Friday, January 29, 2016

අනාගතය ඇදයි!

මට ටීවී එක එපා වුණේ කිසිම වැඩ සටහනක් බලන්න නොදෙන තරමට හිරිහැර කරන දැන්වීම් නිසා. "ඩයලොග් කොයි තරම් හොඳද" කියන දැන්වීම් අහල දැකල ම ටීවී එක එපා වුණා. ඊට පස්සෙ ටෙලිෆෝන් එක එපා වුණා. බත්තරමුල්ලෙ ඉඳලා හූවක දුර හිටියත් සිග්නල් නෑ. කතා කරන දේ ඇහෙන්නෙ නෑ. එයින් පස්සෙ ඉන්ටනෙට් එපා වුණා. මෝබයිල් ඩේටා පටන් ගන්නෙම no internet connection කියලා. 3G නැතුවට කමක් නෑ, අපි මස් රාත්තල ම ඉල්ලන එක හරි මදි නේ, ටොන් ගාණක් තියනවා කිය කිය පෙන්නුවත්.
මේ ආදී වූ නොයෙකුත් දුක් ගැහැට පිළිබඳ බැරිම අවස්ථාවල Dialog Customer Care අංශයට පැමිණිලි කළා. එයින් සෑහෙන සහනයක් හිතට ලැබුණා. අපි වෙනුවෙන් කෙරෙන ඔවුන්ගේ සේවය නම් විශිෂ්ටයි. මට අපේ පවුලේ කෙනෙක්වත් ඔය තරම් ආදරණිය විදියට කතා කරලා නෑ. මෛතී්‍ර කරුණාවෙන් යුතුව, සියලු ගැටළු පිළිබඳ උපේක්ෂාවෙන්, පාරිභෝගිකයින්ගේ යහපත ගැන ම සිතන, සතර බඹ විහරණයන්ගෙන් යුත් Dialog Customer Care අංශය මතක් වුනත් හිතට සහනයක්.
ඒත් ඉතින් මේවා තියාගෙන බිල් ගෙව ගෙවා ඉන්න එක මහා කරදරයක්. කිසිම දෙයක් හරි හැටි කරන්න බැරි නිසා මට දැන් ජීවිතෙත් එපා වෙලා. වෙලාවකට හිතෙනවා මේ හැම දේම දමලා ගහලා හිස හැරුණු අතේ කොහේ හරි යන්න. ඒත් ඒක නොකරන්නෙ Dialog Customer Care අංශය ගැන හිතලා. හැමෝම මං වගේ කරන්න පටන් ගත්තොත් Dialog Customer Care අංශයට යන කල මොකද්ද?

ලිපිය 
දර්ශන කරුණාතිලක

No comments:

Post a Comment