Wednesday, February 10, 2016

වත්මන් කොටස් වෙළදපල

වර්තමානයේදී කොටස් වෙළෙඳ පොළ තුළ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව බොහෝ පාර්ශ්ව විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරනු ලබයි. එමෙන්ම, සමහර ව්‍යාකූල තත්ත්වයන් පිළිබඳවද ඔවුන්ට නිරාකරණය කරගැනීම සඳහා කරුණු රැසක් පවතී. එබැවින්, මෙම සතියේ ලිපිය මගින් බොහෝ දෙනා යොමුකරන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට අපි බලාපොරොත්තු වෙමු.
01. කොටස් වෙළෙඳ පොළ කඩා වැටී ඇත්ද?
බොහෝ දෙනා මේ දිනවල යොමුකරන ප්‍රධාන ප්‍රශ්නයක් නම්, කොටස් වෙළෙඳ පොළ කඩා වැටී ඇතිද යන්නයි. වර්ෂ 2016 ආරම්භ වූ දිනයේ පටන්, කොටස් වෙළෙඳ පොළ යම්කිසි ආකාරයකට පහළ වැටීමක් දක්නට ලැබුණි. මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වර්ෂයට 7෴ ක පමණ පහළ වැටීමක් පෙන්නුම් කර ඇත. මෙහිදී සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ මේ පහළ වැටීම ශ්‍රී ලංකාවට පමණක් පොදු වූ කාරණයක් නොවන බවය. ලොව බොහෝ කොටස් වෙළෙඳ පොළවල් ජනවාරි මාසයේදී ඉතා විශාල කඩා වැටීම් පෙන්නුම් කර ඇත. ඒ හා සසඳන විට අපගේ කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීම අනෙකුත් රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පවතී. උදාහරණයක් වශයෙන් චීනයේ කොටස් වෙළෙඳ පොළ මේ වනවිට 2016 වසරට 14෴ ක් පමණ පහළ ගොස් ඇති අතර, ඉන්දියානු කොටස් වෙළෙඳ පොළද 8෴ ක් පමණ පහළ ගොස් ඇත. අප මේ රටවල් දෙක සංසන්ධනය කරනු ලැබුවේ ඒවා ආසියානු කලාපයේ රටවල් නිසාවෙනි. අනෙකුත් කලාපවල රටවල කොටස් වෙළෙඳ පොළවල් මෙයටත් වඩා පහළ ගොස් ඇත. එබැවින් වර්තමාන තත්ත්වය අපට පමණක් සීමා වූවක් නොවේ. එය ලොව කොටස් වෙළෙඳ පොළ තත්ත්වයකි. එනමුත්, සමහර පාර්ශ්ව උත්සාහ කරනු ලබන්නේ මෙම පහළ වැටීම අපගේ කොටස් වෙළෙඳ පොළේ සිදුවූ පහළ වැටීමක් පමණක් ලෙස හුවා දැක්වීමටය. එය කොටස් වෙළෙඳ පොළේ ආයෝජකයන් සහ රටේ මහජනතාව මුලා කිරීමට කරන උත්සාහයකි.
02. කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට පසුගිය වසරේ හඳුන්වා දී ඇති නීතිරීති බලපා ඇත්ද?
මෙම කාරණාවද සමහර පාර්ශ්ව විසින් කොටස් වෙළෙඳ පොළේ හැසිරීම නිර්වචනය කිරීම සඳහා යොදාගන්නා කරුණකි. එනම්, අලුතින් හඳුන්වාදී ඇති නීතිරීති හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ පහළ වැටී ඇති බවය. පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ කොටස් වෙළෙඳ පොළට බලපාන කිසිම නව නීතිරීතියක් හඳුන්වාදී නොමැති අතර, පසුගිය අයවැය මගින් කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට හිතකර වන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ලැබුණි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කාලයෙන් කාලයට කොටස් වෙළෙඳ පොළේ සිටින ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා විවිධ නීතිරීති හඳුන්වා දුන් අතර, පසුගිය කාල වකවානුව තුළ කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට අහිතකරව බලපාන කිසිම නීතිරීතියක් හඳුන්වා දී නොමැත. කොටස් වෙළෙඳ පොළේ වර්තමාන පහළ වැටීමට හේතු කාරණා රැසක් ඇත. අප එය අපගේ පසුගිය ලිපියේදීද සාකච්ඡා කරනු ලැබුණි. ප්‍රධාන වශයෙන් කොටස් වෙළෙඳ පොළවල පහළ වැටීමට බලපා ඇති ප්‍රධාන කාරණා වන්නේ වර්තමානයේ චීනයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය, ලොව අමුද්‍රව්‍ය මිල ගණන් දිගින් දිගටම පහළ වැටීම, ලොව තෙල් මිල නොකඩවා පහළ වැටීම, යුරෝපයේ ඇති වී ඇති සංක්‍රමණික ගැටලු ඇතුළු නොයෙකුත් ගැටලු, මැදපෙරදිග ඇති වී ඇති ISIS ප්‍රශ්නය, ඇමෙරිකාව විසින් තම පොලී අනුපාත ඉහළ දැමීම සහ ලෝක ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටම් මූල්‍ය අරමුදල විසින් මේ වසර තුළ නැවත වතාවක් අඩු කිරීම යන කාරණා ප්‍රධාන වේ. මෙම සියලුම කාරණා විදේශීය කාරණා වන අතර, කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට සුළු වශයෙන් බලපෑ දේශීය කාරණා අතරට පොලී අනුපාත සුළු ප්‍රමාණයකින් ඉහළ නැගීම, රුපියල අවප්‍රමාණය වීම සහ කොටස් වෙළෙඳ පොළේ ඇති සමහර සමාගම් සඳහා බලපෑ සුපිරි බද්ද යන කාරණාද වේ. එනමුත්, ප්‍රධාන වශයෙන් කොටස් වෙළෙඳ පොළේ පහළ යෑමට බලපා ඇත්තේ විදේශීය කාරණාය.
එමෙන්ම, කොටස් වෙළෙඳ පොළේ පහළ වැටීමට තවත් එක් කාරණාවක් ලෙස සමහර බ්ලොග් අඩවි මගින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින්, සමහර අවස්ථාවලදී ආයෝජකයන් අමතා සිදුකරනු ලබන නිරීක්ෂණයන්ය. මෙහිදී, පැවසිය හැක්කේ යම්කිසි ආකාරයක අක්‍රමවත් ගනුදෙනුවක් සිදුවූ විට ඒ පිළිබඳව අධ්‍යයනයක් කර, ඒ පිළිබඳව එම ආයෝජකයන්ගෙන් විමසීම ලොව සියලුම නියාමකයන් විසින් සිදුකරන කාර්යයක් බවය. කිසියම් පාර්ශ්වයක් විසින් කොටස් ගනුදෙනුවක් තුළ මොනයම් හෝ ආකාරයක අක්‍රමිකතාවක් සිදුකර නොමැති නම්, ඒ පිළිබඳව ගැටලුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැත. මෙවැනි නිරීක්ෂණ තුළින් සිදුවන්නේ ආයෝජකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමක් වන අතර, එමගින් කොටස් වෙළෙඳ පොළේ පැවැත්මට යහපත් ආකාරයේ පණිවුඩයක් ලැබෙනු ඇත.
එමෙනම්, තවත් සමහර පාර්ශ්ව පවසන්නේ සමහර මහා පරිමාණ ආයෝජකයන් වර්තමානයේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය නොකරන බැවින් සුළු පරිමාණ ආයෝජකයන්ට යම්කිසි ආකාරයක මගපෙන්වීමක් ලබාගැනීමට නොහැකි බවය. මෙහිදී, ආයෝජකයන් සිදුකළ යුතු වන්නේ තමන්ගේ මගපෙන්වන්නා, තමාම කරගැනීම වන අතර, අප දිගින් දිගටම 'අද ව්‍යාපාරික පිටුවේ, දැනුමෙන් ආයෝජනයට' ලිපි මාලාවෙන් පෙන්වා ඇති පරිදි මහා පරිමාණ ආයෝජකයන් පසුපස ගොස් ඔවුන් මිලදී ගන්නා කොටස්වල ආයෝජනය කිරීම නොවන බවය. තමා ආයෝජනය කරන ආයෝජන අරමුණ තේරුම් ගෙන ඒ අනුව ආයෝජනය කරන්නේ නම් ආයෝජකයන් හට කොටස් වෙළෙඳ පොළෙන් ඉහළ ප්‍රතිලාභයක් ලබාගැනීමට හැකිය.
03. අන්තර්ජාලය හරහා කොටස් ගනුදෙනු සිදුකිරීම වඩාත් ගැළපෙන්නේ කා සඳහාද?
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ඉතා වේගයෙන් ප්‍රචලිත වන බැවින් බොහෝ ආයෝජකයන් උත්සාහ කරනු ලබන්නේ කොටස් ගනුදෙනු ආරම්භයේදීම තමන් හට අන්තර්ජාල පහසුකම් ලබාගෙන අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට උත්සාහ කිරීමය. ඔබ කොටස් වෙළෙඳ පොළට නවකයෙක් නම් වඩාත් හොඳ කාරණය වන්නේ කොටස් තරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක හා සම්බන්ධ වී කොටස් ගනුදෙනු කිරීමය. අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේදී සිදුවන්නේ තමන් විසින්ම තීරණ ගෙන තමාම එම ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමය. එහිදී, සියලු තීරණ ගනු ලබන්නේ ආයෝජකයා වන අතර, එහිදී ඔහු කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක සමග සම්බන්ධ නොවේ. කොටස් ගනුදෙනු පිළිබඳව නවකයෙකුට එය එතරම් හිතකර කාර්යයක් නොවනු ඇත. මක්නිසාද යත්, ඔහුගේ හෝ ඇයගේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව ඇති දැනුම අඩු බැවිනි. එබැවින් නවක ආයෝජකයෙකු සිදුකළ යුතු වන්නේ තමන් හට කොටස් වෙළෙඳ පොළ පිළිබඳව යම්කිසි ආකාරයක දැනුමක් ලැබෙන තුරු අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුනොකර කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක සමගද සාකච්ඡා කර තීරණ ගැනීමය. එමෙන්ම, නවක ආයෝජකයෙකු ණය මත පිහිටා ගනුදෙනු කිරීමද සිදුනොකළ යුතු අතර, තමන් වෙනුවෙන් ගනුදෙනු කිරීමේ සම්පූර්ණ බලය තමන්ගේ කොටස් තරැව්කාර ආයතනයට ලබාදීමද සිදු නොකළ යුතුය. සෑම ගනුදෙනුවක් සඳහාම ආයෝජකයා හට සම්බන්ධ වීමට හැකි නම්, එය තමන්ගේ දැනුම වර්ධනය කරගැනීමට උපකාරයක් වනවා මෙන්ම, සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳවද පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.
මේ අනුව, අප සඳහන් කළ යුතු වන්නේ නවක ආයෝජකයෙකු හට තමන්ට අවශ්‍ය දැනුම ලැබෙන තුරු අන්තර්ජාලය හරහා ගනුදෙනු නොකර කොටස් තැරැව්කාර ආයතනයේ ආයෝජන උපදේශක සමග සාකච්ඡා කර, ආයෝජනය කිරීම ප්‍රයෝජනවත් විය හැකි බවය.
04. වඩා වැදගත් වන්නේ ගනුදෙනු කිරීමද ආයෝජනය කිරීමද?
මෙය තවත් සමහර ආයෝජකයන් හට ඇති ප්‍රශ්නයකි. ආයෝජනය කිරීම යනු දිගුකාලීනව සිතා බලා කොටස් මිලදී ගැනීමය. අයෝජනය කරන පුද්ගලයා කොටස් මිලදී ගනු ලබන්නේ නැවත පසුදින කොටස් විකිණීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඒ සඳහා ඔහු දීර්ඝ කාලීන සැලැස්මක් යොදා ගනු ලබයි. එහිදී, ඔහු සිතනු ලබන්නේ අනාගතය පිළිබඳවය. එය අනාගතය සඳහා මුදල් යෙදවීමකි. සමහර අවස්ථාවලදී එය මාස කිහිපයක් හෝ වසර කිහිපයක් විය හැකිය. නමුත්, ගනුදෙනුකරුවා විසින් සිදුකරනු ලබන්නේ ඉතා කෙටි කාල පරාසයක් තුළ කොටස් මිලදී ගෙන විකිණීමය. ලොව සියලුම කොටස් වෙළෙඳ පොළවල් තුළ ආයෝජකයන් මෙන්ම ගනුදෙනුකරුවන්ද සිටී. කොටස් වෙළෙඳ පොළක පැවැත්මට මෙම පාර්ශ්ව දෙකම අත්‍යවශ්‍ය වේ. එහිදී, කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන්නා විසින් සිදුකළ යුතු වන්නේ, තමන් යොදවන මුදලින් කොපමණ ප්‍රතිශතයක් ආයෝජනය කිරීම සඳහා යොදාගන්නවාද, කොපමණ ප්‍රතිශතයක් ගනුදෙනු කිරීම සඳහා යොදාගන්නවාද යන්න තීරණය කිරීමය. ඔබ නවක ආයෝජකයෙකු නම්, වඩාත් වැදගත් වන්නේ ගනුදෙනු කිරීමට වඩා ආයෝජනය කිරීමට යොමු වීමය. ඔබ පළපුරුදු ආයෝජකයෙකු නම්, ඔබ හට මෙම අවස්ථා දෙකෙන්ම ප්‍රයෝජන ගත හැකිය.

Article : ADA E-Paper

1 comment:

  1. තනියම බුදුවෙන්න හදන බහුතරයක් ඉන්න අද සමාජයේ තමන් දන්නා දේ,නොදන්නා අය සමඟ බෙදාහදා ගන්නා ඔබ වැන්නනුත් සිටීම ගැන සතුටුයි සහෝ.මේ වැඩේ දිගටම කරගෙන යන්න.ආයෝජන වලට මුලපුරන අයට මේ site එක ලොකු හයියක් වේවි.

    ReplyDelete