Showing posts with label ගද්‍ය පද්‍ය/ විචාර. Show all posts
Showing posts with label ගද්‍ය පද්‍ය/ විචාර. Show all posts

Saturday, September 10, 2016

සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියේ.. වික්ටර් රත්නායක


සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි...//

මහ වන පියසෙක අදුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්..//
හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද...

සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ...
සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දු‍ටුවද කම් නැත..//
එනමුදු ඊයේ මට පෙන් වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...
සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ,,,
පද රචනය - බණ්ඩාර කේ. වි‍ජේතුංග
තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්‌ටර් රත්නායක

ගීතය අහන්න මෙතනින් වර්තමානයේ අපි මෙහෙම කෙල්ලෙක්ට කිවොත්? එයාල කොහොම ප්‍රතිචාරයක් දේවිද? වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය පලවෙනි වතාවට මම ඇහුවේ ඊයේ.... යාලුවෙක් අහන්න කිව්වට පස්සේ.. ඇත්තටම ආදරයත් එක්තරා විදියක ආත්මාර්ථකාමී හැඟීමක් කියලයි මට හිතෙන්නේ... ආ මේ ගී රස පලස "2"ට තව දින 20යි හරිද? මතකනේ හැමෝටම 

https://www.youtube.com/watch?v=P0BtjTybiRg
https://www.youtube.com/watch?v=P0BtjTybiRghttps://www.youtube.com/watch?v=P0BtjTybiRghttps://www.youtube.com/watch?v=P0BtjTybiRg:)

Image result for couple

Friday, September 9, 2016

වියපත් ගැහැණියකට පෙම් බැදි තරුණයෙකුගේ සෙනෙහස


....ඈ....
"""""""""
විටෙක සීතල සුළං රැල්ලකි..
..මද පවන රදනා
රලු වූ සරතැසම නිවනා
තවත් විටකදි...
ඇයම වේදෝ කුනාටුව හමනා..
..ජීවය
විඩාපත් කරනා...
කෙලිලොලින් මා සිනහා කැන්දා..
දුක් තැවුල් නිවනා..
..සිනහා අතරින් කදුල දී යලි
කුරුටු බස් දොඩනා
සතුටේ කදුලෙත් සෙනෙහසක් ලෙස
දන් කදක් පුදනා...
..නුඹම පමණයි
මගේ සිහිනයේ සිනහා මල් පිපෙනා..
අමිල සෙනෙහස මිල කරන්නට නිතර
..සැරිසරනා
බඹරු දස අත නුඹ අසල ඇත..
කදුල කැන්දවනා..
සතුටු සිනහා දුක් කදුලු මැද..
..ආදරය ගෙවෙනා
වුවත් වියපත් රකිමි සොදුරිය
..පනද කැප කරලා

නිර්මාණයේ හිමිකරු Wanshika Sapumal Bandara
____________

Sunday, February 7, 2016

සරදියල්ගේ මරණයෙන් පසු කාදර් හා මේනකා අතර ඇතිවූ සංවාදයකි...


මේනකා:-
නුඹට කලියෙන් මලක් ඉඳුවර සරදියල් ගේ හදේ අමුනා
වරක් මියගිය පෙමක පණනල ඇබිදක් පණ ගසනු දැනුනා
ආදරේ මුල අකුර කී තැන යලිත් හදවත අගුළු ඇරුනා
කන්ද උතුවන මාවනැල්ලට උඩින් ප්‍රේමයෙ කැකුළු පිපුනා
සරදියෙල්ගේ මතක තාමත් හිඟුල ඔය මුමුණනා හින්දා
දෑත තදකර සවන් පත් මම වසාගමි නොම අසමි නින්දා
සරදියෙල්ටත් මටත් නුඹටත් එකම පැදුරක නින්ද කැන්දා
ගන්ට හැකිනම් ඉන්ට තිබ්බා එහෙව් ප්‍රේමයෙ නම කුමන්දා
කාදර්:-
මාවනැල්ලට උඩින් උතුවන ගමට ඉහලින් උවන හංගා
දෙවනගල කඳු එලිය කරගෙන අන්න හඳ මුදුනටම නැංගා
කෝපි සුවඳට තවත් බමරුන් ඇදේවිද මට බයයි තංගා
කඩේ පොල් අතු දොරවසා පන් හඳේ එලියත් බලයි රිංගා
සරදියෙල් ගේ යකඩ බටයෙන් සත් වරක් වෙඩි පහර වැදුනා
මේනකා මම වරක් මියගිය තාරකාවක බවට හැරුනා
කන්ද උඩරට සිංහලේ ඇති කෝපිමල් පරවෙලා වැටුනා
අන්න බලපං කන්ද උතුවන සුසුම් හෙලමින් අහක හැරුනා

Tuesday, February 2, 2016

ආදරය වගේ නොවෙයි අඟ හිග දැනෙයි කූඩුවේ - Lakshman Hewawitharana

ආදරේ කරා වගේ නෙමේ කසාදයක් කරගෙන ජිවත් වෙන්න ගියාම, ඔයාට දුකක් දෙන්න මට බැහැ. එහෙම උනොත් මගේ හිත මටම බනිවි. මගේ එක්ක ගෙවන කටුක ජිවිතේ ඔයාට දරාගන්න පුළුවන් වේවිද? මේ තමා ගීතයේ සරල අදහස. අර ලුනුයි බතුයි කමුකෝ රත්තරන් කිව්වට බැඳගත්තම එයාල එහෙම කියන්නේ නැනේ නේද :) මේ ගීතය රචනය සහ සංගීතය කරේ කව්රුන්ද කියා දන්නවා නම් කමෙන්ට් කරන්න :)

ආදරය වගේ නොවෙයි

අඟ හිග දැනෙයි කූඩුවේ..
දුක දරාගන්න ඒ වෙනුවට
මහා මෙරක් වගේ..//

වෙන කවුරුවත් නොඑන උයනේ
වදුලු වන පෙතේ
අපි අනාගතය මැව්වත්
ඒ ඇත්තටම නොවේ

මගෙ කූඩුවට ඇවිත් කඳුලක් ඇති වුනොත් නෙතේ
මට හදාගන්න බැරි වෙයි හිත මගෙ කිරිල්ලියේ...

ආදරය වගේ නොවෙයි....

රන් කාසි නැතිව ඇද වේවිද සිනාමල් නුබේ
මුතු සේද නොමැති යහනක නෙත පියෙවිද රැයේ..

මගෙ කූඩුවට ඇවිත්..
ආදරය වගේ නොවෙයි....///

ගායනය : Lakshman Hewawitharana

Saturday, January 30, 2016

අප්පච්චි...

අප්පච්චී ...මගෙ ළඟින් නොහිටියත්
ඈත දුරක ඉඳ සුසුම් හෙලන වග
පායන ඉර හඳටත් වැඩියෙන් අද
දන්නවානෙ නුඹ ගැන මං හොඳටම ...
සිඟිති අතින් එල්ලීගෙන පාරක
අතොරක් නැතිවම කතා ගොතන්නට
හැන්දෑ යාමේ කළුවර එද්දී
අහසේ තරු මල් ගණන් කරන්නට...
විදුමව් තුරුලේ අබිසෙස් ලැබු දින
දෙනෙතින් කඳුලක් තුටින් හෙලන්නට
මා යන මග තොට රැකවල් සදමින්
මහ සවියක් වී අසල රැඳෙන්නට....
වාරු නැති දෙපා පැකිලී යද්දී
වැටෙනු නොදී වත්තම් කරගන්නට
අප්පච්චී නුඹෙ අඩුව දැනෙයි මට
වෙනදාටත් වැඩියෙන් සිත දැවෙමින...

සංකල්පනාව Anudhi Ranmuthu 

අඳුරු කුටිය තුල - වෙනත් කියවීමක්

අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන ගයන ගීතිකා - යදින යාතිකා දෙවියන් හට නෑසේ... ඒ...දෙවියන් හට නෑසේ මගේ මේ අර්ථකතනයේදී දෙවියන්ව සමාන කරනවා සාර්ථකත්වය, එහෙමත් නැතිනම් මිල මුදල් වලට, අඳුරු කුටිය ලෙස අපේ හදවත,සිතුවිලි. "මට නැහැ, මම දුප්පත්, මම අසාර්ථකයි, කියල සිතමින් කොච්චර දෙවියන්ට කතා කරත් එය සාර්ථක නැහැ. සාර්ථකත්වයට එය ඇහෙන්නේවත් නැහැ.. පොළව කොටන තැන - පාර තනන තැන ගිනියම් අව්වේ - මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ... දෙවියෝ වැඩ ඉන්නේ... යමක් අවශ්‍ය නම් අනිවාර්යෙන් අපි මහන්සි වෙන්න ඕනේ. අවුව වැස්ස නොබලා සාර්ථකත්වය පසුපස හඹා යා යුතුයි. අන්න එතකොට දෙවියෝ ඉන්නවා.. බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ.. දෑස විවර කර බලන්න ඒ ගැන.. සිනිදු සුනැති සළු සිරසින් හැරදා දූවිලි මඩ වැහි හිරිගත පළදා දෙවියන් රුව දක්නට හැක්කේ... ආ...ආ...ආ....ආ........... සාර්ථකත්වය ලබන්න සිනිදු ඇදුම් ඇගලාගෙන බබාලා වගේ ඉදල බැහැ. දුවිල්ලට හුරු වෙන්න ඕනේ, දාඩිය දාන්න ඕනේ. අන්න එතකොට දෙවියන්ව බලා ගන්න හැකියි :) අඳුරු කුටිය තුල....// කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී ගතනැඟි දාදිය සුවදින් සැරසී දෙවියන් හා එක්විය හැක්කේ... ආ...ආ...ආ....ආ........... දෙවියන් හා එක්වෙනකොට සුවදින් එක්වෙන්න අපහසුයි, දාඩිය සුවද එක්ක දෙවියෝ දකින්න පහසුයි. ඒ කියන්නේ ඉතින් මහන්සි වෙයල්ලා කියල තමා.. :) අඳුරු කුටිය තුල....// ගායනය - ටී. එම්. ජයරත්න සමග අයිවෝ ඩෙනිස් සංගීතය - ප්‍රේමසිරි කේමදාස පද රචනය - ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

ගීයක් රස විදිමු..

මගේ හිතේ ලියවුනු ගීත ගොන්නෙන්.... ගීතයක් ගැන තේරුම ලියනවට වඩා ඒ ගීතය රසවිදින්න හිතුනා මට
මේ මම විදී ගීතය පද රචනය කරලා තියෙන්නේ චිත්‍රපටියකට ( දෑස නිසා)....මුල් ගායනය අමරදේව මාස්ටර් කියලා සදහන් වෙලා තිබුණා..... චිත්‍රපටිය බලපු කෙනෙකුටනම් හිතෙයි මුළු කතාවම මේ ගීතය තුල තියනවා නේද කියලා...
ඔව් ඒක එහෙම්මම තමයි කියලා මටත් දැන් හිතුනා... මොකද මම ඒක දැන ගත්තේ අද... මගේ මිතුරෙක් මේ ගීතයේ පසුබිම ගැන පැහැදිළි කල නිසා......
නිසදැස් කවියට මම ආදරය කලානම් මට ඒ ආදරය ඇති කලේ ඔහුයි..... ඔහු තමයි මේ ගීතය රචනා කරලා තියෙන්නේ..... ඒ තමයි සේකර......
මම මේ ගීතය ඇසුවේ සුනිල් එදිරිසිංහයන්ගේ හඩින්.... අපි එතුමාගේ ගී ගැන කතා කලා .... සේකරයන් ගැන සුනිල් එදිරිසිංහයන්ගේ ගීත ගැන අපි හෙටත් කතා කරයි.... හැමදාම කතා කරයි.... මොකද එහෙව් ගීත සාහිත්‍යක් ආය බිහි නොවන නිසා .... ඒක තමයි කටුක වුනත් ඇත්ත...
ඉතින් මේ ගීතය ගැන කියනවනම් මම මේ ගීතයේ ආසම කොටස..... මුලින්ම කියන්නම්
දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
මිනිසුන්ව හදුනා ගන්න ඕනේ හදවති කියලයි මට හිතෙන්නේ..... ආදරයේදී විශේෂයෙන්ම..... ඒ නැතත්.... මිනිසුන් මිනිසුන්ව හද පත්ලෙන්ම දකිනවානම්.... බාහිර රුපය මතින් මිනුම් දඩු නොදා.... මේ ලෝකය කොතරම් ලස්සන වෙයිද...
කෙනෙකු තම ආදරවන්තිය මේ විදියට දකිනවනම්..... ඇයව මේ විදියට දැනෙනවානම්..... ආදරය කරණ අයගේ ඇස් වලින් උණු කදුළු වෙනුවට හැමදාම සතුටු කදුළු ගලාවි....
සීතල දිය පිරි සුනිල විලයි....
ඒ විල මැද ඔබ සුවඳ මලයි ....
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.....
සමහර ප්‍රශ්න ඉදිරියේදී අපිට හිතෙනවා අපේ ජිවිත අපෙන් මිදිලා ඈතට පලා ගිහින් කියලා.... එත් එහෙම අඩියකට වැටිලා ඉන්න වෙලාවක.... අපිට අහඹුවක් ලෙසින් කෙනෙක් ජීවිතය අරන් අවොත්.... අලුතින් ජිවිතයක් දුන්නොත්... ඒක හරියට.... සිතිජ ඉම වගේ...... අහසයි පොළවයි එක්වන බලාපොරොත්තුව හැමදාම තියන තැන ඒක නේද..... හෙටක් ගැන සිහිනයක් හදවත ඉපදීප සාදාරණයි නේද?
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
ඔබ නොසිතු මොහොතක ඔබ ආදරය කරපු කෙනා පෙරලා ඔබට එයාගේ ආදරය ප්‍රකාශ කලොත් ....එයාගේ ආදරය පිදුවොත්....( ආදරය මට නොයිඳුල් කුසුමකි පිදියම යුත්තාටම පිදිය යුතු...) ඔබට මොනවගේ හැගීම දැනෙයිද.... දැනෙන්න ඇතිද.... මටනම් හිතෙන්නේ මට දැනෙන හැගීම මේ ගීතයේ අන්තිම පද ටිකේ ලියවිලා කියලා...
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
මේ මම මේ ගීතය විදින විදිය.... ඔබ මීටත් වඩා ලස්සනට විදින්නවා ඇති.... දැනගන්න ආසයි ඔබටත් මේ ගීතය ගැන හිතට දැනෙන දේ...
ඉතින් එපමණයි....
සීතල දිය පිරි සුනිල විලයි....
ඒ විල මැද ඔබ සුවඳ මලයි ....
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.....
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා
දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා
ගී පද :- මහගම සේකර
ගී තනුව :- රෝහණ වීරසිංහ
ගායනය :- සුනිල් එදිරිසිංහ
ලිපිය Himashi DE Silva

Thursday, January 28, 2016

නික්ම යෑම.....


විසල් මුහුණේ පුංචි නෙතු අඟ කඳුළු බිඳු ඇත වේලිලා
පෙළහරම පෑ පෙරහැරේ ගිය මගේ පුතු බිම බෑවිලා
කුංචනාදයෙ හඬත් අද නැත කෙඳිරිලිත් යයි නෑසිලා
හොඬය ඔසවා බලාපං පුත එක් වරක් නෙතු මානලා
මගෙම පුතු ලෙස හැඳු නුඹ අද යන්න යනවද මා දමා
පොඩි දොහේ සිට හිටියෙ එකටම කෙලෙස විඳ ගමි දුක මෙමා
යම් දිනේ අප වෙන්ව යනවා ලොවේ සත්‍යය එය තමා
එහෙත් ඇයි නුඹ මුලින් ඇදුණේ මරැවා වෙත නොම වී පමා
රිදෙයිදෝ පුත උඹේ බඳ තව ඇන්න පහරට මා එදා
කඳුළු පිරෙනවා දුටිමි නෙතු අඟ හැඬුවා ඒ හෙණ්ඩුව බදා
හිතේ තරහක් තිබෙනු නොදිටිමි සිටියා මට සෙනෙහස පුදා
මතු බවේදිත් පුතුව ඉපැදී සනසපං මගෙ දිවි සදා

සංකල්පනාව  Dilu Dissanayake‎ 

Wednesday, January 27, 2016

හිස්.. FULLY EMPTY

පොම්ප කරුවෙක්මි පිරවුම් හලක
පොම්ප කරුවෙක්මි
හිස් ටැංකි පුරවන
කොච්චර පිරෙව්වත්
ජීවිතය හිස් වුන
ඉලක්කම් දහයක
ඉහල වගකීමක් දරමි
පහත් වෙන රිය කවුළුවෙන්
සිනාසෙන නෙතු සොයමි
තෙල් දුමට කාබන් පුසුඹට
හුරුවූ නහයට
වීදුරු ඇරෙන මොහොතෙහි
පමනක් විලවුන් සුවඳ හිමි
හිස් ටැංකි පුරවමි
ජීවිතේ හිස් කරමි !!











A gas station attendant I am,
Simply a pumper
Who fills empty fuel tanks.
Life is vacant, though
I fill many a tank.
I bear a high responsibility
Of ten figures, five plus five.
I seek beaming eyes
Through the lowering
Glass pane of the vehicle.
Only when the glass opens
The fragrance of perfumes reaches
My nose accustomed to
Oil fumes and carbon smell.
I fill tanks and empty my life.
A poem by Mkcp Shasheen
Translated into English by Upali Kannangara
2016.01.28

දෙවියනි ඔබ කොහිද

මගේ ඥාන අාලෝක ප්‍රදීපය
නිවී යාමට හේතු කාරණ
හිටි අදිස්සියේ තේරුණා
සමාවෙන් මට දේව ගණ දෙවි
නුඹේ මුසික වාහනේ
නිතරෝම වම් අතට හිර කර
දකුණු කන කොනිත්තනවට
පැණි වලින් හැදු අග්ගලා
පුදා රසවත් උක් පැණි
දින හතක් කිරි කල හතක්
රැගෙන දොවෝලට යන්නේමි
වට හතක් ගොස් දොවොල වට
පහන් දල්වා ගිතෙල් සුවඳින්
භාර දෙන්නම් නුඹට දෙවියනි
නුඹේම නොවැ මේ වාහනේ
දෙවියන්ගේ පිහිටෙන් ඉතිං ඉන් පසු
දැස් හැර මට බලන්නට හැක
මගේ ඉදිරියේ ගොඩ ගසා ඇති
මහා උගතුන් ලියු පොත් කඳ
දෙවියනේ ඔබේ වාහනේ
මහා වින්නැහියක් කලේ

අදහස
අචලා හේරත් ගෙනි 

මිනිසා

වාසියට අත දිගු කර
පාඩුවට අහක බලන...
සතුටට ඊරිශ්‍යා කර
දුකට හිනා වෙන...
උදව්වට අත හැර
වැරදුනු විට සාදු කියන..
හරි ලස්සනට පද හදන...
විවිධාකාර සිත් සහිත
අපුරැ ජීවියෙකි...
මිනිසා......

සන්කල්පය ශානිකා වික්‍රමසිංහගෙ..

රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගැන පුංචි විචාරයක් මගෙන්

ඉතා අලංකාර ගීයක් ගැන මට හැඟෙන දේ ලියන්නයි මේ සුදානම.. රචකයා කුමක් සිතේ තියාගෙන ලිව්වද කියන්න මන් දන්නේ නැහැ. නමුත් මට මෙය හැඟෙන්නේ මේ ආකාරයට. මෙය සමලිංගික ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක් යන මතයට නම් මා විරුද්ධයි. මා මෙය දකින්නේ බේබද්දෙක් සහ බේබද්දෙක් වෙන්න යන කෙනෙක් අතර වෙන දෙබසක් විදියට.
*බීපු කෙනා - කවුදෝ එනවා පේනවා එත් හරියට පෙන්නේ නැහැ පොඩ්ඩක් වැඩි වෙලා නිසා. (බොන උන් දන්නවනේ බිව්වම පෙනීම ගැන)
" රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා"
*බොන්න යන කෙනා - ඔව් කෙනෙක් එනවා, මට පේනවා ඔයා සතුටු ලෝකෙක ඉන්න බව, පොඩ්ඩක් ඉන්න මගේ හිතේ තියෙන දුක මන් ඉක්මනට පා කරනවා. ඊට පස්සේ මමත් ඔබ වගේම සතුටු ලෝකෙට එනවා (බීපුවම ඉන්නේ මොන ලෝකෙද කියල බේබද්දන් දනී)
"හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා..."
*බීපු කෙනා- (මිනිහ ටිකක් වයසක ඩයල් එකක්) තුරුණු වියේ හිනිපෙත්තම ඉන්න මේ කාලේ උබ මොකටද බොන්නේ? මොකක්ද උබේ ප්‍රශ්නේ?
" සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//"
*බොන්න යන කෙනා- (නුරා විරහ ගැන දැන ගන්න නම් ඉතින් බූටක් කන්නම ඕනේ) ආදරයේ වේදනාව අමතක කර ගන්න තමයි තොලකට තෙමන්නේ සුරාවෙන් මන්
" නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ"
රුවක් ඇදෙනවා...//
*බොන්න යන කෙනා- හිතේ නැගුනු කේන්තිය දුක ඔක්කොම දැන් පොඩ්ඩ පොඩ්ඩ වැස්සට හේදිලා යනවා. (මන් හිතන්නේ දැන් ෂොට් එකක් දාල. ඒකයි)
" නැගුනු නුරා ගිනි මි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//"
*බීපු කෙනා- ඔන්න ඔය බෝතලේ තියල වරෙන් මලේ යන්න. බිව්ව ඇති දැන්..
" අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා.."
රුවක් ඇදෙනවා.../

සත්‍ය...

අම්මප,


ආදරය,


කටු,


ඔටුන්නක්,


දා,
ගත්ත,


වගේය..

Tuesday, January 26, 2016

එය මෙසේද විය හැක..

වහල්භාවය
අදත් තිබුනානම්
වේවි මමත්
වහලෙක් හෝ
හිමියෙක්..
වදී පහර කස
ඉරා පිට දෙපලු කර
මා මතට හෝ
මාතින් ඔහු මතට
යදිවී ජීවිතය
අල්ලා දෙපතුල
මා හෝ
මගේ හෝ
දහස් ගණනින්
කියාවි වත්කම්
ගණන් කර
පයට පෑගෙන
ඔළුගෙඩි වලින්