Saturday, January 30, 2016

ලේ වැකි ඇත් දළ විනාශ කළාට ලෝක ජනමාධ්‍යවල ප්‍රශංසාව


අැත් දළ විනාශ කිරීම විෙදස් මාධ්‍ය වාර්තා කර තිබූ අන්දම
නීති විරෝධී ඇත් දළ වෙළෙඳාම සම්බන්ධයෙන් සමාව අයැදි ලොව පළමු රට බවටත් තමන් භාරයට පත් ඇත් දළ තොගයක් මේ අන්දමින් ප්‍රසිද්ධියේ විනාශ කළ පහළොස්වැනි රට බවටත් මේ සමඟ ශ්‍රී ලංකාව පත්විණැයි ‘නැෂනල් ජියොග්‍රැෆික්’ සහ තවත් වෙබ් අඩවි මෙන්ම මාධ්‍යයද වාර්තා කළේය.
නීති විරෝධී මෙන්ම ලේ වැකි ඇත් දළ ජාවාරමට ඉඩ නොතබන බව ලෝකයට කියාපාමින් ශ්‍රී ලංකා රේගුවේ අත්අඩංගුවට පත් ඇත් දළ 359ක් ගාලු මුවදොර දී ප්‍රසිද්ධියේ විනාශ කළ පුවතට ජාත්‍යන්තර මාධ්‍ය ද ප්‍රමුඛත්වයක් ලබා දුන්නේය.
පළමුව ටොන් 100ක ධාරිතාවකින් යුතු ඇඹරුම් යන්ත්‍රයක් මඟින් ඒවා තලාදමන ලද අතර පසුව කාර්මික උඳුනක පුළුස්සා දැමීම සිදුවිය. එසේ කිරීමට ප්‍රථම විනාඩි 2ක නිහැඬියාවක් පවත්වා නිකරුණේ සිය ජීවිතවලින් වන්දි ගෙවූ මේ දැවැන්තයන්ට ගරු කෙරිණි. ‍ෙබෟද්ධ,හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමානුකූව චාරිත්‍ර පවත්වා පුණ්‍යානුමෝදනා කිරීමද සිදු විය.
කෙන්යාවේ සිට ඩුබායි දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී මෙම ඇත් දළ තොගය රේගු භාරයට ගැනුණේ මීට සිව් වසරකට පමණ එපිටදීය. කෙන්යාවේ සිට රැගෙන යන බව සඳහන් වුවද ජාන විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළිදරව් වූයේ ඒවා ටැන්සානියානු ඇතුන්ගේ බවයි.
නීති විරෝධී ඇත් දළ වෙළෙඳාම සම්බන්ධයෙන් සමාව අයැදි ලොව පළමු රට බවටත් තමන් භාරයට පත් ඇත් දළ තොගයක් මේ අන්දමින් ප්‍රසිද්ධියේ විනාශ කළ පහළොස්වැනි රට බවටත් මේ සමඟ ශ්‍රී ලංකාව පත්විණැයි ‘නැෂනල් ජියොග්‍රැෆික්’ සහ තවත් වෙබ් අඩවි මෙන්ම මාධ්‍යයද වාර්තා කළේය. බෞද්ධ ආගමික වතාවත් ඉටු කළ ඕමල්පේ සෝභිත හිමියන් ගේ ප්‍රකාශය “නැෂනල් ජියොග්‍රැෆික්” වාර්තා කර තිබුණේ මෙලෙසය.
“මේ ඇතුන් එක්තරා පුද්ගලයන් පිරිසකගේ ක්‍රෑරත්වයේ ගොදුරු බවට පත්වී තිබෙනවා. නමුත් සමස්ත මිනිස් සංහතියම මේ අපරාධයේ වගකීම භාරගත යුතුයි. අපි මේ අහිංසක ජීවිත විනාශ කර ඇත්තේ මේ ඇත්දළ ලබාගැනීමටයි. මේ ගැන අපි මේ අහිංසකයන්ගෙන් සමාව ගත යුතුයි.”
විනාශ කරන ලද ඇත් දළ තොගය ටොන් 1.5ක් බරැති ය. එහි වටිනාකම ඇ. ඩො. මිලියන 3ක් පමණ වේ. මෙවැනි ඇත් දළ අත්අඩංගුවට ගත් පසු විහාරස්ථානවලට ලබාදීමේ පිළිවෙතක් තිබුණද යළිත් ඒවා තුන්වෙනි පාර්ශ්වයක් හරහා ජාවාරම්කාර වෙළෙඳ පොළට එක්වෙතැයි විරෝධයක් තිබූ බව ද එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.
ශ්‍රී ලංකාවද වඳ වී යාමේ තර්ජනයට ලක්වූ වනජීවී හා වෘක්ෂලතා විශේෂ අන්තර්ජාතික වෙළෙඳාමට යොදාගැනීමට එරෙහි අන්තර්ජාතික සම්මුතියට (CITES) අත්සන් තබා ඇති රටකි. යම් හෙයකින් එවැන්නක් සිදු වුවහොත් එය එම සම්මුතිය උල්ලංඝනය කිරීමක් ද වේ. ඒ අනුව ඒවා විනාශ කිරීමට ගත් පියවර දෙස් - වි‍ෙදස් පරිසර සංවිධාන හා පරිසරවේදීන්ගේ අගැයීමට ලක්ව ඇත.
ඉකුත් සිව් වසරක කාලසීමාව තුළ ගබොස්, පිලිපීනය, අමෙරිකාව, චීනය, ප්‍රංශය, චැඩ්, බෙල්ජියම, හොංකොං, කෙන්යාව, ඉතියෝපියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කොංගෝ ජනරජය, මොසැම්බික් සහ තායිලන්තය යන රටවල් මෙලෙස අත්අඩංගුවට ගත් ඇත් දළ තොග විනාශ කළ අතර දැන් ශ්‍රී ලංකාව ද ඒ අතරට එක්ව සිටී.
ගාලු මුවදොර දී ඇත්දළ තොගය විනාශ කිරීමේ අවස්ථාවට සාක්ෂිකරුවකු ලෙස CITES මහ ලේකම් ජෝන් ස්කැන්ලන් ද සහභාගි විය. එහිදී ඔහු ඊට තමාට ඇරියුම් කිරීම ගැන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්තුති කළේය. ඉකුත් දෙවසර තිස්සේ අප්‍රිකා, නැගෙනහිර හා අග්නිදිග ආසියා, යුරෝපා, මැද පෙරදිග හා උතුරු අමෙරිකා රටවලින්ද මෙලෙස ඇත්දළ තොග අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ බවද ඔහු එහිදී පැවැසීය. රාජසන්තක කළ ඇත්දළ තොගයක් මේ අන්දමින් විනාශ කළ පළමු දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව බවද පැවසූ මහ ලේකම්වරයා මෙවැනි අවස්ථාවක ආගමික වතාවත් ඉටුවූයේ පළමු වතාවට බවද කියා සිටි‍ෙය් එය ඉහළින්ම අගය කළ යුතු අවස්ථාවක් බව පෙන්වා දෙමිනි.
පූජ්‍ය සෝභිත හිමියන් බුදුවදන් මෙ‍ෙනහි කරමින් මෙම අහිංසකයන්ගේ මතු අත්භවය වඩා යහපත් එකක් වේවායි කළ ප්‍රාර්ථනය ද නැෂනල් ජියොග්‍රැෆික් වාර්තා කළේය.‍
‘ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණය රේගු අධ්‍යක්ෂ උදයන්ත ලියනගේ ගේ ප්‍රකාශයක් උපුටා දක්වා තිබිණි. එම ඇත්දළ තොගය අතර කුඩා ඇත් පැටවුන්ගේ දළ පවා තිබෙන බව ඔහු පවසා ඇත. “මේකෙන් අපි පෙන්නුම් කරන්නේ ලේ වැකි ඇත්දළවලට වටිනාකමක් නැති බවයි. මේ විදිහට ඇත්දළ කපා දැම්මට පස්සෙ මේ සතුන් මැරෙන්න කලින් සතියක් විතර වේදනා විඳිනවා...” යනුවෙන් ද ඔහු පවසා තිබේ. ඇතුන් ඝාතනය කර ලබා ගන්නා දළ හැඳින්වීමට මේ ජාවාරමට එරෙහි ක්‍රියාකාරීන් භාවිත කරන යෙදුම “ලේ වැකි ඇත් දළ” යන්නය. ඇත් දළ තොගය ප්‍රවාහනය කරමින් තිබුණේ දෘඪ ප්ලාස්ටික් අපද්‍රව්‍ය යන ලේබලය යටතේ බවද රේගු අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කර තිබිණි. ඒවා රාජසන්තක කිරීම සිදුවූයේද සම්මුතිය ඔස්සේ යමිනි.
නීතිවිරෝධී ලෙස ජාවාරම්වලට යොදාගන්නා මෙවැනි ඇත් දළ ඖෂධ වර්ග නිෂ්පාදනයට හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගැනේ. සම්මුතියට අනුව එවැනි භාණ්ඩ හා ද්‍රව්‍ය වෙළෙඳාම ද තහනම් ය.
ශ්‍රී ලංකා අලින් අතර දළ ඇතුන් සිටින්නේ අල්ප ප්‍රමාණයකි. අලි ඇතුන් කෙරෙහි ශ්‍රී ලාංකිකයන් තුළ ගෞරවයක් ද පවතින අතර අලි ඇතුන්ට නීතිමය රැකවරණයක්ද තිබේ. කෙසේ වෙතත් අලි - මිනිස් ගැටුම හේතුවෙන් මෙරට අලින් 200ක් පමණ වාර්ෂිකව මිනිසුන් අතින් මරණයට පත්වන අතර අලින් පහරදීම හේතු කොටගෙන 50 දෙනකු පමණ මිය යන බවද ගාඩියන් වාර්තාවේ සඳහන් විය.
මීට පස් වසරකට ඉහත දී කරන ලද ගණනයන්ට අනුව මෙරට අලි ගහනය 7000ක් පමණ බව පැවසේ. එම සංඛ්‍යාව පෙරට වඩා අඩුවීමකි. විසිවැනි සියවස මුල් භාගයේදී මෙරට අලි ගහනය වාර්තා වූයේ 12000ක් වශයෙනි.
ශ්‍රී ලංකාව මෙම ඇත්දළ තොගය විනාශ කිරීමට ගත් පියවර මඟින් තමන් (CITES) පවුලේ සාමාජිකයකු බව ලොවට පෙන්වීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන සමන්ත ගුණසේකර මහතා පැවැසී යැයි ද නැෂනල් ජියොග්‍රැෆික් වාර්තා කෙළේය. ඔහු වැඩිදුරටත් කියා තිබුණේ එම පණිවිඩය ශ්‍රී ලාංකිකයන්ට ‍ෙමන් ම සමස්ත ලෝකයට ම රැ‍ෙගන යා යුතු බව ය.
ශ්‍රී ලංකාව ඇත් දළ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන හවුල්කරුවකු නොවේ. එහෙත් ඉන්දීය සාගරය හරහා නීතිවිරෝධී ලෙස ඇත් දළ ප්‍රවාහනය කිරීමේදී ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව අතරමැදි රටක් ලෙස භාවිත කරයි. ශ්‍රී ලංකාව කාර්යබහුල නාවික ගමන් මාර්ගයක පිහිටා තිබීම ඊට හේතු වී තිබේ. වනජීවී අධීක්ෂණ කණ්ඩායමක් වන TRAFFIC මඟින් ශ්‍රී ලංකාව මේ ජාවාර‍ෙම් අතරමැදි රටක් ලෙස භාවිත කරමින් ඇති බව 2014 වසරේදී අනාවරණ කළේය. 2015 අප්‍රේල් මාසයේදී තායිලන්තය නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ඇත් දළ මෙට්‍රික් ටොන් 3.1ක තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. එයද ශ්‍රී ලංකාව, මැලේසියාව හා සිංගප්පූරුව හරහා ප්‍රවාහනය කරමින් තිබූ බව හෙළිදරව් කෙරිණි. ඇත්දළ කෙන්යාවෙන් ලබාගත් ඒවාය. ඇත්දළ ජාවාරමේ ප්‍රධාන භූමිකාවක් ඉටුකරන්නකු බවට පත්ව සිටි හොංකොං ඇත්දළ වෙළෙඳාම තහනම් කිරීමට පියවර ගත්තේ මීට දින කිහිපයකට ඉහතදීය.
ප්‍රවාහනයේදී අතරමැදි රාජ්‍යයක් ලෙස මෙන්ම සිල්ලර වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ද හොංකොං රාජ්‍ය මෙම ජාවාරමේදී භාවිත වේ. ලොව අන් කිසිදු රටකට වඩා ඇත් දළ වලින් කළ නොයෙක් භාණ්ඩ එහිදී මිලදී ගැනීමටද හැකියාව තිබිණි. ඇත් දළ වෙළෙඳාම තහනම් කරමින් හොංකොං රජය ප්‍රකාශ කළේ, තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ නීතිවිරෝධී අයුරින් වෙළෙඳාම් කරන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවය‍. එම දඩ මුදල් විශාල ලෙස ඉහළ දැමීමට ද කටයුතු කර ඇත. මෙහිදී ලෝක වනජීවී අරමුදල (WWF) ද පුළුල් කාර්යභාරයක් ඉටු කළේය. මීට ඉහතදී, එනම් 2015 සැප්තැම්බරයේදී චීන ජනාධිපති ෂී ජින් පිංග් සහ අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා ද තම රටවල වාණිජමය වශයෙන් ඇත් දළ අලෙවිය නතර කිරීමට පියවර ගන්නා බව කියා සිටියහ.
ලොව ව්‍යාපාරික දැවැන්තයකු වන රිචඩ් බ්‍රැන්සන් මීට දින කිහිපයකට පෙර නීතිවිරෝධී ලෙස රයිනෝ අං වෙළෙඳාම් කිරීමට එරෙහිව අදහස් දක්වා තිබිණි. 2014 දී දකුණු අප්‍රිකා‍ෙව් පමණක් අං ලබාගැනීම සඳහා මරා දමනු ලැබූ රයිනෝසරයන් සංඛ්‍යාව 1200කට අධිකය. ඔ‍ෙබ් නියපොතුවල ඇති දේට අමතර යමක් රයිනෝ අංවල නැතැයි සඳහන් දැන්වීම් ව්‍යාපෘතියකටද ඔහු එක්වී සිටී. රයිනෝසරයන් හා අලි ඇතුන්ගේ ඉරණම ඛේදනීය ලෙස තීරණය වීමට එම සතුන්ගේ අං සහ දළ පිළිබඳ ගොඩනැඟි මිත්‍යා විශ්වාස ප්‍රධාන හේතුව බවට පත් වී ඇත. ඒවා යොදා ගනිමින් කළ හැකි වෛද්‍ය ප්‍රතිකාරයක් නැති බව පරිසරවේදීහු අවධාරණය කරමින් සිටිති. CITES මහ ලේකම් ස්කැන්ලන් ගාලු මුවදොරදී කළ ප්‍රකාශයක් ඇසුරින් NEWS MAX.COM වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ ලොව පුරා වාර්ෂික නීතිවිරෝධී වනජීවී වෙෙළඳාම ඇ. ඩො. බිලියන 20ක් පමණ වන බව ය. එම ගණන් බැලීමට දැව සහ සාගර සම්පත් අයත් නොවේ. එහි වැඩිම කොටසට හිමිකම් කියන්නේ ඇත් දළ සහ රයිනෝ අං වෙළඳාමය.
ලෝකය විද්‍යාව හා තාක්ෂණය අතින් කොපමණ ඉදිරියට ගමන් කර ඇතත් මිත්‍යා විශ්වාස ද තවමත් වැඩෙමින් පවතී. අයථා ලෙස මුදල් ඉපැයීමේ සහ විශාල ලෙස ලාබ ඉපැයීමේ මාර්ග කරා පුද්ගලයන් යොමුවීම තවත් ප්‍රවණතාවකි. මේ සියල්ල ඇත් දළ ජාවාරමට හේතු බවට පත්වී ඇත.
නිසැක වශයෙන් ම මෙවැනි ජාවාරම් මනුෂ්‍ය සංහතියටම නිගාවෙකි. මිහිමත සෙසු ජීවීන්ගේ පැවැත්මට ඇති අයිතිය කෙළෙසීමකි. එබැවින් ඊට එරෙහිව නැඟී සිටීම සෑම යහපත් මනුෂ්‍යයකුගේම පරම යුතුකමකි.‍

ධම්මික සෙනෙවිරත්න

No comments:

Post a Comment