“අතීසාරයට අමුඩය ගැසීමෙන් සිදුවන්නේ අමුඩ ලේන්සුව ජරාවීම පමණකි.”
ජාතික ගීයේ දමිළ අනුවාදනය මේවනවිට බුකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වී හමාරයි.
ශ්‍රී-ලංකාව මත ඉපිද ශ්‍රී-ලාංකික පොළවෙන්, සුළඟෙන්, ජලයෙන් පෝෂනය වූ අපි එකිනෙකා හා සන්නිවේදනය සඳහා භාවිතා කරන මිනිසා නිර්මාණය කරගත් භාෂාවක් පමණක් පදනම් කර ගනිමින් දශක 3ක් පුරාවට එකිනෙකා මරා ගත්තෙමු.
ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටළුව දෙස බැලීමේ දී තේරුම් ගතහැකි ප්‍රධාන කරුණ නම් දශක 3ක් පුරාවට පැවැති සිවිල් යුද්ධය අවසන්කොට වසර 6ක් අවසන්ව ඇති නමුත් තවමත් ශ්‍රී-ලාංකික ජනතාව තුල එකිනෙකා කෙරෙහි අනයෝන්‍ය විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට අපොහොසත්ව ඇති බවයි.
දමිළ භාෂාව කතාකරන ජනතාවටත් ජාතික ගීය ගායනා කරන විට තමාගේය යන හැඟීම ඇතිවිය යුතු බව සත්‍යකි. ජාතික ගීයේ දමිළ අනුවාදනය භාවිතා කිරීම තුලින් දමිළ භාෂාව කතාකරන ජනතාව තාවකාලිකව ආමන්දානයට පත්කළ හැකි නමුත් එය මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ.
පලමු කොටම ජාතික ගීය දමිළ බසින් ගායනා කළ යුතු බවට දමිළ ජනතාව තුල මතයක් ගොඩ නැඟෙන්නේත් එසේ ගායනා කරනවාට සිංහල ජනතාව විරුද්ධ වන්නේත් එකම කාරණාවක් පදදනම්කොට ගනිමිණි. එනම් අප දෙකොට්ඨාශය අතර අනයෝන්‍ය විශාවාසයක් නොපැවතීමයි. අප පවතී නම් දමිළ ජනතාවට සිංහල බසින් ජාතික ගීය ගායනා කිරීමටත්, සිංහල ජනතාවට ජාතික ගීයේ දමිළ අනුවාදනයට විරුද්ධ වීමටත් කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවේ.
සිංහල ජනතාවත් දමිළ ජනතාවත් අතර විශ්වාසය ගොඩ නැංවීම සඳහා ඔවුන් අතර ඇති ගැටළු, විරසක, සබඳතා ආදී සියළුම කරුණු පිළිබඳව සංවාද මණ්ඩපයක් ඇතිකළ යුතුව ඇත. ඒ තුලින් එකිනෙකාගේ සංස්කෘතීන් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනීමටත්, ඒවා අතර ඇති විවිධත්වය, වෙනස්කම් වටහා ගැනීමටත්, ඒවාට ගරුකිරීමටත් උගත යුතුව ඇත.
අප අතර විශ්වාසය ගොඩ නැඟීමකින් තොරව ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම වැනි සිල්ලර ක්‍රියාකාරකම් තුලින් මෙම ගැටළුවට විසඳුම් ලබාදිය නොහැකි බව පාලකයනුත්, ජනතාවත්, සමාජ ක්‍රියාකාරීනුත් අවබෝධකරගත යුතුය.
මේ ජාතික ගීයේ දමිල අනුවාදනය ගායනා කිරීම වැරදියි කියනවා නොවේ. නමුත් නැවත වතාවක් අප රට ජාතිවාදී ගිනිදැල්වලින් වෙළීයාම නැවැත්වීමට නම් ජාතීන් අතර අනයෝන්‍ය විශ්වාසය වර්ධණය කිරීම සඳහා වැඩ පිළිවෙළක් හැකි ඉක්මනින් ආරම්භ කළයුතුව ඇත.
No comments:
Post a Comment