Friday, January 29, 2016

මහගම සේකරයන්

මහගම සේකර සියනෑවෙ මිනිහ වෙච්චි හැමෝම දාන එකම බයිලාව නැතුව මම වෙනස් සටහනක් දානවා..සේකර සූරීන් 1976 ජනවාරි 14 වැනිදා රෑ නවයයි තිහට මිය ගියේ කවිය, සිංහල ගීත කලාව, චිත්‍රපට කලාව, චිත්‍ර ශිල්පය, පිටකවර නිර්මාණය, පරිවර්තන සාහිත්‍යය ආදී ක්ෂේත්‍ර රැසක හිස්තැනක් තබමින්...

ඉතින් මේ කතාව අප්‍රකට නමුත් සත්‍ය සිදුවීමක් මේ කියන්නේ.. සේකරයන්ගේ මෘත ශරීරය ඔහු කලකට පෙර විදුහල්පති ලෙස සේවය කළ රජයේ ලලිත කලායතනයට ගෙනාවා. දැන් ඒක සෞන්දර්ය විශ්ව විද්‍යාලය. ඒ කාලෙ අපේ තාත්තල ඕකට යද්දි කීවේ හේවුඩ් එක කියල..

ඉතින් අද එම ස්ථානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා තිබේ. දේහය එහි ප්‍රධාන ගොඩනැඟිල්ලේ උඩු මහලේ වූ "හේවුඩ්" ශාලාවේ තැන්පත් කර තිබුණේය. එදින සන්ධ්‍යාවේ සේකරයන්ට අවසන් ගෞරව දැක්වූ සරසවි සිසුහු බොහෝ පිරිසක් නිවුණු තැවුණු සිතින් බැහැරව ගියහ. කෙමෙන් රෑ බෝවිය. පිරිස් අඩු වන්නට වූයේය. මහගම සේකරයන්ගේ ඥාතීහුද රාත්‍රියේ නික්ම ගියෝය.

සේකරට ඉතා සමීපව සිටි ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් පමණක් රැඳී සිටිහ.

රාත්‍රියේ වැඩකටයුතු පැවරී තිබුණේ ශිෂ්‍ය සංගමයේ පිරිසටය. ඔවුන් එහි සංවිධාන කටයුතු මැනැවින් සම්පාදනය කර තිබිණි. දි.ග. කුමාරසිංහ එවකට ශිෂ්‍ය සංගමයේ සභාපති විය. උපාලි සම්පත්ගේ ලේකම් වූයේය. ශිෂ්‍ය සංගමයේ සංවිධායක වශයෙන් කටයුතු කළේ සරත් චන්ද්‍රජීවය. මහාචාර්ය සරත් චන්ද්‍රජීව අද එනම් වසර 37 කට පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨ අධ්‍යයන අංශ ප්‍රධානී වශයෙන් සිටී. ලංකාවේ ප්‍රකට මූර්ති ශිල්පියෙකි.

මේ එතුමා කියපු කතාව..
"අපි කවුරුත් අතිශය ආදරය කළ මහගම සේකරයන්ගේ දේහය කලායතනයට ගෙන ඒම අප හැම දෙනාටම ඉතා සංවේදී අත්දැකීමක් වුණා. මට මතකයි අපි ශිෂ්‍ය සංගමයෙ ළමයි රාත්‍රිය දේහය අසල සිට පහන් කරන්න වැඩ සංවිධානය කරලයි තිබුණෙ. මම එතකොට මූර්ති කලා අංශයෙ අවසන් වසරෙ ශිෂ්‍යයෙක්.

මගේ ජේ‍යෂ්ඨ කථිකාචාර්යවරයා මිත්‍රපාල රාජපක්‍ෂ මහතා. තව මහින්ද අබේසේකර, බන්දුල පීරිස් මහත්වරුත් සිටියා. රෑ එකොළහ පමණ වෙද්දී රාජපක්‍ෂ සර් මට කතා කළා. ඒ වෙනකොට පිටස්තර කිසිවෙක් හිටියේ නැහැ. ළමුන් ටිකදෙනෙක් පමණයි හිටියෙ. සර් මට කිව්වා. අපිට ඉස්සරහට මහගම සේකර මහත්තයගෙ ප්‍රතිමාවක් හදන්න වෙන්න පුළුවන්. ඒ නිසා ප්ලාස්ටර් පැරිස් යොදල මුහුණෙ "DEATH MASK" එකක් ගන්න සූදානම් කරන්න කියලා. බඩු සූදානම් කරගෙන කාටවත් එන්න බැරි වෙන්න ‍දොරටු ගාව ළමයි තියල මිත්‍රපාල රාජපක්‍ෂ සර් වැඩේ ආරම්භ කළා.

මුහුණට හානි නොවෙන්න පුළුන් ගෝස් පරෙස්සමට එළල අච්චුව ගන්න පුළුවන් විදියට සර්ල ප්ලාස්ටර් බදාම මුළු මුහුණටම දැම්ම. මේක හරිම දුක්බර අවස්ථාවක් වුණා. මොකද හැමදෙනාම මහගමට අසීමිත ලෙස ආදරය කරන පිරිසක් මේ කටයුත්තට දායක වුණේ. එදා පාන්දර යාමයේ සේකරගේ මුහුණේ සජීවී හැඩරුව සහිත මාස්ක් එක රාජපක්‍ෂ සර් පරෙස්සමට ඉවත්කර ගත්තා..

අදටත් ඒක සුරක්ෂිතව තියෙනවා... ලෙනින් වගේ අයගෙත් මේ දේ කරල තියෙනව විදෙස් රටවල් වල.......
 
ලිපිය

මනෝරම වීරසිංහ