Monday, February 1, 2016

ආචාර්ය මහගම සේකර ගැන අලුත් පැගිරි කොලු කුරුට්ටන් නොදන්න....පරණ මිනිස්සු දන්න කතාවක්....

අලුත් පැගිරි කොලු කුරුට්ටන් නොදන්න....පරණ මිනිස්සු දන්න කතාවක්....

කලින් ලියාපු හෑල්ලට හොද ප්‍රතිචාර තිබුණු නිසාත්, බොහෝ අය නොදන්නා කියන කාරණා නිසාත් මේ අප්‍රකට කාරණාව ගැනත් කියන්න හිතුණා. මොකද හැමදාම කිසිම කමකට නැති පෝස්ට් දාන එකේ කාට හෝ දැනගන්න දෙයකුත් දාන්න එපැයි... ඒකනෙ මේ වෝල් එකේ තියෙන අසමසම විවිධත්වය.....

ආචාර්ය මහගම සේකර (බී.ඒ ගෞරව (ලන්ඩන්), එම්.ඒ (විද්‍යෝදය) පී.එච්.ඩී (විද්‍යෝදය - ලංකා)

කුසලතා පරිපූර්ණ නිර්මාණාත්මක ලේඛකයෙක් වෙච්චි සේකරයන් සිංහල පුහුණු ගුරුවරයෙකු ලෙස වේයන්ගොඩ ගුරු විදුහලෙන් නික්මිලා ඉන්න අතරේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙලා ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නවා.. අසමාන උත්සාහයකින් හෙබි නිහතමානී මනුෂ්‍යෙයක් උසස් අධ්‍යාපනයට යොමුවුණේ එහෙම. මොකද බොහෝ දෙනා හිතනවා සේකරයන් නිකංම රස්සාවක් කරල, බීල, සිගරට් ගහල, දුප්පත්කමින් මැරිලා ගිය බුද්ධිමතෙක් පමණයි කියල..නැහැ ඔහු උගතෙක්.

එක්දාස් නවසිය හැට ගණන්වල ඔහු ගුරු වෘත්තියෙ යෙදිලා ඉන්න අතරේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස විද්‍යෝදය (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර) විශ්ව විද්‍යාලයට බැදිලා දෙවසරක් අධ්‍යයන කටයුතු වල යෙදිලා ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නවා. ඉන් අනතුරුව ඔහු ඒම වි.වි ම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කෙටි කලක් සේවය කරනවා. ඒ අතරෙදි තමයි ඔහු ආචාර්ය උපාධිය සදහා ලියාපදිංචි වෙලා අදාල නිබන්ධනය ලෑස්ති කරන්න සූදානම් වෙන්නෙ. එය පරිච්ඡේද පහකින් සමන්විත කෘතියක් වූ අතර එක් එක් පරිච්ඡේදය බැගින් ලියා වි.වි කමිටුවට ඉිදිරිපත්කොට ඔවුන්ගේ නිරීක්ෂණ අනුව සං‍ශෝධිත අවසන් පිටපත සකස් කරමින් සිටියා. ඒ අතර ඔහු මහාචාර්ය තිස්ස කාරියවසම් හමුවන්න ඔහුගේ කුටියට යනවා..

විද්‍යෝදයේ ධර්මපාල ශාලාවට ආපු සේකර තිස්සගෙ පරණ සරම් කඩමල්ලක් ඇගේ දාගෙන පිටිපස්සට ගිහින් මෙහෙම කියනවා...

‘‘මගේ පුංචි වැඩක් තියෙනවා.. කියවමුද?‘
‘‘කියවමු‘‘
‘‘හැබැයි රජෝ පොතක් නෙවෙයි.. පොතක් වේවි පස්සෙ. මේක සැකිල්ලක්‘‘
‘‘පී.එච්.ඩී එකේ එකද?‘‘
‘‘ඒවා මතක් කරනන් එපා. ඒව මහ විසාල වැඩ. නිකං හිතමු එහෙමෙයි කියල!‘‘

යම්තැනක කැපිලි කෙටිලි කොට වෙනස් කර එහි පිටපත් තුනක් සකස් කරගත් තිස්ස කාරියවසම් මහතා

‘‘ඕක සුරවීර මහත්තයටයි (මහාචාර්ය ඒ.වී සුරවීර), බලගල්ලේ මහත්තයටයි (මහාචාර්ය විමල් ජී බලගල්ලේ) පෙන්නන්න දෙන්න ඉස්සර වෙලා..‘‘

‘‘ලැජ්ජ නැද්ද තිස්ස.. මගේ කෙරුවාව බලන්න කියන්න..‘‘
එහෙම කියල ඔහු පොඩි දරුවෙක් වගේ ලජ්ජාවෙන් හිනාවුණා..
‘‘ඒ වුණාට ඉතින් ඒක චාරිත්‍රයක්නෙ!‘‘

ඉන් වසර පහකට පසු ඔහු අාචාර්ය උපාධි නිබන්ධනයේ අවසාන පරිච්ඡේදය සැකසීමට ආරම්භකරමින් සිටියේ ය. හැම පුස්තකාලයකටම යමින් විවිධ පොත පත සොයමින් ඇවිද්දේය. නමුත් එය ඔහුට කරගැනීමට නොහැකි විය. එසේනමුත් පශ්චාත් මරණ ආචාර්ය උපාධියක් සදහා ශ්‍රී ලංකාවේ නිබන්ධනයක් විමංසනය කරන ප්‍රථම අවස්ථාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයට උදාකරමින් මහගම සේකරයන් දැයෙන් නික්මුණා.

පරීක්ෂණ මණ්ඩල නිර්දේශ අනුමත කළ සනාතන සභාව මේ නිබන්ධනය උදෙසා මහගම සේකරයන් වෙත ශාස්ත්‍රසූරී (පී.එච්.ඩී) උපාධිය පිරිනැමීමට තීරණය කළේය.

ඊයේ පෝස්ටුව නිවැරදි නොවන බව සේකරයන්ගේ පුත්‍රරත්නය සදහන් කර ඇති බව දැනගත්තත්, ඊට සම්බන්ධ වූ මහාචාර්ය සරත් චන්ද්‍රජීවයන් තවමත් විශ්ව විද්‍යාලයේ රාජකාරී කරන නිසා විමසා දැනගත්තා එය සත්‍යයක් බව. මේ පොස්ටුව ගැනත් මූලාශ්‍ර විදියට
සිංහල පද්‍ය නිර්මාණයන් හි රිද්ම ලක්ෂණ කෘතියේ පෙරවදන - මහාචාර්ය විමල් බලගල්ලේ සහ මහගම සේකර කලා නිර්මාණ - මහාචාර්ය තිස්ස කාරියවසම් කෘති පාවිච්චි කරල තියෙනවා.

ලිපිය 
මනෝරම වීරසිංහ 

No comments:

Post a Comment