Thursday, February 4, 2016

විරුවෙක් සහ ...........

මේ කියන්න යන්නේ තවත් වීරයන් දෙදෙනෙක් ගැන කතා පුවතකි. සහෝදර සෙබළුන්ගේ මොරාල් එක රැක ගැනීමට නොබියව සටන් බිමට ගිය අපේ යුගයේ රණකාමී විරුවන් දෙදෙනෙකු ගැන අපූරු කතා පුවතකි
ඇසට ඇස ඉල්ලන ලෙයට ලෙය ඉල්ලන රුදුරු යුධ බිමක රණකාමී මානසිකත්වය පහත නොවැටී රැක ගැනීම ඉතා අපහසු කටයුත්තකි. තව මොහොතකින් කොහේ හෝ සිට පතිත වන උණ්ඩයක් හිස මතට පතිත විය හැකි නම් මෝටාර් කාළතුවක්කු මල්ටිබැරල් පහරකට හසු විය හැකි නම් රණකාමීත්වය, වීරත්වය පරයා භීතිය අසරණ බව මතු විය හැක. එය සංග්‍රාම භූමියට නුසුදුසු හැඟීමකි. මෙවැනි අසීරු මොහොතක සෙබලෙකු ලෙස ඔබ හා සමග සංග්‍රාම භූමියේ උරෙනුර ගැටී සටන් කරනුයේ ඔබේ අණදෙන නිලධාරියා නම් ඔබේ නායකයාගේ පුත්‍රයා නම් ඔබට ලැබෙන ජවය ඉතා අපූරු එකක් වනු ඇත. මේ කියන්න යන්නේ එබඳු බිහිසුණු මොහොතක තම සගයන් වෙනුවෙන් දිරි දුන් අපූරු විරුවන් දෙදෙනෙක් ගැන පුවතකි
පළමු රූපයෙන් දැක්වෙන්නේ ජෙනරල් හැමිල්ටන් වනසිංහ නම් හමුදාපතිවරයාගේ බෑණනුවන් වූ බ්‍රිගේඩියර් භාතිය ජයතිලක විරුවාණන්ය. අලිමංකඩ කඳවුර ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වෙද්දී කඳවුර අත්හැර පලා එන්නට කොළඹින් අණ ලැබෙද්දීත් කඳවුරට වතුර දුන් ළිං ත්‍රස්තයන් සතු වෙද්දී තම අත රැඳි බෝතලයේ වතුරත් සහෘද සෙබළුන් හට ලබා දී ආයුධ ත්‍රස්තයන් අතට පත් නොවී විනාස කරන තුරු රැඳී හිඳ රණබිම මතම ජීවිතය පූජා කල අපේ කාලයේ විරුවා ඔහුය. බොන්න දිය බිඳක් නැතිව මරුවා පෙනි පෙනී සටන් කරද්දී පවා තම බ්‍රිගේඩියර් වරයා ජෙනරාල් වරයාගේ පුත්‍රයා සටන් බිම රැඳී හිඳීම සෙබළුන්ගේ චිත්ත ධෛර්‍යයට අපූරු උත්තේජකයක් වූවට සැකයක් නැත
දෙවැනි පින්තූරයෙන් දැක්වෙන්නේ එවකට සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා යෝෂිත රාජපක්ෂය. ඔහුද බ්‍රිගේඩියර් භාතියට නොදෙවෙනි රණවිරුවෙකි. නාවික හමුදා නිලධාරියෙකු වීමට අවශ්‍ය අවම සුදුසු කම වූ උසස් පෙළ පවා අසමත් වූවත් රණබිම වෙනුවෙන් කැකෑරෙන රුධිරය නිසා සහෘද සෙබළුන්ගේ චිත්ත ධෛර්‍‍යය වර්ධනය කිරීමට බලහත්කාරයෙන් හෝ හමුදාවට බැඳුනු යුගයේ අපූරු විරුවෙකි. හමුදාවට බැඳී දවස් විස්සකින් අනතුරුව සාම්ප්‍රදායිකව මාස නමයක පුහුණුවකින් පසු දක්ෂතම කැඩෙට් නිලධාරියාට ලැබෙන පුහුණුව වූ ඩාට්මත් රෝයල් නේවල් ඇකඩමියේ පුහුණුවට ඇතුල් වූ යුගයේ අපූරු විරුවා ඔහුය. දින 20ක දේශීය පුහුණුවකින් පසු මාස 20ක් පුරා රුපියල් මිලියන ගණන් වැය කරමින් විදේශීය පුහුණුව ලැබූ මුත් කිසි දිනෙක සටන් බිමක තබා ආචාර වෙඩිමුරයකට මිසක උණ්ඩයක් පත්තු වෙන තැනක නොසිටි මේ යුගයේ අපූරු විරුවා දුප්පත් දෙමවුපියන්ගේ දරුවන් නන්දිකඩාල් වල සාම්පූර් වල කන්න බොන්න නැතුව මරුවා උදාවෙන මොහොත දෙස කොයිබදැයි සිතමින් සටන් කල සෙබළුන්ට මහත් චිත්ත ධෛර්‍යයක් වූ බව නම් නිසැකය

ලිපිය Ravisha Thilakawardana


No comments:

Post a Comment