Wednesday, January 18, 2017

අද වැනි දවසක ( 1961 ජනවාරි 17) - සහන් කසිර

වසර 56 ට පෙර අද වැනි දවසක ( 1961 ජනවාරි 17) කොංගෝ ජනරජයේ මහජන ඡන්දයෙන් පත් වූ පළමු අගමැතිවරයා වූ පැට්‍රිස් ලුමුම්බා වෙඩි තබා ඝාතනය කෙරිණ. කොංගෝ ජාතික පෙරමුණට නායකත්වය සපයමින් තම මව්බිම බෙල්ජියමේ යටත් විජිතභාවයෙන් මුදාගන්නට සටන් කළ මේ මිනිසාගේ උත්සාහය සාර්ථක විය. 1960 ජූනි මස 30 වැනිදා කොංගෝ ජනරජය නිදහස් රාජ්‍යයක් බවට පත් වේ. නමුත් සය මසක් ගතවන්නට ප්‍රථම පැට්‍රිස් ලුමුම්බා අබිරහස් අන්දමින් ඝාතනය වේ. ඔහුගේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව අදටත් හෙළි නොවූ කරුණු කාරණා බොහෝය.
Image may contain: 1 person, close-upබෙල්ජියමෙන් නිදහස ලබන කොංගෝ ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පැට්‍රිස් ලුමුම්බා පත්වන්නේ 1960 වසරේ ජූනි මස 24 වැනිදා ය. නමුත් සැප්තැම්බර් 14 වැනිදා වන විට එම රජය පෙරළා දැමීමට තරම් කොංගෝව දෙස උකුසු ඇස් හෙළා සිටි අදිසි බලවේගයන් ප්‍රබල වේ. කෝංගෝ ජනරජයේ එක් ප්‍රදේශයක් වූ කටන්ගාහි පාලනය බෙදුම්වාදීන් පිරිසක් නතුව තිබූ අතර මේ සියලුම කුමන්ත්‍රණ පසුපස ඔවුන් විය. කටන්ගා යනු විදෙස් බලවතුන්ගේ උකුස් ඇස් වලට හසුව තිබූ සම්පත් ආකරයකි. දියමන්ති , යුරේනියම් , තඹ , රේඩියම් , ටින් සහ කොබෝල්ට් වැනි ඛනිජ සම්පත් වලින් අනූන වූ කටන්ගා ව බෙල්ජියානු සමාගම් විසින් හූරා කනු ලැබූ අතර ලුමුම්බා ප්‍රමුඛ රජයේ අදහස වූයේ සෝවියට් රජයේ උපකාරයෙන් එහි පාලනය අත්පත් කරගැනීම ය.
සැප්තැම්බර් 14 වැනිදා රජය පෙරළීමෙන් අනතුරුව නිවාස අඩස්සියට පත්වන පැට්‍රිස් ලුමුම්බා නිදහස් කරන ලෙස සෝවියට් රජය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය කෙතරම් ඉල්ලීම් සහ නියෝග පැනවුවද ඉන් පලක් නොවිණ. හමුදා පාලකයින් සහ බෙල්ජියානු නිළධාරීන් ට ලුමුම්බා මැඩලීමේ දැඩි උවමනාවක් තිබිණ.
පැට්‍රිස්
පැට්‍රිස් ලුමුම්බා ඝාතනය කර ඇතැයි යන රාවය පැතිර ගිය නුමුදු කොංගෝ පාලකයින්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. පෙබරවාරි 13 වැනිදින කටන්ගානු ගුවන් විදිලි නාලිකාවකින් ඒ බව පැවසේ. ලුමුම්බා සහ තවත් දෙදෙනෙක් නිවාස අඩස්සියෙන් පැන යනවිට ගම්වාසීන්ගෙන් පහර කා මිය ගොස් ඇතැයි එයින් කියවිණ. නමුත් සත්‍යය කිමෙක්දැයි දන්නා කොංගෝ වැසියන් කුපිතව වීදි බැස විරෝධතා දක්වන්නට විය.
පසුව හෙළිදරවු වූ ආකාරයට කටන්ගාවේ අති දුෂ්කර ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන එන ලුමුම්බා සහ තවත් දෙදෙනෙකු අප්‍රිකානු භටයින් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණ. අණ දෙන නිළධාරීන් ලෙස කටයුතු කර තිබුණේ බෙල්ජියානු පොලිස් භටයින් දෙදෙනෙකි. ඒ වනවිට කටන්ගාව ස්වයං පාලනයක් ගෙනගිය හෙයින් එහි පාලකයා ද ලුමුම්බා ඝාතනයට දායක වී ඇත. අගලකට දැමූ මළ සිරුරු සති කිහිපයකට පසු නැවත වරක් ගොඩගෙන රොඩේෂියාවට ආසන්න බිම්කඩකට ගෙන යයි. කුණු වෙමින් තිබූ මළ සිරුරු තුන කුඩා කැබලි වලට කපන කොංගෝ හමුදාව සල්ෆියුරික් අම්ලය යොදා ඒවා දිය කර හැරි බව ද සඳහන් ය. මේ සියල්ලම ලුමුම්බාගේ ඝාතන්යෙන් නිදහස් වීමටය.
1961 ජනවාරි 17 වෙනිදා කොංගෝවට නිදහස සොයා ගිය පැට්‍රිස් ලුමුම්බා මෙලොවින් සමු ගන්නේය. පෙබරවාරි 21 වැනිදා ගව් දහස් ගණනකින් එහා දුර රටක් වූ රුසියාවේ මිත්‍රත්ව සරසවිය පැට්‍රිස් ලුමුම්බා සරසවිය ලෙස නම් කෙරෙන්නේ ඔහුගේ වියෝව සිහි කරනු පිණිසය.
සැබෑ මිනිසුන් වෙඩි තබා කෑලි කපා හෝ දියකර හැරිය නොහැකි බව අපට පවසන්නේ කොංගොවේ සිටි ලුමුම්බා ය. එය සනාතන සත්‍යක් බව සිහිකර දෙන්නේ රුසියාවේ ලුමුම්බා සරසවිය ය.

Monday, January 16, 2017

ත්‍රි ගෝජස් ඩෑම් - Three Gorges Dam - Thilina L.Dissanayake

අද සටහන ලොව විශාලතම විදුලි බලාගාරය ගැන.
🚤🚤🚤🚤🚤🚤🚤🚤🚤🚤🚤🚤
යැංසි නදිය හරස් කරමින් ඉදිවි තිබෙන මෙම ත්‍රි ගෝජස් වේල්ල මිහිමත ඉදිවු විශාලතම කොන්ක්‍රිට් නිර්මාණයයි. මෙහි විශාලත්වය කොපමණද යත් කි.මි. 2ක දිගකින් යුක්තයි, තට්ටු හැටක පමණ උසක් තිබෙනවා. කම්කරුවන් 40000ක් වසර 17 පුරා මේ ඉදිකිරිම සදහා දායක වී තිබෙනවා. 20000MW විදුලියක් නිපදවිමේ හැකියාව මෙම බලාගාරයට තිබෙනවා. අපේ වික්ටොරියා බලාගාරය මෙන් සිය ගුණයක ධාරිතාවයක්.
මෙම බලාගාරයේ විදුලිය උත්පාදනය කිරිම සදහා කොටස් තුනකට බෙදා තිබෙනවා. ටබයින 32 ක් මගින් විදුලිය උත්පාදනය කෙරෙනවා. මේ එක් ටබයිනයක මිල ආසන්න වශයෙන් $50Mn ක් වනවා. එනයින් හිතාගන්න පුළුවන් මේ ව්‍යාපෘතියේ වටිනාකම කොතරම් වෙන්න ඇතිද? ඔබම සිතා බලන්න. යැංසි නදියේ ජලය කොන්ක්‍රිට් ටියුබ් හරහා ගෙනයමින් ටබයින වෙත යොමු කෙරෙනවා. විද්‍යුත් චුම්භක උත්ප්‍රේරණය මගින් මෙහිදි නිපදවන විදුලිය කොතෙක් ද යත් චීනයේ කෝටි 6 ක පමණ ජනතාවකට මෙහි විදුලිය සෑහෙනවා.
ඉංජීනේරුවන් මුහුනදුන් ප්‍රධානතම අභියෝගය වී ඇත්තේ යැංසි නදිය මෙම ඉදිකිරිම සදහා තාවකාලිකව නතර කරගන්නේ කෙසේද යන කාරණයයි. ගෝජස් වේල්ල පිටුපස ජලය එකතු වු පසු අක්කර 150,000 යටවී යනු ඇති බවට ඔවුන් විශ්වාස කලා. ඒ අනුව ලක්ෂ 10ක් පමණ ජනතාව වෙනත් භූමියක් වෙත ගෙනයෑමට සිදුව තිබෙනවා. ස්ටොන් කොෆර් ඩැම් (තාවකාලික වෙල්ලක්) ඉදිකිරිමෙන් කොටසින් කොටස් ජලය ඉවත් කරමින් වේල්ලේ මුල් කොටස් දෙක නිමවා පසුව ඉතිරි කොටසට පස් පිරවිමෙන් අනතුරුව කොන්ක්‍රිට් කොෆර් ඩැම් එකක් ඉදිකිරිම තුලින් අවසන් කොටසේ ඉදිකිරිම අවසන් කර තිබෙනවා. 2006 වසරේදී ටොන් 109 ක ඩයිනමයිට් පිරවිමෙන් අනතුරුව මෙම කොන්ක්‍රිට් තාවකාලික වේල්ල පුපුරවා හැර තිබෙනවා.
දෙවනුව ඉංජිනේරුවරුන් කොන්ක්‍රිට් භාවිතය පිළිබද සැලකිලිමත් වීමට සිදුව තිබෙනවා. එයට හේතු වී තිබෙන්නේ කොන්ක්‍රිට් තුල තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවෙමින් උශ්ණත්වය ඉහල යාමයි. මෙමගින් වේල්ල පුපුරා යාමට ඉඩක් තිබෙනවා. කොන්ක්‍රිට් ටොන් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් ගෝජස් වේල්ලට යොදාගැනිමට නියමිතව තිබු නිසා ඉංජිනේරුවන්ට මේ සදහා ක්‍රියාවලියක් නිර්මාණය කරන්නට සිදුවි තිබුණා. මේ නිසා අමුද්‍රව්‍ය සීතල කිරිමට අමතරව සීතල ජල ප්‍රවාහ කොන්ක්‍රිට් කෙ‍රෙන ප්‍රදේශය තුල නිර්මාණය කරන්නට සිදුව තිබෙනවා. මීට අමතරව පොලව ශක්තිමත් කිරීම සදහා පොලව තුලට අධි පීඩන පොම්ප මගින් ඝන මිටර් 200,000 ක ග්‍රවුට් (සිමෙන්ති මිශ්‍රණ) විදිමට සිදුව තිබෙනවා.
ඕනෑම වේල්ලක සිදු වියහැකි දෙයක් නම් පහලට ගලා යන ජලය මගින් පාදම ඛාදනයට ලක්වීමයි. මෙය වැලැක්විම සදහා වාන් දොරටු 46 ක් මගින් ජලය පහලට ගෙනවුත් 100m ඈතට විදිනවා. කුඩා ජල බිදු බවට පත්වන ජල ප්‍රවාහයට කල හැකි කාර්‍යය ප්‍රමාණය ඒ අනුව අඩුවනවා.
මිලගට ඉංජිනේරුවන්ගේ ඉදිකිරිම් කටයුත්ත වුවේ යැංසි නදියේ දිනකට ගමන් කරමින් තිබු විශාල නැව් 170ක් පමණ වේල්ලේ අනික් පසට යොමු කරවන මාර්ගය තැනිමයි. මෙය මෙහි තෙවන රූපයෙන් දක්වා තිබ‍ෙනවා. මෙහිදි නැව් ගමනාගමනය සදහා වන ලොව විශාලතම ඇළ දොර නිර්මාණය කරන්නට ඉංජිනේරුවන්ට සිදුව තිබෙනවා. නැව් එසවීමට කොන්ක්‍රිට් කුට්ටි වලින් භාරය කරන ලද එලිවෙටර් ක්‍රමයක් යොදාගෙන තිබෙනවා.
📍📍📍📍📍📍📍📍📍📍📍
The Public Square සමුහය පැත්තටත් ගිහිල්ල බලන්න යාලුවනේ හොද දැනුම් ලිපි එකතුවක් එතන තිබෙනවා.
නැවත ලිපියකින් හමුවෙමු එනම් ජයවේවා.!

ලිපිය Thilina L.Dissanayake
👋👋👋👋👋👋👋👋👋
Image may contain: outdoor
No automatic alt text available.
Image may contain: outdoor

වසර 38 ට පෙර අද වැනි දවසක...

Image may contain: 4 people, people standing ඉරාන රාජ වංශයේ අවසාන රජු , එනම් ෂා රජු ඉස්ලාමීය අරගලය හමුවේ බියවැද ජීවිතාරක්ෂාව පතා ඉරානයෙන් පලා යයි. ටෙහෙරානයෙන් පිටව යන ෂා රජු සහ ඔහුගේ භාර්යාව වූ ෆාරා ඩිබා අධිරාජිණිය ඊජීප්තුවේ අස්වාන්හි රැකවරණ ලැබූහ.

පර්සියානු බසින් ෂා ( Shah) යන යෙදුමේ අර්ථය වන්නේ ඉරාන රජු හෝ රජුන්ගේත් රජ යන්නය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇංග්ලෝ සෝවියට් ආක්‍රමණිකයන් විසින් එවකට ඉරානය පාලනය කළ රීසා ෂා රජුව (Reza Shah) පළවා හරින ලදි. ඔහුගේ පුත් කුමරු වූ මොහොමඩ් රීසා ෂා පහ්ලවි (Mohammad Reza Pahlavi) 1941 වසරේ දී එනම් වයස අවුරුදු 22 දී ඉරානයේ රජු ලෙස කිරුළු දරයි. ඔහු ඉරානය සැබෑ වෙනසකට ලක් කළ රජෙක් ලෙස අවිවාදිතව හැඳින්විය හැකිය. රට නවීකරණය කිරීම සහ තෙල් සමාගම් පුද්ගලීකරණය කිරීම සිදුවන අතරවාරයේ ඔහු සතුවවෙනත් දැවැන්ත සංවර්ධන අරමුණු ද විය. ඔහුගේ තෙවැනි බිරිඳ වූ ෆාරා ඩිබා රැජිණ (Farah Diba) හට අසීමිත බලයක් හිමිව තිබූ අතර ඇය කාන්තා අයිතීන් වෙනුවෙන් වඩාත් නිදහස් ස්වරූපයකින් කටයුතු කළාය. බටහිරකරණයට නැඹුරුව සිටි බැවින් ඇය විටෙක ෆර්දාව පැළඳීමෙන්ද වැළකී සිටියාය.
මේ සියලුම සිදුවීම් අතරවාරයේ ෂියා මුස්ලිම් ව්‍යාපාරිකයින් ෂා රජු කෙරේ කලකිරෙන්නට විය. රජු ඇමෙරිකාවට හා ඊශ්‍රායලයට ගැති බවට රට තුළින්ම චෝදනා නැගිණ. ආග්‍රාමාත්‍ය මොහොමඩ් මොසක්ඩෙක් ද ෂා රජුට පිටුපා ගිය අතර වරින්වර ඉස්මතු වන කොමියුනිස්ට් විරෝධතා මර්දනය කිරීමට රජුගෙන් අණ ලැබිණ. 1971 වසරේ පැවති ඉරාන රාජ්‍යයේ දෙදහස් පන්සිය වැනි සංවත්සර සැමරුම ෂාහ් රජුගේ පාලනයේ කණකොකා බවට පත් විය. ඇමරිකානු ඩොලර් මිලියන සියයක් ඉක්මවා වියදම් කර මහේශාඛ්‍ය උත්සවාංගනයක් සහ සංදර්ශනයක් දියත් විණ. එම උළෙලේ වූ සියලුම කටයුතු බටහිරකරණයට ලක්ව තිබූ අතර ලොව කිසිදු රටකට නොදෙවෙනි ලෙස එය සංවිධාන කර තිබිණ. මේ වියදම් පිළිබඳව නැගෙන විරෝධය නොතකා තම දැඩි මතයේම රැඳී හුන් ෂා රජු එම සංවත්සරය පිළිබඳ මහත් තෘප්තියෙන් පසුවිය.
1976 වර්ෂයේ දී ඉරානයේ සම්ප්‍රදායික දින දර්ශනයට අත තබන ෂා රජු එතෙක් පැවති වසරේ පළමු දිනය වෙනස් කරයි. එතෙක් පර්සියානු දින දර්ශනයේ වසරේ පළමු දිනය ලෙස සැලකුණේ ශුද්ධ වූ මහම්මුද්තුමා මක්කම සිට මදීනාව වෙත සංචාරය කළ දිනය ය. නමුත් පර්සියාවේ ආරම්භක රජු වන මහා සයිරස් රජුගේ උපන් දිනය වසරේ පළමු දිනය ලෙස නම් කරන ෂා රජු තම රාජ්‍යත්වයේ මිනී පෙට්ටියේ අවසාන ඇණය තමා අතින්ම ගසා ගැනීමට කටයුතු කළේය. සම්ප්‍රදාය සහ ආගමික විශ්වාස සමග රජු දක්වන මුරණ්ඩු භාවයෙන් කුපිත වන රටවැසියන් ගේ විරෝධතා මැඩපැවැත්වීමට නොහැකි තැන හෙතම ඊජිප්තුවට පලා යන්නේය. ඊජිප්තු ජනපතිව සිටි අන්වර් අල් සදාත් තම ඉරාන මිතුරා වෙත පිහිට වෙයි. '
නමුත් කිරුළ අහිමි වීමත් සමගම ෂා රජු ට අත්වන්නේ නොපැතූ අවාසනාවන්ත ඉරණමකි. මොරොක්කෝවේ සහ බහාමාස් හි වරින් වර සැඟවෙමින් ජීවත් වූ ඔහු ඇතුළු රජ පවුලට ඇමරිකාවේ දොරගුළු විවර වන්නේ නැත. එතෙක් මිතුරෙක්ව සිටි ජනපති ජිමී කාටර් ගෙන් ඔවුන් වෙත කිසිදු සහයෝගයක් නොලැබෙන අතර රෝගාතුරව ප්‍රතිකාර ලැබීමට ඇමරිකාවට පැමිණි ෂා රජුට රටතුළ රැඳී සිටීමටවත් අවස්ථාව උදා නොවීය. රෝගීව , කායිකව සහ මානසිකව දුබලව සිටි ඉරානයේ අවසාන රජතුමා 1980 වසරේ දී පිටුවහලෙක් ලෙසින් ඊජිප්තුවේ කයිරෝ නුවරදී මිය යන්නේය. එවකට ඔහුට වයස අවුරුදු හැටක් වූවා පමණකි.
Image may contain: 2 people, people sitting and close-upඉරානයේ අවසන් රජු දුක්ඛිත ඉරණමට මුහුණ දෙද්දී රාජකීයත්වය අහිමි වූ ඔහුගේ දරුවන් පස් දෙනා ලොව පුරා විසිර යති. බාලම දියණිය 2001 වසරේදී ඖෂධ අධිමාත්‍රාවකින් මෙලොව හැර යද්දී ධූරාවලියේ දෙවැනි තැනට සිටි ඔටුන්න හිමි රීසා පහ්ලවි කුමරු 2011 වසරේදි සියදිවි නසාගනී.
පාලනය පැවතෙන තෙක් ලොවම වසඟ කළ කිරීටය සතු මහිමය බලය අහිමි වූ කල්හි අබැටක් නොවටින බව අපට පසක් කරදෙන්නේ ඉරානයේ අවසාන රජු වූ ෂා රජු විසිනි. ඔහු ඊජීප්තුවේදී මියයන්නේ රජෙක් ලෙස නොව පිටුවහල් කළ ඉරාන ජාතිකයෙක් ලෙසින්ම පමණකි.

Thursday, December 8, 2016

මූගල් අධිරාජ්‍ය - චාමර සුමනපාල


(1)


බොහෝ දෙනෙක් එතරම් තේරුම් නොගත්තා වුනත් දිල්ලිය ඓතිහාසික ස්මාරක විශාල ප්‍රමාණයක් තියෙන නගරයක්. අපි කියනවා නෙ ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින් කියල​. 1857 ඉන්දියානු මහ කැරැල්ලෙන් පස්සෙ බ්‍රිතාන්‍යයන් දිල්ලිය විනාශ කරපු හැටි ගැන ලිව්වොත් ඉතිහාසය පිළිබඳ පොඩි හෝ හැඟීමක් තියෙන මිනිස්සු වැලපේවි. ඒ නිසා තමා විලියම් ඩැල්රිම්පල්ගෙ "ද ලාස්ට් මෝගල්" පොතට විචාරයක් ලියාපු කුෂ්වන්ත් සිං ලිව්වෙ "මේ පොත සියලු දිල්ලිවාසීන්ගේ නෙතට කඳුලක් ගෙනෙනු ඇත​" කියල​. නමුත් ඒ ඉතිහාසය ලියැවෙනවා හරි අඩුයි. ඒ වෙනුවට බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කැරලි ගහපු අයගෙ කුරිරුකම් තමයි කියැවෙන්නෙ. එහෙමයි ඉතිහාසය ලියැවෙන්නෙ.
අද දකින රතු බලකොටුව කියන්නෙ මූගල් රතු බලකොටුවෙ ශේෂයක් පමණයි. මූගල් රතු බලකොටුව කියන්නෙ වෙනමම නගරයක් වගේ (1780 දි රතු බලකොටුවෙ චිත්‍රයක් මෙහි පින්තූරයෙන් දැක්වේ). දිල්ලියෙන් අද ඉතිරි වෙලා තියෙන පෞරාණික අංග බොහොමයක් එහෙම ඉතිරි වුනේ ඒවා බ්‍රිතාන්‍ය හමුදා විසින් සිය අවශ්‍යතා සඳහා යොදාගත්තු නිසා. ඒ තියෙන එව්වත් විකාර බවට පත් කරලා. උදාහරණයක් වෙන්නෙ හුමායුන්ගෙ සොහොන​. ඒකෙ මූගල් උද්‍යානය වෙනුවට ඉංග්‍රීසි උද්‍යානයක් ඇති කළා.

 
දැනට ඉතිරි වෙලා තියෙන ස්මාරකත් විනාශ වෙනවා බොහොම ඉක්මනින්. නගරය ප්‍රසාරණය වෙද්දි.
(2)

මේ කවුද​? සරලම උත්තරේ මේ මහල්ලෙක්. ඇත්තම කිව්වොත් අවුරුදු 82 ක් වයස​, දත් හැලිච්ච මහල්ලෙක්. හැබැයි එක්තරා තීරණාත්මක මාස හතරක දස දහස් ගණනක් මිනිස්සුන් ගෙ බලාපොරොත්තුව වුනේ මේ මහල්ලා. නමින් දෙවැනි බහදූර් ශා හෙවත් සෆාර්. අවසන් මූගල් අධිරාජයා, ඒ කියන්නෙ "ද ලාස්ට් මූගල්"

ඉන්දියානු මහ කැරැල්ල දිල්ලියෙදි පරාජය වුනාට පස්සෙ දිල්ලියත් එහි වූ ප්‍රභූ පවුල්වල අයත් විනාශ කරාට පස්සෙ, එහෙම නැත්නම් පලවා හැරියාට පස්සෙ සෆාර් නඩු විභාගයකට ලක් කළා. එයින් වරදකරු වුනාට පසුව ගත්තු ඡායාරූපයක් තමයි මේ.

මේ නඩු විභාගය ඇත්තෙන්ම විකාර වූ පදනමක් මත කෙරුණ එකක්. බහදූර් ශා රාජ්‍යද්‍රෝහී චෝදනාවට තමා ලක් වුනේ. නමුත් ඒ චෝදනාවත් එහෙමපිටින් ම වැරදියි. මොකද​, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන් දියා වෙළෙඳ සමාගම ඉන් දියාවේ කටයුතු කළේ මෝගල් අධිරාජ්‍යයාගෙ සේවකයො විදියට​. ඇත්තම තත්ත්වය එහෙම නොවුනට​, නීතිමය තත්ත්වය එහෙමයි. එහෙව් එකේ, අධිරාජයාගෙ සේවකයො අධිරාජයා රාජ්‍යද්‍රෝහී වුනා කීම විහිලුවක්.

අනෙක් අතට ඔවුන් ඉදිරිපත් කරපු තර්කය වුනේ සෆාර් හැදුවෙ ඉස්ලාමීය අධිරාජ්‍යයක් හදන්න කියන එක​. ඒකට අවුරුදු ගාණක් ඔහු සැලසුම් කළා ලු. ඇත්ත කාරණේ, ඉන්දියානු මහ කැරැල්ල පටන් ගත්ත අය අතරෙ වැඩියම හිටියෙ හින්දු උසස් කුලවල අය​. ඒ අය සිය කැරැල්ල නීත්‍යානුකූල එකක් බව පෙන්වන්නයි සෆාර්ගෙ උදව් හොයාගෙන ආවෙ. ඔවුන් සෆාර්ට බල කළා...

ඇත්තම කාරණේ සෆාර් කවදාවත් අධිරාජයෙක් වුනේ නැහැ. අනෙක ඔහු කවියෙක් මිසක් අධිරාජයෙක් වෙන්න අවශ්‍ය දැඩි බව තිබ්බ කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඔහු හින්දු, මුස්ලිම් සමගිය අගය කරපු කෙනෙක්. තමන්ට වින කරපු අයට පවා බොහොම ඉවසිල්ලෙන් සළකපු කෙනෙක්. ඔහු අන්තවාදී වෙච්ච වෙලාවල්, කුරිරු වෙච්ච වෙලාවල් නොතිබුණා නෙවෙයි. ඒත් ජීවිතේ වැඩි කාළයක්, ඊටත් වඩා අධිරාජයා වෙච්ච අවුරුදු 20, අසරණ මනුස්සයෙක් විදියට ගත කළ කෙනෙක්.

ඔහු දිල්ලියෙන් ඈතට පළවෙනියෙම්ම ගියේ 1858. ඒ රැන්ගූන් නුවරට පිටුවහල් කරපු වෙලාවෙ. ඔන්න ඕකයි අවසන් මූගල් අධිරාජයාගෙ බලේ තරම​.

Friday, December 2, 2016

"කියුබානු මිසයිල් අර්බුදය 02" Cuban missile crisis part 02 - සයිබර වරිගේ උන්ඩියා


ශීතල යුද්දය කියන්නෙ මොකක්ද? එහි ආරම්භය කෙබඳුද කියන එක මම මුලින්ම විස්තර කරා.....ඉන් පසුව සිතියමක් ඇසුරෙන් උත්තර ධ්‍රැවය ට ඉහළින් පවත්වා ගත් සෝවියට් සහ ඇමරිකානු අන්තර් මහාද්වීපික මිසයිල පරාවක්‍රය (Trajectory) ගැන කථා කරා....
දැන් අපි මේ දෙවනි කොටසෙන් න්‍යෂ්ඨික යුද ශීර්ෂ ගැන, ඒවායේ විකාශය සහ 1962 වසරේ කියුබානු මිසයිල අර්බුද සමය වනවිට ඇමරිකානු සහ සෝවියට් බළ කඳවුරු දෙකේ න්‍යෂ්ඨික අවි ව්‍යාප්තිය ගැන කථා කරමු....
න්‍යෂ්ඨික අවියක් කියන්නෙ මොකක්ද?.....මේ ප්‍රශ්ණයට පිළිතුරු දීමේදී අපි බලන්න ඕන මේකෙන් මෙතරම් විශාල ශක්ති ප්‍රමාණයක් මුදා හරින ආකාරය....
න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා...
                                      1. න්‍යෂ්ඨික විඛණ්ඩනය - Nuclear Fission 


2. න්‍යෂ්ඨික විලයනය ( සම්පර්කය / සම්පර්කණය ) - Nuclear Fusion




අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක හෝ නැත්නම් ගුවන් යානයක සිට මාර්ගෝපදේශන උපකරණ වලින් තොරව හෙළන ගුරුත්වාකර්ෂණ බෝම්බයක
මේ ක්‍රමවේදයන් දෙකම න්‍යෂ්ඨික අවි වල භාවිතා කරනවා....ඒ අනුව ඒ අවිත් -
1. විඛණ්ඩන යුද ශීර්ෂ - Fission Weapons / Fission Warheads
2. විලයන යුද ශීර්ෂ - Fusion Weapons / Fusion Warheads
වශයෙන් වෙන් කර හඳුනා ගන්න පුලුවන්
පරමාණුවක න්‍යෂ්ඨියේ ධන ආරෝපණයක් සහිත ප්‍රොටෝන සහ නිශ්ක්‍රීය ආරෝපණයක් සහිත නියුට්‍රෝන තිබෙන බව ඔබ හැම කෙනෙක්ම දන්නවා....ප්‍රොටෝන ගණන අනුව තමයි එම න්‍යෂ්ඨිය අයත් පරමාණුව අයත් වන මූල ද්‍රව්‍ය තීරණය කරන්නෙ .... ඒ වගේම නියුට්‍රෝන ගණන අනුව එම මූලද්‍රව්‍යයේ සමස්ථානිකය තීරණය කෙරෙනවා...
න්‍යෂ්ඨික යුද ශීර්ෂ වල ( ඒ කියන්නෙ ප්‍රහාරක ශක්ති විමෝචනය සිදු කරන අවි ශීර්ෂය ) බහුලවම හමුවන විකිරණශීලී මූල ද්‍රව්‍ය තමයි යුරේනියම් කියන්නෙ.....මේ යුරේනියම් ස්වභාවික තත්වයේ සුලභව පවතින්නේ කියන සමස්ථානිකයෙන් ( Isotope) .....මෙහි න්‍යෂ්ඨියේ ප්‍රොටෝන 92 ක් තිබෙනවා.....නියුට්‍රෝන 146 ක් තිබෙනවා....ඒ දෙකේ එකතුවෙන් තමයි එම යුරේනියම් සමස්ථානිකයේ පරමාණුක භාරය හෙවත් Atomic Weight නිර්ණය වෙන්නෙ....ඒ අනුව 92+146 = 238 ලෙස අපට සොබා දහම තුළ හමුවන යුරේනියම් මූලද්‍රව්‍ය ලෙස 99% ක් අවස්ථා වලදි මුණ ගැසෙන යුරේනියම් - 238 සමස්ථානිකයේ පරමාණුක භාරය ( Atomic Weight ) පවතිනවා......ඉතිරි 1% ක් වගේ අවස්ථා වලදි 92+143 = 235 ලෙස ( නියුට්‍රෝන 143 ) පරමාණුක භාරය පවතින යුරේනියම් - 235 සමස්ථානිකය හමුවනවා....මෙතනදි බලන්න, මේ යුරේනියම් සමස්ථානික දෙකේම න්‍යෂ්ඨික ප්‍රොටෝන අගයන් සමානයි ... ඒ කියන්නෙ 92..... නියුට්‍රෝන සංඛ්‍යාවේ වෙනසෙන් තමයි සමස්ථානිකය තීරණය වෙන්නෙ......
දැන් අපි බලමු මෙයින් විඛණ්ඩන යුද ශීර්ෂයක ක්‍රියාදාමය මොන වගේද කියලා -
අපි 1945 වසරේ අගෝස්තු 6 වැනිදා හිරෝෂිමාවට හෙළන ලද Little Boy ගුරුත්වජ බෝම්බයේ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කරලා බලමු.....Image result for little boy nuclear bomb
අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක හෝ නැත්නම් ගුවන් යානයක සිට මාර්ගෝපදේශන උපකරණ වලින් තොරව හෙළන ගුරුත්වාකර්ෂණ බෝම්බයක ( Unguided Gravity Bomb ) ශක්ති විමෝචක පිපිරවීම සිදු කරන කොට්ඨාශයේ එහෙමත් නැත්නම් කුටීරයේ ස්ථාන දෙකක, බොහෝ විට කෙළවරවල් දෙකක යුරේනියම් යම් ප්‍රමාණයකින් තබා තිබෙනවා....ඒ තැන්පත් කර තිබෙන ප්‍රමාණය න්‍යෂ්ඨික "දාම ප්‍රතික්‍රියාවක්" ( Nuclear Chain Reaction) සිදුකළ හැකි අවම ස්කන්ධයෙන් යුතුව ( එහෙමත් නැත්නම් අවම අවශ්‍යතාවයෙන් යුතුව ) බහාලන නිසා, අප ඒ ස්කන්ධයට කියනවා Critical Mass කියලා....
මෙයින් අදාළ කුටීරයේ පිටුපස බහා තිබෙන Subcritical Mass යුරේනියම් එකට අපි කියනවා Uranium Target කියලා.....එය තිබෙන්නෙ කිලෝග්‍රෑම් පහක පමණ බරකින් සහ මුදුවක හැඩයෙන් යුතුව.....අනෙක් කොටස තිබෙන්නේ යුද ශීර්ෂයේ උක්ථ කුටීරයේ ඉදිරිපස කෙළවරේ....එය උණ්ඩයක හෝ පෙලට් එකක් හැඩය ගන්නවා ( Uranium Bullet ) ....
මේ දෙක අධි වේගයෙන් එකිනෙක හා ගැටීමේදී එම ද්විත්වයම දාම ප්‍රතික්‍රියාවක් හට ගත හැකි තත්වයට පත්වෙනවා....එම දාම ප්‍රතික්‍රියාව ආරම්භයේ එකී යුරේනියම් මුසුවේ පවතින ස්කන්ධයට අපි කියනවා Super Critical Mass කියලා.....
දැන් බලමු කොහොමද මේ යුරේනියම් පෙලට් එක, නැත්නම් බුලට් එක අදාළ යුරේනියම් ටාගට් එක දෙසට එවන්නේ කියලා....මේ යුරේනියම් පෙලට් එකට අංශක 65 සිට අංශක 90 දක්වා ආනතියකින් රඳවන ට්‍රයිනයිට්‍රොටොලුයින් (TNT) කිලෝ 5 - 10 පමණ ප්‍රමාණයක් ඩෙටනේටරයක් ආධාරයෙන් හෝ සෘජු විදුලි පුළිඟුවක් ආධාරයෙන් පුපුරුවා හරිනු ලබනවා.... මෙතනදි එයින් විමෝචනය වන ශක්තිය සම්ප්‍රේෂ්ණය වීමෙන් චාලක ශක්තිය ලබන යුරේනියම් උණ්ඩය තප්පරයට මීටර් 170 ක ආරම්භක ප්‍රවේගයකින් පසුව නැනෝ තප්පර මිලියන 7 ක් ඇතුළත තප්පරයට මීටර් 370 ක පමණ ප්‍රවේගයක් ලබා අර ඉහත කියපු කුටීරය පිටුපස ඇති අනෙක් යුරේනියම් ස්කන්ධයේ හෙවත් යුරේනියම් ටාගට් එකේ ගැටෙනවා......මේ අපි අධ්‍යයනය කරමින් සිටින න්‍යෂ්ඨික අවි මොඩලයට අපි කියන්නෙ Gun - Type Fission Weapon කියලා....
මෙහිදී මේ අධි ගැටුම නිසා එක් ස්කන්ධයකින් විමෝචනය වන නියුට්‍රෝනයක් අනෙක් කොටසේ හෝ එම කොටසේම තිබෙන යුරේනියම් පරමාණුවක න්‍යෂ්ඨියේ ගැටීම නිසා එම න්‍යෂ්ඨිය පැලී එයින් වඩා කුඩා පරමාණුක සමස්ථානික දෙකක් පමණ සමග නිදහස් නියුට්‍රෝන කිහිපයක් චලනයට පිවිසෙනවා....එසේ පිවිසෙන නියුට්‍රෝන වෙනත් යුරේනියම් පරමාණු සමග ගැටී ඒවායේත් න්‍යෂ්ඨි බිඳ ඉහත ක්‍රියාවම සිදු කරනවා.....එතනදීත් ඒ අයුරින්ම නියුට්‍රෝන විමෝචනය වනවා....ඒවාත් යාබද පරමාණු වල න්‍යෂ්ඨි සමග ගැටෙනවා....මේකට අපි කියනවා න්‍යෂ්ඨික විඛණ්ඩන දාම ප්‍රතික්‍රියාවක් කියලා....දාමයක් ලෙස, චේන් එකක් ලෙස මේ ක්‍රියාවලිය වැලට සිදුවෙමින් යන නිසා තමයි ඒ නම දැම්මෙ....මෙහිදී :
පරමාණුවක් බිඳී කුඩා පරමාණු දෙකක් බවට සහ නිදහස් නියුට්‍රෝන බවට පත්වනවාට අමතරව, ආයුදයක් ලෙස සිදුවන වැදගත්ම දේ තමයි මේ ක්‍රියාවලියෙන් නිකුත් වන අධි මාත්‍රා ශක්තිය.....මේ ශක්තිය Nuclear Yield ලෙස හඳුන්වනු ලබනවා....ඒ ශක්තිය තමයි අසීමිත පිපිරීමක් ලෙස විශාල විනාශයක් සිදුකරන්නෙ.....
මෙහිදී ඛණ්ඩන ක්‍රියාවලිය අරඹන ආරම්භක නියුට්‍රෝන ලබා දීම සිදුකරන්නෙ බොහෝ විට යුරේනියම් 235 සමස්ථානිකය....ඒ නිසා එයට "ඉන්ධන සමස්ථානිකය " කියාත් කියනවා.....මේ යුරේනියම් 235 සමස්ථානිකය ඉතාම දුර්ලභයි....ස්වභාවික තත්වයේදී නොලැබෙන තරම් දුර්ලභයි....ඒ නිසාම න්‍යෂ්ඨික අවි වැඩසටහන් සහිත රාජ්‍යයන්ට මේ සමස්ථානිකය ලෝකයේ වටිනාම දේවල් වලින් එකක් බවට පත්වෙනවා....
ඉතිරි පිපිරීමට සහාය දක්වමින් බිඳෙන්න එම කුටීරයේ තිබෙන්නෙ යුරේනියම් 238 සමස්ථානිකය....මේ සමස්ථානිකයට එහි ස්වභාවික තත්වයෙන් දාම ප්‍රතික්‍රියාව ඉදිරියට ගෙන යෑමට හැකියාවක් නැහැ....ඒ නිසා මේ සමස්ථානිකය විශේෂ විලයන ක්‍රියාවලියක් මගින් යුරේනියම් 235 සමස්ථානිකයේ තිබෙන ලක්ෂණ වලින් 90% දක්වා වර්ධනය කරනු ලබනවා....අපි මේ වගේ යුරේනියම් හඳුන්වන නම තමයි Highly Enriched Uranium කියන්නෙ.....ඉන් පසුව එම යුරේනියම් - 238 සකස් කරන ලද සමස්ථානිකයට ( Enriched Uranium ) ඉහතදී ස්ඵෝටනය කරන ලද දාම ප්‍රතික්‍රියාවට ඉන්ධනයක් වන්න පුළුවන්......
මතක තබා ගන්න ඕන දේ තමයි, මේ ආකාරයට පිපිරීම සිදුවනවිට සමස්ථ බෝම්බයේම තැන්පත් කර ඇති යුරේනියම් ස්කන්ධයේ අන්තර්ගත සෑම යුරේනියම් පරමාණුවක්ම මේ න්‍යෂ්ඨික විඛණ්ඩන දාම ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන්නෙ නැහැ.....සම්බන්ධ වෙන්නෙ එයින් ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි....අනෙක් පරමාණු එක්කෝ නිදහස් නියුට්‍රෝන අවශෝෂණය කරගෙන යුරේනියම් 239 සමස්ථානිකය බවට පත්වෙනවා....නැත්නම් සෘජු නියුට්‍රෝන ප්‍රහාරයෙන් ඒවායේ න්‍යෂ්ඨි බේරෙනවා.....හිරෝෂිමා පරමාණු බෝම්බ පිපිරීමේදී එහි දාම ප්‍රතික්‍රියාව පවත්වා ගත්තේ එහි සමස්ථ යුරේනියම් 235 සමස්ථානිකයේ සහ කිලෝග්‍රෑම් 65 ක් බර යුරේනියම් 238 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් සහ පරමාණු සංඛ්‍යාවෙන් 5% පමණ සුළු ප්‍රතිශතයක් පමණයි.....මේකට හේතුව තමයි පිපිරීමේදී සිදුවන අධි ශීඝ්‍ර ස්කන්ධ විස්ථාපනය ( දුරස්වීම, විදාරණය ) නිසා පරමාණු බොහොමයක් දාමයට හසුවන්නට පෙරම වායුගෝලයේ විසිරී යෑම......
සාමාන්‍යයෙන් මිනිසා විසින් මෙලොව කරන ලද විශාලතම පාලිත පිපිරීම් තමයි 20 වැනි සියවස පුරා සිදුකළ න්‍යෂ්ඨික පරීක්ෂණ......මේ වගේ විශාල පිපිරීම් සහ ඝට්ටන නිසා සුවිශාල ශක්තියක් නිකුත් කෙරෙන විට, අප එයින් මුදා හැරෙන ශක්තිය මනින්නේ වෙනත් සන්සන්දනාත්මක පදනමක් සමග සසඳා බලලා......මේ සංසන්දනාත්මක පදනම තමයි ට්‍රයිනයිට්‍රොතොලුයින් හෙවත් සුප්‍රකට TNT නම් කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, සහ ඔක්සිජන් මූළ ද්‍රව්‍ය එකතුවෙන් සැකසුණු පුපුරන ද්‍රව්‍ය සංයෝජනයේ එක් එක් පරිමාවන් පුපුරුවා හරින ලද විට පිපුරුම් ස්ඵෝටනයේ ඵලය.....ඒ අනුව,
( ටී.එන්.ටී කිලෝ 1 ක් පුපුරා ගොස් මුදා හරින ශක්තිය = ජූල් 4,184,400 )
මේ අනුව හිරෝෂීමා හි පුපුරා ගිය ලිට්ල් බෝයි බෝම්බය මුදාහළ ශක්ති ප්‍රමාණය ( Yield ) ටී.එන්.ටී කිලෝටොන් 15 - 17 ක් අතර ප්‍රමාණයක් පුපුරා යෑමේදී විමෝචනය වන ශක්ති ප්‍රමාණයට සමානයි.....එහෙම නම් ඒ ප්‍රමාණය ජූල් වලින්
15,000,000 x 4,184,400 = 62,766,000,000,000 J
පමණ වෙනවා....
යම් හෙයකින් මෙම බෝම්බයේ මුළු යුරේනියම් ස්කන්ධයම උක්ථ දාම ප්‍රතික්‍රියාවට සම්බන්ධ උනා නම්, ඒකෙ යීල්ඩ් එක කිලෝටොන් 500 ක් පමණ වෙනවා.....එහෙම උනා නම් විමෝචනය වන ශක්ති ප්‍රමාණයේ ජූල් අගය =
2,091,990,780,000,000 J
එනම් ජූල් ට්‍රිලියන 20 ක පමණ දළ අගයක් ගන්නවා.....එහෙම උනා නම් ඒ බෝම්බයෙන් එපිසෙන්ටර් එකේ සිට කිලෝමීටර් පහක පමණ අරයක් සහිත ප්‍රදේශයක් විනාශ වෙනවා වෙනුවට හිරෝෂීමා නගරය පිහිටි සමස්ථ හොන්ෂු දූපතටම බිහිසුණු බලපෑමක් සිදුකරන්න ඉඩ තිබුනා....එහෙනම් ඒ ගුවන් පිපිරීමෙන් විනාශ වන ප්‍රදේශයේ වෘත්ත සැකැස්මේ අරය කිලෝමීටර් 80 ක් පමණ වන්නට තිබුණු අතර විනාශ වන ජීවිත සංඛ්‍යාව මිලියනයක් ඉක්මවන්න තිබුණා......
ඒ වගේම ඒකෙ ෆෝල් අවුට් එකෙන් සමස්ථ ජපානයමත්, සුළං ප්‍රවාහ නිසා කොරියාව, චීනය, තායිවානය, වියට්නාමය වැනි රටවල් රාශියකුත් දැඩි දීර්ඝ කාළීන හානියකට ලක්වෙන්න ඉඩ තිබුනා.......
නමුත් සාමාන්‍යයෙන් න්‍යෂ්ඨික පිපිරවීමකදී සමස්ථ යුරේනියම් ස්කන්ධයේම පරමාණු දාම ප්‍රතික්‍රියාව පවත්වා ගන්නෙ නැහැ.....මේ සිදුවන දාම ප්‍රතික්‍රියාව රුක් සටහනකට ගත්තොත් පියවර 12 කදී පමණ පරමාණු මිලියන් 2 ක් පමණ බිඳී යාම තමයි ප්‍රධාන පිපිරීමේ ආරම්භය ලෙස සිද්ද වෙන්නෙ......
අද මේක සම්පූර්ණයෙන්ම විස්තර කරන්න හිතාගෙන ලියන්න පටන් ගත්තත් අසනීප තත්වයෙන් සිටින නිසා මීට වඩා ලිවීම වෙහෙසකරයි....මොකද මේ දේවල් චිත්‍ර සටහන් හෝ රූප සටහන් භාවිතා කළ නොහැකි ස්ටේටස් වල ඔබට තේරෙන පරිදි විස්තර කිරීම දුෂ්කර කාර්යක්....කෙසේ වෙතත් කියුබානු මිසයිල් අර්බුදයට එන්න පෙර, සුපිරි බලවතුන් දෙදෙනාගේ න්‍යෂ්ටික අවි විකාශය ගැන කියන්න බොහෝ දේ තිබෙනවා.....අපි හෙමින් හෙමින් එතනට එමු...... 
ලිපිය 
සයිබර වරිගෙ උණ්ඩියා
 :)

Wednesday, November 30, 2016

සයපෙති කුසුම- ප්‍රභාත් කුමාර දේශප්‍රිය

අන්ධකාර රැයක පාලු පාරක් දිගේ
යන්න එන්න.. (18න් ඉහළ පමණයි)
සයපෙති කුසුම සිනමාහලෙන් ද එළියට විසිවී බොහෝ කාලයකට පසුව මේ සටහන ලියැවෙන්නේ සාතිශය ප්‍රමාදයකින් යුතුවය.සිනමාව විචාරීමට තරම් බුහුටි නොවෙතත් පශ්චාත් යුධ වින්දන සිනමා ගැලරියට විකාසේස චන්ද්‍රසේකරම් අත හැරි කාල බෝම්බය පිලිබදව මතුවූ අදහසක් දෙකක් අකුරු කිරීමට මසිත මතුවූ නොනිත උවමනාව මේ ලියැවිල්ලෙහි පදනම වේ..
වෙනත් දෙයක්ද, වෙනස් දෙයක්ද?
වේදිකා නාට්‍යකරුවෙකු ලෙස අප හදුනාගෙන සිටි විකාසේසගේ තුන් කුලුදුල් සිනමා කෘතිය වෙනුවෙන් ඔහු යොදාගන්නා තේමාව වනාහී අත්‍යන්තයෙන්ම අභියෝගජනක වන්නක් වන අතර පෘශ්ටීය වියමනෙහි ඔහු යම්කිසි දුරක් සාර්ථකව පියවර තබනු පෙනේ..එහෙත් චිත්‍රපටයෙහි දෘශ්ට්වාදී එළඹුමේදී විකාසේසගේ "වෙනස් චිත්‍රපටය" තව දුරටත් "වෙනත් චිත්‍රපටයක් " බවට විකරණය වන අයුරු සියුම්ව නිරීක්ශණය වේ..
එය කුමක් ගැනද, කුමක් අරභයාද?
විකාසේස පුවත්පත් අතිරේක සදහාද, රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන්ද නිතර භාවිතා කරන ලද වචනයක් වුයේ " සමකාමී" යන්නයි.. එහෙත් මෙම චිත්‍රපටය සමකාමී (homo-erotic) චිත්‍රපටයක් ද, නොඑසේනම් සමලිංගික (homo sexual ) චිත්‍රපටයක්ද යන්න තහවුරු කිරීම මෙමගින් සිදු නොවන බව මගේ හැගීමයි.. චිත්‍රපටය පුරා ජුගුප්සාජනක උන්මාදයක තමා වෙලී සිටින වග ප්‍රේක්ශකයාට හැගෙන්නේ එබැවින් විය හැක..කාමුකත්වය යනු එකකි.එය ආශාව සමග ප්‍රතිබද්ධය..ලිංගිකත්වය යනු තවෙකකි..ප්‍රජනනයේදී එය උදව් වේ..ආදරය ගලා යනුයේ මේ මිටියාවත් දෙකට පහලිනි..ඒ අර්ථයෙන් බලන කල ප්‍රේමය වනාහී විරුද්ධ ලිංගිකමය වස්තුවක් ලෙස සැලකීම සාවද්‍යය..
චමත්ගේ ඛේදය..
චිත්‍රපටය පුරා ගලන කදුළු කතාවේ උරුමකරු චමත්‍ ය.ඔහුට කලවම් වීමට හෝ කැපී පෙනීමට අවශ්‍ය නැත..එමෙන්ම සැගවීම හෝ පලායාමද හේ නොඉවසයි..මේ වනාහී සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලයකි.

සරසිගේ ගෙහසික ප්‍රේමයද, නලීන්ගේ ධනේශ්වර සිහිනද හමුවේ චමත් අවලංගු කාසියක් බවට පත්වේ. ගම්මුන්ට ඔහු පෙනෙන්නේ අවලං අසනීපකාරයෙකු ලෙසිනි. ස්වකීය ලිංගික ඇරියස් චමත් මත්තෙහි මුදාහරින ග්‍රාමීය සමාජයෙන් පිටමං වන ඔහු අවසානයේ ලැගුම් ගන්නේ අගනගරයේ පිම්පි සමාජ තීරුවේය.
සමකාමී සමාජය වෙනුවෙන් විකාසේසගේ එලඹුම එසේ අවතැන් වුවත් චිත්‍රපටය පුරා දසුන්ගේ හා ජෙහාන්ගේ රංග පෞරුෂයන් විදාරණය වේ..රංගනය කෙසේ වෙතත් "අඩෝ.. උන් දෙන්නා ඉන්නෙම ඔය වගේ ඒවට.උන් සිරාවටම gay ද දන්නෙ නෑ.." පන්නයේ ගැලරි චූන් ප්‍රතිචාර නිසාම ඔවුන්ට මේ සිනමාකෘතියෙහි රංගනය හේතුවෙන් සම්මාන සහතික ලැබෙන්නේ නැති බව නම් සහතිකය..
ෆ්‍රැන්ජිපානි....
ෆයිට් පහයි, සින්දු හතයි ප්‍රවර්ගයේ චිත්‍රපට වලට හුරුවූ සිනමා ප්‍රේක්ශකාගාරයක් අසම්මත තේමාවක් ඔස්සේ නිර්මාණය කැරුනු චිත්‍රපටයක් වෙනුවෙන් සීරුවෙන් තැබීම පහසු කටයුත්තක් නොවේ..එහෙත් විකාසේස ඒ දැවැන්ත අභියෝගයට මුහුණ දෙමින් සිය පලමු සිනමා කෘතිය ගෙන ඒමම සිංහල නව සිනමාවේ හෙට දවස වෙනුවෙන් සහන් එලියක් මතු කරන්නක් බව කිව යුතුයය.. "අම්බානකට කන්ඩ වෙන බව දැන දැන " ම සමකාමීත්වය/සමලිංගිකත්වය ගැන එලි පහළියේ කතා කිරීමට ඔහු පෙළඹීම පැසසුම් කටයුතුය.. එහෙත් උක්ත සමාජ ගැටලුව කෙරෙහි දයාර්ද්‍ර මුහුණුවරකින් බැලීමට පුහුදුන් ප්‍රේක්ශකයා යොමු කිරීම කෙරෙහි දශම පරිමාණ වූ තල්ලුවක් වත් සයපෙති කුසුම මගින් සිදු නොවීම ඛේදනීය ය.
චිත්‍රපටයේ අවසානය සනිටුහන් කරන දර්ශන පෙළක් මේ සටහනේ අගට පුරුද්දමි..

සරසි ප්‍රතිකාර ලබන රෝහල් වාට්ටුව ඇතුලතින් නලීන් වෙසක් කූඩුවක් එල්වයි..ඒ ඔවුන්ගේ ගෙහෙසික ප්‍රේමය බබලන කූඩුවයි..එම කුටියට පිටතින් චමත් විසින් තවත් කූඩුවක් එල්වනු ලබයි..ඒ චමත්ගේ හා නලීන්ගේ කූඩු බබලන නිදහස් අවකාශයයි.. තම තම කූඩු රිසි රිසි අහස් වියන් යට වෙන වෙනම බැබළේ..
එහෙත් විඩාබර ප්‍රේක්ශකයා වෙහෙසකර සුසුමක් හෙලා සිනමාහලෙන් පිටව යයි...සයපෙති කුසුමද ඛේදනීය ලෙස අවසන් වේ..

රෝසා පාර්ක් (rosa parks) - සහන් කසිර වික්‍රමසිංහ


වසර හැට එකකට පෙර අද වැනි දවසක නම් වූ කළු ජාතික කාන්තාව , බස් රථයේ තම අසුන සුදු ජාතිකයෙක් වෙත පිරි නැමීම ප්‍රතික්ෂේප කර සිරගත වූවාය. සුදු ආධිපත්‍යයට නොබියව අභියෝග කළ රෝසා පාර්ක්ව සිරගත කිරීම ඉතිහාසගත වන්නේ ඇමරිකානු වර්ණභේදය මුලිනුපුටා දැමීමේ පළමු වෙඩි මුරය ලෙසිනි.
1955 දෙසැම්බර් මස 1 වැනි දා රෝසා පාර්ක් ගමන් ගත් බස් රථයේ , කළු ජාතික - සුදු ජාතික ආසන පිරී පවතිද්දී අමතර සුදු ජාතිකයින් කීපදෙනෙක් බස් රථයට ගොඩ වැදිණ. සුපුරුදු පරිදි කළු ජාතිකයින්ට නැගිට තම අසුන් ඔවුන් වෙත ලබා දෙන් ලෙස රියදුරා විසින් අණ කරන ලදී. නමුත් රෝසා පාර්ක් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඇය පොලිස් අත් අඩංගුවට පත් වන්නීය. විප්ලවය ඇරඹෙන්නේ එතැන් සිටය.

ඩෙක්‌ස්‌ටර් බැප්ටිස්‌ට්‌ දේවස්ථානයෙහි ප්‍රධාන පූජක ධුරයට අලුතින්ම පත්ව පැමිණි "මාර්ටින් ලූතර් කිං" ප්‍රමුඛ කළු ජාතිකයින් ඓතිහාසික "මොන්ටිගෝමරි බස් වර්ජනය අරඹන්නේ " මේ සිදුවීමට විරෝධය පෑමක් ලෙසිනි. දින තුන්සිය අසූ දෙකක් පුරාවට හතළිස් දහසකට අධික කල්ලන් සමූහයක් විසින් දියත් කළ එම වර්ජනය අවසන් වුයේ ඔවුනට ජය අත් කර දෙමිනි. එය කළු ලෝකය සිහින දුටු සැබෑ නිදහස අත් වූ දිනය ලෙස හැඳින්වූවාට වරදක් නැත. නමුත් මේ ජයග්‍රහණය කරා ආ මාවතේ අහිමි වූ දෑ බොහෝය. සුණු විසුණු වූ දෑ බොහෝය. රෝසා පාර්ක් ගේ සහ ඇගේ සැමියාගේ රැකියා අහිමි වූ අතර කළු ජාතික ආගමික මධ්‍යස්ථාන ගිනිබත් විය. අවසානයේ මාටින් ලූතර් කිං ගේ ජීවිතයද වෙඩි උණ්ඩයක් විසින් උදුරා ගනු ලැබිණ.
ඒ ඉරණම්කාර දිනයේදී රෝසා පාර්ක් තම අසුන සුදු ජාතිකයෙක් වෙත පරිත්‍යාග කර මුනිවත රැක්කේ නම් , මෙතරම් ජන අරගලයකට ජීවය ලැබේයැයි සිතන්නට නොහැකිය. කළු සුදු භේදය පිළිබඳ ලෝක අවධානය මෙතරම් ප්‍රබල ලෙස යොමුවෙතැයි උපකල්පනය කළ නොහකිය. ඇමරිකානු කළු සුදු භේදයේ මිනී පෙට්ටියට අවසාන ඇණය මේ තරම් ඉක්මණින් වැදෙතැයි විශ්වාස කිරීම උගහටය.
නමුත් ඇය , රෝසා පාර්ක් නම් වූ හතළිස් දෙහැවිරිදි කාන්තාව එම ආශ්චර්යය මිහිමතට කැඳවීමට සමත් වන්නීය. අනාගත පරපුරක සැනසුම උදෙසා වර්තමානය කැපකරන්නට තරම් නිර්භය වූවාය. එබැවින් රෝසා පාර්ක් යනු ඇමරිකානු කළු ජන හදවත් ඉන්ද්‍රජාලිකව සුවඳවත් කළ සෙව්වන්දියක ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඉතිහාසය පුරා ඇය කළ කැපකිරීම් සහ විඳි වේදනාවලට එය උපහාරයක් වේ යැයි සිතිය නොහැකිද?

ලිපිය Sahan Kaseera Wickramasinghe

Image result for rosa parks


Image result for rosa parks