Thursday, January 28, 2016

V for Vendetta

"විශ්වාස කරන්න, ඔබ කවරෙක් දැයි මම නොදනිමි. මේ ලිපිය ඔවුන්ගේ තවත් එක් කපටි උපාය මාර්ගයක් නොවන බව ඔබට ඒත්තු ගැන්වීමට ද මට හැකියාවක් නැත. එහෙත් මම එය නොසලකා හරිමි. ඉතින් මේ මම ය.ඔබේ අනන්‍යතාවය නොදැන වුවත් ඔබට ආදරය කරන බව පවසන මම ය.
මා සතුව ඇත්තේ පැන්සල් කොටයක් පමණි. ඔවුන්ට එය සොයාගැනීමට නොහැකි වූවේ ගැහැණියක් වූ මා මගේ සිරුර තුල එය සඟවාගෙන සිටි බැවිනි. සමහරවිට නැවත මෙය ලිවීමට මට හැකියාවක් නොලැබෙනු ඇත. ඒ නිසා කියවන්න.මේ දිගු ලිපියෙන් කියවෙන්නේ මගේ ජීවිත කතාවයි.මා විසින් ලියන ප්‍රථම හා අවසාන චරිතාපදානය මෙය වනු ඇති අතර, දෙවියනි මා එයද ලියන්නේ වැසිකිලි කඩදාසියක් මත ය.
මා උපත ලැබුවේ 1957 වසරේ තදින් වැසි වැටුන සමයකදී ය. වයස එකොළහ ලැබූ පසු අධ්‍යාපනය ලැබීම සඳහා “Girls’ Grammar” විද්‍යාලයටඇතුලත් වූ මට අවශ්‍ය වූවේ නිළියක් වීමට ය.
ඉතා සුකොමල හා සුන්දර මැණික් කටු යුගලක් හිමි ඒ යුවතිය සාරා, මගේ පෙම්වතිය මට මුණ ගැසුනේ ඒ පාසල් සමයේදී ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු දහහතරක් වූ අතර මට අවුරුදු පහළොව සම්පූර්ණ වී තිබුණි. නමුත් වොට්සන් මහත්මියගේ පන්ති කාමරය තුල අපි දෙදෙනාම එකට ඉගෙනුම ලැබුවෙමු. එසේ ඇති වන ආකර්ෂණය ගැටවර වියේ හට ගන්නා ස්වාභාවික සංසිද්ධියක් වන බවත් කාලයාගේ ඇවෑමෙන් එය “යථා තත්වයට” පත්වන බවත් ජීව විද්‍යාව පන්තියේදී හර්ඩ් මහත්මිය පවසන විට මම සිටියේ වීදුරු බඳුනක දැමූ හාවෙකුගේ කළලයක් ලෙස නෙත් යොමාගෙන ය. ඒ පැවසූ සේම ටික කලකට පසු සාරා “යථා තත්වයට” පැමිණි අතර එසේ “යථා තත්වයට” පැමිණීමට මට කිසිදිනෙක හැකියාවක් නොලැබිණි.
ඊට වසර ගණනාවකට පසු 1976 දී තව දුරටත් වෙස් මුහුණක් පැළඳීම මම අත හැර දැමුවෙමි. ක්‍රිස්ටීන් නම් වූ යුවතිය සමඟ මගේ දෙමව්පියන් හමුවට ගිය මම ඇයව ඔවුන්ට හඳුන්වාදුන්නෙමි. ඊට සතියකට පසුව නෘත්‍ය පාඨශාලාවට ඇතුලත් වීමි. ඔවුන්ගේ සියළු සිහින බොඳ කර දැමූ බවට චෝදනා කරමින් මගේ මව හඬා වැටුනා ය
එහෙත් මම එසේ නොසිතමි. මම ඉතා අවංකව මගේ හැඟීම් ඔවුන් ඉදිරියේ පවසා සිටියා පමණි. එය ආත්මාර්ථකාමීත්වයක් වන්නේ කෙසේ ද..?? අප සතුව ඇති ඉතාම වටිනා දෙය වන්නේ ඒ අවංකත්වය පමණි. කෙනෙකුට එය ඉතා සුළු දෙයක් ලෙස පෙනිය හැක. එහෙත් ඒ සුළු ඉඩ කඩ තුල වෙස් මුහුණු නොපැළඳ, සැබෑ ස්වරූපයෙන් නිදහසේ සැරිසැරීමට අපට ඉඩ සැලසෙයි. ඉතින් එය වරදක් යැයි කිසිවෙකුට පැවසිය හැකිද..?
ලන්ඩනය...සැබවින්ම මම ලන්ඩනය තුල සතුටින් ජීවත් වීමි. 1981 දී සින්ඩරෙල්ලා කතාවේ දන්දීනි ගේ චරිතය සඳහා මම රංගනයෙන් දායක වීමි. එය ඒ වර්ගයේ මගේ ප්‍රථමරංගනය විය. මට ඒ ලෝකය පෙනී ගියේ ඉතා අපූර්ව ලෙසටය සෑම මොහොතකදීම වීදි ලාම්පු අතරින් පෙනී නොපෙනී යන කලබලකාරී පිරිස් වලින් සමන්විත වූ ඒ නගරය විවිධාකාරයේ ශබ්ද වලින් පිරී පැවතිණි. මන බඳින සුළු හා පොළඹවන සුළු වුවත් ඒ සියල්ල මැද මට දැනුනේ මහා තනිකමකි. සෑම රාත්‍රියකම සමාජ ශාලා වලට ගිය මුත් මම ඉක්මනින් මුළු ගැන්වෙන සුළු හා අනෙකුන් සමඟ ලෙහෙසියෙන් මුහු නොවෙන වර්ගයේ එකියක වීමි. සතුටු විය හැකි දහසක් දේ තිබූ නමුත් සුවදායක හැඟීමක් නම් කිසිදා එහිදී මට දැනුනේ නැත. මේ නගරයේ ද මා වැනිම ගැහැණුන් හා පිරිමින් බොහෝ දෙනෙක් සිටි අතර ඔවුන්ට උවමනා වූවේ සමරිසි පුද්ගලයන් ලෙසින් ජීවත් වීමට පමණි. ඔවුන්ගේ පරමාර්ථය එය විය. එහෙත් මගේ ජීවිතය සඳහා ඊට වඩා වැඩි යමක් මට අවශ්‍ය විය.
මගේ වෘත්තීය ජීවිතය ඉතා සාර්ථක විය. ප්‍රථමයෙන් චිත්‍රපටවල ඉතාම සුළු චරිත රඟපෑමට අවස්ථාව ලැබුණු අතර අනතුරුව ප්‍රධාන චරිත උදෙසා රංගනයෙන් දායක වීමේ භාග්‍යය මට උදා විය. 1986 දී එසේ මා රංගනයෙන් දායක වූ “The Salt Flats” චිත්‍රපටය වැඩි ප්‍රේක්ෂක පිරිසක් දිනාගැනීමට අසමත් වූ නමුදු සම්මානයෙන් පවා පිදුම් ලැබීය. මට රූත් මුණ ගැසුනේ එහි රූගත කිරීම් කරන අතර තුරය. අපි එකිනෙකාට දැඩිව ආදරය කළෙමු. ඒ නිසාම එක වහලක් යට ජීවත් වීමටද පටන් ගතිමු. ඒ වසරේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ඇයගෙන් මට ලැබුනේ රෝස මල් ය. එසේ ආරම්භ වූ වසර තුන මගේ දිවියේ ඉමිහිරිම කාලය වන අතර අපේ ජීවිත තුල කිසිදා රෝස මල් වලින් හිඟයක් නම් ඇති නොවීය.
නමුත් 1988 දී යුද්ධය ආරම්හ විය. ඉන් පසුව කිසිදා කිසිවෙකුට රෝස මල් දක්නට නොලැබිණි.
1992 දී ඔවුහු සමරිසියන් සෙවීමට පටන් ගත්හ. ඔවුන් රූත් ව රැගෙන ගියේ ඇය ආහාර මිලට ගැනීමට පිටතට ගිය අවස්ථාවකදී ය. අප වැන්නන් කෙරෙහි ඔවුන් මෙතරම් බියක් දක්වන්නේ මන්දැයි අදටත් මට වටහා ගත නොහැක. ඇගේ ශරීරය සිගරට් කොටවලින් පුළුස්සා දැමුණු අතර මගේ නම හෙළිදරව් කිරීමට ඇයට බල කර තිබිණි. ඉතින් අවසානයේ මා විසින් ඇයව පොළඹවා ගත් බවට වූ ලිපියක් ඇය විසින් අත්සන් කර දී තිබුණි. නමුත් ඒ වෙනුවෙන් මම ඇයට කිසිදා දෝෂාරෝපණය නොකලෙමි.. මම ඇයට ආදරය කලෙමි. එනිසා දොස් පවරන්නේ කෙලෙසද..?
එහෙත් එසේ කිරීම වෙනුවෙන් ඇයටම දොස් පවරා ගැනීම නතර කිරීමට රූත්ට හැකියාවක් තිබුනේ නැත. විශ්වාස කල සියලු අගනාකම් අතහැර දැමීමට සිදුවීම හා අවසානයේ මට ද්‍රෝහී වීම ඇයට දරාගත නොහැකි විය. එම නිසා ඒ සිර මැදිරිය තුලදී ඇය සිය දිවි නසා ගත්තා ය.
ඊට ටික දිනකට පසු ඔවුහු මා කරා ද පැමිණියහ. මා රඟපෑ සියලු චිත්‍රපට පුළුස්සා දමන බවට ඔවුහු මට තර්ජනය කලෝය. මගේ දිගු වරලස බූ ගා දැමූ ඒ මිනිසුන් මගේ හිස වැසිකිලි බඳුනක ඔබමින් සමරිසි ගැහැණුන් පිලිබඳ නොයෙකුත් අසැබි කතා පැවසූහ. මේ ස්ථානයට මා ගෙන ආ පසුව නොයෙක් වර්ගයේ මත්ද්‍රව්‍ය මගේ ශරීරයට ඇතුළු කෙරිනි. දැන් මට කතා කිරීමට තබා මගේ දිව තිබෙන ස්ථානය කොහිදැයි පිලිබඳව ද හැඟීමක් හෝ දැනීමක් නොමැත.
මා වැනිම වූ තවත් ගැහැණියක් මෙහි දී මට මුණ ගැසුණි. ඒ ගැහැණිය, රීටා මීට සති දෙකකට පමණ පෙර මිය ගියා ය. මගේ ඉරණමද එය වන බවත් ඉතා ඉක්මනින් මා ද මියයන බවත් මම දැන් දනිමි. මගේ ජීවිතය මෙවන් බියකරු ස්ථානයකදී අවසන් වෙතැයි මම සිහිනෙකිනුදු සිතා නොසිටියෙමි. නමුත් මට ඒ පිළිබඳව දශමයක තරම් වත් දුකක් නැත. අවුරුදු තුනක් පුරාවට මගේ ජීවිතය රෝස මල් වලින් සැරසී තිබුන අතර ඒ ජීවිතය පිලිබඳ මම කිසිවෙකුගෙන් සමාව අයැදුවේ නැත.ඉතින් දුක් වන්නේ කුමකටද..?
ඉතින් මම මෙහිදී මිය යා යුතුය. එක් දෙයක් හැර ,මගේ ජීවිතයේ සෑම කොටසක්ම, සෑම අඟලක් ම මෙහිදී අවසන් වනු ඇත. ඔව් එක් දෙයක් හැර.
එය ඉතාම කුඩා ය.ඉතා ඉක්මනින් බිඳෙන සුළු ය. එහෙත් අප තුල තිබෙන වටිනාම දෙය ද එයම වන්නේ ය. කිසිදා එය නැති කර නොගැනීමටත්, කිසිවෙකුට එය නොවිකුණා සිටීමටත් අප වග බලා ගත යුතුය. විශේෂයෙන් ඔවුන්ට එය අප කෙරෙන් උදුරා ගැනීමට කිසිදා ඉඩ ලබා නොදිය යුතු ය.
මම ඔබේ නම නොදනිමි. අඩුම තරමේ ඔබ ගැහැණියක් ද පිරිමියෙක් ද කියා හෝ නොදනිමි. ඔබේ මුහුණ දැක ගැනීමට මෙන්ම ඔබත් සමඟ එක් වී කඳුළු සැලීමට හෝ බීම වීදුරුවක් තොල ගාමින් ඔබ හා දොඩමලු වීමට මට කිසිදා අවකාශයක් නොලැබෙනු ඇත. නමුත් මම ඔබට ආදරය කරමි. මෙම අපායෙන් ගැලවීමට ඔබට හැකියාව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. කෙදිනක හෝ ලෝකය මීට වඩා යහපත් ස්ථානයක් වනු ඇති බවත් එදිනට අර කියූ රෝස මල් වල සුවඳ විඳීමට ඔබ සැමට හැකියාව ලැබෙනු ඇති බවත් මම උදක්ම බලාපොරොත්තු වෙමි.ඔබව සිප ගැනීමට හැකියාවක් නොමැති වීම පිලිබඳ ලතැවෙමි."
 ලිපිය  Methmalie Dissanayake 

2 comments:

  1. මම V for Vendetta film එක බලලා තියෙනවා.වෙනස් film එකක්.නමුත් වැලරිගේ ලියුම මගේ හිතට පුදුම විදියට දැනුනා.ඇත්තටම කියනවනම් මාව කම්පනයකට පත් කිරිමට ඒක සමත් උනා

    ReplyDelete