Friday, September 9, 2016

කොටස් වෙළඳපළ තුළ සිටින සතුන් සිව් දෙනා

                                                                              ගවයා (Bull)

කොටස් වෙළඳපළ තුළ සතුටින් සිටින සත්වයා තමයි ගවයා. කොටස් වෙළඳපළBullish trend එකකින් යනවා කියල කියන්නෙ, ආර්ථිකය වර්ධනය වෙමින් සියළුම කොටස් මිලද ඉහළ යමින් කොටස් වෙළඳපළ වර්ධනය වන කොට. ඒ ඒ සමාගම් වල වටිනාකම වගේම කොටස් මිලත් මේ කාලයේ ක්‍රමයෙන් වර්ධනය වනවා. ඉතින් මේ කාලයේදී, කෙනෙක් කොටස් මිලට ගෙන තබාගත්තොත් ලාභාංශ වශයෙන් හෝ ඉහළ මිලකට විකිණීමෙන්  පහසුවෙන්ම ලාභ උපයන්න පුළුවන්.
බොහෝ දෙනෙක් මේ කාලයේදී කොටස් වෙළඳපළ සමඟ  යමින් ලාභ උපයනවා. නමුත් කණගාටුවට කාරණය තමයි, මේක හැමදාම පවතින්නෙ නෑ.



වලසා (Bear)

වලසා කියල කියන්නෙ ගවයා වගේ ක්‍රියාකාරී සත්වයෙක් නෙමෙයිනෙ, කම්මැලි සතෙක්. ඉතින් කොටස් වල මිල පහළ යනකොට, රටේ ආර්ථිකය දුර්වල වෙනකොට කොටස් වෙළඳපළ Bearish Trend එකකට යනවා කියල කියනව. මේ කාලෙදි කොටස් මිලට ගෙන විකුණල ලාභ ගන්න බෑ. නමුත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්, ඔබ යම් සමාගමක කොටස් හිමිකරයෙක් නම්, ඒ කොටස් මිල දිගටම පහළ යනවා නම්, ඔබට පුළුවන්, පොඩි අලාභයක් විඳිමින් හෝ ලාභය තබාගෙන ඒ කොටස් විකුණල, මිල හොදටම පහල ගියාට පස්සෙ යළිත් කොටස් මිලට ගන්න.
මොවුන් වෙළඳපළට හා රටේ ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. ඔවුන් කරන්නෙ වෙළඳපළ පසුබෑමක් ඇතිවනවිට තමුන්ගේ කොටස් විකුණමින් වෙළඳපළින් තාවකාලිකව ඉවත්ව සිටීම. යළිත් වෙළඳපළ වර්ධනයක් සිදුවන බව පෙනෙන්න පටන්ගන්නකොට, ඔවුන් යළිත් කොටස් මිලට ගනිමින් වෙළඳපළ තුළට පිවිසෙනවා.




කුකුළා

කුකුළා කියන්නෙ බියගුලු සතෙක්නෙ, ඒකම තමා මෙතනත් තියෙන්නෙ. මේ ආකාරයේ ආයෝජකයින් හරිම බයයි අවදානමක් ගන්න, ඔවුන් කැමති නෑ අලාභයක් විඳින්න. ඉතින් ඔවුන් කිසිවිටෙක්වත් කොටස් වෙළඳපළින් කොටස් මිලට ගන්නෙ නෑ, කිසිම විදිහකින් අවදානමක් ගන්න මොවුන් සූදානම් නෑ. ඉතින් මොවුන් කරන්නෙ, ලැබෙන ලාභය අඩු උනත් අනිවාර්ය ආදායමක් ලැබෙන, අවදානමක් නැති, සුරැකුම්පත් වගේ දේවල් වල ආයෝජනය කරන එක තමයි. ඒවායින් ලැබෙන ප්‍රථිලාභ අඩු උනත් ඒවායේ අවදානමක් නෑ නෙ.
ආර්ථිකයේ පසුබෑමක් වෙනකොට මොවුනුත් ඒ සුරැකුම්පත් හර කරමින් තමුන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම යළි ලබාගන්නවා.


ඌරා (Pig)


ඌරා කියන්නෙ මෝඩ සතෙක්. මේ ආකාරයේ ආයෝජකයින් කරන්නෙ, අනවශ්‍ය තරම්ම අවදානමක් ගන්න එක. ඔවුන්ට ඕනෙ එක පාර ලොකු ලාභයක් ගන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ විවිධ පුවත්, කටකතා පදනම් කරගෙන. ඔවුන් ආයෝජනය කරන්න පෙර, බලන්නෙ නෑ ඒ සමාගම ස්ථාවර එකක්ද කියලවත්. ඉතින් මේ ආකාරයේ ආයෝජකයින් බොහෝවිට තමුන්ගේ සියළුම මුදල් පවා විනාශ කරගන්නවා ඉතා ඉහළ අවදානමක් ඇති ලොකු ලොකු ලාභ ලබා දෙන්නම් කියන සමාගම් වල කොටස් වල ආයෝජනය කරල.

නමුත් මෙහෙම දෙයක් තිබෙනවා, හරි දැනුම සහිතව ක්‍රියාකරන වෘත්තීයමය ආයෝජකයින් මේ ඌරන් වගේ ක්‍රියාකරන ආයෝජකයින්ට කැමතියි. මොකද  වෘත්තීයමය ආයෝජකයින් ක්‍රියාකරන්නෙ ගවයන් හෝ වලසුන් වශයෙන්, ඉතින් ඔවුන් ලබාගන්නා ලාභයන්ගෙන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නෙ මේ ඌරන් වගේ ආයෝජනය කරන්නන්ගේ අලාභයන් හරහා.

මෙම ලිපිය උපුටා ගන්නා  ලද්දේ  http://009008cse.blogspot.com/2011/09/blog-post_4340.html බ්ලොග් අඩවියෙනි. සම්පුර්ණ අයිතිය ඔහු සතුය.. 

No comments:

Post a Comment