Thursday, January 28, 2016

චින්තක සහ විදර්ශන ගේ ඉතිහාස දැක්ම....!


මේ සටහනට ප්‍රස්තුත වුන සංවාදය මම කිහිප සැරයක්ම නැරඹුවා සම්පූර්ණයෙන්ම. එහිදී මා නිරීක්ෂණය කළ දෙයක් නම් මේ චිත්‍රපට විචාර සංවාදය , චින්තනයි විදර්ශනයි එකතු වෙලා අමු අමුවේ දේශපාලනයක් කර ගැනීම.! එමෙන්ම මා දුටු දෙය නම් ජැක්සන් සහ ච්ත්‍ර දෙදෙනා මේ සංවාදයට මුහුණ දුන් අයුරු සහ කරුණු දැක්වූ අයුරු. එමෙන්ම ජැක්සන් ගේ උදෘත වලට මේ දෙදෙනාට ප්‍රති පිළිතුරු ලබා දෙන්න නොහැකි වීම. විශේෂයෙන්ම චින්තන එහිදී අනවශ්‍ය ආවේගයක් විදහා පෑවා කියලයි මට සිතුනේ. මේ සංවාදය සමස්තයක් ලෙස ගත්තාම නම් මේ දෙපළ අසාර්ථක උත්සාහයක් දැරුවා විචාරය දේශපාලනය බවට පෙරලන්න.
ඊළඟට මේ ඉතිහාසය කියැවීම..!
ඉතිහාසය දෙස නව දැක්මකින් බැලීම මම නම් හිතන්නේ ඉතාමත් ධනාත්මක දෙයක් කියලයි. එය එසේ වන්නේ කාලාම සූත්‍රයට අනුව අප කිසිවෙක් අරයා මෙයා කී පළියට විස්වාශ නොකළ යුතු බැවින්. එය පරිකල්පනයේ දියුණුවට ඉතා ධනාත්මක ප්‍රවර්ධනයක් ලෙසයි මම දකින්නේ . එබැවින් යමෙක් කියනවා නම් අපි ඉතිහාසය පිළිබඳව පොත් වල තියෙන දෑ පමණක් විස්වාශ කළ යුතුයි කියල ඒක තරමක බොළඳ දැක්මක්. ඒ ඔක්කොම එසේ වුවද මේ සංවාදයේ දී චින්තක සහ විදර්ශන කළේ එවන් ඉතිහාසය දෙස නව දැක්මකින් බැලීමක් කියලා නම් නොවෙයි මම හිතන්නේ. ඔවුන් එහිදී කළේ තමන්ගේ දේශපාලන මතවාදයට අවශ්‍ය ලෙස ඉතිහාසයට අර්ථකතන දීමට උත්සාහ කිරීමක් කියලයි මට හිතුනේ. ඔවුන් ජැක්සන් ගේ කෘතිය සහ අනෙක් එවන් කෘති නිර්වචනය කළේ යුධ වින්දන කෘතීන් ලෙසට. මෙහිදී ඔවුන්ගේ පශ්චාත් යුධ, යුධ විරෝධී මානසිකත්වය අමු අමුවේ එළි බැසීමක් වුනා කියලයි මම නම් දැක්කේ. ඒ ඇති විරෝධී මානසිකත්වය ස්වකීය ජාතිය සංස්කෘතිය ඉතිහාසය දෙසට එල්ල කිරීම මේ නව පරපුරේ සමහර අය කරන ලොකු අත්වරදක් ලෙසයි මම දකින්නේ. මෙතැනදී චින්තක සහ විදර්ශනට වුනෙත් ඒ දේ තමයි. මේ වැරදි කොණින් අල්ලා ගැනීමේ ලාංකික ජානමය ව්‍යාධිය කිසිදු සීමා මායිමකින් තොරව උගත් නූගත්, දුප්පත් පොහොසත් සහ සමාජ මට්ටම් වෙනසක් නොමැතිව වැළඳෙන එකක්! මෙයින් ගැලවෙන්නේ විචක්‍ෂණ බුද්ධියකින් යුත් ඇත්තන් විතරයි. මේ ගොබිලෝ දෙන්නා නම් එවන් බුද්ධියකින් හෙබි අය යැයි මම නොහිතන්නේ ඔවුන්ගේ ප්‍රාථමික චර්යා රටාව නිසයි.
ඒ වගේම මම මේ දෙපලගේ අදහස් දැක්වීම් දකින්නේ තරමක ආන්දෝලනයට තුඩු දෙන යමක් පවසා එයට නැගෙන සමාජයීය ප්‍රතිරෝධය මතින් තම ප්‍රවර්ධනයට එය යොදා ගැනීමක් ලෙස. ඔවුන් මේ කියන දේවල් අත්‍යන්තයෙන්ම විස්වාශ කරන බවක් පෙනුනත් ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ ඊට වඩා ගැඹුරු එකක් බවයි මා දකින්නේ. එමෙන්ම මේ කියන දේවල් මීට වඩා උපායශීලීවත් නව්‍ය ලෙසත් ඉදිරිපත් කිරීමට හැකි බවක් මම දකිනවා, ඔවුන්ට ඒ හැකියාවද නොඅඩුව පවතින බවක් බොහොම පැහැදිලිවම පෙනෙන බැවින් මා කලින් කළ නිගමනය නිවැරදි බවයි මගේ හැඟීම. එනම් මේ දේ ඔවුන් හිතා මතාම ආසාධිත ලෙස මේ නව දැක්ම ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේම අවශ්‍යතාවයට. ඒ අවශ්‍යතාවය කුමක්ද යන්න හඳුනා ගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්වීමත් අර මා කලින් කී විචක්ෂණ බුද්ධියෙන් යුතු අයට පමණක් කළ හැකි දෙයක්. ජැක්සන් මෙහිදී ඒ දෙය කළ බවක් මම බොහොම හොඳින් නිරීක්ෂණය කළා. එහෙත් බහුතරය එසේ ප්‍රතිචාර නොදක්වන බවයි පෙනෙන්න තියෙන්නේ

සටහන 
Upul Hewa

No comments:

Post a Comment