Friday, January 29, 2016

කාල ලගදීම ඔබේ සිනමාශාලාවට


ධාතුසේන රජු සොළීන් පරදවා රට එක්සේසත් කර පාලනය ගෙන ගිය කාලසීමාවේ කලා වැව නිර්මාණය කිරීම මෙන්ම ඊට පසුබිම් වු කරුණු ඇතුලත් චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා. කළා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ පවතින ජනප්‍රවාදය චිත්‍රපටයේ පසුබිමයි. කාල නමින් නම් කර ඇති චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානනීය කලා අධ්‍යක්ෂවරයෙක් සහ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සුජීව ගුණරත්න විසින්. ඔහුගේ පළමු දැවැන්ත සිනමා නිර්මාණය ද මෙයයි. එය තිරගත වීමට ඇත්තේ තවත් ටික දිනක්. මහේන්ද්‍ර පෙරේරා / ඩබ්ලිව් ජයසිරි / ජගත් මනුවර්ණ / විශ්ව කොඩිකාර / ජනක් ප්‍රේමලාල් / ධර්මප්‍රිය ඩයස් සහ නීටා ප්‍රනාන්දු ඇතුලු නළු නිලියන් රැසක් මීට රංගන දායකත්වය දක්වා තිබෙනවා. වැවක් තැනීමට සුදුසු භූමියක් සොයමින් සිටින ධාතුසේන රජුට වැව තැනීමට සුදුසුු භූමිය හමුවන්නේ රට වාසීන් විසින් අල්ලා ගන්නා කැලෑ මිනිසෙකු මාර්ගයෙන්. වැව ඉදිවන අතර එමගින් රට සශ්‍රීක වීම නොරිස්සු පිරිස් කුමන්ත්‍රණ කර වැව බිඳ දැමීමට ගන්නේ දැඩි උත්සාහයක්. කුමන්ත්‍රණකරුවන් විසින් උපක්‍රමශීලීව වැවේ උමගක් නිර්මාණය කරන අතර එය වසා දැමීමට උත්සාහ කරන කාල නම් දරුවාට අකල් මරණයක් අත්වන්නේ ජලය ගලායන උමග තුල සිරවීමෙන්. වැව බේරා ගැනීමට දිවි පිදු කාල වෙනුවෙන් සමස්ත රටම ශෝකයට පත්වන අතර ඔහුගේ මරණයෙන් පසු දැඩි නිගයක් පැමිණ වැව සිඳී යාමට ලක්වන්නේ කාලගේ මරණයට ශෝකය දක්වන ආකාරයෙන්. වැවට ජලය පිරවීම වෙනුවෙන් රට වැසියන් එක්වී පවත්වන වැසි පිරිත් සඣ්ජායනයෙන් වැව යළිත් ජලයෙන් පිරී යන අතර කුමන්ත්‍රණකරුවන්ගේ උත්සාහය හමුවේ වැව් බැම්ම කැඩී යාමට ලක්වනවා. කැඩුනු වැවේ ජලය ගලායන කඩවලට පනින කාලගේ පියා වන හීන් කුරුට්ටා ඉතිහාසයට එක්වන්නේ කඩවර දෙවියන් ලෙසට නම් ලබමින්. පසුගිය වසරේ පැවති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී මෙම චිත්‍රපටයේ ගීත දෙකක් වෙනුවෙන් සම්මාන දෙකක් හිමිවීම විශේෂත්වයක්. ඒ හොඳම ළමා ගීත ගායනය, හොඳම ගී තනුව සහ සංගී්ත අධ්‍යක්ෂණය වෙනුවෙනුයි. 6 වන ශ්‍රේණියේ විෂය නිර්දේශයට ද ඇතුලත් කථාංගයක් කාල චිත්‍රපටය ඔස්සේ දිග හැරීම තුලින් පාසැල් ළමුන්ට ද ශ්‍රී ලාංකීය පෞඩ ඉතිහාසය පිළිබඳ සාක්ෂිකරුවන් වීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති බව විශ්වාසයයි. උපුටා ගැනීම හිරු නිව්ස් වෙතින්

No comments:

Post a Comment