Saturday, February 6, 2016

නිතර හමුවන උග්‍රවිෂ සර්පයින්, නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනාගනිමු

නිතර හමුවන උග්‍රවිෂ සර්පයින්, නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනාගැනීම.
ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් වැඩිම සර්ප දෂ්ඨන ප්‍රතිශතයක් වාර්ථා වන රටකි. වසරකට ශ්‍රී ලංකාව තුළ සර්ප දෂ්ඨනයන් 33 000 - 37 000 අතර ප්‍රමාණයක් වාර්ථා වන අතර, මෙයින් 100ක් පමණ මරණයට පත්වේ. මින් බොහොමයක් නයා, තිත් පොළඟා, හා තෙල් කරවලා දෂ්ඨ කිරීම හා සම්බන්ධ සිදුවීම් වේ.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති සර්ප විශේෂ 102 අතුරින් උග්‍ර විෂ සහිත වන්නේ සර්ප විශේෂ 21ක් පමණි. උග්‍ර නොවන විෂ සහිත විශේෂයන් 5ක්ද, මද විෂ සහිත විශේෂ 12ක්ද වාර්තා වේ. ඉතිරි විශේෂ 64ම නිර්විෂ සර්ප විශේෂයන් ය.
උග්‍ර විෂ සහිත සර්පයින්ගෙන් විශේෂ 14ක්ම ගැඹුරු මුහුදේ වාසය කරන සර්ප විශේෂ වේ. ඉතිරි විශේෂ හතෙන්, දෙවර්ගයක් කොරල් සර්පයින් වන අතර, ප්‍රමාණයෙන් කුඩා නිසා මනුෂ්‍යයින්ට හානි කිරීමට තරමක් අපොහොසත්ය. ඉතිරි විශේෂ පහෙන් වැලි පොළඟා හමුවන්නේ වියළි හා ශුෂ්ක කලාපයන්ගෙන් පමණක් වන අතර, මුදු කරවලා විරල, හා ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී නොවන සර්පයෙකි. එම නිසා, ශ්‍රී ලංකාවේදී සර්පයන් සපාකෑම මගින් සිදුවන බොහොමයක් මරණ සිදුවන්නේ නයා, තෙල් කරවලා, සහ තිත් පොළඟා සපා කෑම හේතුවෙනි.
බොහෝකොටම සර්පයන් දෂ්ඨ කරන්නේ ගොදුරක් අඩපණ කරගැනීමට, හෝ තමාට තර්ජනයක් එල්ල වූ විට පමණි. සියලු සර්පයන් විෂ සහිත යැයි ද, මිනිසුන්ට දෂ්ඨ කිරීම අනිවාර්යයෙන්ම සිදුකරන්නේ යැයි ද, සර්පයන් සෙවල සහිත අපිරිසිදු සත්ත්වයින් යැයිද වැනි දුර්මත නිසා බොහොමයක් දෙනා මෙම සත්ත්වයින් මරා දැමීමට පෙළඹේ.
සර්පයින් ආහාර සපයාගැනීම සඳහා ද, තම ආරක්ෂාව සඳහා ද විවිධාකාර හැඩගැසීම් සහ උපක්‍රම භාවිතා කරයි. මෙම හැඩගැසීම් නිරීක්ෂණය කර විෂ සහිත සර්පයින් හඳුනා ගත හැක.
විෂ සහිත හා නිර්විෂ සර්පයින් හඳුනාගැනීමේදී පැන නගින එක අභියෝගයක් නම්, ඇතැම් නිර්විෂ සර්පයින් පෙනුමෙන් ඇතැම් විෂ සහිත සර්පයින්ට සමාන වීමයි (Mimicry). උදාහරණයක් වශයෙන්, දාර රදනකයා, කබර රදනකයා, මල් රදනකයා ආදී නිර්විෂ සර්පයින් තෙල් කරවලුන් බවට වරදවා වටහා ගැනෙන අතර, එම හේතුව නිසාම මරණයට පත්කිරීම සිදුවේ. මෙම නිසා අඩුම තරමින් බහුලව හමුවන උග්‍රවිෂ සර්පයින් තිදෙනා නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට ඉතා වැදගත් වේ.
තෙල් කරවලා වෙනත් නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හඳුනාගැනීම පහසුය. නිලට හුරු කළු පැහැති සමෙහි සිහින්, සුදු පැහැති හරස් තීරු දක්නට ඇත. වලිගය දෙසට මෙම තීරු අපැහැදිලි වන අතර, බඩවත සුදු පැහැ වේ. සුදු පැහැ තීරු වඩා හොඳින් දැකගත හැක්කේ ලාබාල කරවලුන්ගේ ය. තෙල් කරවලාගේ සමෙහි මෙම තීරු පිහිටන්නේ එක ළඟ තීරු දෙක බැගින් වන අතර, දාර රදනකයාගේ තීරු සමදුරින් පිහිටයි. දිගින් සෙන්ටිමීටර 25 - 140 අතර (දළ වශයෙන් අඩි 1 - 4.6 අතර) වන තෙල් කරවලාගේ කොඳු නාරටිය දිගටම, අනෙක් කොරපොතු වලට වඩා සාපේෂව ප්‍රමාණයෙන් විශාල ෂඩාස්‍රාකාර කොරපොතු තීරුවක් පිහිටයි.
වර්ණයෙන් දුඹුරට හුරු කළු පැහැයක් ගන්නා දාර රදනකයාත්, අඳුරු දුඹුරු/ කළු දුඹුරු පැහැ කබර රදනකයාත්, ලා දුඹුරු පැහැ මල් රදනකයාත් මෙම ලක්ෂණය නොපෙන්වන අතර, කොරපොතු සියල්ල හැඩයෙන් සමාන වේ. ඊට අමතරව, වැඩුණු තෙල් කරවලෙකු සාමාන්‍යයෙන් අඩි 3.5ක් පමණ දිගු වුවත්, අඩි 2 - 2.5කට වඩා දිග, වැඩුණු රදනකයෙක් දැක්ගැනීමට හැකි වන්නේ කලතුරකිනි.
පිඹුරන් බොහෝ විට වැලි පොළඟුන් හා තිත් පොළඟුන් ලෙස වරදවා හඳුනාගනු ලබයි. පොළඟුන්ට පිඹුරන්ගේ මෙන් අක්‍රමවත්, වළකුළු හැඩැති හිසක් නොව, ක්‍රමවත්, ඕවලාකාර හිසක් පිහිටයි. හොඹුව (snout) කෙලින් එල්ල වූ ස්වභාවයක් (pointed) ගනී. තිත් පොළඟාගේ පසෙහි දුඹුරු පාට සමෙහි තද දුඹුරු පැහැ පුල්ලි පේලි තුනක් ඇත. සාපේක්ෂව විෂාල පුල්ලි පේලිය කොඳු නාරටිය දිගටත්, අනෙකුත් පුල්ලි පේලි දෙක සිරුර දෙපැත්තෙනුත් නිරීක්ෂණය කළ හැක. පිටෙහි පුල්ලි විශාල හා දිගැති ඕවලාකාර වන අතර, කලු පැහැති පිටත තීරුවකින් වටව ඇත. මෙම පිටත තීරුව සුදු පැහැයෙන් සීමාවී ඇත (Oval shaped spots, outlined with a black line where its outer border whitish). හිසෙහි ඇති ලා දුඹුරු පැහැති පුල්ලි දෙකක් 'V' ආකාරව හොඹුව දෙසට එල්ල වී ඇත. බඩවත අපිරිසිදු සුදු පැහැ වන අතර දුඹුරු හෝ කළු පැල්ලම් දැකගත හැක. ප්‍රකෝප වූ විට දඟර ගැසී, සිරුරෙන් 1/3ක් පමණ ඔසවා පීඩන උඳුනක විස්ල් ශබ්ධයට සමාන උස් පිඹුම් හඬක් (high-pitched whistle like a pressure cooker) නිකුත් කරයි.
තිත් පොළඟා යැයි වරදවා හඳුනාගැනෙන දාර පිඹුරන් හා කොට පිඹුරන්ගේ දිගු හා ඕවලාකාර පුල්ලි නොපිහිටයි.
නාගයා හඳුනාගැනීම ඉතා පහසුය. විදහනු ලැබූ විට හිස මත ඇති ශුදු හා කළු පැහැ 'ප' හැඩය පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. හිස විස්තාරණය නොකරන ලද අවස්ථාවක හඳුනාගත හැකි පහසුම ක්‍රමය නම්, ඇසට පහලින් ඇති ප්‍රදේශය නිරීක්ෂණයයි. මෙම ප්‍රදේශය කලු පැහැයෙන් පිට මායිමක් (outlined) ලකුණු වී ඇත.
මීට අමතරව, විෂ සහිත සර්පයින්ගේ හිස් බොහෝ විටම පළල්, ත්‍රිකෝණාකාර වන අතර (විෂ ග්‍රන්ථි පිහිටීම හේතුවෙන්), නිර්විෂ සර්පයින්ගේ හිස් රවුම් හැඳි හැඩැති හෝ දිගටි වේ.
උපුටාගැනීම්:
US National Library of Medicine
Ceylon Medical Journal
Content uploaded by Dilmah Coservation
ලිපිය සකස් කළේ Amanda Abeysooriya

No comments:

Post a Comment