනාධිපතිවරණය වක්‍ර මැතිවරණයක්. මෙහිදී මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා කෙළින්ම තෝරාගන්නේ නෑ. ඒ වෙනුවට කෙරෙන්නේ ඡන්ද විද්‍යාලයක් (Electoral College) සඳහා නියෝජිතයින් හෙවත් වරකයින් තෝරා ගැනීම . මේ ඡන්ද විද්‍යාලය පත් කෙරෙද්දිත් සමහර ප්‍රාන්තවල නීති රීති වෙනස් වෙන වෙලාවල් තියෙනව .
ඡන්ද විද්‍යාලයේ සාමාජික ගණන 538 ක්. එයින් 535 ක් කොංග්‍රස් මණ්ඩලයේ ඉන්න නියෝජිතයන් සංඛ්‍යාව නියෝජනය කරනවා. ඊට අමතරව කොළොම්බියා දිස්ත්‍රික්කය වෙනුවෙන් තවත් තුන් දෙනකු ඉන්නවා.
සමහරවිට ඔබ අහල ඇති කොංග්‍රස් මණ්ඩලයට හැම ප්‍රාන්තයකින්ම යම් නියෝජිත ප්‍රමාණයක් යන බව . ඇමරිකාවේ හැම ප්‍රාන්තයකින් ම දෙදෙනා ගාණෙ සෙනට් සභාවට 100 කුත්, එක් එක් ප්‍රාන්තයේ ජනගහනය හැටියට පහළ මන්ත්‍රී මණ්ඩලයට 435 දෙනෙකුත් යැවෙනවා. එක එක ප්‍රාන්තයෙන් ඡන්ද විද්‍යාලයට යවන්නෙත් ඒ වගේ ගාණක්. උදාහරණයක් විදියට ඇලස්කාව ගත්තොත් ඒ ප්‍රාන්තයෙන් සෙනට් සභාවට දෙදෙනෙකුත් පහළ මන්ත්‍රී මණ්ඩලයට එක්කෙනෙකුත් නියෝජිතයන් යැවෙනවා. ඡන්ද විද්‍යාලයට ඇලස්කාවෙන් නියෝජිතයන් තුන් දෙනකු යැවෙනවා.
ප්‍රාන්ත 50 න් 48 කදීම වෙන්නෙ එම ප්‍රාන්තය දිනන අපේක්ෂකයාගෙ පක්ෂයට ඡන්ද විද්‍යාල නියෝජිතයන් සියල්ලම නම් කරන්න අවස්ථාව ලැබීමයි. ඒ කියන්නෙ යම් ප්‍රාන්තයක් එක ඡන්දයකින් හෝ දිනන අපේක්ෂකයාගෙ පක්ෂයට සම්පූර්ණ නියෝජිත සංඛාව ලැබෙනවා. ඔබට මතක ඇති 2000 ජනාධිපතිවරණයෙදි ජෝර්ජ් ඩබ්. බුෂ් ෆ්ලොරීඩා ප්‍රාන්තය දිනුවෙ ඡන්ද 537 කින්. ඒත් ඔහු ඒ ප්‍රාන්තය දිනාපු නිසා ඔහුට ඒ කාලෙ ෆ්ලොරීඩාවෙන් පත් කරපු නියෝජිතයන් 25 ම ලැබුණා.
මේන් සහ නෙබ්‍රස්කා ප්‍රාන්තවල මීට පොඩ්ඩක් වෙනස් ආකාරයකින් තමයි ඡන්ද විද්‍යාල නියෝජිතයන් පත් කරන්නෙ. ඒවයෙදි ප්‍රාන්තයේම ඡන්ද ගාණෙන් වැඩි ප්‍රමාණය දිනන අපේක්ෂකයාට නියෝජිතයන් දෙදෙනෙක් ලැබෙනවා (සෙනට් සභාවට පත්වන ගණනට සමානව ). ඉතිරි අයව පත් කරන්නෙ ඒ ඒ ඡන්ද කොට්ඨාශ දිනන කෙනා අනුව .
උදාහරණයක් විදියට නෙබ්‍රස්කා ප්‍රාන්තය ගත්තම , එහි පහල මන්ත්‍රී ආසන තුනක් සිටින හෙයින් මැතිවරණ කොට්ටාශ තුනක් තියෙනව. ඒකෙ පහල මන්ත්‍රී මණ්ඩල ආසන තුනක් තියෙනව . ඒවායේ වෙන වෙනම වැඩිම ඡන්ද ප්‍රමාණය ලබා ගන්නා අපේක්ෂකයාගෙ පක්ෂයට අදාල නියෝජිතයකු පත් කරන්න ලැබෙනවා.
ඡන්ද විද්‍යාලයට පත් කෙරෙන ඕනෑම නියෝජිතයෙකුට තමන් කැමති අපේක්ෂකයකුට ඡන්දය දීමේ හැකියාව සලසා දීමෙන් මෙම ක්‍රමය තවත් සංකීර්ණවී තිබෙනවා. සාමාන්‍යයෙන් එහෙම නොවුනත් එහෙම අවස්ථා නැතිව නෙවෙයි. එම තත්ත්වය මග හැරීමට ප්‍රාන්තවලින් 24ක් නීති පනවලා තියෙනවා. ඒ අනුව තමන් සහය දීමට යන අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය නොදීම එම ප්‍රාන්ත 24 දී දඬුවම් ලැබිය හැකි වරදක්. එම නිසා, මැතිවරණය අවසන් වන විට, ඇතැම් විට සියලු ඡන්ද ගණන් කිරීමටත් පෙර, ජයග්‍රාහකයා පැහැදිලි වෙනවා.
ඡන්ද විද්‍යාලය රැස් වන්නේ දෙසැම්බරයේ දෙවන බදාදාට පසුව එන සඳුදා. ඒ එක තැනකදි නෙවෙයි. ඒ ඒ ප්‍රාන්තවල අගනුවරවලදී. එහෙම එකතු වෙලා ඒ අය ඡන්දය දානවා. ඒ ඡන්ද ඊට පස්සෙ වොෂිංටන් වෙත එවනවා. එම ඡන්ද ගණන් කරන්නේ ඊළඟ මාසයේ මුලදී කොංග්‍රස් මණ්ඩලය විසින්. ඒ අනුව කොංග්‍රස් මණ්ඩලය විසින් නිල වශයෙන් ජයග්‍රාහකයා නම් කරන්නේ මැතිවරණය පැවැත්වූ නොවැම්බරයට පසු එන ජනවාරියේදී.

කොංග්‍රස් මණ්ඩලයේ ඡන්දය

(අපේක්ෂකයන් දෙදෙනා අතර තරඟයේ වර්තමාන තත්වය/BBC)
(අපේක්ෂකයන් දෙදෙනා අතර තරඟයේ වර්තමාන තත්වය/BBC)
යම් විදියකින් හරි ඡන්ද විද්‍යාලයේ ඡන්දවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් එක අපේක්ෂකයකුටවත් ලැබුණෙ නැත්නම් ජනාධිපති තෝරා ගැනීමේ අවස්ථාව එන්නෙ කොංග්‍රස් මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලයට . එතකොට ඒ අය ඡන්දයක් පවත්වලා ජනාධිපති තෝරාගන්නවා. එහෙම අවස්ථාවක් ඉතිහාසයේ වෙලා තියෙන්නෙ 1824 දී පමණයි.
මේ ආකාරයෙන් පත්වෙන ජනාධිපතිවරයා 2017 ජනවාරි 20 වෙනිදා දිවුරුම් දෙන්නට නියමිතයි.
(කවරයේ රූපය/CNN) ලිපය roar.lk අඩවියේ මෙත්මලි දිසානායක

Tuesday, February 9, 2016

..වෙනස..

ඒ 2006 අගෝස්තු මස 7 වෙනිදා ය. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පන්දුවට පහර දෙමින් සිටියේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර දැවී ගියේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් ලබා දීමෙන් වන අතර ඉන් පසුව එළඹියේ අනුග්‍රාහකයන් සඳහා වූ කෙටි විරාමයකි. එම විරාමය අතරතුරදී තරඟයේ විස්තර විචාරකයෙකු වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස්ගේ මුවින් පිටවූවේ මෙවන් වදනකි. "ත්‍රස්තවාදියා ආයෙත් කඩුල්ලක් ගත්තා" (The terrorist has got another wicket). ඔහු 'ත්‍රස්තවාදියා' ලෙස හැඳින්වූවේ ඉස්ලාම් භක්තිකයෙකු වන හෂීම් අම්ලාවය.
විරාමයක් තුලදී කියැවුණත් ජෝන්ස්ගේ එම ප්‍රකාශය අත්වැරදීමකින් දකුණු අප්‍රිකානු තරඟ විකාශය ඔස්සේ එරට නරඹන්නන්ට අසන්නට ලැබුණි. ඉන්පසුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ ඩීන් ජෝන්ස්ගේ Ten Sports ආයතනය හා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසිකිරීමට එම බලධාරීන් තීරණය කළ අතර තරඟාවලිය අතරමැදදීම ජෝන්ස්ට නැවත ඔස්ට්‍රේලියාව බලා යාමට සිදු විය. බලධාරීන් පවසා සිටියේ ජෝන්ස් එම ප්‍රකාශය සිදු කළේ විරාමයක් අතරතුරදී වුවත් තම ආයතනය හා ගිවිසුමක් ඇති පුදගලයෙකු අතින් එවන් ජාතිවාදී වැකියක් කියැවීම තමන්ට අනුමත කළ නොහැකි බවයි.
ඔස්ට්‍රේලියාව බලා යාමට පෙර මාධ්‍යවේදීන් හා අදහස් දැක්වූ ඩීන් ජෝන්ස් එම ප්‍රකාශය තමන් අතින් සිදුවීම පිලිබඳ ඉතාම කණගාටුවන බව පැවසුවේය. ඉස්ලාම් දහමට හෝ හෂීම් අම්ලාට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් තමන් සතුව නොතිබූ බවත් තරඟාවලිය අවසන්වූ වහාම හෂීම් අම්ලා මුහුණට මුහුණ මුණ ගැසී ඔහුගෙන් සමාව ගැනීමට බලාපොරොත්තු වන බවත් ජෝන්ස් කියා සිටියේය.
'පර සුද්දෙකු' වූ ඩීන් ජෝන්ස්ගේ කතාව මොහොතකට පසෙකින් තබා අපි දැන් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. 60 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ගාලු මුවදොර පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළ ගායිකාවක ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ඒ අතරතුර දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන සංඛ අමරජිත් නැමැත්තා අදාළ ගායිකාව උපමා කලේ 'ඤාව් ඤාව් ගානා බැළලියකට' ය. අදාළ ගායිකාවට ගඩොල් බාග වලින් ගැසිය යුතු බවටද ඔහු එහිදී ඉඟි කර සිටියේය. ඔහු එය ඔහුගේ පෞද්ගලික අවකාශයේදී ප්‍රකාශ කර සිටියානම් ගැටළුවක් නැත. නමුත් මේ නිවේදකයා එම ප්‍රකාශය සිදු කළේ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් අතරතුරදී ය.
වැඩසටහනක් අතරතුර කිව යුත්තේ මොනවාද නොකිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ අබමල් රේණුවක තරම්වත් මොළේ කලඳක් තමන්ට නැතැයි මුළු රටටම පෙන්වූ මේ නිවේදකයාගේ නිර්ලජ්ජිත අපහාසයට එරෙහිව මේ රටේ සිටින හැට හුට හමාරක් කලා සංගම්වලින් අඩුම ගානේ මාධ්‍ය නිවේදනයක්වත් නිකුත් කෙරුණේ නැති බව කියන්නේ කණගාටුවෙනි. ගීතයක් පිලිබඳ විවේචනය කිරීම හා එයට පුද්ගලිකත්වය ඈඳා ගනිමින් අපහාස කිරීම යනු දෙකක් බව මේ මහා 'මාධ්‍යවේදීන්' දන්නේම නැත. කෙසේ නමුත් අදාළ ප්‍රකාශය කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය නිසා ඊට පසුව විකාශය වුණ වැඩසටහනකදී ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කිරීමට එම ආයතනයේම නිවේදකයෙකු වූ චතුර අල්විස් කටයුතු කළේය.
තම මුවින් පිටවූ සිත් රිදවන සුළු වැකිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා කශේරුකාවක් 'පර සුද්දෙකු' වන ඩීන් ජෝන්ස්ට තිබූ නමුත් දෙරණේ සංඛ අමරජිත්ලාට ඒවා නොමැත. තමාම පැමිණ ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකොට ඒ වෙනුවට වෙනත් නිවේදකයන් එවන්නේ එබැවින් විය යුතුය.
මේ අප රටේ බහුතරයක් 'මාධ්‍යවේදීන්ගේ' හා මාධ්‍ය ආයතනවල සැබෑ ස්වරූපයයි. ඔවුන් දන්නා දෙයක් නැත. එහෙත් කිසිවක් නොදන්නා බව ඔවුන් පවසන්නේ 'ආඩම්බරයෙනි'. අදාළ වැඩසටහනට පෙර සංඛ අමරජිත්ට කතා කිරීමට යන කාරණය පිලිබඳ අමතර තොරතුරු සොයා බැලීමටවත් වෙලාවක්තිබූ බවක් නොපෙනේ.
ප්‍රසිද්ධ වීමට ඇත්නම් මාධ්‍යවේදියෙකු සතුවිය යුතු සදාචාරය හා සමාජ වගකීම බල්ලාට දමන මොවුන්ට ඔපෙරා ශෛලියෙන් පැරණි ගීයක් ගායනා කළ ගායිකාවකට එරෙහිව ගඩොල් බාග අමෝරා ගන්නට ඇති පදම් වෙලාව තිබුණද මේ වන විට පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් දැක්වූ දක්ෂතා අගය කිරීමට කාලයක් වෙන් කර ගත නොහැක. හරිනම් ගඩොල් බාග එල්ල විය යුත්තේ මෙවන් ඔලමොට්ටලයන්ටය.

ලිපිය 
Methmalie Dissanayake

Monday, February 8, 2016

~සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න~


කඩදාසි කොළයක්‌ අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් මැදින් දෙකට නමන්න. එය නැවතත් නමන්න. මේ ආකාරයට කඩදාසි කොළය පිට පිට පනස්‌හය වතාවක්‌ දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක්‌ තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක්‌ ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක්‌ නොවේ. එවැනි කඩදාසියක්‌ ගෙන එය පනස්‌ හය වතාවක්‌ දෙකට නැමුවහොත් එයින් ලැබෙන කඩදාසි අට්‌ටියේ ඝනකම පොළවේ සිට හ`දට ඇති දුරට සමාන වනු ඇත. ඔබට ඇදහිය නොහැකි මේ අගය ඝනනය කරන ලද්දේ සෝවියට්‌ ගණිතඥ වයි. පෙරල්මාන් විසිනි. අධි වේගයෙන් ඔබ ලක්‌ෂපතියකු කරන බව කියන කූට ජාවාරමක ප්‍රොaඩාව ගණිතමය වශයෙන් වටහාගැනීම ස`දහා ඔබ මේ උදාහරණය සිත්හි තබාගෙන මේ ලිපිය කියවනු මනාය.
----------------------
අරුම පුදුම සල්ලි මැසිම
උත්සාහය තිබේ නම් ඉතා ලේසියෙන් සතියකට ලක්‌ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන අරුම පුදුම ව්‍යාපාර කීපයක්‌ කලක සිට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. මේ ගැන දීර්ඝ හැ`දින්වීමක්‌ නොකළ යුතු තරමටම අද මේ ජාවාරම් රටේ ප්‍රචලිතය. පිරමිඩ ක්‍රමයට අනුව සෝලා පැනල් අලෙවි කිරීම මේ අතරින් වඩා ප්‍රසිද්ධම හා බලවත්ම ජාවාරමකි. එය සිදුකරනු ලබන්නේ අගනුවර පිහිටා ඇති එක්‌තරා සමාගමක්‌ මගිනි. මේ සමාගම මගින් අලෙවි කරන තවත් විවිධ භාණ්‌ඩ, සේවා මෙන්ම මේ හා සමාන ජාවාරම්වල නිරත වෙනත් සමාගම්ද මේ රට තුළ ක්‍රියාත්මක වන අතර, අද වනවිට ඉන් වඩාත්ම ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමය. මේ මගඩිය පිළිබ`ද කලක සිට විවිධ මාධ්‍ය ඔස්‌සේද හෙළිදරව් කර ඇති අතර, මෙවන් ජාවාරම්වල ස්‌වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබේ. එසේ වුවද නීතිය හිල්වලින් රිංගා යමින් මේ ජාවාරම තවමත් මහ දවාලේ ක්‍රියාත්මක වෙයි.
මේ ලිපියේ අරමුණ වන්නේ මෙවන් ව්‍යාපාර ගැන දැනටමත් බොහෝ දෙනා දන්නා කරුනු නැවතත් විස්‌තර කිරීම නොවේ. ඒ වෙනුවට මෙහි අරමුණ වන්නේ මේ ව්‍යාපාර ප්‍රොaඩාවක්‌ වන්නේ කෙසේද යන්න ගණිතමය වශයෙන් පැහැදිලි කරදීමය. එය ඉතා සරල ගණිතමය කාරණයක්‌ වුවද බොහෝ දෙනා ඒ ගැන කල්පනා නොකිරීම මේ ජාවාරම්වලට හසු වීමට ප්‍රධාන හේතුවකි. එහෙයින් ඔබ මේ පිරමිඩකරුවන්ගේ සුරංගනා කතාවලට නොරැවටී සිටීමට අදාල වැදගත්ම තුරුම්පුව වන්නේ මේ සරල ගණිතය කුමක්‌දැයි වටහා ගැනීමය.
-------------------
ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය
විවිධාකාර පිරමිඩ ව්‍යාපාර අතරින් වඩා ප්‍රචලිතම එකක්‌ වූ සෝලා පැනල් ජාවාරම මුල් කරගනිමින් මේ කාරණය පැහැදිලි කරගනිමු. මේ ඊනියා ව්‍යාපාරයට සම්බන්ධ වන ඔබ මුලින්ම කළ යුත්තේ රුපියල් හැටඑක්‌දාස්‌ හත්සීයක්‌ (ඉතා මෑතකදී මේ මිල තවත් ඉහල දමා තිබේ.) ගෙවා සෝලා පැනල් කට්‌ටලය මිලදී ගැනීමය. එහෙත් මෙහි සැබෑ වෙළ`දපල වටිනාකම රුපියල් දසදහසක්‌ පමණ වන අතර මේ උපකරණයේ ප්‍රායෝගික වටිනාකම නොගිණිය හැකි තරම්ය. ඒ මන්දයත් ආලෝකය ඉතා අඩු විදුලි බල්බ හතරක්‌ දැල්වීම ස`දහා පමණක්‌ ප්‍රමාණවත් වන මේ උපකරණයෙන් නිවසක විදුලි බිල අඩු කිරීම ස`දහා කිසිදු ප්‍රමාණවත් බලපෑමක්‌ කළ නොහැකි බැවිනි.
ඒ අනුව පළමුව ඔබ මේ බලු නොවටිනා උපකරණය රුපියල් හැටඑක්‌දහස්‌ හත්සීයක්‌ ගෙවා මිලදී ගත යුතුය. ඊළ`ගට ඔබ කළ යුත්තේ ඔබේ තවත් හිතවතුන් දෙදෙනෙකුට මේ උපකරණ අලෙවි කිරීමය. ඒ දෙදෙනා තවත් දෙදෙනෙකුට මෙය අලෙවි කළ යුතුවෙයි. මේ ආකාරයට අලුතින් මේ ජාවාරමට ඈදෙන සෑම පුද්ගලයෙක්‌ම අවම වශයෙන් නව සාමාජිකයන් දෙදෙනෙකු ඊට ඈදා ගත යුතුය. ඒ අනුව මෙය දෙකේ ගුණාකාරවලින් වැඩිවෙමින් පිරමිඩාකාරව පහතට විහිදෙන අලෙවි ජාලයකි. (රූප සටහන බලන්න) ඊට සම්බන්ධ වී කඩිනමින් පෝසත් වන්නට බලාපොරොත්තු වන අයෙකු= කළ යුතු වන්නේ දෙකේ ගුණාකාර ඔස්‌සේ තමාගෙන් පහතට විහිදෙන මේ ජාලය හැකිතාක්‌ විශාල කිරීමය. හැකි තාක්‌ අලුත් සාමාජිකයන් ජාලයට එකතු කරගැනීමය. එවිට අලුතින් අලෙවිවන සෑම සෝලා පැනල් කට්‌ටලයක්‌ හරහාම කොමිස්‌ මුදලක්‌ එහි ඉහල සාමාජිකයන් අතට පත්වන අතර ඔබට සතියට ලක්‌ෂ පහලව දක්‌වා ඉපයිය හැකි බව කියන්නේ මේ ආකාරයට ලැබෙන කොමිස්‌ මුදල මගිනි.
බැලු බැල්මට මෙය ලස්‌සන කතාවකි. මෙම ව්‍යාපාරය ස`දහා පුද්ගලයන් පොළඹවා ගනු ලබන්නේද මුළුමනින්ම හැ`ගීම්බර කතා සහ සුරංගනා සිහිනමවා පෙන්වමිනි. තර්ක බුද්ධියට, ප්‍රශ්න කිරීම්වලට කිසිදු ඉඩකඩක්‌ නොතබමිනි. කල්පනා කර, කරුණු විමසා තීරණයක්‌ ගැනීමට නව සාමාජිකයන්ට ඇති නිදහස ඉතා කූට උපක්‍රම ඔස්‌සේ උල්ලංඝනය කරමිනි. කිසිවෙකුගේ අවවාද නොතකා ඔවුන් කියන ආකාරයට කටයුතු කළහොත් ඔබට ඉතා කෙටි කාලයකින් අති විශාල ධනවතෙකු විය හැකි බව දහඅතේ දිවුරමිනි. ධනාත්මක චින්තනයද ඈදාගනිමින් සිදුකෙරෙන මේ රැවටිලි කතාවෙන් බොහෝ පුද්ගලයන් මෝහනයට පත්වන අතර, තතු දන්නා අය පවා මුදල් අවශ්‍යතාවය නිසාම මෙය අත්හදා බැලීමට යොමුවෙති. ඇත්තෙන්ම මේ ජාවාරමෙන් පෝසත් වූ පිරිසක්‌ද රටපුරා සිටිති. එසේ නම් මෙහි ඇති අර්බුදය හෝ නරක කුමක්‌ද? අප මීළ`ගට කළ යුත්තේ එA කාරණය අවබෝධ කරගැනීමය.
------------------------
මෙය ප්‍රොaඩාවක්‌ වන්නේ ඇයි?
මෙහි ඇති රූප සටහන විමසිල්ලෙන් අධ්‍යයනය කරන්න. එහි පෙන්වා ඇති අන්දමට මෙම අලෙවි ජාලය පහතට විහිදෙන්නේ දෙකේ ගුණාකාර වශයෙනි. එක, දෙක, හතර, අට, දාසය, තිස්‌දෙක, හැටහතර ආදී වශයෙන් පහතට විහිදෙන මේ සාමාජික සංඛ්‍යාව මුලදී සුළු වේගයකින් වැඩි වුවද, එය පහතට යන විට වැඩිවන්නේ අසීමිත වේගයකිනි. උදාහරණයක්‌ ලෙස මෙහි 20වන ස්‌ථරය තුළ සිටිය යුතු සාමාජික සංඛ්‍යාව පන්ලක්‌ෂ විසි හතරදාස්‌ අසූ අටකි. (524288). ඒ පිරිස තව දෙදෙනා බැගින් සෙවූ විට ඊළ`ග ස්‌ථරයේදී සාමාජික සංඛ්‍යාව දසලක්‌ෂ හතලිස්‌ අටදාස්‌ පන්සිය හැත්තෑ හයක්‌ (10 48576) විය යුතුය. ඊට ඉහල ස්‌ථර සියල්ලේ සිටින මුළු පිරිසද එකට එකතු විට ස්‌ථර විසි එකක්‌ යන විට මේ පිරමිඩයේ සිටිය යුතු මුළු සාමාජික සංඛ්‍යාව විසිලක්‌ෂ අනූහත් දහස්‌ එකසිය පනස්‌ එකකි. (20 97151)මේ ව්‍යාපාරයෙන් සුළු පිරිසකට කඩිනමින් මුදල් උපයාගත හැකිවීමේ රහස මෙන්ම මේ ව්‍යාපාරයේ අර්බුදයට යාමේ හේතුව ඇත්තේද මෙතැනය. ප්‍රායෝගිකව මේ පිරමිඩය වැඩෙන්නේ මේ සංඛ්‍යා එලෙසින්ම සම්පූර්ණ කරමින් නොවේ. එහෙත් එය වේගයෙන් ව්‍යාප්ත වන්නකි. වේගයෙන් වැඩිවන පිරිස නිසා ඉහල සිටින අයගේ ආදායමද වේගයෙන් ඉහල යනවාසේම, ඒ වේගයටම අනුව මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිසද දිනෙන් දින අඩුවී යයි.
ඒ තත්ත්වය කොතෙක්‌ද යත් මේ ව්‍යාපාරය සිදුවන ක්‍රමයට අනුව මේ සාමාජික ජාලය පහතට වර්ධනය වුවහොත් ස්‌ථර විසි පහකදී එය ලංකාවේ ජනගහන මට්‌ටමද ඉක්‌මවා යයි. ස්‌ථර තිස්‌ හතරකදී එය ලෝක ජනගහනයද ඉක්‌මවා යයි. එහි තේරුම වන්නේ මේ ව්‍යාපාරය ව්‍යාප්ත විය යුතු වේගය අනුව ඉතා කෙටි කාලයකදී එයට මේ රටේ මිනිස්‌සු ප්‍රමාණයද නිසැක ලෙසම මදිවන බවය.
මතු සම්බන්ධයි
(ඉසුරු ප්‍රසංග)

Thursday, January 28, 2016

V for Vendetta

"විශ්වාස කරන්න, ඔබ කවරෙක් දැයි මම නොදනිමි. මේ ලිපිය ඔවුන්ගේ තවත් එක් කපටි උපාය මාර්ගයක් නොවන බව ඔබට ඒත්තු ගැන්වීමට ද මට හැකියාවක් නැත. එහෙත් මම එය නොසලකා හරිමි. ඉතින් මේ මම ය.ඔබේ අනන්‍යතාවය නොදැන වුවත් ඔබට ආදරය කරන බව පවසන මම ය.
මා සතුව ඇත්තේ පැන්සල් කොටයක් පමණි. ඔවුන්ට එය සොයාගැනීමට නොහැකි වූවේ ගැහැණියක් වූ මා මගේ සිරුර තුල එය සඟවාගෙන සිටි බැවිනි. සමහරවිට නැවත මෙය ලිවීමට මට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසා කියවන්න.මේ දිගු ලිපියෙන් කියවෙන්නේ මගේ ජීවිත කතාවයි.මා විසින් ලියන ප්‍රථම හා අවසාන චරිතාපදානය මෙය වනු ඇති අතර, දෙවියනි මා එයද ලියන්නේ වැසිකිලි කඩදාසියක් මත ය.
මා උපත ලැබුවේ 1957 වසරේ තදින් වැසි වැටුන සමයකදී ය. වයස එකොළහ ලැබූ පසු අධ්‍යාපනය ලැබීම සඳහා “Girls’ Grammar” විද්‍යාලයටඇතුලත් වූ මට අවශ්‍ය වූවේ නිළියක් වීමට ය.
ඉතා සුකොමල හා සුන්දර මැණික් කටු යුගලක් හිමි ඒ යුවතිය සාරා, මගේ පෙම්වතිය මට මුණ ගැසුනේ ඒ පාසල් සමයේදී ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු දහහතරක් වූ අතර මට අවුරුදු පහළොව සම්පූර්ණ වී තිබුණි. නමුත් වොට්සන් මහත්මියගේ පන්ති කාමරය තුල අපි දෙදෙනාම එකට ඉගෙනුම ලැබුවෙමු. එසේ ඇති වන ආකර්ෂණය ගැටවර වියේ හට ගන්නා ස්වාභාවික සංසිද්ධියක් වන බවත් කාලයාගේ ඇවෑමෙන් එය “යථා තත්වයට” පත්වන බවත් ජීව විද්‍යාව පන්තියේදී හර්ඩ් මහත්මිය පවසන විට මම සිටියේ වීදුරු බඳුනක දැමූ හාවෙකුගේ කළලයක් ලෙස නෙත් යොමාගෙන ය. ඒ පැවසූ සේම ටික කලකට පසු සාරා “යථා තත්වයට” පැමිණි අතර එසේ “යථා තත්වයට” පැමිණීමට මට කිසිදිනෙක හැකියාවක් නොලැබිණි.
ඊට වසර ගණනාවකට පසු 1976 දී තව දුරටත් වෙස් මුහුණක් පැළඳීම මම අත හැර දැමුවෙමි. ක්‍රිස්ටීන් නම් වූ යුවතිය සමඟ මගේ දෙමව්පියන් හමුවට ගිය මම ඇයව ඔවුන්ට හඳුන්වාදුන්නෙමි. ඊට සතියකට පසුව නෘත්‍ය පාඨශාලාවට ඇතුලත් වීමි. ඔවුන්ගේ සියළු සිහින බොඳ කර දැමූ බවට චෝදනා කරමින් මගේ මව හඬා වැටුනා ය
එහෙත් මම එසේ නොසිතමි. මම ඉතා අවංකව මගේ හැඟීම් ඔවුන් ඉදිරියේ පවසා සිටියා පමණි. එය ආත්මාර්ථකාමීත්වයක් වන්නේ කෙසේ ද..?? අප සතුව ඇති ඉතාම වටිනා දෙය වන්නේ ඒ අවංකත්වය පමණි. කෙනෙකුට එය ඉතා සුළු දෙයක් ලෙස පෙනිය හැක. එහෙත් ඒ සුළු ඉඩ කඩ තුල වෙස් මුහුණු නොපැළඳ, සැබෑ ස්වරූපයෙන් නිදහසේ සැරිසැරීමට අපට ඉඩ සැලසෙයි. ඉතින් එය වරදක් යැයි කිසිවෙකුට පැවසිය හැකිද..?
ලන්ඩනය...සැබවින්ම මම ලන්ඩනය තුල සතුටින් ජීවත් වීමි. 1981 දී සින්ඩරෙල්ලා කතාවේ දන්දීනි ගේ චරිතය සඳහා මම රංගනයෙන් දායක වීමි. එය ඒ වර්ගයේ මගේ ප්‍රථමරංගනය විය. මට ඒ ලෝකය පෙනී ගියේ ඉතා අපූර්ව ලෙසටය සෑම මොහොතකදීම වීදි ලාම්පු අතරින් පෙනී නොපෙනී යන කලබලකාරී පිරිස් වලින් සමන්විත වූ ඒ නගරය විවිධාකාරයේ ශබ්ද වලින් පිරී පැවතිණි. මන බඳින සුළු හා පොළඹවන සුළු වුවත් ඒ සියල්ල මැද මට දැනුනේ මහා තනිකමකි. සෑම රාත්‍රියකම සමාජ ශාලා වලට ගිය මුත් මම ඉක්මනින් මුළු ගැන්වෙන සුළු හා අනෙකුන් සමඟ ලෙහෙසියෙන් මුහු නොවෙන වර්ගයේ එකියක වීමි. සතුටු විය හැකි දහසක් දේ තිබූ නමුත් සුවදායක හැඟීමක් නම් කිසිදා එහිදී මට දැනුනේ නැත. මේ නගරයේ ද මා වැනිම ගැහැණුන් හා පිරිමින් බොහෝ දෙනෙක් සිටි අතර ඔවුන්ට උවමනා වූවේ සමරිසි පුද්ගලයන් ලෙසින් ජීවත් වීමට පමණි. ඔවුන්ගේ පරමාර්ථය එය විය. එහෙත් මගේ ජීවිතය සඳහා ඊට වඩා වැඩි යමක් මට අවශ්‍ය විය.
මගේ වෘත්තීය ජීවිතය ඉතා සාර්ථක විය. ප්‍රථමයෙන් චිත්‍රපටවල ඉතාම සුළු චරිත රඟපෑමට අවස්ථාව ලැබුණු අතර අනතුරුව ප්‍රධාන චරිත උදෙසා රංගනයෙන් දායක වීමේ භාග්‍යය මට උදා විය. 1986 දී එසේ මා රංගනයෙන් දායක වූ “The Salt Flats” චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනාගැනීමට අසමත් වූ නමුදු සම්මානයෙන් පවා පිදුම් ලැබීය. මට රූත් මුණ ගැසුනේ එහි රූගත කිරීම් කරන අතර තුරය. අපි එකිනෙකාට දැඩිව ආදරය කළෙමු. ඒ නිසාම එක වහලක් යට ජීවත් වීමටද පටන් ගතිමු. ඒ වසරේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ඇයගෙන් මට ලැබුනේ රෝස මල් ය. එසේ ආරම්භ වූ වසර තුන මගේ දිවියේ ඉමිහිරිම කාලය වන අතර අපේ ජීවිත තුල කිසිදා රෝස මල් වලින් හිඟයක් නම් ඇති නොවීය.
නමුත් 1988 දී යුද්ධය ආරම්හ විය. ඉන් පසුව කිසිදා කිසිවෙකුට රෝස මල් දක්නට නොලැබිණි.
1992 දී ඔවුහු සමරිසියන් සෙවීමට පටන් ගත්හ. ඔවුන් රූත් ව රැගෙන ගියේ ඇය ආහාර මිලට ගැනීමට පිටතට ගිය අවස්ථාවකදී ය. අප වැන්නන් කෙරෙහි ඔවුන් මෙතරම් බියක් දක්වන්නේ මන්දැයි අදටත් මට වටහා ගත නොහැක. ඇගේ ශරීරය සිගරට් කොටවලින් පුළුස්සා දැමුණු අතර මගේ නම හෙළිදරව් කිරීමට ඇයට බල කර තිබිණි. ඉතින් අවසානයේ මා විසින් ඇයව පොළඹවා ගත් බවට වූ ලිපියක් ඇය විසින් අත්සන් කර දී තිබුණි. නමුත් ඒ වෙනුවෙන් මම ඇයට කිසිදා දෝෂාරෝපණය නොකලෙමි.. මම ඇයට ආදරය කලෙමි. එනිසා දොස් පවරන්නේ කෙලෙසද..?
එහෙත් එසේ කිරීම වෙනුවෙන් ඇයටම දොස් පවරා ගැනීම නතර කිරීමට රූත්ට හැකියාවක් තිබුනේ නැත. විශ්වාස කල සියලු අගනාකම් අතහැර දැමීමට සිදුවීම හා අවසානයේ මට ද්‍රෝහී වීම ඇයට දරාගත නොහැකි විය. එම නිසා ඒ සිර මැදිරිය තුලදී ඇය සිය දිවි නසා ගත්තා ය.
ඊට ටික දිනකට පසු ඔවුහු මා කරා ද පැමිණියහ. මා රඟපෑ සියලු චිත්‍රපට පුළුස්සා දමන බවට ඔවුහු මට තර්ජනය කලෝය. මගේ දිගු වරලස බූ ගා දැමූ ඒ මිනිසුන් මගේ හිස වැසිකිලි බඳුනක ඔබමින් සමරිසි ගැහැණුන් පිලිබඳ නොයෙකුත් අසැබි කතා පැවසූහ. මේ ස්ථානයට මා ගෙන ආ පසුව නොයෙක් වර්ගයේ මත්ද්‍රව්‍ය මගේ ශරීරයට ඇතුළු කෙරිනි. දැන් මට කතා කිරීමට තබා මගේ දිව තිබෙන ස්ථානය කොහිදැයි පිලිබඳව ද හැඟීමක් හෝ දැනීමක් නොමැත.
මා වැනිම වූ තවත් ගැහැණියක් මෙහි දී මට මුණ ගැසුණි. ඒ ගැහැණිය, රීටා මීට සති දෙකකට පමණ පෙර මිය ගියා ය. මගේ ඉරණමද එය වන බවත් ඉතා ඉක්මනින් මා ද මියයන බවත් මම දැන් දනිමි. මගේ ජීවිතය මෙවන් බියකරු ස්ථානයකදී අවසන් වෙතැයි මම සිහිනෙකිනුදු සිතා නොසිටියෙමි. නමුත් මට ඒ පිළිබඳව දශමයක තරම් වත් දුකක් නැත. අවුරුදු තුනක් පුරාවට මගේ ජීවිතය රෝස මල් වලින් සැරසී තිබුන අතර ඒ ජීවිතය පිලිබඳ මම කිසිවෙකුගෙන් සමාව අයැදුවේ නැත.ඉතින් දුක් වන්නේ කුමකටද..?
ඉතින් මම මෙහිදී මිය යා යුතුය. එක් දෙයක් හැර ,මගේ ජීවිතයේ සෑම කොටසක්ම, සෑම අඟලක් ම මෙහිදී අවසන් වනු ඇත. ඔව් එක් දෙයක් හැර.
එය ඉතාම කුඩා ය.ඉතා ඉක්මනින් බිඳෙන සුළු ය. එහෙත් අප තුල තිබෙන වටිනාම දෙය ද එයම වන්නේ ය. කිසිදා එය නැති කර නොගැනීමටත්, කිසිවෙකුට එය නොවිකුණා සිටීමටත් අප වග බලා ගත යුතුය. විශේෂයෙන් ඔවුන්ට එය අප කෙරෙන් උදුරා ගැනීමට කිසිදා ඉඩ ලබා නොදිය යුතු ය.
මම ඔබේ නම නොදනිමි. අඩුම තරමේ ඔබ ගැහැණියක් ද පිරිමියෙක් ද කියා හෝ නොදනිමි. ඔබේ මුහුණ දැක ගැනීමට මෙන්ම ඔබත් සමඟ එක් වී කඳුළු සැලීමට හෝ බීම වීදුරුවක් තොල ගාමින් ඔබ හා දොඩමලු වීමට මට කිසිදා අවකාශයක් නොලැබෙනු ඇත. නමුත් මම ඔබට ආදරය කරමි. මෙම අපායෙන් ගැලවීමට ඔබට හැකියාව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. කෙදිනක හෝ ලෝකය මීට වඩා යහපත් ස්ථානයක් වනු ඇති බවත් එදිනට අර කියූ රෝස මල් වල සුවඳ විඳීමට ඔබ සැමට හැකියාව ලැබෙනු ඇති බවත් මම උදක්ම බලාපොරොත්තු වෙමි.ඔබව සිප ගැනීමට හැකියාවක් නොමැති වීම පිලිබඳ ලතැවෙමි."
 ලිපිය  Methmalie Dissanayake 

වර්ජිනියා වුල්ෆ් ලේඛිකාව පිළිබඳව

20 වන සියවසෙහි පහල වූ අග්‍රගණ්‍ය ලේඛිකාවක ලෙස සැලකෙන 1941 මාර්තු 28 දින සිය දිවි නසාගත්තාය.
දරුණු ලෙස විශාදයෙන් පෙළුණු ඇය සිය දිවි නසාගත්තේ කබා සාක්කු වලට බරැති පාෂාණ පුරවාගෙන 'ඌස්' නදියට පැනීමෙන් වන අතර දින 18කට පසු දරුවන් විසින් ඇගේ මළ සිරුර සොයා ගන්නා ලදී
මේ ඊට පෙර ඇය විසින් සිය සැමියා වූ ප්‍රකට ලේඛක ලෙනාඩ් වුල්ෆ් වෙත ලියා තැබූ ලිපියේ පරිවර්තනයකි.
----------------------------------------------------------------------
"ප්‍රියාදරය,
මා නැවත වරක් නිසැකයෙන්ම උමතු භාවයට පත්වීමට යන බැව් මට හැඟේ. මීට පෙර සිදු වූවා සේ නැවත වරක් එවන් එවන් දුෂ්කර සමයකට මුහුණ දීමට අප දෙදෙනාටම හැකියාවක් නොමැති බව මම දනිමි.
මට දැන් විවිධාකාර කටහඬවල් ඇසීමට පටන් ගෙන ඇති අතර සිත එකඟ කරගැනීමේ හැකියාවද මගෙන් ගිලිහී ගොසිනි. ඒ නිසා මා මේ කරන්නේ මේ මොහොතේදී මට කළහැකි හොඳම දෙය යැයි සිතමි.
මේ කාලය තුල කෙනෙකුට ලබා දිය හැකි උපරිම සතුට ඔබ මට ලබා දී ඇත. ඔබ ඇදහිය නොහැකි තරමට සෑම අතින්ම සර්ව සම්පූර්ණ අයෙකු බව කීමට කැමැත්තෙමි.
මේ බියකරු අසනීපය අපේ ජීවිත තුළට ඇතුළු වීමට ප්‍රථම අප දෙදෙනා තරම් සතුටින් විසූ තවත් යුවලක් සිටින්නට ඇතැයි මම නොසිතමි. එහෙත් මට තව දුරටත් සටන් කළ නොහැක. මා නොමැතිව හොඳින් ගෙවිය හැකි ඔබේ ජීවිතය මවිසින් අපායක් බවට පත්කරමින් සිටින බැව් මට දැනේ. ඔබට මා නොමැතිව සතුටින් සිටිය හැකි බව දනිමි.
ප්‍රියාදරය, මෙම සටහන නිසියාකාරව ලිවීමට පවා හැකියාවක් දැන් මට නැත. මට මෙය කියැවිය නොහැක. පැවසීමට අවශ්‍ය වන්නේ මෙයයි. මේ දිවිය තුල මා ලද සෑම සතුටක් වෙනුවෙන්ම මම ඔබට සදාකල් ණයගැති වෙමි.
ඔබ ඉතා ඉවසිලිවන්තව මා සමඟ කටයුතු කළෙහිය. එමෙන්ම ඔබ ඇදහිය නොහැකි තරමේ යහපත් ගුණාංග වලින් යුතු අයෙකු වන අතර එය සැවොම දන්නා කරුණක් බව කීමට කැමැත්තෙමි. ඉදින්. මේ තත්වයෙන් මා ගලවා ගැනීමේ හැකියාවක් තිබූ අයෙකු වී නම් ඒ ඔබම මිස අන් කිසිවෙක් නොවේ. ඔබේ කාරුණිකබව ඉතිරිකොට අන් සියල්ලම මට අහිමි වී ගොසිනි. එහෙයින් තව දුරටත් ඔබේ ජීවිතය විනාශ කරමින් මගෙ ජීවිතය ගෙවීමට මට හැකියාවක් නොමැත.
අප දෙදෙනා තරම් ප්‍රීතියෙන් සිටිය හැකි වූ අන් යුවළක් මෙලොවේ තවත් නැතැයි අදහමි."

ලිපිය
Methmalie Dissanayake ගෙනි