Tuesday, February 9, 2016

..වෙනස..

ඒ 2006 අගෝස්තු මස 7 වෙනිදා ය. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඒ වනවිට පැවැත්වෙමින් තිබූ ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පන්දුවට පහර දෙමින් සිටියේ කුමාර් සංගක්කාරයි. සංගක්කාර දැවී ගියේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් ලබා දීමෙන් වන අතර ඉන් පසුව එළඹියේ අනුග්‍රාහකයන් සඳහා වූ කෙටි විරාමයකි. එම විරාමය අතරතුරදී තරඟයේ විස්තර විචාරකයෙකු වූ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩීන් ජෝන්ස්ගේ මුවින් පිටවූවේ මෙවන් වදනකි. "ත්‍රස්තවාදියා ආයෙත් කඩුල්ලක් ගත්තා" (The terrorist has got another wicket). ඔහු 'ත්‍රස්තවාදියා' ලෙස හැඳින්වූවේ ඉස්ලාම් භක්තිකයෙකු වන හෂීම් අම්ලාවය.
විරාමයක් තුලදී කියැවුණත් ජෝන්ස්ගේ එම ප්‍රකාශය අත්වැරදීමකින් දකුණු අප්‍රිකානු තරඟ විකාශය ඔස්සේ එරට නරඹන්නන්ට අසන්නට ලැබුණි. ඉන්පසුව ඇතිවූ ආන්දෝලනාත්මක තත්වය හමුවේ ඩීන් ජෝන්ස්ගේ Ten Sports ආයතනය හා තිබූ ගිවිසුම වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසිකිරීමට එම බලධාරීන් තීරණය කළ අතර තරඟාවලිය අතරමැදදීම ජෝන්ස්ට නැවත ඔස්ට්‍රේලියාව බලා යාමට සිදු විය. බලධාරීන් පවසා සිටියේ ජෝන්ස් එම ප්‍රකාශය සිදු කළේ විරාමයක් අතරතුරදී වුවත් තම ආයතනය හා ගිවිසුමක් ඇති පුදගලයෙකු අතින් එවන් ජාතිවාදී වැකියක් කියැවීම තමන්ට අනුමත කළ නොහැකි බවයි.
ඔස්ට්‍රේලියාව බලා යාමට පෙර මාධ්‍යවේදීන් හා අදහස් දැක්වූ ඩීන් ජෝන්ස් එම ප්‍රකාශය තමන් අතින් සිදුවීම පිලිබඳ ඉතාම කණගාටුවන බව පැවසුවේය. ඉස්ලාම් දහමට හෝ හෂීම් අම්ලාට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් තමන් සතුව නොතිබූ බවත් තරඟාවලිය අවසන්වූ වහාම හෂීම් අම්ලා මුහුණට මුහුණ මුණ ගැසී ඔහුගෙන් සමාව ගැනීමට බලාපොරොත්තු වන බවත් ජෝන්ස් කියා සිටියේය.
'පර සුද්දෙකු' වූ ඩීන් ජෝන්ස්ගේ කතාව මොහොතකට පසෙකින් තබා අපි දැන් ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. 60 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් ගාලු මුවදොර පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ' ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කළ ගායිකාවක ඇතැමුන්ගේ දැඩි විවේචනයට බඳුන් විය. ඒ අතරතුර දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වන සංඛ අමරජිත් නැමැත්තා අදාළ ගායිකාව උපමා කලේ 'ඤාව් ඤාව් ගානා බැළලියකට' ය. අදාළ ගායිකාවට ගඩොල් බාග වලින් ගැසිය යුතු බවටද ඔහු එහිදී ඉඟි කර සිටියේය. ඔහු එය ඔහුගේ පෞද්ගලික අවකාශයේදී ප්‍රකාශ කර සිටියානම් ගැටළුවක් නැත. නමුත් මේ නිවේදකයා එම ප්‍රකාශය සිදු කළේ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් අතරතුරදී ය.
වැඩසටහනක් අතරතුර කිව යුත්තේ මොනවාද නොකිය යුත්තේ මොනවාද යන්න පිලිබඳ අබමල් රේණුවක තරම්වත් මොළේ කලඳක් තමන්ට නැතැයි මුළු රටටම පෙන්වූ මේ නිවේදකයාගේ නිර්ලජ්ජිත අපහාසයට එරෙහිව මේ රටේ සිටින හැට හුට හමාරක් කලා සංගම්වලින් අඩුම ගානේ මාධ්‍ය නිවේදනයක්වත් නිකුත් කෙරුණේ නැති බව කියන්නේ කණගාටුවෙනි. ගීතයක් පිලිබඳ විවේචනය කිරීම හා එයට පුද්ගලිකත්වය ඈඳා ගනිමින් අපහාස කිරීම යනු දෙකක් බව මේ මහා 'මාධ්‍යවේදීන්' දන්නේම නැත. කෙසේ නමුත් අදාළ ප්‍රකාශය කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය නිසා ඊට පසුව විකාශය වුණ වැඩසටහනකදී ඒ පිලිබඳ කණගාටුව ප්‍රකාශ කිරීමට එම ආයතනයේම නිවේදකයෙකු වූ චතුර අල්විස් කටයුතු කළේය.
තම මුවින් පිටවූ සිත් රිදවන සුළු වැකිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට තරම් ආත්ම විශ්වාසයක් හා කශේරුකාවක් 'පර සුද්දෙකු' වන ඩීන් ජෝන්ස්ට තිබූ නමුත් දෙරණේ සංඛ අමරජිත්ලාට ඒවා නොමැත. තමාම පැමිණ ඒ පිළිබඳව ප්‍රකාශයක් නොකොට ඒ වෙනුවට වෙනත් නිවේදකයන් එවන්නේ එබැවින් විය යුතුය.
මේ අප රටේ බහුතරයක් 'මාධ්‍යවේදීන්ගේ' හා මාධ්‍ය ආයතනවල සැබෑ ස්වරූපයයි. ඔවුන් දන්නා දෙයක් නැත. එහෙත් කිසිවක් නොදන්නා බව ඔවුන් පවසන්නේ 'ආඩම්බරයෙනි'. අදාළ වැඩසටහනට පෙර සංඛ අමරජිත්ට කතා කිරීමට යන කාරණය පිලිබඳ අමතර තොරතුරු සොයා බැලීමටවත් වෙලාවක්තිබූ බවක් නොපෙනේ.
ප්‍රසිද්ධ වීමට ඇත්නම් මාධ්‍යවේදියෙකු සතුවිය යුතු සදාචාරය හා සමාජ වගකීම බල්ලාට දමන මොවුන්ට ඔපෙරා ශෛලියෙන් පැරණි ගීයක් ගායනා කළ ගායිකාවකට එරෙහිව ගඩොල් බාග අමෝරා ගන්නට ඇති පදම් වෙලාව තිබුණද මේ වන විට පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකිකයන් දැක්වූ දක්ෂතා අගය කිරීමට කාලයක් වෙන් කර ගත නොහැක. හරිනම් ගඩොල් බාග එල්ල විය යුත්තේ මෙවන් ඔලමොට්ටලයන්ටය.

ලිපිය 
Methmalie Dissanayake

No comments:

Post a Comment